photo credit - https://www.pinterest.com/
බුදුදහම යනු කුමක්ද, බුදුදහම තුලින් අර්ථ දැක්වෙන්නේ කුමක්ද, බුදුදහම තවත් එක් ආගමක්ද, බුදුදහමේ හරය කුමක්ද, බුදුදහම කවුරුන් සඳහාද, බුදුදහම අනුගමනය කල හැක්කේ කාටද, බුදු දහමේ ඉගැන්වෙන පිරිසිදු ලෝක සත්‍යය කුමක්ද, බුදුදහම තුලින් බාහිර ලෝකය දෙස බැලිය හැක්කේ කෙසේද, බුදුදහමේ ඉගැන්වෙන නිවැරදි දෘශ්ඨිය සහ මිත්‍යා දෘශ්ඨිය කුමක්ද, බුදුදහමේ මූලික න්‍යායයන් මොනවාද, බුදුදහමේ එන සිතීමේ නිදහස, බුදුදහමේ එන විරුද්ධ මත දැරීමට ඇති අයිතිය සහ එම අයිතියට ගරු කිරීම. බුදුදහමෙන් ලොවට දෙන පනිවිඩය.
කාළාම දේශණය - https://thailandfoundation.or.th/
හැඳින්වීම
බුදුදහම යනු කුමක්ද යන කාරණයට දිය හැකි හොඳම උත්තරය
බුදුදහම හුදෙක් ආගමක් නොවෙයි. ආගම් තිබෙන්නේ ඇදහීමටයි. ප්‍රශ්න කිරීමට නෙවෙයි.
බුදුදහම ඇදහීමෙන් බුදුන් වහන්සේ අපේක්ෂිත ප්‍රතිඵලය මිනිසුන් වෙතින් නොලැබේ. ඒ
නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කලා මෙන්න මෙහෙම.
1. යමෙකුගෙන් ඇසූ පරිදිම
2. සම්ප්‍රදායයෙන් අතීතයේ සිට පැමිණි අයුරින්ම
3. මෙය මෙසේ යැයි නියම කොට ඇති පමණින්ම
4. පොත පතෙහි සඳහන් වූ පමණින්ම
5. තර්කයට ගැළපෙන පමණින්ම
6. න්‍යායානුකූල වූ පමණින්ම
7. බාහිරව හොඳ හෝ නරකයැයි සාපේක්ෂව පෙනුණ පමණින්ම
8. තමාගේ දෘෂ්ටියට යෝග්‍ය වූ පමණින්ම
9. ආධිපත්‍යයට අනුරූප වූ පමණින්ම
10. තම ගුරුවරයා වූ පමණින්ම කිසිවක් නොපිලිගන්න.
මෙය තවත් සම්පිණ්ඩනය කලහොත් මෙසේ දැක්විය හැකියි.
යම්කිසි ඉගැන්වීමක්, කිසියම් න්‍යායයක් ඔබට සැක සහිත නම් එය සැක කලයුතුයි.
ප්‍රශ්න කලයුතුයි. කවුරු හරි කිව්ව දෙයක් හෝ, පරම්පරාවෙන් ආ පමණින් හෝ, මෙය මෙසේ
යැයි නියම කොට ඇති පමණින්, පෙල පොත් වල ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වු පමණින්, තර්කයට
ගැලපුනාට, න්‍යායාත්මක වූ පමණින්, පිටතින් හොඳ යැයි පෙනුන පමණින්, තමන්ගේ දැනුමෙන්
පරිපූර්ණ දෘශ්ඨියට, තමාට පෙනෙන විදිහට ගැලපෙන පමනින්, නීතියට යටත් වූ පමනින්,
තම ගුරුවරයා වූ පමනින් කිසිවක් එකවර පිලිගන්න එපා.
කාලාම සූත්‍රය ඇසුරින්
බුදුදහමේ එන සිතීමේ නිදහස
කාළාම සූත්‍රයේ සඳහන් පරිදි එතරම් නිදහසක්, එතරම් ස්වාධීන බවක් ප්‍රකට කල
වෙනත් ශාස්තෲන් වහන්සේ කෙනෙක් ගැන අපට සොයා ගත හැකිද? මේ තරම් විශිෂ්ඨ නිදහස්
නිවහල් ඍජු ප්‍රතිපත්තියක් වෙන කුමන ශාස්තෲන් වහන්සේ නමකගෙන් අපට ලැබෙයිද? බුදුරජාණන්
වහන්සේ වදාලේ අදහන්නට පුදපූජා බාරහාර තබන්නට උවමනා දහමක් හෝ ආගමක් නෙවෙයි. විශිෂ්ඨ
විද්‍යාවක් මෙන්ම විශිෂ්ඨ චින්තනයක් බවය.
photo credit - https://www.pinterest.com/
බුදුදහමේ හරය
එය පැහැදිලි වන්නේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විසින්
ස්වකීය පළමු ධර්ම දේශනයේදී ප්‍රකාශ කල දේ අනුවය.
“ බුද්ධත්වයට පත්වීමේදී මීට පෙර අසන්නට නොලැබූනු කාරනා අවබෝධ වීම හේතු කර
ගෙන මට ඇස පහළ ව්ය. සියල්ල ඉතාම පැහැදිලිව දැකගත හැකිවන පරිදි ඥාණය අවබෝධය පහලවිය.
විද්‍යාව පහළ විය. ප්‍රඥාව නම් වූ ආලෝකය පහලවිය. එය ඉතාම නිර්භීත ඍජු ප්‍රකාශනයක්ය.
ඉන් අණතුරුව බුදුන් වහන්සේ ඍජුව ප්‍රකාශ කලේ
“ මා විසින් මාගේ ගැඹුරු අවබෝධයෙන් හෙලිකරගත් මේ පිරිසිදු සත්‍යය වෙනත් කිසිම ශ්‍රමණයෙකුට හෝ, බ්‍රාහ්මණයෙකුට
හෝ, කිසිදු දෙවියෙකුට හෝ, කිසිදු මාරයෙකුට හෝ, අන් කිසිම කෙනෙකුට හෝ නැහැ මෙය බොරුවක්
කියා ආපස්සට කරකවන්නට තමන් කැමති විදිහකට අර්ථ දක්වන්නට බැහැ. මේ තමයි පිරිසිදුම
සත්‍යය.” යනුවෙන්ය.
-ධම්මචක්ක පවත්තන සූත්‍රය- ඇසුරින්
බුද්ධ දහමේ හරය වන්නේ චතුරාර්යය සත්‍යය සහ පටිච්ච
සමුප්පාද ධර්මයයි.
මෙය හේතුඵල දහම යනුවෙන් හඳුන්වනු
ලැබේ. මෙම ධර්මතාවයට අනුව කිසියම් හේතුවක් නිසා හටගන්නා යමක්, ඒ හේතුව නැති වීමෙන්
නිරුද්ධභාවයට පත්වේ යන න්‍යායය ප්‍රකට කෙරේ. හේතුඵල න්‍යායය මෙසේ විස්තර කල හැකිය.
මෙය ඇති කල්හි මෙය වෙයි
මෙය ඉපදීමෙන් මෙය උපදී
මෙය නැති කල්හි මෙය නොවේ
මෙය නැති වීයාමෙන් මෙය
නැතිවී යයි
විශේෂයෙන් මානව සමාජය මුහුණ දෙන දුක, ඒ
දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය බුදුදහම විසින් මනාව විග්‍රහකොට
ඇත. ඒ සියලු විග්‍රහයන්ට කිසිදු ආගමක්, ජාතියක්, භාෂාවක් අදාල නොවේ. ඒ නිසා
බුදුදහම කවුරුන් උදෙසාද යන ප්‍රශ්නය කිසිවිටෙක නගන්නට නොහැකිය. දුක උරුම හැමදෙනාටම
බුදුදහම වෙතින් දුකින් මිදෙන ක්‍රමවේදය කියා දෙයි. දුක පිලිබඳ බුදුදහම තුල අර්ථ
දැක්වෙන්නේ බාහිර කිසිවකු විසින් දුක හදා නොදෙන බවයි. දුක ඇති වන්නේ හේතුවක්
නිසාය. හේතුව නැති කරන්නේ නැතිව දුක නැති කරන්නට නොහැකිය. වැඳුම් පිදුම් කලාට,
යාඥාකලාට, බාරහාර පුදපූජා කලාට, දුක නැති කරන්නට නොහැක. ආගමක් වශයෙන් බුදුදහම
ඇදහුවාට දුක නැති කරන්නට නොහැකිය.
දුක නැති කරන එකම මාර්ගය හැටියට
බුදුදහම යෝජනා කරන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. එනම් අංග අටකින් යුක්ත මාර්ගයකි.
එහි පලමු අංගය වන්නේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැක්මයි. ලෝකය දෙස, ලෝක ධර්මතා
දෙස තමන්ගේ දැනුමෙන්, සාපේක්ෂ අර්ථයෙන් නොබලා සත්‍යය සත්‍යය හැටියට දහම් විද්‍යා
ඇසින් බැලිය යුතුය. බුදුදහමට අනුව ලෞකික ලෝකය සහ සම්මුතිය එකක් වන අතර ඒ ලෝක
සම්මුති දැනුමෙන් ඔබ්බට ගිය ලෝකෝත්තර යාථාර්ථය වෙනත් එකකි. දුක හටගන්නේ ලෞකික ලෝක
සම්මුතිය තුලය. දුකෙන් මිදෙන්නේ නිවැරදි දැක්ම මූලික වූ ආර්යය අෂ්ඨාංගික
මාර්ගයෙනි.
මුළුමහත් විශ්වයේ සියලු දෙය නිත්‍ය
වශයෙන් සදාකාලික වශයෙන් නොපවතින බව බුදුදහම අවධාරණය කරයි. හේතූන් නිසා හටගත්
සියල්ල කාලානුරූපීව වෙනස් වී යයි. ඒ වෙනස්
වීමට අනුව ඒ හේතූන් නැතිවීමෙන් හටගත් දේ නැතිවෙයි. කිසිවකුට කිසිවක් සදාකාලිකව තමා
කැමති ආකාරයට තමා සන්තකව තබාගත නොහැක. එය නොදන්නාකම නිසා දුක හට ගනියි. ඇලීම බැඳීම
දුකට හේතුව වන අතර අතහැරීම දුකෙන් නිදහස් වීමය. අතහැරීම යනු භෞතික දේ අතහැරීම නොව
භෞතික දේ කෙරෙහි ඇති ඇලීම බැඳීම අතහැරීමයි. එසේ අතහරින්නට නම් සියලු දේ කෙරෙහි යථාස්වභාවය
දැන නිවැරදි දැක්මකට මනස හුරුකල යුතුය.
බුදුදහම මුළුමනින්ම මනෝ විද්‍යාත්මක
පදනමක පිහිටා ජීවිතය සහ දේවල් දෙස බලයි. ධම්මපදයේ යමක වග්ගයේ ප්‍රථම ගාථා දෙකෙන් ඒ
බව සනාථ වේ. එහි සරල අර්ථය මෙසේයි.
1. මනස සියල්ලටම පෙරටුව ගමන් කරයි.
මනසම ශ්‍රේෂ්ඨ වෙයි. මනස මුල් වෙයි. දුශ්ඨ වූ චේතනාවෙන් යුක්තව යමක් සිතයිද,
කියයිද, කරයිද, එහි විපාකය කරත්තයේ බැඳ සිටින ගවයා පිටුපස යන කරත්ත රෝදය මෙන් තමා
පසුපසම පැමිණෙයි.
2. මනස සියල්ලටම පෙරටුව ගමන් කරයි.
මනසම ශ්‍රේෂ්ඨ වෙයි. මනස මුල් වෙයි. ප්‍රසන්න වූ චේතනාවෙන් යුක්තව යමක් සිතයිද,
කියයිද, කරයිද, එහි හොඳ ප්‍රතිඵලය තමා අනුවම යන එන තමාගේ සෙවනැල්ල මෙන් තමා පසුපසම
පැමිණෙයි.
1. කාලාම සූත්‍රය 2 ධම්මචක්කපවත්තන සූත්‍රය 3 ධම්මපදය- යමක වග්ගය
0 Comments:
Post a Comment