ධර්මය සහ ජීවිතය - 01 කොටස

 



කය හෙවත් ශරීරය  භෞතික වශයෙන් ගොඩනැගුනු ආහාර හේතුවෙන් පවතින දෙයකි. කවුරු කෙලෙසක ශරීරයට අයිතිවාසිකම් කීවත්, ශරීරය පවතින්නේ ආහාරය මත පමණි. එම ශරීරයේ පැවැත්ම උදෙසා ආහාරයට අමතරව තවත් බාහිර සාධක කීපයක් අත්‍යාවශ්‍ය වේ. ඇඳුම් පැළඳුම්, නිවාස සහ බෙහෙත් මෙම මූලික අවශ්‍යතාවයන්ය. ලෝකයේ ජීවත්වන සියලුම මනුශ්‍යයින් විවිධ රැකියා කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්, යුද්ධ කරමින්, කලහ කරමින්,මිනිමරාගනිමින් කරන්නේ ආහාර,ඇඳුම් පැලඳුම්, නිවාස,බෙහෙත් යන කාරනා වඩාත් හොඳින් උපයා සපයා ගැනීමට උත්සුක වීමයි. ලෝකයේ සුපිරිම ධනවතාගේ සිට අන්ත දිළිඳු හිඟන්නා තෙක් සිදුකරන්නේ මේ ටිකය. 

ශරීරය හා බැඳුනු සිතට මේ ශරීරය පවත්වද්දී කිසියම් දැනීමක් අවශ්‍ය වේ. 
1.බාහිර ලෝකය පෙනෙන්ට උවමනාය
2.බාහිර ලෝකය අසන්නට උවමනාය
3.බාහිර ලෝකය දැනගන්නට උවමනාය

ශරීරයෙහි පැවැත්මට,ශරීරයෙහි ආරක්ෂාවට,ශරීරයෙහි චලනයන් වලට ඉහත සඳහන් සාධක තුනට ඇතුලත් දැනීමක් සිතට අවශ්‍යය.
1.බාහිර ලෝකය පෙනෙන්ට උවමනාය - බාහිර ලෝකය දැකගන්නට උවමනා කරන්නේ ශරීරය මෙහෙයවිය යුතු දිශාව සහ එහි විස්තර දැනගැනීමටය. බාහිර ලෝකය පෙනෙන්නේ දීප්තිමත් කාචයක් බඳු ඉතාම සූක්ෂම ප්‍රසාදයකටය. එය චක්ඛු ප්‍රසාදය යැයි කියනු ලැබේ. චක්ඛු ප්‍රසාදයට බාහිර රූප පෙනෙනවා පමණය. 
2.බාහිර ලෝකය අසන්නට උවමනාය - ශරීරයේ පැවැත්මට ශරීරයේ ආරක්ෂාවට බාහිර ලෝකයේ විවිධ ශබ්ද දැනගන්නට සිතට උවමනාය. සෝත ප්‍රසාදය පිහිටා තිබෙන්නේ එසේ බාහිර ශබ්ද දැනගැනීම සඳහාය. සෝත ප්‍රසාදයට බාහිර ශබ්ද ඇසෙනවා පමණය.
3.බාහිර ලෝකය දැනගන්නට උවමනාය - පෙනීම, ඇසීම හැරුනු කොට සිතට තවත් සාධක කිහිපයක් මේ ශරීර පැවැත්ම සඳහා දැනගැනීමට උවමනාය. එනම් බාහිර ලෝකයේ ගන්ධය,බාහිර ලෝකයේ රසය, බාහිර ලෝකයේ ස්පර්ශයයි. ගන්ධය දැනගැනීම සඳහා ඝාණ ප්‍රසාදයද,රසය දැනගැනීම සඳහා ජිව්හා ප්‍රසාදයද,කයට දැනෙන ස්පර්ශය දැනගැනීම සඳහා කාය ප්‍රසාදයද පිහිටා ඇත්තේය.

මේ සාධක මෙසේ දැනගැනීමේදි ශරීරය යනු මූලික වශයෙන් චක්ඛු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය ලෙසද සංෂිප්ත කොට ගත හැකිය. මෙම ප්‍රසාදයන් මෙසේ තිබියදී ඒ හා ගනුදෙනු කරන්නට මනස සහ සිත යන නොපෙනෙන ධර්මතාවයක්ද තිබේ. ප්‍රසාද ටික සමග මනසේ සහ සිතේ කෙරෙන මේ ගනුදෙනුවේ කොතැනකවත් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් ලෙස ගතහැකි කිසිවක් නොපවතින බව පැහැදිලිවම පෙනේ. බාහිර රූප සංෂිප්තව ගත්කල වර්ණරූපය,ශබ්දරූපය,ගන්ධරූපය, රසරූපය, පෝට්ඨබ්බ රූපය(කයට දැනෙන පහස) ලෙස ගත හැකිය. පෙනෙනවා ඇසෙනවා දැනෙනවා යන ධර්මතා ටික පමණක් මේ ක්‍රියාවලියේදී සිදුවේ. 

එසේ පෙනෙන, ඇසෙන, දැනෙන තැනදී කිසියම් විඳීමක් සිතට දැනේ. එම විඳීමට වේදනාව යැයි කියනු ලැබේ. විඳින දෙය විඳීම අනුව හඳුනා ගැනීම සංඥාව යැයි හඳුන්වනු ලැබේ. එම වේදනා සංඥා දෙක අනුව යලි සිතන බවක් හැඟීම් පහළ වන බවක් තිබේ. එය සංඛාර යැයි කියනු ලැබේ. මේ සියල්ල පෙනෙන, ඇසෙන, දැනෙන අවස්ථාවේදී ඇතිවී පෙනෙන, ඇසෙන, දැනෙන බව නැතිවන විට කිසිවක් ඉතිරි නොවී නැතිවී යයි. එම අවස්ථාවට පඤ්චස්කන්ධ යැයි ව්‍යවහාර වේ. මෙය විශ්වයේ කිසියම් ක්‍රියාවලියක් පමණි. 

එහෙත් පෙනෙන, ඇසෙන, දැනෙන දේ සම්බන්ධව ඇතිවන වේදනාව කෙරෙහි කිසියම් වටිනාකමක් සිතට දැනී ඒ කෙරෙහි ආශ්වාදයෙන් ඒ කෙරෙහි කැමැත්තෙන් යලිත් එයම විඳින්නට ලෝභ සිතිවිල්ලක් ඉපදෙයිද, එම වේදනාවට සිත ඇලුම් කරයිද එයට තන්හාව යැයි කියනු ලබයි. එසේ තන්හාව ඉපදීමෙන් එ් පෙනුන දෙය නැවත බලන්නට වේදනා සංඥා සංඛාර මගින් සිතිවිලි පහළ වෙයි. ඒ සිතිවිල්ල සමගම ඇස පහළ වෙයි. මුලින්ම රූපය පෙනුනේ චක්ඛු ප්‍රසාදයට වුවද, රූපය බලන්නට සිතිවිලි පහළ වූ සැනින් පහලවන ඇස මගින් වේදනා සංඥා සංඛාර මගින් සිත විසින්ම සාදාගත් රූපය බලන්නට පෙළඹෙයි. පෙනෙන බව එකක් වන අතර බලන බව තවකක් බව මෙයින් වැටහේ. එවිට ලෝභය තුල විදින්නෙක් පහළ වෙයි. ඒ මමය මාගේය මගේ ආත්මයය යන සංකල්පය සමගින්ය. එයට මඤ්ඤමානය යැයි කියනු ලැබේ. රූපය බලන්නේද, ඇසද  මමය.මාගේය  මා තුල ඇති ආත්මයය. රූපය විඳින්නේද රූපය හඳුනාගන්නේද රූපය පිලිබඳ සිතන්නේද ඒ සිතිවිලි මමය මාගේය මාගේ ආත්මයය යන දෘශ්ඨිය ඇති වේ. එය සක්කාය දිට්ඨිය නමින් හැඳින් වේ. මෙතැනදී අවබෝධ කල යුතු කාරණය වන්නේ ඇස අනිත්‍ය වන්නේ කෙසේද යන්න ඉහත විස්තරය අනුව ගලපා බැලීමය. නිත්‍ය වශයෙන් උපතේ සිට කායික මරණය දක්වා පවතින ඇසක් කණක් නාසයක් දිවක් ශරීරයක් නොමැති බවත්, ඒ ඒ අවස්ථාවට ඒ ඒ හේතූන් මත ඇස කණ නාසය දිව කය උපදින බවත්, ඒ ඒ හේතූන්ගේ නැතිවීමෙන් ඇස කණ නාසය දිව කය නිරුද්ධ වන බවද මනා නුවනින් වටහා ගත යුතුය. රූපය පෙනෙන්නේ චක්ඛු ප්‍රසාදයටය. රූපය බලන්නේ උපදවාගත් ඇසින්ය. මෙම කාරණා නිවැරදිව වටහා ගතයුතුව ඇත.

එමෙන්ම පෙනෙන ඇසෙන දැනෙන රූප කෙරෙහි ඇතිවන අකමැත්තට දී ඇති කිසියම්  වටිනාකමක් මත එය ප්‍රතික්ෂේප කරන්නටද කැමැත්තක් ඇති වේ. එවිටද ඒ රූපයට, ඒ දැනෙන අසතුටු වේදනාවට සංඥාවට ඒ කෙරෙහි උපදින චේතනා සිතිවිලි වලට තදින් ඇලී එය නැවත නැවත ප්‍රතික්ෂේප කරන්නට ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය උපදවා ගනියි. එය ද්වේශයයි. අකමැත්ත, තරහාව, දුක,බය, ඊර්ෂියාව ක්‍රෝධය වෛරය ආදී සිතිවිලි තුල එය ඒ ආකාරයට විඳින කෙනෙක් උපදියි. ඒ උපදින කෙනා මමය, මගේය, මගේ ආත්මයය යනුවෙන් ක්‍රියා කරයි. එයද මඤ්ඤමානයම වේ. 

මමය මගේය මගේ ආත්මයය යන සංකල්පය තුල ලෝබයෙන් හා රාගයෙන් ඇලීම මෙන්ම ඒවා කෙරෙහි ගැටීම තුල පඤ්චඋපාදානස්කන්ධය හටගනියි.  පඤ්චඋපාදානස්කන්ධයේ ස්වභාවය වර්තමානයේ විඳ අනාගතයටද විපාක පිනිස මනස තුල යමක් ඉතිරි කොට නිරුද්ධ වීමයි. උපාදානය භවය යනු එයයි. එය කැමති ඕනෑම විටෙක යලි සිහිකර උපදවා ගත හැකියි. එවිටද හටගන්නේ ලෝභ සහ ද්වේශයි. මෝහය යනු ඒ ලෝබ ද්වේශ විඳගන්නේ මමය මගේ සිතය මගේ මනසය යන සංකල්පයය. 

ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යම් අරමුණක ගෙන එය මනසේ තැන්පත්ව ඇති ලෝභ ද්වේශ මෝහ පඤ්චඋපාදානස්කන්ධයට බද්ධ කිරීම ස්පර්ශයයි. එසේ ස්පර්ශ වීමෙන් නැවත කලින් හටගත් රාග ද්වේශ මෝහ තවත් බලවත් වී නැවතත් අනාගත විපාක සඳහා මනසේ තැන්පත් වේ. මෙසේ සෑම අරමුණක් පාසාම නැවත නැවත මනස තුල සිත තුල රූප සකස් කිරීම නිසා සෑම තත්පරයක් පාසාම භවය සකස් වී නැවත ඉපදීම තිර කරයි.

ශරීරය මියයාමට ආයුශ බොහෝ කලක් ගතවේ. එහෙත් සිතක් ඉපදී මියයාමට ගතවන්නේ ක්ෂණයක් පමණි. ක්ෂණය යනු තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවකි. ඒ සෑම ක්ෂණයකම ලෝභය ද්වේශය මෝහය විසින් ඉපිද මිය යයි. එය සසරයි. හැම විටම නැවත ඉපදෙන්නට හේතු සකස් කර කර සිටියි.



Post a Comment

0 Comments