ධර්මය සහ ජීවිතය - 02 කොටස

 


පසුගිය ලිපියෙන් ප්‍රසාද රූප, මඤ්ඤමානය,  පඤ්චස්කන්ධය, පඤ්චඋපාදානස්කන්ධය , ගැන කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. හටගැනීම නැතිවීම පිලිබඳව සිහියෙන් දැකිය යුතු ආකාරය පිලිබඳව දළ අදහසක් ඒ තුල තිබිය හැකියි. මින් ඉදිරියට පෘතග්ජන භාවය, ප්‍රපංච,ආශ්‍රව, අනුශය කෙලෙස් ධර්ම පිලිබඳව සරල මූලික කාරනා සාකච්ඡා කිරීම සුදුසු යැයි හැඟේ. 

පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං - තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං. තං අස‍්සුතවා පුථුජ‍්ජනො යථාභූතං නප‍්පජානාති. තස‍්මා අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස චිත‍්තභාවනා නත්‍ථීති වදාමීති.

මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය. එය ආගන්තුක රාග,ලෝභ ද්වේශ ආදී උපක්ලේශයන්ගෙන් කිලිටි වන්නේය . අශ්‍රැතවත් පෘතග්ජනයා එය නිසි පරිද්දෙන් නො දනී. එහෙයින් අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.

අංගුත්තර නිකාය-ඒකක නිපාත-පභස්සර වග්ගය-


පෘතග්ජනයා යනු කවුද

බුදුරජාණන් වහන්සේගේ බුදු වදන අනුව පෘතග්ජන කෙනා ඕනෑම මොහොතක මරනයෙන් පසුව සුගතියට වගේම නිරයට, තිරිසන් භාවයට, ප්‍රේත භාවයට පත්විය හැකි අනතුරකයි ඉන්නෙ. කොපමණ සිල් සමාදන් උනත්, කොපමණ දන් දුන්නත්, කොපමණ භාවනා කලත් කොපමණ පින් කලත්  ඒ අනතුර එසේමයි කියා ධර්ම න්‍යායෙහි සඳහන් වෙනවා. එයින් අදහස් වෙන්නෙ නැහැ සිල්රැකීම, දන්දීම, භාවනා කිරීම නුසුදුසු දෙයක් කියා. ඒවාද කල යුතුයි. සුත යන වචනයේ තේරුම අසන බව. ඇසූ බව.අසා දැන ගත් බව. අසා ඉගෙන ගත්  දෙය යන අර්ථයයි.  නිර්වචනය (පාලි සිංහල ආකාරාදිය-අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවීර-661 පිටුව) මෙම නිර්වචනය ඉතාම වැදගත් කාරනා රාශියක් ඉස්මතු කරවයි. 

අස්සුතවා පුථුජ්ජනො, අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො,

(මජ්ජිම නිකාය-චූල යමක වග්ගය- චූල වෙදල්ල සූත්‍රය)

අස්සුතවා හෙවත් අශ්‍රැතවත් පුද්ගලයා පිලිබඳ පළමු නිර්වචනය නම් ඔහු ලෝකය අනුව යන්නෙක් බවයි. එනම් අනුසෝතගාමි පුද්ගලයෙක් බවයි. ලෝකය අනුව යන්නෙක් යනුවෙන් අදහස් කරන්නේ ඔහු ලෝකය දකින්නේ සාපේක්ෂ සහ සම්ප්‍රදායික දැනුම මත බවයි. ලෝකය පිලිබද ඔහුගේ නිර්වචනය තමා යැයි යමෙක් සිටිනවා ලෝකය කියා යමක් තමාගෙන් බාහිර තිබෙනවා යන්නයි. තිබෙන දේයි පෙනෙන්නෙ තිබෙන දේයි ඇසෙන්නේ තිබෙන දෙයයි දැනෙන්නෙ යනුවෙන් නිත්‍ය වූ සංඥාවක් ඔහු තුල තිබෙනවා. ඒ සංඥාව විවිධ විෂයයන් මගින් බාහිරව ලැබුන දෙයක්. ඉතිහාසය,භූගෝලය, රසායන විද්‍යාව,භෞතික විද්‍යාව, ආගමික දැනුම, පාසල් අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර වලින් දෙන දැනුම තුල තියෙන්නේ බාහිර නිත්‍ය වූ දේවල් ඇත, තමා යැයි සත්ත්වයෙක් පුද්ගලයෙක් ඇත යන දෘශ්ඨියයි. 

රූපෙ ඛො, භික්ඛවෙ, සති, රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති - එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා ති. වෙදනාය සති...සඤ්ඤාය සති ... සඞ්ඛාරෙසු සති... විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා ති.

“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘මෙය මගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි, යන දෘෂ්ටිය උපදියි. වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා, සංඥාවට පැමිණ ‘මෙය මගේය මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා. සංස්කාරයන්ට පැමිණ මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි’ යන දෘෂ්ටිය උපදියි. විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි යන දෘෂ්ටිය උපදියි.

-සංයුත්ත නිකාය - දිට්ඨි සංයුත්තය- එතං මම සූත්‍රය-

මෙහිදී වදාලේ කුමක්ද? අස්සුතවා හෙවත් අශ්‍රැතවත් පුද්ගලයා රූපය හෙවත් ශරීරය මමය මාගේය මාගේ ආත්මයය වශයෙන් මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා බවද, ඒ විදියටම  වේදනාව,සංඥාව,සංඛාරය,විඤ්ඤාණය මමය මාගේය මාගේ ආත්මයය වශයෙන් මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා බවත්ය. එය සම්මුති ලෝකයේ දැක්මයි. එය පෘතග්ජන දැක්ම ලෙස හැඳින්වීම සුදුසුය. එතකොට සියලු ලෝක ස්ත්ත්වයා කටයුතු කරන්නේ මෙම සම්මුති දැක්ම තුලය. එය අනුසෝතගාමී පිලිවෙත යැයි හැඳින්වේ. 

අනුසෝතගාමී පිලිවෙත තුලම සත්ත්වයා සිටින්නේ ඇයි?

1.අස්සුතවා පුථුජ්ජනො, අරියානං අදස්සාවී - ආර්යය දර්ශනය හෙවත් ආර්යය දැක්ම නොදකින නිසා.කුමක්ද ආර්යය දර්ශනය? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයෙන් හෙබි ත්‍රිලක්ෂනය. හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය.

2.අරියධම්මස්ස අකොවිදො - එම ආර්යය දර්ශනය හෙවත් ලෝකොත්තර සම්මා දෘශ්ඨිය පිලිබඳව අසා නොමැති හෙයින්, එම  ආර්යය දර්ශනය හෙවත් ලෝකොත්තර සම්මා දෘශ්ඨිය අසා ඉගෙනගෙන දැනගෙන දැකගෙන නොමැති හෙයින් එම ආර්යය ධර්මයෙහි දක්ෂ නොමැති නිසා

3.අරියධම්මෙ අවිනීතො - එම ආර්යය ධර්මයෙහි හික්මී නොමැති නිසා. එසේ වන හෙයින් අනුසෝතගාමී සත්ත්වයා නොසන්සිඳෙන ආශාවකින් ලෞකික සැපම අපේක්ෂා කරනවා.


සැපටම කැමති සත්ත්වයා

මිනිසා ඇතුළු සියලුම සත්ත්වයා කැමැත්ත දක්වන්නේ දුකක් නොවිඳ සැපෙන් ජීවත් වන්නටය. අනුසෝතගාමී පෘතග්ජන පිලිවෙත තුල තිබෙන්නේ දුකක් නොමැතිව සැපෙන් සිටින්නට මිලමුදල්,රැකියා ගෙවල් දොරවල් යාන වාහන දේපල ඉඩම් ධනය බලය තත්වය නම්බුව ප්‍රසිද්ධිය ආදිය තමා සතු කරගැනීමෙන් දුක නොවිඳ සැප ලැබිය හැකි බවය. එහෙත් ඒ සැප නිත්‍ය නොවන බවත්, ඒ දේවල් කෙරෙහි දුන් වටිනාකම් ක්ෂය වන විට ඊට වඩා වටිනාකම් සහිත දේ කෙරෙහි සිත ඇදී යන බවත්, ඒවා නැවත ජීවිතයට එක් කරගැනීමට බොහෝ වෙහෙස සහ දුක විඳිය යුතු බවත් හැමදෙනාම අත්දැකීමෙන් දන්නා කාරණයක්ය. එය උපමාවකින් කිවහොත් පිපාසයට ලුණු වතුර බීම හා සමාන වේ. ඇති වීමක් නොමැති හෙයින් සැනසීමක් නොවේ. ඒ නිසා ඒවා සොයා යාම (කාම ඒසනා) දිගින් දිගටම සිදුවේ. 

ඒ නිසා දහමෙහි උගන්වනු ලබනවා ක්‍රම දෙකකට ලෝක සත්ත්වයා සැප සොයා යන බව.

1.දේවල් රැස් කිරීමෙන් සැප ලැබිය හැකිය (අනුසෝතගාමි)

2.රැස් කල දේවල් අතහැරීමෙන් සැප ලැබිය හැකිය. (පටිසෝතගාමී)

පටිසෝතගාමි මාර්ගය අසීරුය. ලෝකය කෙරෙහි මනසින් දුන් වටිනාකම් අතහැරෙන විට දේවල් සොයා යාම වෙනුවට ජීවිතය හා කය පවත්වන්නට පමණක් වෙහෙස විය යුතු බව මාර්ගයට වැටුනු දනී. රැස් කරන ලෝකයක අත්හරිමින් යන ගමනක් මාර්ගයෙහි ඇත. අතහරින්නේ බාහිර ගෙවල් දොරවල් ඉඩම් දේපල මිලමුදල් අඹුදරුවන් දෙමාපියන් නොව ඒවා කෙරෙහි දුන් වටිනාකම් වලට හදාගත් ඇලීම සහ ගැටීම බව මාර්ගයේ යන කෙනා දැනගනී. වටිනාකම් දුන් දේවල් වලට වස්තු කාම යැයි කියනු ලැබේ. ඒ කාමයන්ට ඇති ඇලීම් ස්වභාවයට ක්ලේශ කාම යැයි කියනු ලැබේ. වස්තුකාම සහ ක්ලේශ කාම වලට පොදුවේ කාමයන් යැයි ව්‍යවහාර කෙරේ. 

ඊලඟ ලිපියෙන් කාමයන් පිලිබඳව සාකච්ඡා කෙරේ.


ඡායාරූපය - https://www.pinterest.com/

මූලාශ්‍ර

1.අංගුත්තර නිකාය-ඒකක නිපාත-පභස්සර වග්ගය

2.පාලි සිංහල ආකාරාදිය-අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවීර-661 පිටුව

3.මජ්ජිම නිකාය-චූල යමක වග්ගය- චූල වෙදල්ල සූත්‍රය

4.සංයුත්ත නිකාය - දිට්ඨි සංයුත්තය- එතං මම සූත්‍රය

Post a Comment

0 Comments