අවකාශය සහ අනවකාශය පිලිබඳ බුද්ධ දේශනාව

 


මෙය අවකාශය සහ අනවකාශය පිලිබඳ බුද්ධ දේශනාවකි. අවකාශය කියන්නේ ඉඩප්‍රස්ථාව යන සරළ අර්ථයයි. අනවකාශය කියන්නේ ඉඩප්‍රස්ථාව නොලැබෙන බවට ඇති තේරුමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්ෂණ සම්පත්තිය හෙවත්, අවකාශය කියා කියන්නේ මේ බිහිසුනු සසරින් ගැලවෙන්නට තිබෙන්නාවූ එකම පිරිසිදු මාර්ගය වූ බුදුබණ අසා තේරුම් ගෙන එය පිලිපඳින්නට යමෙකුට ඇති ඉඩ ප්‍රස්ථාව බව. එසේම එම ඉඩ ප්‍රස්ථාව කෙනෙකුට අහිමිවන කාරණා  පිලිබඳවද උන්වහන්සේ වදාරා තිබෙනවා. එය අට්ඨ දුෂ්ඨක්ඛණය  යනුවෙන් හැඳින්වෙනවා.

මොනවද ඒ කාරනා 

1.අයඤ්ච පුග්ගලො නිරයං උපපන්නො හොති - දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ නිරයේ නම්, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

2.අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති- දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ තිරිසන් භාවයේ නම්, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

3.අයඤ්ච පුග්ගලො පෙත්තිවිසයං උපපන්නො හොති - දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ ප්‍රේතයකු වී නම්, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

4.අයඤ්ච පුග්ගලො අඤ්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති- දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ අසඤ්ඤසත්ත දේවනිකාය නම් බුද්ධ වචනය නෑසෙන නොපෙනෙන තැනක නම්, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

5.අයඤ්ච පුග්ගලො පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති - දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, ඈත දුරක පිහිටි මිලේච්ඡ ජනපදයක නම්, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

6.අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං.- දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ බුද්ධ ශාසනය පිහිටා සිටි තැනට දුරින්  මධ්‍ය ජනපදයක නම්, ඔහු මිත්‍යා දෘෂ්ටියට පත්ව, දුන් දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටියෙන් යුක්තව සිටියිද, ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.

7.අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති , සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො අප්පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං - දහම අවබෝධ කරගැනීමට ඇවැසි පුද්ගලයා ඒ ඒ බුද්ධ ශාසනය පවතින කාලයේ ඉපදී සිටින්නේ  මධ්‍ය ජනපදයෙහි නම් ,ඒ පුද්ගලයා නුවනින් සහ ප්‍රඥාවෙන් යුක්ත නොවේයිද, ජඩ වේද, කෙළතොලු වේද, යහපත්වූ හෝ අයහපත්වු වචන වල අර්ථය පවා තේරුම් ගැනීමට අපොහොසත් වේද, හොඳ නරක කුසල් අකුසල් ගැන වැටහීමක් ලබන්නට තරම් බුද්ධිය මුහුකුරා නොයයිද ඔහුට ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.


එමෙන්ම වඩාත් ඛේදජනක වන්නේ ඇස කන නාසය ආදී ශරීර අංග මනාව පිහිටා තිබියදිත්, ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගැනීමට හැකියාව තිබියදිත් යමෙක් මෙලොවට බිහිඋනත්, ඔහු බිහිවන කාලය වන විට බුද්ධ ශාසනය අතුරුදහන් වී නම්, එනම් බුද්ධ ශුන්‍ය කාලයක් නම් ඔහුටද ධර්මය අසන්නට පිලිපදින්නට ඉඩප්‍රස්ථාව අහිමි වෙනවා.


මෙන්න මෙවන් බිහිසුනු ඛේදනීය  අනවකාශයක් ඉදිරියේ තබාගෙන මේ ලැබුනු ජීවිතය නිරපරාදේ නාස්ති වී ඉඩ හලොත්, ඒ තරම් අපරාධයක් කෙනෙකුට තවත් නැත. 


මූලාශ්‍ර

අංගුත්තර නිකාය- අට්ඨක නිපාතය-ගහපති වග්ගය- අට්ඨක්ඛණ සූත්‍රය

පින්තූරය-https://www.purelifeministries.org/



Post a Comment

0 Comments