වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි / Ai නිර්මානයක්
හැඳින්වීම
ක්‍රිස්තුවර්ෂ 1815 මාර්තු මස 02 වැනිදා උඩුරට ගිවිසුම නම් ලියවිල්ලකින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතීන්ගේ පාලනයට නතු වී යටත් විජිතයක් බවට පත්වූ වග වත්මන් දරු පරපුර සමහරවිට නොදන්නවා වියහැකිය. එවකට සිංහල බෞද්ධයාගේ තිබුනු ගුණධර්ම, ආචාරධර්ම, බලලෝභීත්වය, කුල භේදය සහ කුල මාන්නය, අසමගිය, ආත්මාර්ථකාමය, ආදිය පිරිහී යාමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් හට සමහර උඩරට ප්‍රභූවරුන්ගේ ගිවිසුම්ගත එකඟතාවයෙන් සිංහල රාජ්‍ය බලය අල්ලාගෙන සිංහලේ අන්තිම රාජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවිය. රජු ඉංග්‍රීසීන්ට පාවා දුන්නේද උඩරට සිංහල බෞද්ධ ප්‍රභූ සමාජය විසින්ම බැව් ඉතිහාසයේ පැවසේ. එවන් සමාජ තත්වයක් මත වුවද, ජාතික හැඟීමෙන් කටයුතු කල ගිහිපැවිදි බෞද්ධ බොහෝ පිරිසක් ජාතික නිදහස් සටන තුලින් මවුබිම ආරක්ෂා කර ගැනීමට දිවි පරදුවට තබා අභීතව කටයුතු කල ආකාරය අපගේ ඉතිහාස පාඩම් අපට කියාදෙයි. ඒ අතරට වැටෙන ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් වන්නේ ජාතික නිදහස් සටනේ අභීත මුරදේවතාවා යන විරුදාවලිය ලත් වාරියපොල ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. මේ උන්වහන්සේ පිලිබදව තොරතුරු බිඳක්ය.
වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි / Ai නිර්මානයක්
වාරියපොල ශ්‍රී සුමංගල හිමි ගේ උපත
ශ්‍රී ලංකාවේ වයඹ පලාතට අයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දේවමැදි හත්පත්තුවේ, දේවමැදි කෝරලයේ, වාරියපොල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ගමක උන්වහන්සේ වර්ෂ 1795 දී බමුණාකොටුවේ හේරත් මුදියන්සේලා ගේ කිරිහාමි නමින් උපත ලැබීය.
මව්පියන් පිළිබඳ විස්තර
උන්වහන්සේ ගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ ලෙස හැඳින්වෙන අතර උන්වහන්සේ ගේ මෑණියන් පිළිබඳව තොරතුරු තරමක් අප්‍රකට වූවත්, එතුමිය සුප්‍රකට කීරවැල්ලේ පරම්පරාව ට අයත්ව සිටි බැව් කිසියම් පුස්කොල ග්‍රන්ථයක තිබී හමුවී ඇති බවට සඳහන්ය. කීරවැල්ලේ පරම්පරාව යනු දළදා වහන්සේ මෙරටට වැඩම කරවූ මුල් පරම්පරාවට අයත් පරපුරක් බවද මූලාශ්‍ර සඳහන් කරයි. කීරවැල්ල පරම්පරාවේ මව්පස ඥාති විශාල පිරිසක් පැවිදි භාවය ලබාගෙන වාසය කර තිබෙන්නේ අස්ගිරි මහා විහාරයේ බවද,එකල දළදා තේවාව භාරව කටයුතු කර ඇත්තේ අස්ගිරි මහා විහාරය බවද මූලාශ්‍ර සඳහන් කරයි.
බමුනාකොටුවේ රාළ ගේ පරපුරෙන් පැවතී එන ඥාතී සම්බන්ධතා ඇති පිරිස් වර්තමානයේත්, වාරියාපොල ආශ්‍රිතව බමුනාකොටුව, මූණමලේ, කටුපොත, කඩියාව, අහුගොඩ, නෙත්තිපොල ගෙදර, මාමුණුව, දුනුපත්අංගෙ, වේපත්අංගෙ, විල්බාගෙදර, මින්හෙට්ටිය, වැරැල්ල, නවගත්ත, කරගස්වැව, ඇඹව, කිතගම, මඟුලාගම, නාවින්න, නරමාන, ආදී ප්‍රදේශපුරා විසිරී සිටිනු ඇතැයි අනුමාන කෙරේ.
භික්ෂූ ජීවිතය
බමුණාකොටුවේ හේරත් මුදියන්සේලා ගේ කිරිහාමි නම් වූ මෙම කුලකුමරු, එවකට අස්ගිරිය මහා විහාරයේ හිමිනමක් වූ නාවින්නේ ධම්මදස්සි හිමියන්ගේ මඟ පෙන්වීමෙන් අස්ගිරිය මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක හිමියන් වෙතින් පැවිදිභාවය ලබාගෙන ඇත්තේ මේ කුල කුමරුවා මව් පාර්ශවයෙන් කීරවැල්ල පරම්පරාවට අයත් වීම නිසා වියයුතු බවට මූලාශ්‍ර මතයක්ද පවතියි.ඉඳවලුගොඩ ධම්මපාල මහානායක හිමි යනු, කීර්ති ශ්‍රී රාජසිංහ රජසමයේ සියම් දේශයෙන් වැඩම කල උපාලි ස්ථවිරයන් යටතේ, අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ විහාරයෙහි බද්ධ සීමා මාලකයේදී ක්‍රිස්තු වර්ෂ 1753දී උපසම්පදාව ලැබූ අස්ගිරි මහා විහාරයට අනුබද්ධ උපසම්පදා භික්ෂූන් 21 ක් නමක් අතරින් එක් නමකි. උන්වහන්සේ පසුකලෙක අස්ගිරි මහා විහාරයෙහි ක්‍රිස්තු වර්ෂ 1778 – 1807 යන කාලයේදී මහානායක ධූරයට පත්වී ඇත.
ලබා ගත් ශාසනික තනතුරු
වාරියපොල ශ්‍රී සුමංගල හිමියින් පසු කලෙක ඉඳවලුගොඩ ධම්මපාල මහා නාහිමියන් ගේ ආචාර්යයත්වයෙන් අස්ගිරි විහාරයේදී උපසම්පදාව ලබාගත් අතර, පසුව කර්මාචාර්යය, අනුකාරක, කාරක, නායක, අනුනායක, ධූරවලින් ද, පුදනු ලැබීය.
භික්ෂු පරපුර
වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්, මහනුවර සුදුහුම්පොල රාජ මහා විහාරය සහ වාරියපොල ශෛලතලාරාමය යන උභය විහාරයන් වල විහාරාධිපතිත්වය දැරූ අතර, මේ හරහා බිහිවූ ශිෂ්‍යවර භික්ෂු පරම්පරාව අදටත් අඛන්ඩව පවතින බව මූලාශ්‍ර සඳහන් කරයි. එය වාරියපොල ශෛලතලාරාම පිරිවෙන් විහාරය, කදිරාගල විහාරය, හෙටිගම විහාරය, මල්වාන විහාරය, දඹලියද්ද සුගතාරාම විහාරය, නාවින්න විජයසුන්දරාරාම පුරාණ විහාරය, පනාගමුව පුරාණ විහාරය, වාරියපොල විශුද්ධාරාම විහාරය, ආදී ස්ථානවල භික්ෂු පරපුරක් ලෙස පැවතගෙන එයි.
වාරියපොල ශ්‍රී සුමංගල හිමි ගේ ගිහිපාර්ශවයේ ඥාති පරපුර
පිය පාර්ශවය ගත් කල වාරියපොලට නුදුරු බමුණාකොටුව ආශ්‍රිතව හේරත් මුදියන්සේලාගෙන් පිය පාර්ශව ඥාති පරපුර විකාශනය වූ අතර, මව් පාර්ශවය වන කීරවැල්ල පරම්පරාව මෙරටට දළදා වහන්සේ වැඩම කරවූ හේමමාලා දන්ත කුමරු දෙපලගෙන් පැවතගෙන එය බවට ජනප්‍රවාදයක් ඇති බැව් මූලාශ්‍ර සඳහන් කරයි.
ඉංග්‍රීසි කොඩිය බිම හෙලා සිංහල ධජය එසවූ ආකාරය/ Ai නිර්මානයක්
වාරියපොල සුමංගල හිමිගේ ජාතික සහ ශාසණික භූමිකාව
· සිංහලේ අවසන් රජු ලෙස හැඳින්වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පාලන සමයේදී, මහනුවර සුදුහුම්පොල පුරාණ විහාරයේ විහාරාධිපති ධූරය හෙබවූ උතර උන්වහන්සේ රජතුමාගේ නිබඳ ගෞරව ආදරයට පාත්‍ර වූ හිමිනමකි. එම නිසාම දළාදා මාලිගයේ තැන්පත.්ව තිබූ දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වයද පැවරී තිබුනේ වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්ටය. වර්තමානයේ මෙන් නොව එවක වත් පිළිවෙතින් සහ ගෞරව ශ්‍රද්ධාවෙන් යුක්ත වූ මේ මහා යතිවරයන් වහන්සේලා ජීවිත පරදුවට තබා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට පියවර ගත්හ.
· වර්ෂ 1815 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට පාවා දීමෙන් පසුව, රජතුමා ඉංග්‍රීසීන් ගේ අත්අඩංගුවට පත් විය. උඩරට සහ ලක්දිව පාලනය ඉංග්‍රීසීන්ට භාරදීමට ගිවිසුමක් සකස් කල යුතු අන්දම පිලිබඳව එවකට රදළ ප්‍රභූවරු වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්ට දැන්වූ අවස්ථාවේ උන්වහන්සේ ගේ අදීන මතය වූයේ, “මෙය අතිශය තීරනාත්මක බවත්, අපගේ ජාතිය ආගම සිරිත් විරිත් ආරක්ෂා කරන බවට අත්සන් සහිතව ඉංග්‍රීසීන් විසින් ලිඛිත පොරොන්දුවක් ලබාදිය යුතු බවත්, එබඳු ගිවිසුමකට ඔවුන් අත්සන් කරන තෙක් ඉංග්‍රීසි ධජය කිසිසේත් ඔසවන්නට ඉඩ නොදිය යුතු බවටත්”ය.
· වර්ෂ 1815 මාර්තු 02 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ කපුවත්තේ මිල්ලව නිලමේ, මොල්ලිගොඩ නිලමේ, මොනරවිල කැප්පෙටිපොල නිලමේ ප්‍රධාන උඩරට රදළවරුන් සිංහලයන් වෙනුවෙන් පෙරමුණ ගත් අතර ඒ සියලු දෙනා අතර සිටි දැවැන්ත සෙවනැල්ල වූවේ වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්ය.
· එදින ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසි ධජය ඔසවා තිබෙනු දුටු වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන්, එයින් බලවත් කම්පනයට සහ කෝපයට පත්ව, ජාතිකාභිමානයෙන් යුක්තව එතැනට ගොස් “ තොප කාගේ නියමයෙන් මේ කොඩිය එසවූවත්, දැන්ම තොපේ කොඩිය ඔසවන්නට ඉඩක් නෑ” යනුවෙන් පවසමින් අභීතව ඉංග්‍රීසි කොඩිය බිමදමා සිංහලේ ධජය යලි වතාවක් ඉහලට එසවූ අවස්ථාවේ ඉංග්‍රීසි නිලධාරියෙක් අසිපත ඔසවාගෙන උන්වහන්සේ වෙතට පැන්නත්, කල වරද දැන සිටි ජෝන් ඩොයිලි ආණ්ඩුකාරවරයා එය වලකා මහ නාහිමි ගෙන් සමාව අයැද සිටි බවට ඉතිහාසය කියයි.
· ඉංග්‍රීසීන් ගේ කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙල පිලිබඳව කලකිරුනු උඩරට රදළ සමාජය ඉංග්‍රීන් පලවා හැරීමට කැරළි ගසන තත්වයකට පැමිණි අතර, එහි මූලිකත්වය කිවුලේගෙදර මොහොට්ටාල, විල්බාවේ රටේ රාළ වැනි දේශ හිතෛශී විරුවන් අතට ගත්හ. මොනරවිල කැප්පෙටිපොල නිලමේ ද තත්වය පිලිබදව ගැඹුරින් සිතා බලා කැරලි කරුවන්ට එක් වූ අතර, සිංහල රටක් සිංහල රජෙක් පිලිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි වාරියපොල ශ්‍රී සුමංගල හිමි, දිනක් අළුයම දලදා තේවාව පවත්වා අවසන්ව, දළදාව කිසිවකුටත් හොර රහසේම කුඩා කරඬුවක බහා තමන් වහන්සේගේ හිණතුරේ සඟවා ගෙන, වනගත මාර්ග ඔස්සේ, හිරිපිටියේ දන්තිල සෙනෙවිරත්න කීරවැල්ල නිලමේ ගේ පුත් බුළුගුනේ බන්ඩාර සමග මොනරවිල කැප්පෙටිපොල නිලමේ සොයා පිටත්ව යාම.
· බුළුගුනේ සෙනරත් බණ්ඩාර සමග ගොස් කැප්පෙටිපොල නිලමේ අතට ශ්‍රී දළදා වහන්සේ පත් කිරීම නිසා සිංහල රාජ්‍යත්වය පිලිබඳව විශාල උද්යෝගයක් ජනතාව අතර ඇති කරන්නට උන්වහන්සේ සමත්විය.
· වර්ෂ 1818 දී උඩරට කැරැල්ල අසාර්ථක වී කැප්පෙටිපොල නිලමේ ප්‍රමුඛ පිරිස අත්අඩන්ගුවට පත්වීමත් සමග වාරියපොල සුමංගල හිමිපානන්ද, සඟවා ගෙන සිටි දන්ත ධාතූන් වහන්සේ සමග ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්විය. ඉංග්‍රීසි යුද්ධාධීකරණය විසින් රාජද්‍රෝහී වැරදි චෝදනා පනවා යාපනය සිරමැදිරියට සිර දඬුවම් සඳහා උන්වහන්සේව යැවූ අතර, යලි වර්ෂ 1821 අප්‍රේල් මස 13 වැනිදා නාහිමියන් නිදහස් කරන ලද බැව් පැවසේ.
කිනම් දුෂ්කරතා මැද වුවද දළදා වහන්සේට නියමිත පුදපූජා පැවැත්වීමට වාරියපොල සුමංගල නාහිමියන් අමතක කලේ නැත. දළදා වහන්සේ සඟවාගෙන පලායමින් දුෂ්කර දිවියක් ගත කල උන්වහන්සේ ගේ ඒ අප්‍රමාණ කැපවීම පිලිබඳව අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා සතුව තිබූ පුස්කොල පොත් අතරින් පහත සඳහන් සටහන මූලාශ්‍ර විසින් ගෙනහැර දක්වයි.
“ බුධ වර්ෂ දෙදහස් තුන්සිය අපනස් අටේ නවම් මස පුරනවවක ලත් සෙනසුරාදා රෙහෙනේ නැකතින් රෑවට තුන්පැයක් තියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අල්ලා ඉංග්‍රීසීන්ට භාරදී ගිවිසුන් ලියාගෙන රාජ්‍ය භාර දුන්නාය... ගිවිසුමට අත්සන් තබන්නට පෙර ඉංග්‍රීසි කොඩිය ඇදපු තැනේදී වාරියපොල නායක ස්වාමින් වහන්සේ එය බිම ඇද බිම දමා පාගා ගන අස්කල තැනේදී ඉංග්‍රීසි කොඩිය අදින්නට ඉඩ දුන්නාය..... සිංහල කොඩිය බෑවාය. එවෙලාවෙදී දලදා වහන්සේ වාරියපොල නායක ස්වාමින් ලඟ දළදා වහන්සේ තිබුනාය. රජ භාරදී දළදා වහන්සේ ගෙන දඹුලු කැලේ වැඩ සිටින ප්‍රස්ථාවේදී නව පැය වෙලාවට ආහාර පූජාවට යමක් නැතුව සිටින ප්‍රස්තාවට..... ගිරවකු විසින් එඉදිරිපිට දැමූ මී අඹ ඵලයෙන් පූජාව සිධ කර තමන් වහන්සේත් වැළඳුවාය...දළදා වහන්සේ නැතුව සංඝයා සිරභාරයට ගෙන සිටින ප්‍රස්ථාව අන්තරාවක් වොනව බව දැන වදාරා භාර දුන්නාය...සිඞම්...”
(උපුටා ගැන්ම - වාරියපොල ශ්‍රී සුමංගල නා හිමි- තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි - පූජිත ජීවිත ඇසුර 11)
මෙවන් මහා සංඝ පීතෲවරයන් වහන්සේලා ගේ වටිනාකම එදාටත් වඩා තදින්ම දැනෙන්නේ වර්තමානයේ අදටය. විවිධ හේතුමත මුදල් පසුපස හඹා යමින්, ධර්මය විකෘති කරමින්, අධර්මය දෙසමින් ශාසණික පරිහානිය සනිටුහන් කරමින් පවතින මේ යුගයට, මෙවන් සුපේෂල ශික්ෂාකාමී මහානායක අනුනායක නාහිමිපාණන් වහන්සේලා කෙතරම් වටීද?
එවකට පැවති අධිරාජ්‍යවාදී අත්තනෝමතික පාලන යුගයේදී, බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටත් ජාතියත්, බුදුදහමත් වෙනුවෙන් කෙතරම් දිවි පුදා ඇතිද? වාරියපොල ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ අනුව යමින් ගංගාරාමයේ උඩුවේ තෙරුන් වහන්සේ, 1843 ජාතික නිදහස ව්‍යාපාරයේ ප්‍රමුඛයා වූ චන්දජෝති තෙරුන් වහන්සේ, 1848 උඩරට කැරැල්ලේ ස්වකීය ජීවිතය පූජාකල කඩහපොල ස්වාමින් වහන්සේ, සදා වන්දනීය පූජනීය අනුපමේය සේවයක් කල යතිවරයන් වහන්සේලා වේ. වාරියපොල ශ්‍රී සුමංගල මහා නාහිමි, ජීවිතයේ අවසන් කාලයේ අප්‍රකටව දරානේ ලෙනේ ජීවිතය ගතකොට අපවත් වී වදාල බැව් මූලාශ්‍ර සඳහන් කෙරේ. උන්වහන්සේට අජරාමර නිවන් සුවය අපි ප්‍රාර්ථනා කර සිටිමු.
මූලාශ්‍ර
1 පූජිත ජීවිත ඇසුර/ සංස්කෘතික කටයුතු අමත්‍යාංශය/තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
2 https://www.divaina.lk/features/39633
3 https://lankaleader.com/lankaleader/page/10?post_id=11825



👍...
ReplyDelete