රූපය සහ මායාව - ධර්මය සහ ජීවිතය - 18 කොටස

 

                              photo credit - https://www.pinterest.com/

ජීවිතේ මහා පුදුමාකාරයි. අපට මේ ජීවිතයේ ඇත්ත හොයන්න ගියාමයි තේරෙන්නෙ, ඇත්තටම ජීවිතේ ඇත්තක් තියෙනවද කියලා. හැමතැනම මායාව. අග ඉඳන් මුලටත්,මුල ඉඳන් අගටත්, මහා පඹගාලක් වගේ දැනෙන්නෙ. එතකොට හිතෙනවා උපතේ සිට මරණය දක්වා මේ පඹගාලේ පැටලුනාම ලිහාගන්න දරන උත්සාහය නේද ජීවත් වෙනවා කියන්නෙ කියලා. 

මේ පඹගාල ලෙහාගන්න සමත් වෙච්ච කෙනෙක් අපට හම්බ උනාද කියල හිතල බැලුවම ඒකත් පඹගාලක් වගේ.අපිත් එක්ක එකට ජීවත්වෙලා මැරිල ගිය අම්මා තාත්තා සහෝදර සහෝදරියො නෑදෑයො, යාලු හිතමිත්‍රයො දන්න නොදන්න  හැම කෙනාම පඹගාල ලිහාගන්න කියල කරල තියෙන්නෙ තව තවත් පඹගාලෙම පැටලිලා බෙල්ල හිරවෙලා මැරිල ගිය එකයි. 

හැබැයි මේ පඹගාලෙන් ගැල උන අයත් නැතුවා නෙවෙයි. ඒ තමයි බුදු,පසේබුදු, මහරහත්, සහ  ආර්යය ශ්‍රාවක උත්තමයන් යැයි සම්මත  අය . එයාලා නම් මේ පඹ ගාලෙන් ගැලවිලා ජීවිතේ ඇත්ත හොයාගත්තා. පඹ ගාලෙන් මිදුනාම දැනෙන සැනසීම එයාලා අත්වින්දා. අත්වින්ද ඒ දේ කිසිදු සැඟවිමක් නැතිව ලෝකයා හමුවේ  ඉදිරිපත් කරනු ලැබුවා. එයාලා කිව්වා ඔය පඹගාලත් මායාවක්. පටලැවිල්ල සහ දුක  හැර වෙන කිසිදෙයක් ඒක ඇතුලෙ නැහැ කියලා. 

ඒත් කණගාටුවටද පසුතැවිල්ලටද  කාරණය වන්නේ ඒක තවමත් අපට තේරෙන්නෙ නැති කමයි. අපට තේරෙන්නෙම ඒ පඹගාල ඇතුලෙ මහා වටිනාකම්  තියෙනවා කියලා. අපට තේරෙන්නෙ ඒක ඇත්තම ඇත්තක් මිසක් මායාවක් නෙවෙයි කියලා. 

ඒ හින්දා අපි මොකද කරන්නෙ.

අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡාසංකප්ප ගොචරා

නිසරු දේ අපිට පෙනෙන්නෙ සරු දේ හැටියට. සාරවත් දේ අපට පෙනෙන්නෙ නිසරු දේ හැටියට. 

පඹගාලේ පැටලුනු අපි ඉන්නෙ ඔලුවෙන් හිටගෙන නිසා. ඔලුවෙන් හිටගෙන ඉපදිලා ඔලුවෙන් හිටගෙනම මැරිල යන අපට ඉතිං හැමදේම කණපිටට පෙනෙන නිසා කොහෙන්ද හරි දැක්මක්. ඒ නිසා සාරවත් යමක් හොයනවා කියලා හොයලා තියෙන්නෙම  නිසරු දේ ජීවිතයට එක් කරගන්නට මැරිලා යනතුරු වෙහෙස වෙන එක. කොහොමද ඒක එහෙම වෙන්නෙ??

දුක ඇති දේ පෙනෙන්නෙ සැපයි කියලා.
අනිත්‍ය දේ පෙනෙන්නෙ නිත්‍යයි කියලා.
අනාත්ම දේ පෙනෙන්නෙ ආත්මයි කියලා.
පිළිකුල් දේ පෙනෙන්නෙ සුභයි මිහිරියි කියලා.

ඉතිං එහෙම පෙනෙනකොට මේක පඹගාලක්ම නේන්නම්. එහෙම නූනොත් නේද පුදුමය. දැන් බලමු අපි  කොහොමද මේකෙ පැටලෙන්නෙ කියලා.

                                   photo credit - https://www.pinterest.com/

සැපයි කියල පෙනෙන හිතින් හදාගෙන බලන හැමදේම අපට ගෙනත් දෙන්නෙ දුකමයි. ඇයි ඒ? දුක දේ පෙනෙන්නෙ සැප හැටියට නිසා. සැපයි කියල පෙනෙන්නෙ මිරිඟුවකට කියල අපට දැනෙන්නෙ නැහැනෙ. ඉතිං සැප නැති තැනක අපි සැප හොයනවා. බලාපොරොත්තු වෙනවා. පතනවා. අපේක්ෂා කරනවා. නමුත් ලැබෙයිද? නැහැ. ඇතැයි පෙනෙන සැප තියෙන තැනට ලංවෙනකොට, ඒ්වා සමීප කරගන්න කොට ඒ්වා ඈතට යනවා. ගිහිං ඒතැන ඉඳන් පෙන්වනව ඔතන නෙවෙයි මෙතැනයි සැප කියලා. ඊටපස්සෙ ඔලුව ගිනිගත්ත වගේ ඒතැනට යනවා සැප හොයාගෙන. ඒ් ගියාමත් ඒ් ඈතින් දුටුව සැප තවත් ඈතට යනවා. තියෙනවා කියල  පෙන්වනවා විතරයි. විඳින්න ගියාම ඒතැන නෙවෙයි වෙන තැනක් පෙන්වන්නෙ. ඉතිං ඊට පස්සෙ කියනවා මොන දේ කලත් දුකම නේද කියලා. මොන දේ කලත් දුක නැහැ. සැප ලැබෙන දේ කලාම සැප ලැබීම නියතයි. නමුත් අපි කරල තියෙන්නෙ ඔලුවෙන් හිටගෙන බැලුවාම පෙනෙන කණපිටට රැවටිලා නැති දෙයක් ප්‍රාර්ථනා කරපු එක නේද? එහෙනම් විකෘතියකට මායාවකට රැවටිලා නේද මේ පඹගාල ඇතුලෙ ඉන්නෙ.

මේක හරියට පළඟැටියා ගිනිදැල්ලට ඇදිල යනවා වගේ. ඌට ගින්දර පෙනෙන්නෙත් සැප ඇති විදියටනෙ. ඒ නිසා ඌ සැප සොයාගෙන ගින්දරට ඇදිලා යනවා. පළගැටියා තමන්ව පිලිස්සෙන බව දැනගන්නෙ පිළිස්සුනාට පස්සෙයි. කකුළුවා සීතල වතුර පිරිච්ච හැලියක මහා සතුටකින් බාල් නට නටා ඉන්නවා සැපයි කියලා. හැළියට යටින් තියෙන්නෙ ලිප කියල ඌ දන්නෙ නැහැ. ලිපේ තියෙන්නෙ ගින්දර කියලත් ඌ දන්නෙ නැහැ. වතුර සීතලෙන් තියෙන තාක් ඌ හිතනවා ඒ සැප නිත්‍යයි කියලා. සදාකාලිකයි කියලා. ඒත් ලිප දැල්විලා වතුර නටන්න පටන් ගත්තාම තමයි කකුළුවාගේ බාල් නැටුම අවසන් වෙන්නෙ. අපිත් එහෙමයි. 

                                    photo credit - https://www.pinterest.com/

මීට පෙර පලවූ දහම් ලිපි 17 තුලදී ගැඹුරු ධර්මයේ මූලික කාරණා සැකෙවින් සාකච්ඡා කරනු ලැබුවා. ඔබ එම ලිපි මෙතෙක් පරිශීලනය කොට නැත්නම්, මෙම බ්ලොග් අඩවියේ ධර්මය සහ ජීවිතය නමින් පලවූ පෙර ලිපි 17 කියවා බලන්න. එහි පලමු ලිපියට මෙතැනින් පිවිසෙන්න. 

‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;
“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.
“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.”
බහුධාතුක සූත්‍රය - මජ්ජිම නිකාය-

ඒ නිසා ධර්මයෙහි සඳහන් ස්කන්ධ පහ ගැන හොඳ වැටහීමක් දැනුමක් නොමැතිව මෙතැනින් ඉදිරියට ගැඹුරු ධර්මය ජීවිතයට බද්ධ කරගැනීමට හෝ සංසාර ගමන කෙටිකරගන්නා මාර්ගය වැඩීම සඳහා  පිවිසීම දුෂ්කර හෙයින් මෙම ස්කන්ධ ධර්මයන් ගැන  අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ නිසා මෙතැක් පටන් ස්කන්ධ ධර්මයන් පිළිබඳව ප්‍රමාණවත්  විග්‍රහයක් ගෙන  එන්නට බලාපොරොත්තු වන අතර මෙම ලිපියෙන් එහි මූලික හැඳින්වීම සිදු කෙරෙනවා. අභිධර්ම පිටකයෙහි එන මෙම රූප කාන්ඩය අතිවිශාල විස්තර කිරීම් සහිතව තිබෙන ඉතාම ගැඹුරු ඉගැන්වීමක් වුවත්, එහි මූලික කාරණා පමණක් සැකෙවින් ගෙන සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. 

ස්කන්ධ පහ යනු මොනවාද
" පඤ්චක්ඛන්ධා - රූපක්ඛන්ධො ,වෙදනාක්ඛන්ධො ,සඤ්ඤාඛන්ධො , සංඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො"
ස්කන්ධ පහ හෙවත් පඤ්චස්කන්ධය යනු කුමක්ද
1.රූපස්කන්ධය
2.වේදනාස්කන්ධය
3.සංඥාස්කන්ධය
4.සංඛාරස්කන්ධය
5.විඤ්ඤාණස්කන්ධ
මෙම පඤ්චස්කන්ධය පිලිබඳව අවිද්‍යා සහගත පෘතග්ජන මනස විසින් මේ මමය, මගේය, මගේ ආත්මය කියා සංකල්පමය වශයෙන් දැඩිව අල්ලා ගැනීම නිසා ඇස තුල, කණ තුල, නාසය තුල, දිව තුල, කය තුල, මනස තුල හටගන්නා පඤ්චස්කන්ධය සත්ත්වයෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් ආත්ම වශයෙන් ගැනීම අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂනයක් වෙනවා. අවිද්‍යාව හෙවත් වැරදි ආකාරයට දැක, වැරදි විදියට තදින් අල්ලා ගැනීම නිසා සත්ත්වයා දිගින් දිගටම සසරේ ගමන් කරනවා. තවත් කෙටියෙන් කිවහොත්, දකින්නේ මමය, අසන්නේ මමය, දැනෙන්නේ මටය, සැප දුක් විඳින්නේ මමය, සිතන්නේ මමය, දැනගන්නේ මමය ආදී වශයෙන් ඇසෙන, පෙනෙන, දැනෙන, දැනගන්නා ක්‍රීයාවලිය තුල ආත්ම දෘශ්ඨියක් ඇති කරගෙන උපතේ සිට මරණය දක්වාම මේ අනාත්ම ක්‍රියාවලිය මම මගේ කොට ගැනීම සිදුකරනවා. ඒ වරද නිවැරදි කර ගැනීමමයි මේ සද්ධර්මය අනුගමනය කිරීමෙන් සිදු කරගත යුත්තේ. ඒ වරද නිවැරදි කරගන්නට නම් මේ පඤ්චස්කන්ධ ධර්මයන් මනාව තේරුම් ගත යුතු වෙනවා. 
මේ රූපය මමය, මේ රූපය මගේ ආත්මයය, මේ රූපය තුලයි මගේ ආත්මය තිබෙන්නෙ, මගේ ආත්මය තුලයි රූපය තිබෙන්නේ කියා අවිද්‍යා සහගත මනස නිරන්තරයෙන් බැස ගෙන සිටිනවා. එසේ දැඩිව සංකල්ප වශයෙන් මනසින්  මේ රූපය අල්ලා ගැනීමට " රූප උපාදානස්කන්ධය" කියා කියනවා. එතකොට අනාත්ම වූ රූපස්කන්ධය, ආත්ම දෘශ්ඨිය සහිත  රූපඋපාදානස්කන්ධය බවට පත්වන්නේ ඒ අයුරින් බව සරළව වටහා ගන්නට සුදුසුයි.එතකොට දුක හෝ සැප තිබෙන්නේ රූපස්කන්ධයේ නොව ආත්ම දෘශ්ඨිය තුල පිහිටි රූපඋපාදානස්කන්ධය තුල බව වටහාගත යුතු වෙනවා. 
ඇසෙන් බලා යම් රූපයක් කෙරෙහි යම් විශේෂ ආශාවක්, යම් විශේෂ කැමැත්තක්, යම්  විශේෂ ඇල්මක්, යම් විශේෂ බැඳීමක් ඇති උනොත්, එතැන රාගය හෝ ලෝභය  ඇතිඋනා කියා කියනවා. එතකොට ඒ විශේෂ බැඳීම අත්නොහැර අල්ලා සිටීම පඤ්චඋපාදානස්කන්ධයේ ලක්ෂණයයි. එක්කෝ ඒ රූපය ගැන, එහෙම නැත්නම් ඒ රූපය අරභයා හටගත් විඳීම ගැන, නොඑසේනම් ඒ රූපය සහ විඳීම ගැන හටගත් හඳුනාගැනීම හෙවත් සංඥාව ගැන, නොඑසේනම් ඒ රූපය ඒ විඳීම ඒ සංඥාව නිසා ඉපදුනු චේතනා සිතිවිලි බලාපොරොත්තු ගැන ඒ ගැන පහළවූ සිත ගැන තදින් අල්ලාගෙන බැඳීයාම පඤ්චඋපාදානස්කන්ධයයි. නාසයටද කණටද දිවටද කයටද මනසටද මේ න්‍යායය එසේමයි. ඒ වගේම යම් රූපයක් කෙරෙහි අකමැත්තක් යම් අප්‍රිය අමනාපභාවයක්, තරහක් වෛරයක් ක්‍රෝධයක් භයක් දුකක් හටගනියිද, එය අත්නොහැර තදින් අල්ලාගෙන සිටියිද එයද පඤ්ච උපාදානස්කන්ධය බව දැනගත යුතුය.

රූප ස්කන්ධය යනු කුමක්ද
රූපස්කන්ධයට පෙර රූපය කුමක්දැයි දැනගැනීම ඉතාම වැදගත්. රූපය යනු සතරමහා ධාතුවත්, සතරමහා ධාතුව ඇසුරු කරගෙන, සතරමහා ධාතුව ප්‍රත්‍යය කරගෙන පවතින උපාදාය රූපයත්ය.එතකොට මෙහි ප්‍රධාන වෙනස් කම් කීපයක් ති‌බෙනවා. ඊට පළමුව සියලු රූප අපට හමුවන තැන් හෙවත් එකොලොස් ආකාර රූප ගැන විමසා බලමු.
1.අතීත රූප
2.අනාගත රූප
3.වර්තමාන රූප
4.ඖදාරික රූප (ගොරෝසු රූප)
5.සියුම් රූප (සුඛුම රූප)
6.අධ්‍යාත්මික රූප
7.බාහිර රූප
8.හීන රූප
9.ප්‍රනීත රූප
10.දුර රූප
11.ලඟ රූප
මේ සියලු අවස්ථාවන් නියෝජනය වන බැවින් ඒ ඒ තැන්වල යෙදෙන රූප සමූහයට රූපස්කන්ධය යනුවෙන් කියනවා. එතකොට ඒ ඒ අවස්ථාව අනුව ඔය එකොලොස් තැනේදී අපට රූප හමුවෙනවා. හොඳින් මතක තබාගත යුතු කරුණක්  නම් ඔය එකොලොස් තැනේදී රූප හමුවෙනවා කිව්වාට රූපය විතරක් තනිවම හමුවන්නෙ නැහැ. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ඉතිරි ස්කන්ධ ධාතූන්ද ඒ සමගම ඒ ඒ එක් එක් රූපය සමගම නියෝජනය වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ධර්මයන් පහ පනස්පස් ආකාරයකට හමුවෙනවා. 

එතකොට අතීත රූපය කිව්වාම කෙටි අදහසක් හැටියට මෙසේ ගන්නට හැකියි.අතීත කියන වචනය අනුවම ඒ අදාල රූපය අතීතයට අයිතියි කියන හැඟීම තිබෙනවා. එතකොට වර්තමාන භවයට කලින් භවයේ හෝ වර්තමාණ ක්ෂණයට කලින් ක්ෂණයේ තිබී ඉකුත්වූ, අභාවයට ගියාවූ දැන් නොතිබෙන එහෙත් කලින් තිබුනු රූප තියෙයි නම් ඒ සියල්ල අතීත රූපයි. තත්පර කීපයකට කලින් හටගත් රූපයද මේ තත්පරයේදී අතීත රූපය නම් වෙනවා. 
අනාගත රූප කියන්නෙ තවම නූපන්, තවම යථාර්ථයක් නොවූ ඇස ඛන නාසය දිව කය හමුවට නොපැමිණි එහෙත් ධම්මායතනය හෙවත් මනස තුල හටගත් රූපය අනාගත රූපය නම් වෙනවා. 
වර්තමාන රූපය කියන්නෙ ඇස කණ නාසය දිව කය හමුවට මේ දැන් මේ මොහොතේ මේ ක්ෂනයේ පැමිනෙන රූප වලට. 
ඖදාරික රූප හෙවත් ගොරෝසු රූප දකියන්නෙ චක්ඛායතනය(ඇස) සහ රූපායතනය(රූපරූප,ශබ්දරූප,ගන්ධරූප,රසරූප ආදිය), සොතායතනය(කණ) සහ සද්දායතනය(ශබ්දය), ඝානායතනය(නාසය) සහ ගන්ධායතනය(ගන්ධය), ජිව්හායතනය(දිව) සහ රසායතනය(රසය), 
සියුම් රූප හෙවත් සුඛුම රූප  යනුවෙන් හැඳින්වෙන්නෙ ආකාශ ධාතුව,ආපො ධාතුව, ඉත්ථින්ද්‍රිය,පුරිසින්ද්‍රිය,ආදිය.(මේවා පිලිබඳව දීර්ඝ විස්තර ඇතත් සියුම් රූප ගැන  යම් දළ අදහසක් ගැනීමට ඒ උදාහරණ ප්‍රමාණවත් විය හැකියි)
අධ්‍යාත්මික රූප කියන්නෙ අත්තභාව පරියාපන්න හෙවත් තමන්ගේ යැයි සැලකෙන ඇස කණ නාසය දිව කය කියන පහටයි. මනස රූපයක් නොවන නිසා මෙතැනට අදාල නොවේ.
බාහිර රූප කියන්නෙ රූප රූප,ශබ්ද රූප,ගන්ධ රූප,රස රූප ආදිය

එතකොට රූපය ගැන තවත් ගැඹුරට යමෙකුට දැනගන්නට අවශ්‍ය නම් අභිධර්ම පිටකයේ තිබෙනවා සියුම් සියුම් කොටස් වලින් රූපය විග්‍රහ කරලා. එහෙත් රූපය ගැන යම් ප්‍රමාණයකට දැනගන්නට ඉහත විස්තර ප්‍රමාණවත් යැයි සිතනවා. 

                                 photo credit - https://www.pinterest.com/

රූපය සහ මායාව
න්‍යායයක් තිබෙනවා සත්‍ය වශයෙන් තිබෙන දේ අපට නොපෙනන බවත්, අපට පෙනෙ  දේ සත්‍ය වශයෙන් නොපෙනෙන බවත්. ඒක තමයි මායාව කියන්නෙ. එතකොට අපට රූපරූපයක් වේවා, ශබ්දරූපයක් වේවා, ගන්ධරූපයක් වේවා පෙනෙන්නේ ඇසෙන්නේ දැනෙන්නේ සත්‍ය වශයෙන් පවතින විදියට නෙවෙයි. මායාවෙන් ගොඩනගපු දේවල් හැටියටයි. ඇහැට රූප පෙනෙවා. ඇසට පෙනෙන මානයේ තිබෙන සියලු රූප සතරමහා ධාතූන්ගෙන් හටගත් ඒවා. එහෙම නැත්නම් කබලිංකාහාරයෙන් යැපෙන ඒවා. ඒවාට නම් නැහැ. ඒවා නම් ගැන දන්නෙත් නැහැ. එහෙමනම් ඇසද කබලිංකාහාරයෙන් යැපෙන සතරමහා ධාතුවෙන් උපන් දෙයක්. ඇසට සිතන්නට බැහැ. එහෙනම් ඇසට පෙනෙන්නේ වර්ණයක් සහ හැඩයක් විතරයි සියලු වස්තු අරභයා. දැන් මේක තමයි ඇත්තම ඇත්ත, රූපය සම්බන්ධව. නමුත් අපට පුද්ගලයන් පෙනෙනවා, ගෙවල් දොරවල් යානවාහන මිලමුදල් ඉර හඳ තාරකා ආදී සියල්ල පෙනෙනවා නම් ඒ සියල්ල කිසියම් දැනුමකින් කිසියම් සම්මුතියකින් නිසියම් ප්‍රඥප්තියකින් සකස් කල දේවල් විය හැකියි. ඒවා දකිනවා අහනවා දැනෙනවා. දකින දේ දැක්කයින් පස්සෙ ඉතිරි නැතිව නැති වෙලා යනවා ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන්. 
ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුත්ජනො අරියානං අදස්සාවි අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනිතො, රූපං අත්තනො සමනුපස්සති,රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං.
මහණෙනි ආර්යයන් නොදකින, ආර්යය ධර්මයෙහි දක්ෂ නැති, අශ්‍රැතවත් පෘතග්ජනයා දකිනවා රූපය තමයි ආත්මය කියා.එහෙමත් නැත්නම් ආත්මය තමයි රූපය කියා. එහෙම නැත්නම් ආත්මය අතුලෙයි රූපය පවතින්නේ, රූපය ඇතුලෙයි ආත්මය පවතින්නෙ කියා වරදවා හිතාගෙන ඉන්නවා.
තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිනාමඤ්ඤථභාවා, රූප විපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති.
නමුත් ඔහුගේ එම රූපය විපරිනාමය වෙනවා.වෙනස්වෙලා යනවා අනාත්මව. එතකොට මේ රූපය මමය මගේය කියා ගත් සටහන් සහිත කල්පනාවද වෙනස්වෙලා යනවා. එතකොට රූපය පෙරලීම නිසා සිතද කල්පනාවද ඒ අනුව පෙරලෙනවා. විපරිනාම වෙනවා. එතකොට සිත භයෙන් තැතිගන්නා අතරම  තන්හාවෙන් පීඩිත වෙනවා. 
- සංයුත්ත නිකාය- පඨම උපාදාපරිතස්සනා සූත්‍රය-
මෙය ඉතාම සිත්ගන්නා සුළු ඉගැන්වීමක්. මෙය මැනවින් පරිශීලනය කලොත්, නිවැරදිව වටහා ගත්තොත්, මේ රූපයේ යථා ස්වභාවය විතරක් නෙවෙයි. ඒ ගැන පෘතග්ජන සිතක ඇති ව්‍යාකූල භාවයද වටහා ගන්නට හැකි වෙනවා.
ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුත්ජනො රූපං -  එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා"ති සමනුපස්සති. තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූප විපරිණාමඤ්ඤථාභාවා උප්පජජති සොක පරිදෙව දුක්ඛ දොමනස්සූපායාසා.
- සංයුත්ත නිකාය- දුතිය උපාදාපරිතස්සනා සූත්‍රය-

බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අශ්‍රැතවත් පෘතග්ජනයා කල්පනා කරනවලු මේ රූපය මමයි, මේ රූපය මගෙයි, මේ රූපය මගේ ආත්මයයි කියලා. මෙහෙම මම මගේ වශයෙන් ආත්මීය කල්පනාවක යෙදෙන එකට කියනවා "මඤ්ඤමාණය" කියලා. බිළිඳාගේ සිට ලමයා දක්වා රූපය විපරිනාමය වෙනකොට කල්පනා කරනවා ලමයෙක් උනේ මමයි. කියලා. ලමයාගේ සිට තරුණයා දක්වා විපරිනාමය වෙනකොට කල්පනා කරනවා තරුණයෙක් උනේ මමයි මගේ ආත්මයයි ඒ තුල තියෙන්නෙ කියලා. මැදිවිය, මහළු විය දක්වාම මේ මඤ්ඤමානය එලෙසම පවතිනවා. මැරෙන්නෙත් මමයි කියා අවසාන මොහොතද ඒ විදියටම ආත්ම ස්වරූපයෙන් කල්පනා කරනවා. මේ සෑම විපරිනාමීය අවස්ථාවකම ඒ ඒ අවස්ථාව අනුව රූපය පවත්වාගෙන යන්නට විඳිය යුතු දුක් සමූහය අනන්තයි. එතකොට ලමාවිය,තරුණවිය,මැදිවිය,මහළුවිය සහ මරණය කියන්නෙ සතරමහා ධාතුව සහිත කබලිංකාරාහාරය නියෝජනය කරන රූපයේ විපරිනාම අවස්ථා මිසක සැබෑ අරුතක් නෙවෙයි. ඒ්වා සම්මුති ලෝකයේ හඳුනා ගැනීම සහ දැනුම සඳහා භාවිතා කරන වචන පැණවීම් සංඥානාම පමණයි. ඒහෙම නැතිව කිසිම රූපයක ළදරුවියක් මැදිවියක් මරණයක් නැහැ. තිබෙන්නේ හට ගැනීම, පවතින කාලය තුල විපරිනාමය වීම සහ නැතිවීම පමණයි.

එතකොට රූපය අපි හදාගෙනයි බලන්නෙ. හිතේ තියෙන විස්තර ගති අනුව බාහිර රූපය හදාගෙන අපි මේ අධ්‍යාත්මික(තමන් යැයි සම්මත) සහ බාහිර රූප පරිහරනය කරනවා මිසක ඇත්තම ඇත්ත වූ සතරමහා ධාතුවෙන් උපන් කබලිංකාරාහාරයෙන් නියෝජනය වන රූපයක් පරිහරනය කරනවා නෙවෙයි. ඒකට කියනවා සංඛත රූපය කියලා.සකස් කල රූපය කියලා. මේ මුළු තුන් ලෝකයම (කාම,රූප,අරූප) සංඛතයි. සකස් කල ඒවා. නිවන  පමණයි සංඛත නැත්තෙ. ඒ නිසා නිවන අසංඛතයි.

පරමාර්ථ රූපය = සතරමහා ධාතුව+කබලිංකාරාහාරය
සංඛත රූපය    =  වේදනා සංඥා   +ඵස්ස ආහාරය
අභිසංඛත රූපය = චේතනා සිතිවිලි + මනොසංචේතනා ආහාරය
මෙන්න මේ ආකාරයට තමයි රූපය සකස් කරගන්නෙ. එතකොට නැවත නැවත සකස් කරගන්නා රූපයෙහි තමයි කර්මය තියෙන්නෙ. ඒ තුලයි කර්ම විඤ්ඤාණය පිහිටන්නෙ. සකස් කරන රූපය පිලිබඳව සිතන බවක්, චේතනා පහළ කරවන බවත් තියෙයි නම් ඒවා සියල්ල කර්ම යන ගනයට වැටෙනවා. එතකොට හොඳින් බැලුවොත් තේරේවි ඇහැ ඉදිරිපිටට ආව රූපය කවදාවත් අපිට පෙනිලා නැහැ. ඇහැ ඉදිරියට ආව සටහනට වේදනා සංඥා දෙක ඈඳාගෙන ඒ ඇසුරින් මනාප හෝ අමනාප රූපය හදල තියෙන්නෙ අපමයි. ඒ මනාප අමනාප බව තුල සිට ඊට අදාල චේතනා සිතිවිලි පහල කරවමින්  කර්ම රැස් කලෙත් අපමයි. බාහිර පරමාර්ථ රූප කිසිම දේක මනාප අමනාප බව හෝ ප්‍රිය අප්‍රිය බවක් කිසිම දෙයක් නැහැ. මේක තමයි රූපය සහ රූපස්කන්ධය ගැන කල හැකි සරළ සහ කෙටි හැඳින්වීම. එතකොට මේ මායාකාරී ස්වභාවය තේරුම් ගැනීමෙන් අප සිටින්නේ අප විසින් තනාගත් ලෝකයක් තුලය කියන දැනුම අපට ලැබෙනවා. ඇස කණ නාසය දිව කය මනස නම් ආයතන විසින් රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම කියන හතර මායිම් සහිත ලෝකයක් අපට හදා දී තිබෙනවා. මෙයින් ඔබ්බට ලෝකයක් අපට නැහැ. ඒ නිසා මේ ලෝකයට කියනවා ලෞකික කියා. මේක හරියට බිත්තරයක් වගේ. මේ බිත්තරයේ කටුව තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්භ ධම්ම කියන කාරණා.මේවා අපට හැමදාම ඇත්ත වෙලායි තියෙන්නෙ. ඒ නිසා අපි මේ බිත්තරය ඇතුලෙ ඉපදිලා ඒක ඇතුලෙම හැදිල වැඩිල ඒක ඇතුලෙම මැරිල යනවා. ආයෙමත් ඒකෙ ඇතුලෙම ඉපදෙනවා.ආයෙත් මැරිල යනවා. නමුත් ඉතාම කලාතුරකින් මේ ලෝකය තුලටම පහළවන සම්මාසම්බුද්ධ නම් උත්තමයෙක් කාගෙවත් ගුරුහරුකමක් නැතිව තමන්ගේම ඥාණයෙන් තමන්ගේම ශක්තියෙන් මේ බිත්තරයේ කටුව බිඳගෙන එළියට එනවා. ලෝකයෙන් එතෙරට ආව නිසා සම්මා සම්බුද්ධ නම් උතුමා ලෝකෝත්තර නම් වෙනවා. එතකොට බිත්තර කටුවෙන් එතෙර තවත් ලෝකයක් තිබෙන බවත්, ඒ ලෝකය තුල ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්ස කිසිවක් නැති බවත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට, බිත්තර කටුව බිඳගෙන එළියට එන්නට අවශ්‍ය මාර්ගය අනෙක් අයට කියා දෙනවා. ඒක තමයි මේ ශ්‍රී සද්ධර්මය.


මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.



Post a Comment

0 Comments