ත්‍රිවිධ විතර්කය-ප්‍රමාදය- සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 11 කොටස

 


සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන  වඩමින්  බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.

ඒත් නුවන තියෙන කෙනා සද්ධර්ම  ශ්‍රවණය කරමින් දැනගන්නවා ඔය කොතැනට ගියත් සසර දුකින් මිදෙන්නෙ නැහැ නිකම් සිත රවටා ගැනීමක් විතරයි කරල තියෙන්නෙ කියල. ඒ නිසා ඒ කෙනා අප්‍රමාදය වඩමින් සසරට හේතු සකස් කරන චේතනා මූලික සංඛාර හෙවත් කර්ම සකස් නොකර සිටින්නට සිහිය පිහිටුවා ගන්නවා. කොහොමද ඒක කරන්නෙ?????

මඤ්ඤමානො ඛො, භික්ඛු, බද්ධො මාරස්ස; අමඤ්ඤමානො මුත්තො පාපිමතො’’ති.

තෘෂ්ණා දෘශ්ඨි මාන වලින්  මමය මගේය මගේ ආත්මයය යන මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා කෙනා  මාරයාට බද්ධ වෙනවා. එසේ නොකරන කෙනා මාරයා හා බද්ධ වීමෙන් මිදෙනවා. 

-සංයුත්ත නිකාය-ඛන්ධවග්ගය-මඤ්ඤමාණ සූත්‍රය-

එසේනම් මඤ්ඤමාණය හෙවත් මමත්වයෙන් ගැනීම සිදු වෙන්නේ කෙසේද? ත්‍රිවිධ විතර්කය නිසා.

මොනවාද ත්‍රිවිධ විතර්ක

1.කාම විතර්ක

2.ව්‍යාපාද විතර්ක

3.විහිංසා විතර්ක


විතර්ක කියන්නේ මොනවාද

ඒ ඒ මොහොතට ඒ ඒ අරමුණු කෙරෙහි සිතේ ඇතිවන සිතුවිලි වලටයි විතර්ක කියන්නෙ. එතකොට අරමුණු කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, කායික ස්පර්ශ ආදියයි. එතකොට මේ කිසියම් හෝ අරමුණක් නිසා අපේ හිතේ හැමවෙලාවෙම මොකක් හෝ විතර්කයක් ඇති වෙනවා මයි. ප්‍රියමනාප නම් ඒ අරමුණ කැමතියි කියන අර්ථයෙන් කාම විතර්ක හෝ අප්‍රිය අපමනාප නම් අකමැතියි කියන ව්‍යාපාද විතර්කය හෝ එනවාමයි. අපි ජීවත් වෙන්නේ ඔය විතර්ක තුලමයි. ඒවා පින් පව් භාවනා ධ්‍යාන වෙන්න පුලුවන්.


කාම විතර්කය

කාම විතර්කය තුල යමෙක් හැසිරෙයි නම් ඔහු කෙරෙහි එය බලපාන ආකාරය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට තිබෙනවා

"රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. "

"බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,

“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි."

-අංගුත්තර නිකාය-තික නිපාතය-ආදිත්තාගාර සූත්‍රය-

බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ පැහැදිලි කොට වදාරන්නේ. රූප,ශබ්ද,ගන්ධ,රස,කයට දැනෙන පහස හෝ සිතට එන සිතිවිලි කෙරෙහි කැමැත්තෙන් ඇලෙයිද, එයම නැවත නැවත මෙනෙහි කරයිද, ඒ තුලම බැහැගෙනසිටියිද, එයම සොයයිද, එහිම ගැලෙයිද, ඒ තුල ලෝභය හටගන්නවා. එතකොට ඒ දේවල් මනසින් දැඩිව අල්ලාගෙන ඒ තුල මමත්වය සාදාගන්නවා. යමක් ලබා ගන්නට, යමක් තමා සන්තක කරගන්නට ඇතිවන ලෝභය සුළුපටු දෙයක් නෙවෙයි. එය ලැබෙන තාක් මනසට වදයක්. මනසට දුකක්. ඒ නිසා එය තමන්ට දුකක්. තමා එලෙස යමක් සන්තක කරගන්නට දරන වෑයම අනිත් අයට කරදරයක්, වෙහෙසක්, නම්, එය ඒ අයට දුකක්. එතකොට දෙපාර්ශවයටම එය දුකක්. යමෙක් මත්ද්‍රව්‍ය ගැනීමට කැමතියි. එය ලැබෙන තුරු ඔහුට දුකයි. ඔහු එය ලබාගැනීම නිසා අන් අයට ගැහැටක් සිදුවන්නේ නම් එය අනුන්ටද දුකක්. මේ විදියට ඇස පිවන, කණ පිණවන, නාසය දිව කය පිණවන දේවල් කෙරෙහි නිරන්තරයෙන්ම කාලය ගතකරමින් සිටින කෙනා නිසා අනිත් අයටද සිදුවන්නේ මහා දුකක්. තමන්ගේ යුතුකම් අමතක කරමින්, තමන්ගේ කාලය නාස්ති කරමින් එසේ රාගයෙන් යටවී සිටින,රාගයෙන්  විනාශවී සිටින කෙනා නිසා අනිත් අයටද දුක පැමිනෙන්නේ ඉබේමයි. එය මහා මානසික වදයක්. 


ව්‍යාපාද විතර්කය

‘‘දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති"

“බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම,

“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.

-අංගුත්තර නිකාය-තික නිපාතය-ආදිත්තාගාර සූත්‍රය-

ද්වේශය අයිති ව්‍යාපාද විතර්ක වලට. ව්‍යාපාදය තුල කෝපය, ද්වේශය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව, බය, දුක, මේ ආදී සියල්ලම ඇතුලත් වෙනවා. නිරන්තරයෙන් මේ කරුනු කාරනා මත සිතමින් එ්වාතුලම බැස ගනිමින් ඒවාම ඇසුරු කරමින් සිටින විට ඒ තුල මමත්වය හෙවත් මඤ්ඤමාණය ඇති වෙනවා. එතකොට සිත ඒ ද්වේශයෙන් ව්‍යාපාදයෙන් යටත් කරගෙන, ඒ නිසා සිත විනාශ කරගෙන තමන්ද අනුන්ද ඇවිල යන්නාවූ දුකකට ඇද දමනවා.  

ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරණවා

"පඤ්චිමෙ, රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච? රූපුපාදානක්ඛන්ධො...පෙ.... විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යතො ඛො, රාධ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති - අයං වුච්චති, රාධ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො"

රාධය, උපාදානස්කන්ධයෝ පස් දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.

“රාධය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ

-සංයුත්ත නිකාය-ඛන්ධසංයුත්තය-රාධ සූත්‍රය-


මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය.  පඤ්චඋපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම ආශ්වාදවය ආදීනවය නිස්සරණය දකියිද කියා මොකක්ද බුදුරජාණන් වහන්සේ මෙයින් අදහස් කරන්නේ? මෙන්න මෙතැනයි තැන. අපේ ජීවිත කාලය පුරාවට මනසේ තැන්පතු වෙලා  තියෙනවා තියෙනවා විවිධ විතර්ක. ඒ කිව්වෙ? අපි ආසා කරන, ප්‍රියකරන, අපි කැමති විවිධ අරමුණු අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා අද වෙනතුරු. ඒවා අපේ හිතෙන් හිතෙන් ගිලිහෙන්නට නොදී මනසින් දැඩිව අල්ලාගෙන නිරන්තරයෙන් කල්පනාවට එන දේවල්. උදාහරණයක් හැටියට පෙම්වතා පෙම්වතිය කියන කල්පනාව මනසින් ගිලිහෙන්නෙ නැහැ ලේසියකට. අන්න කාම විතර්කය. අන්න පඤ්චඋපාදානස්කන්ධය. එහෙම නැත්නම් සමහරෙකුට තමන්ගේ ගෙවල් දොරවල් යානවාහන මිලමුදල් රන්රිදී මැණික් ආදී දේවල්. එහෙම නැත්නම් වස්තුව වතුපිටි හරකාබාන ආදිය. තවත් කෙනෙකුට තමන්ගෙ රැකියාව, තත්වය,නම්බුව, ප්‍රසිද්ධිය, ප්‍රශංසා ආදිය. ඒවා ගැන සිතන එක කාම විතර්කය. පඤ්චඋපාදානස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ ආශ්වාදය කියල දේශනා කලේ මේවා ගැන හිතන කොට, ඒවා ඇසුරු කරනකොට සිතට දැනෙන සතුට. ඒක තමයි ආශ්වාදය. ඉතිං මේ ආශ්වාදයේ ප්‍රධාන ආදීනවය තමයි ඒ සතුට ලබන්න නම් ඒවා නැවත නැවත පරිහරණය කරන්නට උවමනා වීම. එක පාරක් පරිහරණය කලාට, එක වරක් තමා සන්තක උනාට ඒ සතුට එහෙමම තියෙන්නෙ නැහැ. සතුට හීන වෙනවා. අන්න දෙවැනි ආදීනවය. මේ හීනවන සතුට නැවත නැවත පණගන්වන්නට නම් ඒවා නැවත නැවත ලබන්නට ඕනෙ. අද පෙම්වතා පෙම්වතිය මුණ ගැසුනා නම් හෙටත් ඒ හමුව දැඩිව අපේක්ෂා කරනවා. හොඳියි හෙට හමුවන්න නොලැබුනොත් අන්න දුක එනවා. කැමති දේ නොලැබීම දුකයි. ඒක ධර්මතාවයක්. කැමති දේ තියෙන්නෙ කාමවිතර්කය තුල. එතකොට කැමති දේ නොලැබීම දුක වගේම අකමැති දේ ලැබීමත් දුකක්. මොකක්ද අකමැති දේ කිව්වෙ? කැමැත්තෙන් රැස් කරගත් ගේදොර ඉඩකඩම් යාන වාහන, මිලමුදල්, රන්රිදී ආදිය විනාශ වෙනකොට, අහිමි වෙනකොට,වියදම් වෙනකොට, අලාභය කියන අකමැති දේයි ලැබෙන්නෙ. අලාභයට කවුද කැමති? ඒ නිසා අකමැති දේ ලැබීම දුකක්. එහෙනම් මොකක්ද මෙතන තියෙන ඇත්ත. හටගත් සියල්ල නැතිවෙනවා. සදාකල් පවතින කිසිවක් නැහැ. ප්‍රේමය ආදරය වේවා, යානවාහන ගෙවල් දොරවල් ඉඩකඩම් වේවා,මිලමුදල් තත්වය නම්බුව ප්‍රසිද්ධිය වේවා මේවා නැති වෙනවා. මේවා ක්ෂය වෙලා,වැයවෙලා, විපරිනාමයෙන් වෙනස්වෙලා අන්තිමේ නැත්තටම නැති වෙලා යනවා. කවදාහරි දවසක. එතකොට ඒක තමයි ආදීනව. අන්න එතකොට මේ යථාර්ථය නොදත් පෘතග්ජනයා ද්වේශයට ව්‍යාපාදයට පත්වෙනවා නේද අයියෝ මේවා නැති උනා කියල. දුකෙන් මිරිකිලා, වාවාගන්න බැරිව දිවිනසා ගන්නවා නේද. අහිමි වූ දුකට ද්වේශයට වෛරයට ක්‍රෝධයට ඊර්ශියාවට පලිගැනීමට බයට දුකට වැටෙනවා නේද..

එහෙනම් නිස්සරනය ගැන නොදන්න කෙනා කාම විතර්කයේදීත්, ව්‍යාපාද විතර්කයේදීත් ඇවිලෙනවා නේද. ඇවිලි ඇවිලි පිච්චි පිච්චි නේද ඉන්නෙ. ව්‍යාපාද විතර්කයේදීත්  ඇවිලෙනවා නේද. ඇවිලි ඇවිලි පිච්චි පිච්චි නේද ඉන්නෙ..ඇයි ඒ? ඒවා දැඩිව ගැනීම නිසා නේද. එතකොට ඒ දැඩිව ගත් තැනට කිව්වෙ පඤ්චඋපාදානස්කන්ධය කියල. නිස්සරණය කිව්වෙ දැඩිව ගැනීමෙන් වැලකිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන අටලෝ දහමට අනුව හිත නිදහස් කර ගැනීම නේද. 

දැන් එතකොට බලන්න කාම විතර්කය තුල ආශාවෙන් බරවෙලා, ඒ කාමයන්ම සොය සොයා ඒ තුලම ජීවිතය ගත කලාම නැවත උපදින්නෙත් ඒ කර්මයෙන්මයි. බලවත් ආශාව හේතු වෙනවා ප්‍රේතයකු වශයෙන් ඉපදිලා ඒ ආශා කල දේවල් බලබලා, එහෙම නැත්නම් ඒ ආශා කරන ශබ්දයන් අසමින් කල්ප ගනනක් දුක්විඳින්න. ව්‍යාපාද විතර්කය තුල තදබල ගැටීම නිසා ඇතිවන ක්‍රෝධය ඊර්ශියාව වෛරය පලිගැනීම කේන්තිය නිසා ඒ ටික කරගන්න තිරිසන් සතෙක්, භයානක අමනුස්සයෙක් යකෙක් ප්‍රේතයෙක් වෙලා ඉපදේවි ඒ කර්මය නිසා.

මේ කර්ම විපාකයන්ද ආදීනව හැටියට බලනකොට කාමයන් වලට දක්වන දැඩි ගිජුබවෙන් යමෙකුට මිදෙන්නට හැකි වෙනවා. 



  





උපමා කථාවක්

එක පවුලක අම්මයි තාත්තයි, අයියයි මල්ලියි නංගියි හිටියා. මෙයාලා හරිම ගුණ යහපත් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙච්ච උදවිය. මල්ලි විතරක් තරමක සෙල්ලක්කාර ජීවිතයක් ගතකලා. තාත්තා දනවටක් මඩේ බැහැගෙන කුඹුරේමයි කාලය ගත කලේ. අම්මා කුස්සියේමයි. දවස පුරාම ගෙදරදොර වැඩ වලමයි හිටියෙ. මේ නංගි දවස පුරාම කාලය ගත කලේ ගෙමිදුලෙ තිබුනු ලස්සන පොකුණ ලඟ ඉද මාළුන්ට කන්න දදා බලාගෙන සතුටු වෙවී. එයාලා කාටවත් කරදරයක් හිරිහැරයක් වෙච්ච පවුලක් නෙවෙයි. මෙයාලා කොච්චර තමන්ගෙ තමන්ගෙ පාඩුවේ වැඩකටයුතු කරගෙන හිටියාද කිව්වොත් අඩුම තරමෙ පන්සලකටවත් යන්න ගෙදරින් එලියට ගියේ නැහැ. මල්ලි නම් යාලුවො එක්ක නොයෙක් නොයෙක් දේවල් කරමින් සතුටු වෙමින් කල්ගත කලා. අයියා ටිකක් වෙනස්. එයා ගමේ කෙලවර පන්සලක වැඩ හිටිය රහතන් වහන්සේ නමක් ඇසුරු කලා. බණ ඇහුවා. නිස්සාරත්වය තේරුම් ගත්තා. පසුව මව්පියන්ගේ අවසරයෙන් මහණ උනා. රහතන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ යටතේ වනගත වෙලා ගල් ලෙනක ජීවත්වෙන මේ භික්ෂුව කලකට පසුව රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. මේ අතර කාලයේ අම්මයි තාත්තයි වයසට ගිහින් මිය යනවා. නංගි හදිසි අසනීපයකින් මිය යනවා. මල්ලි පමණක් ගෙදර ජීවත් වෙමින් යාලුවන් එක්ක කමින් බොමින් දුරාචාරයේ යෙදෙමින් කාලය ගත කරනවා. දවසක් මේ අයියා හෙවත් පැවිදි වෙලා රහත් භාවයට පත්, රහතන් වහන්සේ කල්පනා කරනවා තමන්ගෙ ගමට පිණ්ඩපාතයේ වඩින්නට. එහෙම හිතල දවසක් හිමිදිරියේම මේ ගමට පිණ්ඩපාතයට වඩින විට දකිනවා බොහෝ කලකට පසුව දකින තමන්ගේ මල්ලි මැරිච්ච ඌරෙක් කරතියාගෙන ඉදිරියට එනවා. මල්ලිත් මේ තමන්ගෙ අයියා බව අඳුනාගත්තා. දෙදෙනා මොහොතක් කථා කරමින් ඉදලා මල්ලි රහතන් වහන්සේ වෙච්ච තමන්ගෙ අයියාට ආරාධනා කරනවා එදින දවල් දානයට ගෙදරට වඩින්න කියල. රහතන් වහන්සේ ඒ ආරාධනය පිලිගෙන කිව්වා දානයට වඩින්නම් හැබැයි මම ගෙදරට එනතුරු ඔය ඌරා මස් කරන්න එපා කියලා. ඉතිං එහෙම ගිවිසගෙන දෙදෙනා වෙන් වෙලා ගිහින් දවල් දානයට රහතන් වහන්සේ මල්ලි පමණක් ජීවත් වෙන මහගෙදරට වැඩම කලා. පුදසත්කාර කොට රහතන් වහන්සේව මේ මල්ලි පිලිගත්තා. රහතන් වහන්සේ මල්ලිගෙන ඉල්ලා සිටියා අර මැරිච්ච ඌරාව මෙතැනට අරගෙන එන්න කියා. ඉතිං මල්ලි ඌරාගේ මළකඳ එතැනට ගෙනාවා. රහතන් වහන්සේ කිව්වා මල්ලි ඔය ඌරාගෙ බඩ පලන්න ඇතුලෙ තියෙනවා ලොකු ගැරඬි කුණක් ඒක එලියට ගන්න කියලා. මල්ලිත් ඌරාගෙ බඩ පලලා ඒක ඇතුලෙ තිබුනු ගැරඬිකුණ එලියට ගත්තා. ඊටපස්සෙ රහතන් වහන්සේ කියනවා මල්ලි ඔය ගැරඬියාගේ බඩ පලන්න ඒක ඇතුලෙ ඇති මැරිච්ච ගෙම්බෙක් ඒ කුණ එලියට ගන්න කියලා. මල්ලිත් එහෙම කරලා මැරිච්ච ගෙම්බාවත් එළියට ගත්තා. 

ඊටපස්සෙ රහතන් වහන්සේ අහනව මල්ලි දන්නවද ඔය මැරිල ඉන්න ගෙම්බා කවුද කියලා. මල්ලි කියනවා නැහැ කියලා. රහතන් වහන්සේ කියනවා මල්ලි ඔය ගෙම්බා කියන්නෙ අපි දෙන්නගෙම එකම නංගි. එයා සංසාරෙ භයානක ගැනවත් පිණක් දහමක් ගැනවත් හිතුවෙ නැහැ. දවස පුරාම මාළුන්ට කන්න දිදී පොකුණ ලඟට වෙලා ආසාවෙන් බලා හිටියා. මරණාසන්නවත් එයාට සිහි උනේ පොකුණයි මාළුටිකයි ඒ නිසා උපන් සතුටයි. ඉතින් ඒ සතුට විඳින්න දැඩිව ආශා කල නිසා එයා දියෙයි ගොඩයි දෙකේම ඉන්න ගෙම්බෙක් වෙලා ඉපදුනා කියලා. එතකොට මල්ලි ඔය ගැරඬියා කියන්නෙ කවුද?? අපි දෙන්නාවම මෙලොවට බිහිකල අපි දෙන්නගෙම අම්මා. එයා පව් කලේ නැහැ. පිණක් කරගත්තෙත් නැහැ. සංසාරෙ ගැන බණක් ඇහුවෙත් නැහැ. කුස්සියයි ගෙදරයි තමයි එයාගෙ සතුට උනේ.. මරණාසන්න මොහොතෙත් එයාට කුස්සියමුල්ලම සිහි වෙන්න ඇති. ඒ නිසා එයා විශාල ගැරඬියෙක් වෙලා ඉපදුනා. ගැරඬියා ආහාර හොයාගෙන යද්දි අපේ නංගි වෙච්ච මේ ගෙම්බා පොකුණ ලඟ ඉඳල ගැරඬියා වෙච්ච අපෙ අම්මට ගොදුරු උනා. එතකොට මල්ලි ඔය ඌරා කියන්නෙ එහෙනම් අපි දෙන්නගෙම අප්පච්චි. එයා මඩනාගෙන කුඹුරෙමයි ජීවත් උනේ. එයාගෙ සතුට තිබුනෙ මඩේ ලැගගෙන කුඹුර කොටන එකමයි. පිණක් දහමක් ගැනවත් බණ ඇහීමක්වත් එයා කලේ නැහැ. මරණයෙන් පස්සෙ එයා කුඹුරෙම ලගින ඌරෙක් වෙලා ඉපදුනා. එහෙම ඉපදිලා අපේ අප්පච්චි ගැරඬියා වෙච්ච අපේ අම්මව ආහාරයට ගිල දැම්ම. පස්සෙ අපේ අප්පච්චි මල්ලි දඩයම් කරන්න හිතාගෙන අටවපු උගුලට අහුවෙලා මැරිලා ගියා. මේක තමයි මල්ලි සංසාරය. කලකදි එකම පවුලේ උදවිය තමතමන් කරපු කර්ම වල විපාක අනුව මැරිල ගිහින් තමතමන්ගේ අයගේම ගොදුරු බවට පත් උනා....කියල රහතන් වහන්සේ මේ කථාව පහදලා දුන්නා.


කාම විතර්ක වල ආශ්වාදයද, ආදීනවයද මේ උපමා කථාවෙන් ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ලෝභය හෝ ඇලීම කෙතරම් බලවත් දුක් ගෙන දෙනවාද කියා සිතන්නට වෙනත් බණපද උවමනා වෙන්නෙ නැහැ මේ කථාව අනුව. එතකොට මේ කතාවේ තියෙන්නෙ අහිංසක කාම විතර්ක නිසා ඇති වෙච්ච ආදීනව විතරයි. ඒවා කොච්චර අහිංසක උනත් විපාක හෙවත් ආදීනව ඉතාම භයානකයි. එහෙම නම් ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කෙතරම් බලවත් වේවිද කියා හිතාගන්නවත් බැහැ නේද. සසර ඒ තරමට බියකරුයි. එතකොට මේ ලිපිය ආරම්භයේදී අපි සඳහන් කලා ප්‍රමාදය සිදුවන්නේද සසරට වැටෙන්නේද මේ ත්‍රිවිධ විතර්කය නිසා කියලා. කර්ම හටගන්නෙත්, අනාගත භවය හැදෙන්නේත් මේ ත්‍රිවිධ විතර්ක උපකාරයෙන්මයි. 

සිහිය වඩන කෙනා හෙවත් අප්‍රමාදයට පත් කෙනා කියන්නෙ මේ ත්‍රිවිධ විතර්ක මග හරිමින් , කර්ම සකස් වෙන්නට ඉඩ නොදී සිටින්නාටයි. එයාට මතු විපාක සහිත භවයක් ඒ නිසා සකස් වන්නේ නැහැ. 

කොහොමද ඒක කරන්නේ?

"ඉධානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති"

-ගිරිමානන්ද සූත්‍රය-

හරිම ලස්සන සුන්දර විසඳුමක්. අපි එය සරල කරගෙන බලමු.

උප්පන්නං කාමවිතක්කං- උපන් කාම විතර්කයන් ( මෙයට ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කයද ඇතුලත් වේ)

නාධිවාසේති - නොඉවසයිද, ඉවසා බලා නොසිටියිද

පජහති - අත්හරීද

විනොදෙති - දුරින් දුරු කෙරෙයිද

බ්‍යන්තිකරොති - නැති කරයිද

අනභාවං ගමෙති- අභාවයට පත් කරයිද

දැන් වැටහෙනවා ඇති මෙහි තේරුම. කිසියම් කාමවිතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් සිතට ආවාම, එය පැමිනි බව සිහියෙන් දැනගෙන ඒ පැමිණීම ඉවසාගෙන බලාගෙන ඉන්නේ නැතිව, ඒ සිතිවිල්ලට නැවත බද්ධ නොවී අතහරියිද, ඒ සිතිවිල්ල පිලිකුලෙන් යුතුව දුරු කරයිද, නැති කර දමයිද, අභාවයටම යවයිද අන්න කර්ම ක්ෂය වෙනවා ඒ අරමුණ සම්බන්ධව. මේ තමයි සිහිය සහ භාවනාව. එතකොට මේ භාවනාව නින්දේදි හැර ඉතිරි මුළු ජීවිත කාලය පුරාම වඩන එකක්. මෙතැනින් තමයි සසරට එකතුවීම නතර කරන්න හැකි වෙන්නෙ. 

මේ ලිපිය ඉතාම සිහියෙන් කියවන යම් අයෙක් අප්‍රමාදය වඩන්නට සිහිය බලවත් කරගන්නට උත්සාහ කරයි නම් ඒ මොහොතේ සිට සසර දුකට වැටෙන ප්‍රවණතාවය නතර කොට සසර දුකින් නිදහස් වන මාර්ගයට පැමිණිය හැකි වෙනවා.

                          -තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-


සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com

Post a Comment

3 Comments

  1. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    ReplyDelete
  2. බොහොම පින්..

    ReplyDelete
  3. නොදන්නා කරුණු කීපයක් දැනගත්තා,තෙරුවන් සරණයි

    ReplyDelete