තන්හාව..විඳීම...විඳවීම සහ අනිත්‍යතා දුකින් මිදෙන මග

 

                                        තන්හාව සහ චිත්ත සමාධිය / Ai නිර්මානයක්

 

හැඳින්වීම

තන්හාව, විඳීම සහ විඳවීමේ ගැඹුරු ධර්මතාව ගවේෂණය කිරීම. ශරීරයේ සහ මනසේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් දුකින් මිදෙන මාර්ගය පිළිබඳ ගැඹුරු බුද්ධ දර්ශනික විශ්ලේෂණයක්.

 ශරීරය යන්ත්‍රයක් පමණයි 

මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක්, ගලක්, පුටුවක්, මේසයක්, ඇඳක් වගේ දෙයකට සමානයි. ඒවාට හිතන්න බැහැ. ශරීරය හෙවත් කයටත් එසේමයි. ගස්, ගල්, ඇඳ, පුටු, මේස වලට විඳින්න බැහැ. ශරීරයටත් එසේමයි - හිතන්නත් බැහැ, විඳින්නත් බැහැ, විඳවන්නත් බැහැ. එහෙම හිතන, විඳින, විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැ - අතපය හොල්ලන්න, ගමන් කරන්න, ඉඳගන්න, නිදාගන්න ඒ කිසිවක් කරන්නත් ශරීරයට දැනුමකුත් නැහැ, ස්වාධීන හැකියාවකුත් නැහැ. ශරීරය යන්ත්රයක් විතරයි.

යන්ත්රයක් ක්රියාත්මක වෙන්නට බලශක්තිය සහ විධානය අවශ්යයි. ශරීරයේ බලශක්තිය තමයි කබලිංකාහාර හෙවත් ආහාර, ජලය සහ හුස්ම (කබලිංකාහාරය කියන්නෙ ඒ තරම් සරළ දෙයක් නෙවෙයි, එය ගැඹුරු කාරණයක්).

 
                                                අනිත්‍ය වූ ජීවිතය - Ai නිර්මානයක්

ආදරය සහ වෛරය - ශරීරයෙන් ශරීරයට

නමුත් ඔන්න ශරීරය - තමන්ගේ යැයි සම්මත ශරීරය වේවා, බාහිර අනුන්ගේ යැයි සම්මත ශරීරය වේවා - යථාර්ථය ඕකයි. ඉතින් ශරීරයක් තව ශරීරයකට හෝ යමකට ආදරය කරනවා, පෙම්කරනවා කිව්වාම හරිද? එහෙම වෙනවා නම් ඒක මොන තරම් විකාරයක්ද කියා හිතෙනවාද? ශරීරයක් තව ශරීරයකට හෝ යමකට වෛර කරනවා, ඊර්ෂියා කරනවා කිව්වාම හරිද? එහෙම වෙනවා නම් ඒක මොන තරම් විකාරයක්ද කියා හිතෙනවාද?

කිසිවකුගේ ආත්මයක් නොවන, කිසිවකු නොවන, කිසිවකුට අයත් නැති හුදු ශරීරයේ පැවැත්ම සහ විධානය වෙන කිසිවක් නෙවෙයි සිතයි. මේ සිත තුලයි විඳීම හටගන්නෙ. මේ සිත තුලයි සිතීම හටගන්නෙ. ඒ හැම දේකටම සිත තුලයි තන්හාව තියෙන්නෙ. යම් තන්හාවක් තිබෙයිනම් එයට එකම හේතුව විඳීමයි. වෙනත් හේතුවක් නොමැත.

බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු පැහැදිලි කිරීම

"වෙදනාපච්චයා තණ්හා ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා වෙදනාපච්චයා තණ්හා. වෙදනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යපථිදං - චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථා ති ?"

බුදුරජාණන් වහන්සේ එසේ වදාරා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අසනවා: "ආනන්දය.. යම් විඳීමක් හේතු කරගෙන තන්හාව ඇතිවෙයිද, එය මෙන්න මේ විදියට දැනගත යුතුයි" කියලා. "කෙනෙකුට යම් වෙලාවක, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, යන මේ විඳීම් නැතිනම් තන්හාවක් කියා දෙයක් තිබේද?" කියා.

එතකොට මෙතන තියෙනවා මහා විශාල ගැඹුරු කාරණයක්. ඒ තමයි විඳීම හටගන්නේ කොතැනින්ද කියන කාරණය ආපස්සට ගිහින් පැහැදිලි කෙරෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්. උත්තරය එතැන තියෙනවා. ආයතන වල ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නෙ.

 

                   ඇස කණ නාසය ආදී ආයතන සහ විඳීම හට ගැනීම - Ai නිර්මානයක්

ආයතන සහ රූප විඳීමේ මූලාශ්‍රය

එතකොට ඇස, කණ, නාසය, දිව, කය කියන ආයතන වලට ගෝචර වන්නේ, එහෙම නැත්නම් ස්පර්ශ වන්නේ රූප. රූප කිව්වාම කණට, නාසයට, දිවට, කයට ගෝචර වන පෙනෙන නොපෙනෙන සියල්ලම. මොනවාද ඒ?

1.     ඇසට පෙනෙන රූප රූපය

2.     කණට ඇසෙන ශබ්ද රූපය

3.     නාසයට දැනෙන ගන්ධ රූපය

4.     දිවට දැනෙන රස රූපය

5.     කයට දැනෙන පහස හෙවත් පොට්ඨබ්බ රූපය

දැන් මේ ටික එකිනෙකට ගැටුන පමණින් විඳින්නට බැහැ. මොකද ඇසට, කණට, නාසයට, දිවට, කයට හිතන්නට හෝ විඳින්නට හෝ බැරි නිසා. එසේ නම් මෙතනට සිත එන්නට ඕනෙ. එක සිතක් නෙවෙයි - සිත් පහක්.

දැන් ඒ ඒ තැනට සිත හෙවත් විඤ්ඤාණය පැමිණි විට, ඒ ඒ රූප අරමුණු වල අරමුණු රසය සිත විඳින්නට පටන් ගන්නවා. ඒ අරමුණු රසය තුල කැමති බවක් හෝ අකමැති බවත් තියෙන්නට පුලුවන්. ප්රියමනාප බවක් හෝ අප්රිය අමනාප බවක්ද තියෙන්නට පුලුවන්. හැබැයි කිසිම බාහිර අරමුණක නිත්ය රසයක් නැහැ. බාහිර අරමුණ අරමුණක් විතරයි.

සාපේක්ෂ වේදනා සහ අනිත්‍යතාව

සිතට දැනෙන විදියට අරමුණ ප්රියමනාප එකක් නම් සැප වේදනාවක්ද, සිතට දැනෙන විදියට අරමුණ අප්රිය අමනාප එකක් නම් දුක වේදනාවක්ද, අරමුණු මැදහත් එකක් නම් මැදහත් වේදනාවක්ද ඇති වේ. එතකොට විඳින්නේ ඇස, කන, නාසය හෝ රූප, ශබ්ද, ගන්ධ නොව, ඒ අරමුනු වලින් සිතට දැනෙන රසයටයි බව දැන ගැනීම වැදගත්ය.

මේවා සත්ත්වයාගෙන් සත්ත්වයාට සාපේක්ෂය. යමෙක් තිත්ත රසයට කැමති අතර තවකෙනෙක් පැණිරසයට කැමතිය. මිනිසුන්ට අසූචි අප්රිය අමනාප උනාට ඌරන්ට, බල්ලන්ට අසූචි ප්රියමනාපය. යමෙක් ඒ ඒ හැඩයේ රූප වලට කැමති අතර තවකෙක් ඊට වෙනස් හැඩයේ රූප වලට කැමති විය හැකිය. ඒ නිසා මේ බාහිර තිබෙන කිසිම වස්තුවක නිත්ය රසයක් හෝ වටිනාකමක් නොමැත. ඒ ඒ සත්ත්වයාට හැඟෙන දැනෙන පරිදි ඒවා අනිත්යය වේ.

කෙසේ හෝ බාහිර රූපය උපකාරයෙන් අරමුණු රසය තුල හටගත් විඳීමට සත්ත්වයා කැමැත්තෙන් ඇලෙයි. නොඑසේ නම් අකමැත්තෙන් ගැටෙයි. ඒ ඇලීම සහ ගැටීම දෙකම සිතින් අල්ලාගැනීමට හේතු වේ. ඒ නිසා තන්හාව හටගනියි.

 

තන්හාවේ සමුදය

"ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො. ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති."

බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට ඉතාම වැදගත් න්‍යාය සමීකරණයක් මෙතැනදි පැහැදිලි කරනු ලබනවා:

1.     මේ ත්‍රිවිධ වේදනාව කරුණු කොට ගෙන තන්හාව ඇලීම ඇතිවෙනවා.

2.     තන්හාව කරුණු කොටගෙන නැවත නැවත රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු සෙවීම සිදුවෙනවා.

3.     සොයන කොට ඒ අරමුණු නැවත ලැබෙනවා.

4.     එසේ ඒ අරමුණු ලැබෙන විට, ඒ අරමුනු වල රසය හොඳ, නරක, කැත, ලස්සන ආදී වශයෙන් විනිශ්චය කෙරෙනවා.

5.     ඒ විදියට විනිශ්චය ලැබෙන විට, අරමුණු රසය ගැන ඇලීම (බලවත් ඡන්දරාගය) හෝ ගැටීම (දුබල ඡන්දරාගය) හට ගන්නවා. එය ලෝභ හෝ ද්වේශ වශයෙන් මමය මාගේය යන මෝහය ඇති වෙනවා.

6.     ලෝභ හෝ ද්වේශ වශයෙන් මමය මාගේය යන මඤ්ඤාමනය අතිකල්හි, දැඩිව අල්ලා ගැනීම සිදුවෙනවා.

(දීඝ නිකාය-මහාවග්ගපාලි- මහා නිදාන සූත්රය)

 

බලාපොරොත්තුවේ දුක සහ ගසක උපමාව

ලෝක සත්ත්වයා බලාපොරොත්තු තුලයි ජීවත් වෙන්නෙ. බලාපොරොත්තු තුල තියෙන්නෙ සැප සොම්නස සෙවීම. නිත්ය වූ සැපක්, නිත්ය වූ සොම්නසක් කොහේවත් නැහැ. අටලෝ දහම විසින් සැප දුකට පෙරලනු ලබනවා. ලාභය හෙවත් ලැබීම, පාඩුව හෙවත් අහිමි වීමට පෙරලනු ලබනවා. ප්රශංසාව, ආදරය, කරුණාව, දයාව යන කාරනා, නින්දාවට, අනාදරයට, වෛරයට, ඊර්ෂියාවට, ක්රෝධයට පෙරලනු ලබනවා.

ගසක් හැම විටම තම යුතුකම ඉටුකරමින් කාලයක් ජීවත්වෙලා මැරිලා යනවා. ගස හොඳින් වැඩී අතුපතර පැතිරී මල්ඵල හටගන්වනවා. ඒවා ගස අනුභව කරන්නේ නැහැ. කැමති ඕනෑම සත්ත්වයෙකුට පරිබෝජනයට ගන්න අවසර ඉඩහැර ගස නිහඬව ඉන්නවා. ගස මහා නියංසායට වුව දැඩි අවුරශ්මිය වලකමින් සත්ත්වයන්ට සෙවණ සලසමින් ගිනිඅව්වේ පිච්චෙමින් ඉන්නවා. ගස කිසිවිටෙකත් පෙරලා යමක් බලාපොරොත්තු වන්නේ නැහැ. ගස තමන්ගේ යුතුකම ලෝකයාට නිහඬව ඉටුකරමින් සිටිනවා. ඒ නිසා ගසට බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැති නිසා දුකක් නැහැ.

 

                                             දුකෙන් නිදහස් වීම - Ai නිර්මානයක්

විඳවීමේ සයුරෙන් නිදහස් වීම

ලෝකයේ කොහේවත් දුක් වේදනාව නැහැ. ලෝකයේ කොහේවත් සුඛ වේදනාවත් නැහැ. දුක හදාගන්නේ අප විසින්මයි. සැප හදාගන්නේද අප විසින්මයි. දුකද සැපද නිත්ය නැහැ. එසේ නිත්ය වූවා නම් සදාකාලික දුකක් හෝ සදාකාලික සැපක් තිබිය යුතුයි. නිවන හැර සදාකාලික සැපක් වෙන කොතනකවත් නැහැ. මක්නිසාද යත් සොයාගිහින්, දාසභාවයට පත්වූ තන්හාව තුල සාදාගත් දුක සැප නිවන තුල නොමැති නිසාය.

"ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො"
(
සෑහීමක් නැති ලෝකයේ සත්ත්වයා හැමදාමත් තන්හාවට දාසයෙකි.)
(
මජ්ජිම නිකාය-රට්ඨපාල සූත්රය)

තන්හාව ස්වාමියා බවත්, තමා එහි වහළා බවත් සත්ත්වයා දන්නෙ නැහැ. ඒ නිසා නැවත නැවත සුඛ විඳීමට දාසයෙක් වෙනවා. ඇසට පෙනෙන රූපයට දාසයෙක් වෙනවා. කණට ඇහෙන ශබ්දවලට වහළෙක් වෙනවා. ඇසට පෙනෙන රූප සහ කණට ඇසෙන ශබ්ද වලට මුලාවෙන් දාස භාවයට පත්වන සත්ත්වයා විටෙක ඒවා නැවත නැවත විඳින්නට ගොස් ආනන්තරිය පාප කර්ම වලටද එහා ගිහින් සසරම විඳවන්නට හේතු හදාගන්නවා.

නිදහස් වීමේ මාර්ගය

"ඵුට්ඨස්ස ලොක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං"
(
මහා මංගල සූත්රය-11 වැනි ගාථාව)

ලාභ අලාභ (ලාභ කියන්නෙ ලැබෙන දේවල්වලට, හිමිවන දේවල් වලට, උපයා සපයාගන්නා දේවල්වලට. අලාභ කියන්නෙ අහිමිවීම්, නැතිවීම්, විනාශවීම්, වෙන්වීම් ආදියට) නින්දා ප්රශංසා ආදී අටලෝ දහමේ ධර්මතාවය ඉදිරියේ, නොඇලී නොගැටී සිටින්නට හැකි නම් හිත කිසිම දෙයකින් කම්පා වෙන්නෙ නැහැ. ඒ කිසි දෙයකින් විඳවන්නෙ නැහැ.

"එතං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිනං;
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විරජ්ජතී"
(
සංයුත්ත නිකාය-වේදනා සංයුත්තය-සුඛ සූත්රය)

ඇස නිසා හටගන්නා විඳීමද, කණ නාසය දිව කය නිසා හටගන්නා විඳීමද ක්ෂණයක් ක්ෂණයක් පාසා නැතිවන බිඳෙන ස්වභාවය දිහා නුවණින් දැක එය කිසිදා නිත්ය නොවන දුක හෝ සැපක් කියා දකින කෙනා ඒ කිසිදු විඳීමක් විඳවීමක් කොට ගෙන ඇලෙන්නේ නැත.

 

                                         සාක්ෂිකරුවෙකු ලෙස මනස - Ai නිර්මානයක්

නිගමනය - අනිත්‍යතාව පිලිබඳව අවබෝධය

සෑම අරමුණක් පාසාම ඇතිවී නැතිවී යන ස්කන්ධ පඤ්චකය සහ අනිත්යය නුවනින් මෙනෙහි කලොත්, ඒ ස්කන්ධ පඤ්චකය කෙරෙහි වේදනා සංඥා වලට ඇති තන්හාවෙන් මිදෙන්නට ඉඩ සැලසෙනවා. ඒ සඳහා තිබිය යුත්තේ මනා සිහියයි. තන්හාව ඇති උනොත් දැඩිව බැඳීයාම හෙවත් උපාදානය සිදු වෙනවාමයි.

විඳීම විඳවන්නක් වන විට මාරයාගේ මූලික අවශ්යතාවය ඉටුවී "ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො" සෑහීමක් නැති ලෝකයේ සත්ත්වයා හැමදාමත් තන්හාවට දාසයෙක් කරගනිමින් විඳීම පසුපස හඹායන තත්වයට පත්කරයි.

අටලෝ දහමට අනුව එන දුක වේදනාව යමෙක් උපේක්ෂාවෙන් ඉවසයිද, නොගැටෙයිද, හේතු විමසමින් එයට බද්ධ නොවෙයිද, එමෙන්ම අටලෝ දහමට අනුව එන සැප වේදනාව නොඉවසයිද, නොඇලෙයිද, හේතුව දකිමින් එයට බද්ධ නොවෙයිද, ඔහුට මඤ්ඤමාණයෙන් මම මගේ යනුවෙන් කිසිවක් නොගෙන මාරයාට බද්ධ නොවී සිටිය හැකිය.

 

මූලාශ්‍ර:

1.     දීඝ නිකාය - මහා නිදාන සූත්රය

2.     සංයුත්ත නිකාය - වේදනා සංයුත්තය

3.     මජ්ජිම නිකාය - රට්ඨපාල සූත්රය

4.     මහා මංගල සූත්රය

5.     බුද්ධඝෝෂ හිමි - විසුද්ධිමග්ගය

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment

Comments