Friday, 30 November 2012

සඳකැන් වැස්සට තෙමී නාන්නට


සඳකැන් වැස්සට තෙමී නාන්නට
සුරංගනාවන් පාවී එයි
පිණිකැට වැටෙනා සිතල මැදියම
නුඹ නිදනා හැටි මැවි පෙනෙයි..

නුඹ මට නම්



මිණිමුතු කෙතෙක් වුවත්
නැත මට නම්
නුඹ‍ගේ සිනහ පොදක්
සේ මට නම්…………..

යලිත් හෙට හිරු


නිදා නොනිදා  බොහෝ රෑ
අඳුර තැවරුන කවුළු දොර ලඟ
පාලු සලුපොට විසිරිලා.....
කවුරුවත් නැහැ හුදෙකලාවෙම
අව සඳත් බැසගෙන ගියා
යලිත් හෙට හිරු පායනා බව
නොදැන තවතව ගුලිවෙලා.....

Thursday, 29 November 2012

ඒ නුඹම පමණයි


නිශාකාලයෙ ගැයූ ගී කව්
අසන්නේ නෑ කවුරුවත්
සුවෙන් නින්දේ ලෝ සැමා..
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…

ඔබේ විරාමය


ගීයක මහිම - දියට බැස සඳ

වීඩියෝව සහ ගීතය පහලින් 


video

එදා පියවර තැබූ සටහන්



සුබෝධාරාමයට ඉහලින් 
රාහු ගිල ගත් සඳ පෙනෙයි..
පොහෝ දාටත් නොඑන හැඩ ඇති
බොඳ රුවක් අහසේ මැවෙයි..


කන්ද නැග එන කන්ද බැස යන
කදෝපැණි තරු එළි දිලෙයි..
එදා පියවර තැබූ සටහන් 
මැකී නොමැකී මග තියෙයි..


වංගු ගැහි ගැහි නැගෙන කන්දෙන්
අදත් සෙත් පිරිතක් ඇසෙයි...
මහ හඬින් තිගැසෙන සරින් යලි
දහම් මැදුරෙන් බණ ඇසෙයි..

Friday, 23 November 2012

ගීයක මහිම - ඔබෙයි මගෙයි මේ සෙනෙහස


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද

ඔබේ සිතාරයෙ


ඔබේ සිතාරයෙ ඔය සත්සර නද
හැඟුම් පෙල ගැසී මන්මත් කරවයි..
ඔය සත්සරයම විටෙක රිදුම් දෙයි
හදවත පාරන සැත් කටුවක් සේ...

ඔබේ විරාමය


Thursday, 22 November 2012

මේ සෙනෙහස් වැව් තලාව


නුඹ..සුළඟක් සේ


නුඹ..සුළඟක් සේ.....
ආවා..
නුඹ.පවනක් සේ....
වෙලුනා..
නුඹ..මාරුතයක් සේ..
කැළඹුනා..
නුඹ..මඳනල සේ...
හැඬුවා..
අවසාන වස්සානේ..
නුඹ...
සුසුමක් සේ...
නික්ම ගියා...


Wednesday, 21 November 2012

සිය දහස් වර ...


සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නෑ හඳුනන්නේ..
හදකට දුක දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතවෙන්නේ..

කළු වළාවෙන් යට වූ ප්‍රේමය


කළු වලාවෙන් යට වී ගියත්
අසිරිමත් ලෙස 
ඇඳුනු 
ප්‍රේමය..
තවමත් ආදරය එසේමයි
(වීඩියෝව පහලින් බලන්න)

Tuesday, 20 November 2012

මං පණ වගේ ආදරෙයි..





පුංචි දඟකාරියේ..
රණ තිසරින්දු  ලියතඹරින්දු
පෙති ගිලිහියේ..
ගැයූ විහඟ ගීය කෝ...


බඹරුන් දබර කල සිතේ දිය බොර වී

බඹර විෂ තුඩු ඇනී පෙති හැකිලිලා..
රිදුනු දෙකොපොලින් හැඬුවේ..
තවමත් නුඹ 
ආදරය නොහඳුනන නිසාද??


ප්‍රේමය සඟවා ගත් සිතක

නෙතු හැකිලිලා..
ඒත්...
නුඹ කුරුළු ගී රාවයෙන් තෙරපිලා
සෙවූ සෙනෙහස ලැබුනාද..


නුඹට නොදැනුනාට

නුඹට මං පණ වගේ ආදරෙයි
(වීඩියෝව පහලින් බලන්න)




Monday, 19 November 2012

ආලෝකේ පතුරා


හඳප‍ාන චිත්‍රපටයට සිසිර සේනාරත්න විසින්
ගැයූ මේ 
මියුරු ගීය අසා බලන්න

Saturday, 17 November 2012

මා මල පසු


ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක් 
ගීයක් 
ලියනු මැනවි..
එතකොට 
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)

වලාකුළෙන් මග අසා ගන්නට


හිමි නැති බව පුන පුනා
කියද්දිත්..
හිමි කරගන්නට  අහස යදියි
හත්දින්නත් තරු 
පොකුරට ඈතින්
පායා ආ තරුවේ..
අහස හිමි නැතැයි
කීවාදෝ...

රෑන් රෑන් තරු අතරේ
දිලී දිලී ඝන අඳුරේ..
අනන්තයට ගිය අහසේ
ආ මග වැරදී..
පෑල දොරෙන් හිරු පායා එන තෙක්
බලා සිටියාදෝ..

පාට පාට දේදුන්නේ
සේදි සේදි ගිය ගමනේ
නවාතැනක් නැති වේලේ
පුන් සඳ එද්දී..
වලාකුළෙන් මග අසා ගන්නට
බලා සිටියාදෝ...




Friday, 16 November 2012

නොකියයි ඉතින් පෙරමග


මහවැලිය පසුකරන් යන විට
හිතුනා බලන්නට
ජලකඳ දෙබෑකර
පත්ලටම...
මතකය මහවැලිය අරන් යන...

කොහෙදෝ ඈතක
නොනිදන ඉසව්වක
සිටියත් හොරෙන් සුසුම් ලන
ලමැද ඇති තනිකම
මුහුදට වැටෙයි මහවැලිය ඔතැනම

රෑ තාරකාවෝ
නොකියයි ඉතින් පෙරමග
හැරදා ගිය පවර
විසල් එනුවර දොරකඩ..

සඳ සිසිල එපා කිව් 
කුමුදිනිය වැලපෙයි
රෑ මනමාලි ගසෙක
තරු සැඟව යන විටෙක..


මිලාන වූ පසුවයි දැනෙන්නේ


මිලාන වූ පසුවයි දැනෙන්නේ
මලෙක සුවඳ කෙතරම්
රුදුරු වූ පසුවයි දැනෙන්නේ
සොඳුරු බවෙක මනරම්..

පාට සේදුනු මල් කිණිත්තක
තැවරුවද සායම්..
වැහිබිඳු පිනි බඳු ගලා හැලෙන විට
සේදී යා ද සැනින්..

නෙතට නැග ආ කඳුළු පිසදා
සෙනෙහෙ පිරූ තරම්..
මුවට මඳහස නැගුනු විටකදි
අමතකද එතරම්..


අතීත මලකඳ වැතිර තියේ


අඳුරු අහස් කුස වියන් බඳිනවා
මළහිරු ඇවිදින් දෑස් තෙමනවා
කැන්දන් යන්නට සොඳුරු මතකයන්
බිඳුනු අතීතයෙ සොහොන කරා..

හෙන්ද්‍රික්ක මල් පිපී පරවෙන
ගොම්මන් යාමේ නිසංසලේ
කණට කොඳුරා හැඬුම් සරයෙන්
වෙන්ව යන්නට මුමුණන්නේ..

බිම් කළුවර ලඟ වියෝ දුකින්
අතීත මලකඳ වැතිර තියේ 
හඳුනාගන්නට බැරි තරමින්
කළුවර ඇවිදින් තුරුළු උනේ..



Thursday, 15 November 2012

ගීයක මහිම - මේ ගී කාටදැයි

ප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ එන මේ ගීත දෙක බලන්න


එම හින්දි තනුව අනුව H.R.ජෝතිපාල ගායන ශිල්පියා ගැයූ මෙම ගීතයද රස විඳින්න


Wednesday, 14 November 2012

ගීයක මහිම - සුදුපාට මීදුම්

ජුක් ගයා ආස්මාන් චිත්‍රපටයෙහි අඩංගු මෙම ගීය
මොහොම්මද් රාෆී විසින් ගයනු ලැබූ අතර මෙහි
සංගීත නිර්මානය ශංකර් ජායිකිෂන් විසිනි.


එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය වෙනුවෙන් මෙම ගීය
නිර්මාණය වෙලා තිබුනා..



ගීයක මහිම - සිඳී බිඳී ආදරේ

මෙම ගීතයේ මුල් හින්දි ගීය අඩංගු උනේ
අජ්නබ් චිත්‍රපටයේයි. එහි රඟපෑවා 
රාජේෂ් ඛන්නා සහ සීනත් අමාන්

එම තනුව ඇසුරෙන් සිංහල ගීයක් නිරමාණය වී තිබුනු අතර බෙහෙවින් 
ජනප්‍රිය වූ එය කවීෂ කවිරාජ් සහ ශානිකා වනිගසේකර විසින් ගයනු ලැබුවා.මේ වීඩියෝවේ අඩංගු වන්නේ කවීෂ විසින් ප්‍රසංගයකදී එම ගීය ගයනු ලබන අයුරුයි.




මම බලා සිටියා


මම බලා සිටියා..
දෑත ලයේ බැ‍ඳ 
සාලය මැද..
උබුබැලි සයනය කරමින්..
දෙනෝදහක් මා බලන්ට විත්
හඬමින් සමුගෙන යන්න ගියා..
පිරිස මෑත්කරමින් 
සුදෝසුදු ඇඳුමින් සැරසී
කණකොක් පැහැයෙන්..
සුදුමැලි මුහුණින් 
ඔබ බලා සිටියා මා දෙස..
නෙතේ කඳුළු තිබුනද මන්දා
ඔබ හැඬුවේ නෑ...
බලා සිටියා අනිමිසලෝචනයෙන්
මගේ දිහා..
කවුදෝ ඇවිදින් පියන් පත් වසා
මගේ සයනය අඳුරු කල තෙක්
නාඬා සිටිය ඔයා
සෙමෙන් ඉකිබිඳනවා ඇහුනා
කරපිටින් මා යන තුරා... 



මගේ ප්‍රතිබිමභය



විසල් පොකුණක් අසල
ගල්තලාවේ..
හිඳගෙන හුන්නෙමි...
මගේ ප්‍රතිබිමභය
පොකුණේ නිසල දිය මත
රැඳී තිබුනා මතකයි..
මොහොතකින්..
අසල මහ ගහකින් 
කොළයක් ගිලිහිලා 
සුළඟේ පාව ඇවිදින්
පොකුණට ඇද වැටී
මගේ ප්‍රතිබිම්භය 
සඟවමින්
ජල රේඛා ඇදී ගියා මතකයි..
ඉන් පසුව මම මා නොදුටුවෙමි..
පොකුණ තුල..


Monday, 12 November 2012

සුපුරුදු නාදය




වසන්තේ ඇවිත් බොහොම 
කාලයක් ගියත්
දිගන්තේ කොවුල් නාදයක්
ඇසෙයි තවත්..
සරන්නේ කොහේ සිටද
නෑ මතකයක්
ගයන්නේ තවම එකම
ගීතයක් අදත්...


එදා ඇසුව ගී රාවෙ මතකයේ ඔබේ
නැද්දෝ කියන් කෙවිලියේ ඔබේ හිතේ
අලුත් ගීතයක් ගායනා කරමි කෙසේ
සංසාරයේ පුරා ගැයූ පද තියේ...


වෙලා ගසක කඳ දිගේ මලින් පිරී වැලක්
නැද්දෝ කියන් කෙවිලියේ ඔබත් මමත්
වසන් වෙන්න නම් ඉතින් නුඹේ මතකයෙන්
සංසාරයේ ගමන නිමා විය යුතුයි..




Sunday, 11 November 2012

කඩුල්ල ලඟ මම තවමත්



දඬු වැට උඩ ලේනු රංචු
දුව පැන යනවා...
දඬු වැට ලඟ වළිකුකුලන්
සින්දු කියනවා..
කඩුළු තහංචියේ සැඟව 
නුඹ ලතැවෙනවා..
කඩුල්ල ලඟ මම තවමත්
නුඹව විඳිනවා...


නියන් සාය ඇවිදින් වද
මෙරු මතු වෙනවා..
නිල්ල දැවී පොලොව පුරා
දූලි නගිනවා..
ආල වැඩුව හිත ගාවට
ලැව් ගිණි දැල් ඇවිළුනාම
වනන්තරය පුරා ඉතින්
දුම් විසිරෙනවා...


වසත් සමය නිමා වෙලා
වැහි දළු එනවා..
පයට ගැටෙන පොලාව පුරා
මඩ විසිරෙනවා..
ආල වැඩුව සිත ගාවට
මහ ගංවතුරක් ආවම
වනන්තරය පුරා ඉතින්
යට වී යනවා...



Saturday, 10 November 2012

හද අසපුව සිල් සුවදයි


වෙසතුරු ලෙස නුඹ දන්දෙනු
බැහැ මට මගෙ දේවී
නුඹ නැති තැන හදවත ඉනු
ලේ උනුවෙයි දේවී...
පිවිතුරු නැති බව කියමින 
නාඬන් මගෙ දේවී..
ලොවුතුරු සැප කැන්දන මග
යන්න එන්න දේවී...

මල් විසිරුනු මාවත දිගු
නුඹේ පයට පෑගී...
පාවඩ පිට පාවඩ ලෙස
නුඹට දැනෙයි දේවී..
පිනි විසිරුණු ලා තණ පත්
පා දෝවයි දේවී
හද අසපුව සිල් සුවදයි
නුඹේ නමින් දේවී...

පන් පැදුරත් සුව නින්දට
හරිම යසයි දේවී..
මහ මැදුරක සිරියහනක
ඒ  සැප නැහැ දේවී...
වනය පුරා නින්නාදෙන්
ඇසෙන ගීත දේවී
නියම් ගමෙක පුරවරයෙක
නෑසෙයි මගෙ දේවී...

දෙනෙත පුරා කඳුළු බින්දු
වෑහෙනවද දේවී
කඳුළු පිසින රළු දෑතම
සෑහෙනවද දේවී
අතැඟිල්ලේ එල්ලීගෙන 
නුඹ එනවද දේවී
මග පෙන්වමි දොස මගහැර
සිනා සෙයන් දේවී...








රුපු යුදෙන් පැරදී...



ඔබෙ නිහඩ බව තුල
ඔබ ගිලී හිඳිනු මැන
ඔබට බැහැ මා...
කිසි දිනෙක දකින්නට


ඔබෙ පවුරු පදනමෙහි
මහ දොරටු වසාගෙන
ඔබ හිඳීවී......
ඔබ මවෙත එනු ‍නොහේ..


ඔබ කවුළු වසාගෙන
ඔබේ තනි කුටිව තුල
සිටීවී ඔබ.....
මට  ඉඩක් නොමැති ලෙස..


මගෙ විජිතයේ කොහෙද
සිහසුනක් මිණි කිරුලක්
මම හිදී...
රුපු යුදෙන් පැරදී...

Friday, 9 November 2012

සතුට රැගෙන යලි වඩින්න


වීඩියෝව මෙතැනින් බලන්න


video


Thursday, 8 November 2012

එළිය ගලාවී..



ඉඩෝරයට වැහි වැ‍ටුනම
පොලොව තෙමේවී...
එහි බොරුවක් නෑ මායා නෑ
මල් ඵල ඒවී...

පිපාසයට දිය බිඳුවක් 
දෙතොල තෙමාවී..
එහි සයුරක් නැහැ ගංගා නැහැ
පවස නිවේවි..

පහන් තරුවෙ එළියෙන් වුව
අඳුර මැකේවී
එහි හිරු සඳු නැහැ විදුරවි නැහැ
එළිය ගලාවී..

ප්‍රපාතයෙන් ගොඩ ආ විට
ඉහළ පෙනේවී
එහි මහමෙර නැහැ උස් පව් නැහැ
අහස පෙනේවී..

ලය තෙරපන සුසුමෙන් වුව
හිත සැනසේවී
එහි නැලැවිලි නෑ හිස් බස් නෑ
හද සැනසේවී...








මුතු ගිලිහුනු මාල පටක්



මුතු ගිලිහුනු මාල පටක්

ගෙලේ පැළඳ ගන්නෙමි..
සිත්තම් නැති හිස් කොළයක්
බිත්තියෙ රඳවන්නෙමි..
පවස වඩන කරදිය ගෙන
දෙතොල් තෙමා ගන්නෙමි
ගිනිමැලයක් ලඟ ගුලිවී
දාහය මැඩ ගන්නෙමි....


කඳුලු ගලන විට මුවගින්

සිනා පොදක් දෙන්නෙමි
සිනහව එන විට දෑසින්
කදුලු බිඳක් ගන්නෙමි
ජීවිතයේ හැමදාමත්
මරණය සිහිකරනෙමි
මරණය ලඟ ලඟ ඒ යැයි
සිතා සතුටු වන්නෙමි...

Wednesday, 7 November 2012

ගැඹුරු සමතලා ඉමක්



මේ මුහුදුයි
මේ පොලොවයි
වගේ ගැඹුරු සමතලා ඉමක්..
පුරා විසිරුනු හදේ ගැඹුරුම
සිතිවිලි සමුදායට...
සීමා මායිම් පැනැවී
කටුකම්බි ගසා
වැට කණු සිටුවා..
වෙන් කල හැකි වෙද
සිත හොරෙන් හොරෙන්
මුරකුටි මඟහැර
ගැඹුරු සමතලා බිමේ 
නිති සැරිසරවයි...

සුසුම් පවන් රැල් හැමුවද
අනදර වදනින් වැස්සද
අනුකම්පා විරහිත සැඩ හිරු විත්
සියල්ල අළු කර දැමුවද..

සිත හොරෙන් හොරෙන්
මුරකුටි මඟහැර
ගැඹුරු සමතලා බිමේ 
නිති සැරිසරවයි...
මේ මුහුදුයි
මේ පොලොවයි
වගේ ගැඹුරු සමතලා ඉමේ..







Monday, 5 November 2012

මුලාවෙන් ලෝකය සොයයි..


මුලාවද එක් නුරාවක් මය
සිත පුරා මත් වී දුවයි..
හලාහල විෂ පානයක් සේ
සිතිවිලි ම එහි පණ අදියි...


සිතට දැනෙනා සිතිවිලි

නොඑයි හැමවිට සැනසිලි
කෙලෙස් ගින්නේ දැවි දැවී
බුර බුරා එයි මැසිවිලි..


නෙතට දුටු දෑ සත්‍ය නොවි නම්

සිතට පෙනුනිද සත්‍ය ලෝකය
විසුල කුසුමක පෙති නැසී යයි
අර්ධ සත්‍යය ඉදිරියේ....


වසා ගත්තද දෙනෙත් පියවිලි

සිත පුරා රූ සිරි ඇඳෙයි...
සිතේ ඇති හැම දසුන් අභිමුව
මුලාවෙන් ලෝකය පෙනෙයි..

Thursday, 1 November 2012

මේ සඳමයි අසිරිය දුටුවේ


වීඩියෝව මෙතැනින් බලන්න


තාමත් සසරේ


වීඩියෝව මෙතැනින් බලන්න


ආදරය යනු


දෑල විදාහල දෑත මගේ


රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...

කිරිළිය සේ දුර පියා සලාලා
අත්තටු බිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ 
ඔහුටත් ඔබටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගී
කළුවර වෙයි විජිතයම මගේ...

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත්වී පා වෙන්නේ
ඔහුගෙන් දෝ.. ඔබගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ....

රචනය- අජන්තා රණසිංහ
සංගීතය- සරත් දසනායක
ගායනය- නන්දා මාලනි