Thursday, 26 December 2013

දරුවා මලසොවින් හැඬුවෙමි




දරුවා මලසොවින් හැඬුවෙමි සන්තාපෙන්
හදවත පාරවා ගැලු දුක් දහරාවෙන්
නොසිඳෙන අහෝ මේ මහ දුක් ගංගාවෙන්
එගොඩට යන්න රිසියෙන් ආවෙමි මෙතැනින්....

මම දෙපා දොවා ගනු රිසියෙන්


මම දෙපා දොවා ගනු රිසියෙන්
පයට වත්කල ජලය දුටුවෙමි
බිමට හැලිලා....
උස් තැනින් මිටි තැනට යනයුරු...
එකඟ වූ මනසින්..
එදෙස බැලුවෙමි.

නොහිතා ඉන්න හැදුවා මිසක්


නොහිතා ඉන්න හැදුවා මිසක්
අමතක කලා නෙවෙයි.........
නොබලා ඉන්න හිතුවා මිසක්
නොදුටුවා නෙවෙයි..............

නෙතින් දුටු දේ දෙනෙත නොදනී
හිත තමයි දන්නේ.........
නෙතින් දුටු දේ දෙනෙත නොවිඳියි
හිතයි විඳවන්නේ...........

නෙතින් දුටු දේ නෙතට නොසිතෙයි
හිතේමයි ඉන්නේ..........
නෙතට දුටු දේ හිතට පැටලී
හිත හිතා ඉන්නේ..........


Saturday, 21 December 2013

බවුන් වඩනා කෙනෙක් නෑ......


අනේ සකිසඳ මුවා වෙනවද
වනේ ගහකොළ අතර සැඟවී..
අනේ සකිසඳ ගිලී යනවද
ගඟේ ගඟ දිය අතර දියවී......

ගෙනා පැන් ගෙන දෙපා දෝවා
වඩා හිඳුවන කෙනෙක් නෑ...
අමා දම් රස දෙසා වදහල 
මහාකරුණා හඬත් නෑ....
බොල් තුඹස් මත නොපිපි සියපත්
විලේ විල්තලයෙහිත් නෑ....
වගෙයි මහ වන අරණ ගිලගෙන
අනේ සක්මන් මළුව නැහැ..

නෙලා පලවැළ ගොතා මල් දම
පළඳවන්නට කෙනෙක් නෑ.....
පිරූ පාරමි හිසින් අරගෙන
සසර නික්මුනු බවක් නෑ.......
ගල්ලෙනේ දොර මුවා කරගෙන
අඳුර නැගඑන වෙලාවේ......
කමටහන් ලැබගන්නට ආ මුත්
බවුන් වඩනා කෙනෙක් නෑ......

Saturday, 30 November 2013

ඇසේ මතුවන කඳුළු බිඳකින්


ඇසේ මතුවන කඳුළු බිඳකින්
කොපුල් තලයම තෙමෙනවා..
හිසේ මතුවන නරකෙසක් ලඟ
තුරුනු විය ඉකි බිඳිනවා...

තරුකැට ගිලිහුනු අහස වගෙයි නෙත්

තරුකැට ගිලිහුනු අහස වගෙයි නෙත්
වස්සානයෙ තෙත් පොලොව වගෙයි නෙත්
වාන් දොරටු හැරි වැවක් වගෙයි නෙත්
භද්‍රකල්පයම කරවනු ඇයි තෙත්

සාගරේ තරම් නැතිවට ආදරේ නමින් ඉඳහිට


සාගරේ තරම් නැතිවට ආදරේ නමින් ඉඳහිට
වේදනා දෙලොස් මහටම හඬන නුඹෙ දෙනෙත්...
ඔප දමාපු මැනිකක් ලඟ කනාමැදිරියෙක් ගානයි
ආදරේ තරම් හැමවිට විකිනෙනා යමක් තියෙයිද....

ලමැද වසා ඇති සළුව ගිලිහිලා


ලමැද වසා ඇති සළුව ගිලිහිලා
ලයට දැනෙන සුව සොය සොයා...
කුමට පිපෙනු හෙන්දිරික්ක මල් 
සවස මියෙන්නට සවස පිපී........

විසුල කුසුම් දැක හිනැහෙනු බැහැ අද


විසුල කුසුම් දැක හිනැහෙනු බැහැ අද
හෙට දින පරව යතැයි දැනුනා.......
සුරත් පියුමක සිත රඳවනු බැහැ අද
හෙට දින මිලින වෙතැයි දැනුනා.....

මරණ මංචකයේදී.... මගේ....



මරණ මංචකයේදී.... මගේ....
කැඳවුවා මා ප්‍රථම බිරිඳ...මගේ...
මගෙ මුළු දිවියම නුඹට සැලකුවෙමි
දැන් මා පරලොව යන්ට බියෙන් වෙමි
එනවා දෝ නුඹ මා සමගින්....
(රවා බැලූ ඇය මුරන්ඩු හඩකින්)
(එක අඩියක්වත් නොසෙල්වෙමි.....................)

සබඳ මේ දුක් ගින්දරෙන්


සබඳ මේ  දුක් ගින්දරෙන්
ඇවිලෙනා දිවි චිතකයේ...
මිදෙන්නට නම් මිදී යන ලෙස
පලක් නැහැ පැතුමන් වලින්...

Friday, 8 November 2013

තනිකමක ඇති සුවමිහිර


පෙනුනත් රූපයම
කැඩපතට හැඳිනිය හැකිද පසුදින..
ඇසුනත් මුදු වදන
සුලගට මුමුනනු හැකිද හමාගිය....

Wednesday, 6 November 2013

බලා සිටියා මදෑ අහස තරමට සිත දිගු උනත්..


සීතලයි මේ සඳත් සඳඑළියත්...
ඔළිඳ ඇට පැහැයෙන් දිලෙයි 
සුසානයත් සොහොන් කොතත්...
වළ දැමූ නුඹ නොඑන බවනම් ස්ථිරයි නියතයි..
ඒත් ඇයි මම මෙතනම????තවත් දිගුකලක්...

Saturday, 19 October 2013

අරුත් නොම දැන



නුදුරු දිනයක ලඟදිම
නොකියා යන්න සිදුවෙද
සැඟවී සිටින හැමදෙන
ගෙනෙන සැඟඋනු 
අරුත් නොම දැන.......


සඟවන්නට කිසිත් නැති කල
බිය අතැර ඉන්ට හැකි ලෙස
කවුළු දොර පියන් හැර
සීත මඳනල පවා වැද යත...

සිල් නම් සංවරයයි
සංවරය නම් නිසැක බවමයි
නිසැක බව නම් සත්‍යයි
සත්‍යය ඇති විට බියක් නොදැනෙයි...

-jayantha Colombage-

Saturday, 12 October 2013

සිහිවටන පෙලක් විතරයි



සිහිවටන පෙලක් විතරයි
මතකය...
ගරා වැටුනු නටඹුන් නුවරක්
මතකය..

Monday, 7 October 2013

මිරිඟුව ජලය ලෙස දුටුවද මද්දහනේ


දුටුවා බොහෝ කලකට පසු ඔබෙ    රූපේ
සිටියා දෙදරු මව ලෙස ඔබ   සන්තෝසේ
රට දුර උනත් හැද සිටි ඔසරිය බොහොසේ
සිතුනා ලඟම සිටිනා බව          මහේශියේ

Wednesday, 2 October 2013

ව්‍යාධියෙන් මුසපත් වීමි


පැන් තොටට යන්නට
මට පාර කියා දෙන්න...
(ආනන්දය මට ක්ලාන්තයි...ආනන්දය මට පිපාසයි)
බුදු වදනද සිහිපත් වෙයි එවිට...
අසරණයි....ව්‍යාධියෙන් මුසපත් වීමි
(කච්චි යාපනීයං) බුදු වදන ඇසෙයි මට..
කිමද යැපෙන්නට හැකිද???
අසරණයි....ව්‍යාධියෙන් මුසපත් වීමි 
බැලූ බැලූ අත වාලුකා තලයයි
බැලූ බැලූ අත මිරිඟු තලයයි
ඉහට උඩින් මාරුතයයි
දෙපයට පොලොව ඉරිතැළුනු නියඟයයි..
ලැව් ගිනි නැගෙන මහ වනයයි...
සැඩ නපුරු වන සතුන් 
දත් විලිසාගෙන.....
පැන් තොටට යන්නට
මට පාර කියා දෙන්න...
(ආනන්දය මට ක්ලාන්තයි...ආනන්දය මට පිපාසයි)
බුදු වදනද සිහිපත් වෙයි එවිට...
අසරණයි..
-jayantha Colombage-


Sunday, 29 September 2013

කිසිවක් නියත නැති දිවියක අරුත කිම

\
නෑදෑ කමට ගොම්මන ගෙන විත්   අඳුර
පාලුව පිරිනමනවද සිතිවිලි           අතර
මළහිරු රැස් දහර දියවී යයි         එතෙර
හැඩ රුව බලනවද සෙවනැලි ඝන  අඳුර

Friday, 27 September 2013

නියඟල මල මත දෙතොල තබන්නෙමි


සමාවෙයන් ඇස කඳුලක් වී මා
නුඹේ ලොවේ දොර කවුළු වැසූවට...
සමාවෙයන් ඇය මාරුතයක් වී
මගේ ලොවේ දොර කවුළු නැසූවට...

Thursday, 26 September 2013

සිත නුඹේ දේදුන්නට ගොස් වගේ



සිත නුඹේ දේදුන්නට ගොස් වගේ
පාට දැක දැක නෙතද රැවටුනා වගේ...
දුකට තනිකම පාලු කපනා අන්ධකාරයෙ මන්දිරේ
යහන පිට හිඳ කටින් පිඹලා පහන් නිව්වද කළුවරේ..

Sunday, 8 September 2013

කුමන අරුතක් සොයන්නද


මා සෙවූ අරුත වෙනුවට
     නුඹේ ඇසිපිය සෙලවුනා
මා සෙවූ අරුත වෙනුවට
      නුඹේ දෙසවන නෑසුනා
මා සෙවූ අරුත වෙනුවට
       නුඹේ මුව ගොළු උනා
මා සෙවූ අරුත වෙනුවට
        නුඹම නොපෙනී ගියා....

Friday, 6 September 2013

සාගර ජලය තරම් සිත හැඬුවට


හීන් හඬින් පිනිපොද විසිරෙයි
ලා දළු පත් මත ලතැවිල්ලෙන්
හිරු පෑයූ කල සමුගෙන යන්නට
ලාපත් සිප සිප සිඹ සැනසෙයි...

Monday, 2 September 2013

බැමි


අතොරක් නොමැතිව
ගලන ගඟෙක දිය
දෝතට ගන්නට සිතුවා නම්...

ශෝක හුළ අග


ශෝක හුළ අග
වේදනා ගිනි
දැවි දැවී යන
අරුමයේ.......

Saturday, 17 August 2013

අරුමය විහිදා බලා සිටියි


ජීවිතේ...ජීවිතේ....
මිහිරි සුවය දෙන අසුරු සැනකට
ඊලඟ මොහොතේ කණපිට පෙරලෙන
දිගු කලක් ඒ සුවයම දුකදෙන
මීපැණි තැවරූ දැලිපිහියක් සේ..
ලොවන විටදි තොල් කැපී කැපී යන..
අරුමය විහිදා බලා සිටියි...

අරුත් සුන් දේ අරුතින් පුරවා
දුකින් වැසුනු දේ සැපයෙන් පුම්බා..
අනියත දේ නියතෙන් රස ගන්වා
අහිමි දේ හිමි ඇති ලෙස රවටා...
විඳින විටදි දුක සැපයෙන් සඟවා
මොහොතක සුවයෙන් මත්වී බමවා
අරුමය විහිදා බලා සිටියි..

දෙතොල පිපාසෙට කරදිය හුරු කොට
සදා නොනිමි දිය පවසක් සාදා...
අසන දකින ගත පහස විඳින ලෙස
මරුවා සාදන උක්දඬු ගින්නෙන්
නොතින් ආශා සීතල සුළඟට
තපිනා ගිනිමැල නිරතුරු සොයනා
ඒ ගිනිමැලයෙහි නිරතුරු දවනා
අරුමය විහිදා බලා සිටියි...


යම් මතු දිනයක


නිවාගන්න ඔය වෙහෙස ඔබේ
මා යන්නම් හති වැටෙන ඉසව්වට..
බර උසුලාගෙන
වන්දනා ගමනේ..
නටබුන් පුරයක
පාළු ඉසව්වක..

දෙවියන් නැති දෙවොලක් අභියස
කිසිවකු නිවා දැමූ
තෙල් පහණක් ඇති පූජාසනයේ
මල් පරවී ඇත..

මේ දෙවොලේ ඔබ දෙවියන් අයැදියි
වග වලසුන් ගෙන් 
මිදී සිටින්නට
හුදෙකලාවම..

යන්නට ඇති මග 
මගේ දෑස්  ඉදිරියේ..
තනිව යන්නට නොහැකි වූවත්
ඔබත් එහි නොඑනා නිසා..
ඔබේ දෙවියන් සමග ඉන්නට
ඔබට ඉඩදී..
මා යන්නම්...
අනතුරේ..

‍දෙවියන් නැති බව
යම් මතු දිනයක
සිහිපත් වී ඔබ නැවත හැරෙන විට
මා ආ මාවත
වනය විසින් අවුරා තියේවිද??

වෙනස් නෙවෙනා යමක් සොයමින්


නෙළුම් පතෙක වැටි දිය බිඳුවක් සේ
නොතැවරී හැලිලා...
නිම් නැති අහසේ පෑ දේදුනු සේ
නොනැවතී මැකිලා...
යන්ට නම් ඇයි හමුවූනේ...ඇයි
වෙන්ව යන්නට එක්වූයේ...

සනාතන දහමක ඉදන්
අනාථව දිවි සරණ තුරා
අසරන සරණය ඔබෙන් ලැබේවිද
ඔබත් මෙලොව අසරනව නිසා...

තිර දෙයක් මුණ ගැහෙයි කියා
නොතිර දේටම සිත ගියා
වෙනස් නෙවෙනා යමක් සොයමින්
වෙනස් කම තුලටම වෙලා...

Saturday, 20 July 2013

අර්ධ සත්‍යය




රැය සුන්දරයි පවනැල් රළ සුවිනීතයි
මුදු එළියයි තාපයෙ දැල් නොසමීපයි
නෙත නිදිබරයි නුඹෙ රුව නම් අඩමානයි
එලෙස පෙනෙන රුව දැනෙන්නෙ හිත පිණිසයි..

බඹසර


විලි බිය සිඳගත් 
සඳ දෙව් දියණිය
වළා දුහුල් පට මුදා නිරුවතින්...
අනන්ත අහසේ 
සරන විලාසෙන්..
අසංවරවූ සිතිවිලි අවුදින්
සය දිසාවෙන් ගලා ගලා...

මා සිත දවා


මා සිත දවා
ඒ මත හොවා
මගේ කය අලු කල
චිතකය ඔයා...

Thursday, 11 July 2013

ඔබ හමුවන තෙක් මම


ඔබ හමුවන තෙක් මම
ලෝකය දුටුවේ....මගෙන් දුරස් වූ
දෙයක් කියා....
ඔබ හමුවූ පසු මම
ලෝකය දුටුවේ....මගේ තුලම වූ
දෙයක් කියා....
ඔබ හමුවන තෙක් මම
ලෝකය දුටුවේ...සැප ගෙනදෙන
සැප තැනක් කියා...
ඔබ හමුවූ පසු මම
ලෝකය දුටුවේ...දුක මත පිහිටිය
දෙයක් කියා....
ඔබ හමුවන තෙක් මම
ලෝකය දුටුවේ...සියල්ල ස්ථිර
දෙයක් කියා....
ඔබ හමුවූ පසු මම
ලෝකය දුටුවේ...සියල්ල අනියත
දෙයක් කියා....
ඔබ හමුවන තෙක් මම
ලෝකය දුටුවේ..මටම අයත් වූ
දෙයක් කියා...
ඔබ හමුවූ පසු මම
ලෝකය දුටුවේ....මමත් මට අහිමිවු
දෙයක් කියා..

Sunday, 9 June 2013

අවසඳ අඩසඳ කළුවර


මතක සුවඳ තවරාලා
රෝස මලෙක අමුනාලා
කඳුළු පිනි වලින් දෝවා
එවමි සුසුම් මදනල හා....

Thursday, 6 June 2013

සසර හුරු සුවයක් ගලාලා



තරු අතර සැරි සරයි මගේ සිත
ඒ තරු අතර තවමත් සිටිනව වගෙයි ඔබ...
තරු අරුන්දතිය මුමුණයි සෙනෙහසින් කව
ඒ මිමිණිල්ල ගීතයක් වාගෙයි මට....

වළා රොදකට මුවා වන විට
සුපුන් සඳ ලඟ පහන් තරුවකි ඔබ
ඈත සිතිජයෙ ගිලන් හිරු ලඟ
කුමට ලත වෙනවද ඉරබටු තරුව..

කාල  යානාවකට නැගිලා
බොහෝ දුර කතරක් ගෙවීලා
ජීවිතයෙ නැවතුම් පොලක් ලඟ
සසර හුරු සුවයක් ගලාලා



Saturday, 25 May 2013

පියවිලි වසාගෙන


පියවිලි වසාගෙන
ලෝකය අතපත ගාන
පියවිලි වසාගෙන
සිතිවිලි ප්‍රසූත කරවන
අන්ධකාරයේ.....
එළියට බියපත් නිසාද
දැල්වෙන පහන්සිළු කටින් පිඹ
නිවා දමනු යේ....
කවුළු පියන්පත් වසාගෙන
යතුරු සිදුරෙන් .....
ඇසක් වසාගෙන එක් ඇසකින්
ඇයිද ලොව දක්නට
වෙහෙසෙන්නේ....
යතුරු සිදුරට වඩා
ලෝකය පුළුල් බව
ඇයි කිසිවිටෙක
නොසිතූවේ.......

නිවෙන්නට මේ රුදුරු ගිනිකඳ


නිවෙන්නට මේ රුදුරු ගිනිකඳ
වසින්නට මහ සිසිල් වැස්සක්
නිලංකාරවු අහස් කුසටම
හැර කොහෙන් පිලිසරණක් සොයන්නෙම්...

කල්ප ගනනක් වියලි කතරක
වැතිර උන්නා සේ දැනේ..
කල්ප ගනනක් නිසරු කතරක
දෙපා ගෑටුවා සේ දැනේ....

කල්ප ගනනක් අන්ධ දෑසින්
ලොව අඳුර දුටු සේ දැනේ
කල්ප ගනනක් බිහිරි දෙකනින්
කිසිත් නෑසුව සේ දැනේ....



නිවී පහන් වී සිත්


නිවී පහන් වී සිත් 
සුවපත් වේවී.....
නිවී දිලෙන තරු රෑනෙන්
පාලොස්වක සඳ ඒවි..
වෙසක් සඳේ මුදු කිරනින්
මෙත් මුදිතා ගලා හැලෙයි
නිරන්තරේ වන වදුලේ
වනමල් මුනිඳුටම පිපේ...

හදකුටියේ සන්තාපය
මුනි බණ පද වලින් නිවේ...
නෙතින් ගැලුව කඳුලු දහර
සිල් සිසිලෙන් නිවේ නිවේ..
නවතන්නට බැරි අහසේ
වලාපෙලක් පාවෙනවා..
දුක් දොම්නස් පහවී ගිය
සිත සැනසී නැලැවෙනවා...

වෙසක් අසිරියෙන් ලෝකය
දෙ‍නෝදහක් සැනසෙනවා

Sunday, 12 May 2013

දම්සිළු ගියා නිවී


                                       
                                                 
කුසිනාරාවේ සල් අතු දුකින් නැමී
අතුඉති අද්දර සල්මල් දුකින් වෙලී
පුහුදුන් දන මන සෝසුසුමන් දැවටී
දරාගත නොහී
පොලොවද කම්පා වී...
ලොවම එළිය කල
දම්සිළු ගියා නිවී....

චංචල ඉඳුවර




චංචල ඉඳුවර 
අසලම නතරව
සැලෙන පියවිලි
නගන මැසිවිලි
නොබා නුඹ නෙත
බවුන් වඩනට
බැඳ තබයි නෙත
ඉසිවර දැහැනට

නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල


නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල
වෙරළ සිප සිප ඉකිබිඳින විට
සීත මඳනල සුසුම් නග නග
මියෙන හිරු වෙත පිය නගන්නිය..

Sunday, 14 April 2013

සමුගන්න අවසරයි..

සැබෑ සුවඳක් නොමැති
අතීතයේ...
සිතක දෑලවර මැදින් ගලාගිය
කවිය නමින් වූ ගංගාවේ..

Saturday, 13 April 2013

බලා උන්නා



පවුරු බැඳන් කවුළු පියන්
විවර කරන් නෙතු දැහැන් තුලින්
බිදුනු සිතින් හිරු අවර ගිහින්
සිහිවෙනවා ආ මග සසරින්....
 
සිතේ උන්නා සසර පුරා ආ විලසින්
සසර පුරුද්දක් පැතුවා සිහිවිකල ලෙසින්
දැනුනා අවසන හමුවී නැති බව
සසරේ කවදාවත් මින් පෙරදා...

බලා උන්නා සුවපත් වේය කියා

ගතසිත නිවනා පැතුවා මඳපවණක් ලෙසින්
මහාමේඝයක් හැමුවා දසඅත
විසුනු කරන්නට මෙන් මුලු ලෝකය

Tuesday, 2 April 2013

මහේශිකාවී







ඈත හිමේ...එහා ඉමේ
හිඳිනා ඔබ මා හදවත රිදවන
මහේශිකාවී...
ගයා විරහ ගී තුන්කල ගෙවුනත්
නෑසෙන සේ ඔබ බලා හිඳීවි...
මහේශිකාවී.....

Sunday, 31 March 2013

ඇහෙනවද මහ මුහුද හඬන හඬ



ඇහෙනවද මහ මුහුද හඬන හඬ
ඇහෙනවද මා සිත බිඳෙන හඬ
පෙනෙනවද මහමුහුද සිඳෙන හැඩ
පෙනෙනවද මගෙ කඳුළු ඉවර බව...

Monday, 25 February 2013

වැහැපන් වැස්ස

වැහැපන් වැස්ස
දෙගොඩ තලන්නට..
තවත් ඉතින් කිසිවක් නැහැ ඉතිරිව
ගංවතුරට ගහගෙන ගෙන යන්නට..

සෙව්වෙමි හැමතැනම



සෙව්වෙමි හැමතැනම

ගිරිශිඛර ගල් පර්වත

Wednesday, 20 February 2013

යාත්‍රාව ගිලී යයි.





The Ship 
will sink
when there are
too many passangers..
මමද ඒ යාත්‍රාවට
ගොඩනැගුනෙමි මගියෙක් විලස

Thursday, 7 February 2013

දුකම පමණයි...




ඔබේ රිදවුම්....


පණනල සැලෙන සේ
මඳනල හමා විත්
නිවෙන්නට ලඟ
පහණක සිලක් සේ
මගේ සිත කය වෙවුලුවයි..
කිසිදා නොමැති තරමට
මගේ සිත
ස්නේහයෙන්....
ආදරයෙන්......
කරුණාවෙන් ....
ඔබේ රිදවුම් ඉවසයි..
ඔබේ රිදවුම් ලඟ
වැතිරෙයි...

Monday, 4 February 2013

අඳුර තුල නුඹ....


අඩසඳ නුඹයි අවසඳ ලඟයි
පුරපස ගෙවී යන සිහිනයේ..
සඳ නැති රැයයි කළු මැදියමයි
අඳුරට ඉතින් ඇයි පෙම් කලේ..

පහණක් අතින් ගෙන ආවමුත් මම
පහණ නිව්වා කටින් පිඹලා
අඳුර තුල මේ තරම් සැනසිලි
නුඹට ඇතිදැයි සිතන්නට බැහැ..