Friday, 24 August 2012

හෙට දවසත් නතරවෙලා



සඳ බොඳුවුනු හැන්දෑවේ
පරමල් පා වෙන නදියේ
ඇඟිලි තුඩින් අල්ලාගෙන මා
අතීතයට යන ගමනේ..
තනියට ඉන්නේ නුඹයි
තනිකම විතරයි..

සියුමැලි පෙති පාටපාටින්
දෙපා මුලට විසිරුවලා
පිනි පොද පොද ඉඳුවර අතරින්
ලවන් තලාවට ඉසිලා
මන්දහාස මලහිරු බැසයයි
ජීවිත සිතිජයෙ ගිලිලා..
නැවත ඉතින් හිරු පායාවිද
හෙට දවසත් නතරවෙලා....

පසලොස්වක පෝදා රෑ
සඳ නෑවිත් ගිලන්වෙලා
අමාවකට දළුලන අඳුරට
කනාමැදිරි තිත් ඇඳලා
සායම් බොඳවූ සිතුවම
තරුනැති අහසක් වෙලා
නැවත ඉතින් ගී හඬ ඒවිද
වෙන වැයුමෙහි තත් බිඳිලා..

Thursday, 23 August 2012

ඔබ..යන්න ගිය පසු..

Image

නොසිතු ලෙස..
ඔබ..යන්න ගිය පසු
එකදු දේදුන්නක්
දුටුවෙ නෑ අහසේ..ඔබ දේදුන්න වූවද??
හඬන විට ඒ අහසයි
වහින විට ඒ දෙනෙතයි
සිතට දැනුනා ඇත්තමයි
දෙගොඩ ගැලු ගඟ වගේමයි..
ඔබ..යන්න ගිය පසු..

නැවත නොඑනා බව සැබැයි
දෙනෙත ඒ බව නොඅදහයි
එදා පිටුපා යන්න ගිය මග
දිහා තවමත් නෙත බලයි
නැවත ඒ දැයි විමසමින්...
ඔබ..යන්න ගිය පසු..


Wednesday, 15 August 2012

එයයි ජීවිතය















විසල් පුරවරයක
ඈත ගම්මානෙක
දිදුලන විදුලි එළියද
ඝන සීත අඳුරද
කොතැනක සිටයද
ඇට මස් නහර විදගෙන
දැනෙන මේ පාලුව
දැනෙන මේ තනිකම
දැනෙන මේ දුකම
සසර සරනා තුරා
අප වෙලාගෙන සිටිනු ඇත...
ජීවිතය තුල හැමදාම
යමෙකු සෙව්වා මතකයි..
මියයන තුරාවට
ඒ කිසිවකු
හමුනොවෙනු නිසැකයි
එයයි ජීවිතය

Sunday, 12 August 2012

හැඳින ගතිමි





කෙදිනකවත් රුව දැක නොතිබුනද
කෙදිනකවත් හඬ අසා නොතිබුනද
සුළඟට පාකර
සංදේශයක් සේ
ලියූ
ජීවිත කාව්‍යය...
හැඳින ගත්තෙමි
වෙවුලන අතැඟිලි වලින්
ඇදවූ අකුරෙන්
ලියූ වැකි කිහිපයෙන්..

Friday, 3 August 2012

ඇයි නුඹලා මියගියේ...

Image

සොහොන් බිම පාලුයි කළුවරයි..
හැලහොල්මනක් නැහැ..
එනිසාම මගේ හිත පාළුයි දුක්බරයි..
සැනසිල්ලක් නැහැ....

හැමදෙනාම මියගිහින්
එකම වල තුල මිහිදන්ව
මම විතරක් සුජීවත්ව
පාළු සොහොන්  බිම හිඳිනෙමි
සුසුම් ලන්න..

හිත ඉඩදෙන්නෙ නැහැ
නිසොල්මන්ව ඉන්න...
මියගිය හැමදෙනා
සිහිපත් නොකර ඉන්න..

කඩිනමින් ගතිමි මම දෑතට
කල්පනාවෙන් මුවහත් උදළු..
හාරන්නට පටන් ගතිමි
මිනීවල එක හුස්මට...

මතුවිය ඇට සැකිලි
පෙරදිනයක මියගොස්
මෙතුල වැලලී ගිය
මා තුල ජීවත්වු දෙනෝ දාහක්..

ඇයි නුඹලා මියගියේ...
ඇයි නුඹලා මා හැර ගියේ..
මියයන්නට පෙර නුඹලා මට වෛර කලද
ද්වේශ කලද...අනුකම්පා කලද...
ඒ සියල්ල නුඹලාගේ මුලාවෙන්මයි සිදුවූයේ..
එක අතකට නුඹලා මියගියා නෙවෙයි..
දිවිනසාගත්තා කියා මට දැනෙනවා..

නුඹලා මිය ගියත් දිවි නසාගත්තත්
එකම වල තුල මිහිදන් උනත්..
සිදු උනේ අනිකක්..
නුඹලා මා නොමරා මැරුවෝය..
සිත තලා පෙලා මේ සොහොන් බිම තුල
මා අසරණ කලෝය...

මා මල පසු මේ මිනීවලට නම්
මා නොදමනු ඇත..
මගේ දෙන යමෙකු විසින්
ආදාහනය කරනු ඇත..
පස් දූවිලි වී මා නුඹලාගේ මිනීවල මත
විසිරෙනු ඇත..