වාචානුරක්ඛි මනසා සුසංවුතා -
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්පථෙ විසොධයෙ -
ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං
රාගාධී කෙලෙස් වලින් තමන්ගේ සිත හොඳින් වසාගෙන, වචනය රැකගෙන වචනයෙන් සිදුවන අකුසල් නොකල යුතුයි. කය මනාකොට රැකගෙන කායික අකුසල කර්ම වලින් වැලකිය යුතුයි.
සිත කය වචනය කියන මේ තුන්දොරින් සිදුවන අකුසල කර්ම පථය පිරිසිදු කරගත් කෙනාට මහාමුණිවරුන් පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කල හැකියි.මෙතැන
සඳහන් වෙන්නේ දස අකුසල කර්ම පථය ගැනයි. යමෙක් සතර අපායෙන් නිදහස් වෙලා නිවන්
මාර්ගය දිගේ ගමන් කරන්නට කැමති නම් කල යුතු එකම දෙය දස අකුසල කර්ම පථය වෙනස් කරගෙන
දස කුසල කර්ම පථයට තමන්ගේ ජීවිතය ඇතුලත් කරගන්න එකයි. ඊට අමතරව නිවන් දක්නා තෙක්
සංසාරයේ ඉපිද ඉපිද මැරි මැරී යන ගමන දුතියට නොවැටි සුගතිගාමී වෙන්නට නම් දාන
ශීලාදී පින්කම් කරන්නට අවශ්‍යයි. මේ කාරනා දෙකෙන් යමෙකුට තමන්ගේ සසර ජීවිතය සුගතිගාමී
කරගෙන තමාට හිතසුව පිනිස, දෙලොව යහපත පිණිස මහා ආනිසංසයන් ලඟා කරගන්නටත් පුලුවන්.
ඔය
කාරනා දෙකටම සම්බන්ධ කිසියම් සිදුවීමක් තිබෙනවා අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයේ
මල්ලිකා සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ. ඒ සූත්‍රදේශනාවයි මාතෘකා ගාථාවෙන් කියැවෙන
අර්ථයයි කොහොමද ගලපා ගන්නේ කියා මඳක් විමසා බලන්නටයි මේ සූදානම.
දවසක්
බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩහිටියා. කොසොල් රජතුමාගේ අගබිසව
මල්ලිකා දේවිය බුදුරජානන් වහන්සේ බැහැ දකින්නට ආවා. ඇවිත් වන්දනා කරල පැත්තකින්
වාඩිවෙලා ප්‍රශ්නයක් ඇහුවා.
කො නු ඛො භන‍්තෙ
හෙතු කො පච‍්චයො, යෙන මිධෙකච‍්චො මාතුගාමො දුබ‍්බණ‍්ණා ච හොති දුරූපා
සුපාපිකා දස‍්සනාය, දළිද‍්දා ච හොති අප‍්පස‍්සකා අප‍්පභොගා අප‍්පෙසක‍්ඛා ච?
භාග්‍යවතුන් වහන්ස..මේ
ලෝකයේ ඉන්න සමහර කාන්තාවො..ගැහැනු අය..එයාලා හරිම දුර්වර්ණයි. පැහැපත් නෑ. ලස්සනත්
නෑ. දැක්කාම හරිම ලාමක පෙනුමක් තියෙන්නෙ. ඒ වගේම එයාලා හරිම දුප්පත්. එයාලා ලග ධනය
නැහැ. ධනධාන්‍ය දේපල වස්තුව නැහැ. හරිම දුකින් පිරුනු ජීවිත ගතකරන්නෙ..මේ ගැහැනු
අය කාන්තාවො මෙහෙම වෙලා ඉපදෙන්නට හේතු මොනවාද කියල. එතකොට බුදුරජාණන් වහන්සේ
පිලිතුරු දෙනවා
ඉධ මල්ලිකෙ එකච‍්චො
මාතුගාමො කොධනා හොති උපායාසබහුලා
මල්ලිකාවනි,
සමහර කාන්තාවො ඉන්නවා ඒ අය ක්‍රෝධ බහුලයි. හැමතිස්සෙම කිපෙන්න බලාගෙන ඉන්නෙ.. පොඩි
වැරැද්දක් වුණොත්,
වචනයක් එහා මෙහා උනොත් ඒ කාන්තාවො දැඩි විදිහට කේන්ති ගන්නවා. ඒ
වගේමයි ඒ ක්‍රෝධය හිත ඇතුලෙ තියාගෙන වෛරයෙන් ඉන්නෙ. එයාගෙ හිත ක්‍රෝධයෙන් වෛරයෙන්
පිරිලා හැමවෙලාවෙම. ඒ වගේම ඒ කාන්තාව දන් දෙන්නෙත් නැහැ. එයාගෙ හිත ලෝභයි.
ඊලඟ
හම්බවෙන වැදගත්ම කාරණය තමයි අනිත් අයට රූපසම්පත්තිය නිසා, ධන සම්පත්තිය නිසා,
උගත්කම දැනුම ආදිය නිසා, කටහඬ නිසා, සහ සෙසු සියලුම අංග වලින් සමාජයෙන් ගෞරවය
ලැබෙනවට එයා කැමති නැහැ. කෙනෙක්ව තමන්ට වඩා ඉහලින් සමාජයේ පිලිගන්නවට, සමාජයේ
සැලකිල්ල ආදරය ප්‍රසිද්ධිය සත්කාර ආදිය ලැබෙන කොට, සමාජ
පිළිගැනීම ලැබෙන කොට ඒ කෙනාට ඊර්ෂ්‍යයා කරනවා. අන්න ඒ වගේ කෙනෙක් මරණින් මතු නැවත මිනිස් ලෝකයට ආවොත්
එයාගේ රූපය කිසිම ලස්සනක් නැහැ. දුර්වර්ණ යි. බලන්නට ප්‍රිය උපදවන්නෙ නැහැ.ඒ වගේම එයා
දුප්පත්.. භෝග සම්පත් අඩුයි. සමාජයේ පිළි ගැනීමට ලක් වන්නේත් නැහැ. කියලා
බුදුරජාණන් වහන්සේ වදාරනවා.
ඒ
පිලිතුරෙන් පස්සෙ මල්ලිකා දේවිය තවත් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මෙහෙම. භාග්‍යවතුන්
වහන්ස.... ලෝකෙ සමහර කාන්තාවො ඉන්නවා බලන්න කැත අවලස්සන අය. හැබැයි එයාලට බොහෝ ධනය
තියෙනවා. බොහෝ වස්තුව තිබෙනවා. මහා ඉහළ පොහොසත් අය.. රූපය අවලස්සන උනත් ධනය අතින්
දේපල අතින් මහා ධනකුවේරයො වෙලා ඉපදෙන්න හේතු මොනවද කියලා... එතකොට බුදුරජාණන්
වහන්සේ පිලිතුරු දෙනවා
මල්ලිකාවෙනි, මේ ලෝකයේ ඉන්න සමහර කාන්තාවො ක්‍රෝධයෙන් බරවෙලා නිතරම ඉන්නෙ. වචනයක්
වරදින්න බැහැ තරහෙන් කේන්තියෙන් මාන්නයෙන් පුපුරනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාට
සිව්පසයෙන් සංග්‍රහ කරනවා අඩු නැතිව. එයා හොඳට දානය දෙනවා. ඒ වගේම එයා කාටවත්
ලැබෙන ගෞරවයට, සැලකිල්ලට, පිළිගැනීමට ඊර්ශියා කරන්නෙ නැහැ. පරිභව කරන්නෙත් නැහැ.
අන්න ඒ වගේ කාන්තාවක් මරණයෙන් පස්සෙ නැවත මිනිස් ලෝකයේ ඉපදෙනවා නම්, අර ක්‍රෝධය
නිසා කේන්තිය තරහාව නිසා දුර්වර්ණව ඉපදෙනවා. එයා ලස්සන ප්‍රියමනාප කෙනෙක් නූනත්
එයා දානමය චේතනාවෙන් සිවුපසය දුන් නිසා, දානය වැඩුව නිසා විශාල ධනය ඇති දේපල ඇති
පොහොසත් අයෙක් වෙලා ඉපදෙනවා.
ඊලඟට මල්ලිකා දේවිය බුදුරජානන්
වහන්සේගෙන් අහනවා ස්වාමීනී.. මේ ලෝකයේ සමහර කාන්තාවො ඉන්නවා ඉතාම සුන්දර විශිෂ්ට
රූපසම්පත්තියෙන් යුක්තව. ඒ වගේමයි දැක්ක දුටුව අය වශීකරවන සුලු පැහැපත් වර්ණ
සම්පත්තියෙන් යුක්තයි. එයාව දැක්කාම හැමෝම පැහැදෙනවා ඒ තරම් ලස්සනයි. නමුත් එයා
හරිම දුප්පත්. එහෙම නැත්නම් අල්පේශාක්‍යයි. ධනය මිලමුදල් දේපල වස්තුව නැහැ. එහෙම
වෙන්නට හේතුව කුමක්ද කියා.
එවිට බුදුරජාණන් වහන්සේ විස්තරකොට
වදාරනවා මල්ලිකාවෙනි,
මේ ලෝකයේ සමහර කාන්තාවො ඉන්නවා ඒ අය කිසිම දේකට කේන්තිගන්නෙ නැහැ.
වෛර ක්‍රෝධ කරන්නෙ නැහැ. මොනවා කිව්වත් එයාලා කේන්තියෙන් ඇවිලෙන්නෙ නැතිව ඉන්නෙ.
හැබැයි ඒ අය මහණ බමුණන්ට යාචකයන්ට ආහාරපාන, වස්ත්‍ර, ආදී සිවුපසයෙන් සංග්‍රහ කරන්නෙ
නැහැ. දානමය චේතනාව වඩන්නෙ නැහැ. දන්දෙන්නෙ නැහැ. ඒවා කරන අය ගැන මේ කාන්තාවගේ
පැහැදීමක් ඇත්තෙත් නැහැ. ලෝකයා ඒ විදියට සිවුපසය සලකා කටයුතු කිරීම ගැනත් ඇයට ඇති
වෙන්නෙ ඊර්ශියාවක්. සහ මාන්නයක්. ඒ නිසා ඇය මරණයෙන් පසුව යම් තැනක ඉපදෙනවා නම්
ඉතාම සුන්දර රූපසම්පත්තියක් ඇතිව ඉපදීම ලබනවා. නමුත් ඇය දුප්පත්. අල්පභෝගී
ජීවිතයක් ලැබෙන්නෙ.
ඊලඟට මල්ලිකා දේවිය අහනවා භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නවා අභිරූපී සම්පත්තියෙන් යුක්තයි. ඉතාම
සුන්දරයි. ඉතාම සුරූපීයි. ඒ වගේමයි එයා මහේශාක්‍යයි. දේපල සම්පත්, යානවාහන,
මිලමුදල් වලින් පොහොසත්. තමන්ගෙ රූපසම්පත්තිය වර්ණසම්පත්තිය වගේම ධනසම්පත්තිය භෝගසම්පත්තියත්
අඩුවක් නැතිව තියෙනවා. එහෙම වෙන්නට හේතුව මොකක්ද??
එතකොට බුදුරජානන් වහන්සේ පැහැදිලිකොට
දේශනා කරනවා මල්ලිකාවෙනි,
මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නවා ඒ අය කා සමගවත් ක්‍රෝධය ඇතිකර
ගන්නෙ නැහැ. කේන්ති ගන්නෙ නැහැ. කාටවත් වෛර කරන්නෙ නැහැ. ද්වේශ සහගත බවින් කටයුතු
කරන්නෙ නැහැ. ඒ වගේමයි ඒ අය ශ්‍රමණ බ්‍රාහ්මනයන්ට දුගීමගී යාචකයන්ට සිවුපසයෙන්
සංග්‍රහ කරනවා. දානමය චේතනාව වඩනවා. දානය දෙනවා. පරිත්‍යාග කරනවා. අනුන් දෙන
දානයටත් ඊර්ශියා නොකර සතුටු සිතින් අනුමෝදන් වෙනවා. අන්න එබඳු අය මරණයෙන් පස්සෙ
යම් තැනක ඉපදෙනවා නම් ඒ අය අභිරූපිනියො වෙලා ඉපදෙනවා. ආයුශය වර්ණ සම්පත්තිය,
රූපසම්පත්තිය අඩු නැතිව ලබනවා. ඒ වගේමයි භෝග සම්පත්තිය, පරිවාර සම්පත්තිය, වස්තුව
දේපල මිලමුදල් යාන වාහන අඩු නැතිව ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ කර්මය කර්ම විපාකය
පිලිබඳව තිබෙන හසල අවබෝධයෙන් ඒ කාරනා එසේ පහදා දෙනු ලැබුවා. කර්මයෙන් බැහැරව අපට
කිසිත් හිතාගන්නවත් බැහැ. මේ වදාල කාරනා හතර කාන්තාවන්ට පමණක් නෙවෙයි අදාල වෙන්නෙ.
පුරුෂයන්ටත් ඒ ආකාරයටමයි බලපාන්නෙ. නමුත් මල්ලිකා දේවිය ගේ ප්‍රශ්න වලට ප්‍රස්තූත
උනේ කාන්තාවන් පිලිබඳව නිසා තමයි බුදුරජානන් වහන්සේ ඒ ආකාරයෙන්ම පිලිතුරු වදාලේ.
යමෙක් නිරන්තරයෙන්ම ක්‍රෝධ බහුල නම්,
වෛරී සහගත නම්, කේන්තියෙන් පිරිලා නම්, උපායාස සහිත නම්, හැමවිටෙම යමෙකු හා ගැටෙනවා
නම්, ඒ කෙනා සකස් කරන්නෙ තමන්ගෙ මතු සංසාර රූපය. යමෙක් සිවුපසය නොදෙයි නම්, දානමය
චේතනාව පහළ නොකරයි නම්, දානයෙහි නොඇලුනේ නම්, අනුන් දෙන දානයටත් ඊර්ශියා කුහකකම්
කරයි නම්, ඒ කෙනා ඒ සකස් කරගන්නෙ එයාගෙ මතු සංසාර ජීවිතය. කර්ම විෂයය ඒ තරම්
සංකීර්ණයි.
මූලාශ්‍ර - අංගුත්තර නිකාය/ මල්ලිකා සූත්‍ර
1 Comments
සාදු සාදු සාදු!
ReplyDelete