ඔබගේ ජීවිතයට යහපත් පෞරුෂ ලක්ෂණ කීපයක් බුදුදහමෙන්

 

                              පුද්ගල පෞරුෂය ඔහුගේ කැඩපතයි - Ai Image නිර්මානයක්

·         පෞරුෂය (Personality) පිළිබඳ කෙටි නිර්වචන කිහිපයක්. බුදුදහමට අනුව පෞරුෂය ගොඩනැගීම සඳහා මෙත්ත සූත්‍රයෙන් ලබා දෙන යහපත් ගුණාංග 15 සහ ජීවිතයට ප්‍රයෝජනවත් අවබෝධයන්. ඔබේ චරිතය වර්ධනය කර ගන්න.

 
             පෞරුෂය ආලෝකය සහ අඳුරAi Image නිර්මානයක්

ප්‍රධාන නිර්වචන

මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය: පෞරුෂය යනු පුද්ගලයෙකුගේ චින්තන රටා, හැඟීම්, හැසිරීම් සහ චර්යා රටා නියතව සහ ස්ථීරව ප්‍රකාශ වන ආකාරය වන අතර, එය එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වෙනස් වේ.

American Psychological Association (APA): "පුද්ගලයෙකුගේ සුවිශේෂී චින්තන රටා, හැඟීම් සහ හැසිරීම් වල කාලයත් සමඟ හා තත්ත්වයන් හරහා ප්‍රකට වන ලක්ෂණ සහ රටා"

Gordon Allport (1961): පෞරුෂය යනු "පුද්ගලයා තුළ ඇති මනෝ-භෞතික පද්ධතිවල ගතික සංවිධානයක් වන අතර, එය පරිසරය සමඟ ඔහුගේ සුවිශේෂී අනුවර්තනය තීරණය කරයි."

සරලව කියතොත්: පෞරුෂය යනු පුද්ගලයෙකු "කවුද" යන්න නිර්වචනය කරන්නා වන - ඔවුන්ගේ චරිත ලක්ෂණ, ආකල්ප, චිත්තවේග රටා සහ හැසිරීම් ශෛලි එක්රැස් වීමයි.

මෙය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සහ තවත් අයගෙන් වෙනස්කම් පැහැදිලි කරන මනෝවිද්‍යාවේ මූලික සංකල්පයකි.

 

පෞරුෂය ගොඩ නැගීම

පුද්ගලයෙකුගේ චරිතය ගොඩ නැගීමේදී, දරුවෙකුගේ කුඩා කාලයේ සිටම සමාජය විසින් සම්මත, හොඳ නරක සහ යහපත අයහපත පිලිබඳව හැඟීමක් ලමා මනසෙහි ඇති කරදීම වැඩිහිටි සමාජයේ යුතුකම වන්නේය. ඒ ඒ සංස්කෘතීන් අනුව මෙය විවිධාකාර විය හැකි නමුත් සම්මතයට ගරු කරන පුද්ගලයෙක් නිර්මානය කිරීම පෞරුෂ වර්ධනයේ අරමුණ විය යුතුය.

 

              පෞරුෂය ගොඩනැගීමට අවශ්‍ය ගුණාංගAi Image නිර්මානයක්

බුදුදහම තුල පෞරුෂය ගොඩ නැගීම

 විශේෂයෙන් ත්‍රිපිටක සූත්‍ර ගනනාවක් හරහා එය බුදුහමෙන් පෙන්වා දී තිබෙන අතර, එහි විශේෂත්වය වන්නේ හුදු ආගමික පසුබිමකින් ඇදහීම සඳහා නොව ඕනෑම ජනසමාජයකට පහසුවෙන් ප්‍රගුණ කල හැකි පොදු මානව සාධක 15 ක් මෙත්ත සූත්‍රයෙන් ඉදිරිපත් කර තිබීමයි.

 

01 (සක්කො) - හැකියාව, දක්ෂකම, - Ability, skill

 සැබෑ ලෙසම පෞරුෂයක් හිමි අයෙකු තුල තිබිය යුතු පළමු සුදුසුකම නම් ඔහුට, විවිධ දේවල් කිරීමට ඇති හැකියාවයි. පුද්ගලයකු වශයෙන්  මුහුණ දීමට සිදුවන යම් යම් අභියෝගයක් හමුවේ එම අභියෝගයට මුහුණදීමට ඔහු තුල ඇති හැකියාව එයින් අදහස් වේ. අවස්ථානෝචිතව විවිධ කාර්යයන් සඳහා ඔහු සතු විෂයානුබද්ධ දැනුම පමණක් නොව ප්‍රයෝගික කුසලතාවයන්ද මෙම කාරණයේදී ඉතාම වැදගත් සාධකයන් වේ.

02 (උජු ච) ඍජුබව/ සුචරිතය - Straightforwardness/Virtue

පුද්ගලයෙකු තුල තිබිය යුතුම කායික වාචික හික්මීම සහ ඔහුගේ සුචරිතය නිසා මානව සමාජය ඉදිරියේ ඔහුට ලැබෙන ගෞරවයත් අතිශයින්ම වැදගත්ය. එවිට ඔහු පරමාර්ශී පුද්ගලයෙකි. ඒ පරමාදර්ශ චරිතය නිසා ඔහු සෑම විටම මානව සමාජය ඉදිරියේ ඍජු පුද්ගලයෙකි. ඔහු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවණයෙන්, බොරුකීමෙන්, කේලාම් කීමෙන්, හිස්වචන කීමෙන්, පරුෂ වචන කීමෙන් වැලකුනු කෙනෙක් නිසා ඔහුගේ දැවැන්ත පෞරුෂය කිසිවකුට අභියෝග කල නොහැක්කකි. එනම් ඔහු චරිතවත් පුද්ගලයකු වන නිසාය.

03 (සුජු ච) වඩාත් ඍජුබව / More directness

මෙම පෞරුෂය ගොඩ නැගෙන්නේ පුද්ගලයකු කායික වාචික දුශ්චරිතයෙන් මිදුනු පසුවය.

04 (සුවච) කීකරුකම / Obedience

අන් අයට ඇහුම්කන් දීම, අන් අයගේ අවවාද අනුශාසනා වලට නිහතමානීව ගෙරු කිරීම, කල වරද පෙන්වා දුන් පසු එය පිලිගැනීම, වරද විවැරදි කරගැනීම මෙම කීකරුකමේ ගක්ෂණයයි. ඔහු ඒ පිලිබඳව අනවශ්‍ය වාද විවාද, තර්කවිතර්ක වලට නොයයි. එය උසස් පෞරුෂ ලක්ෂනයක් ලෙස බුදුදහම සලකයි.

05 (මුදු) මෘදුබව / Softness

කය වචනය මුල් කරගත් පුද්ගල චර්යාවේ ඇති මුදුමොලොක් බව මෙයින් අදහස් වේ. වචන භාවිතයද, කායික හැසිරීමද තුල පුද්ගල පෞරුෂය වඩාත් ඉහලින් කැපී පෙනෙයි.

06 (අනතිමානි) අධිමානය / Arrogance

මනා පෞරුෂයකින් යුක්ත කෙනා, කිසි විටෙක තමා උසස්කොට හුවා දක්වමින්, අනෙකා පහත් කොට තකන්නේ නැත. ඒ තුල තිබෙන්නාවූ අහංකාරය, මානය, උඩඟුකම, පුහුආඩම්බරය නිසා යමෙකුගේ පෞරුෂයට හානි පැමිණෙයි.

07 (සන්තුස්සක) ලද දෙයින් සතුටු වීම / Being happy with what you have

ලද දෙයින් සතුටුවීම ආත්ම තෘප්තියේ උපරිම සැනසීම වන අතර, වේගයෙන් දිව යන මානව සමාජය තුල වෙහෙසට පත්නොවී, එක්නෙකා අතර මතවාදීව සහ ඊර්ශියාව, වෛරය, එකට එක කිරීම, වැනි පීඩාකාරී තරගකාරිත්වයකට මනා පෞරුෂයක් හිමි තැනැත්තා පත්නොවේ. එමෙන්ම එය වත්මන් සංකීර්ණ ලෝකයේ මානසික පීඩාවෙන් සහ මානසික ආතතියෙන් වැලකී සිටින්නටද උපකාරී වේ.

09 (සුභර) පහසුවෙන් පෝෂණය කල හැකි බව / Easy to feed

අනුන්ට මෙන්ම තමන්ටද හිරිහැරයක් සහ බරක් නොවී ජීවත්වීම මෙයින් අදහස් කෙරේ. අනුන්ගෙන් යැපෙන වැඩිහිටි, ලමා සහ භික්ෂු යන ජනකොටස් තුල මෙය වඩාත් හොඳින් පිහිටිය යුතු ලක්ෂණයකි. භික්ෂුව යැපෙන්නේ අනුන්ගෙනි. මහළුවියට පත් වැඩිහිටියන් යැපෙන්නේ දරුවන් ගෙනි. ලමයින් යැපෙන්නේ දෙමාපිය වැඩිහිටියන්ගෙනි. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වීමට නම් ඔහු ලදදෙයින් සතුටු විය යුතුය. මෙය ගිහි සමාජයට මෙන්ම භික්ෂු සමාජයටද එක සේ අත්‍යාවශ්‍ය කරුණකි.

10 (අප්පකිච්ච) අල්පකෘත්‍ය භාවය / Unburdened

අප්පකිච්ච යනු වැඩි වැඩ බරින් නිදහස් වූ හෙවත් අවම වැඩ ඇති කියන අර්ථයයි. උවමනාවට වැඩිය වැඩ නැති කෙනෙක් බරෙන් නිදහස් වූ අයෙක් කියා හැඳින්වෙනවා. ජීවිතයේදී රැකියාවේදී හෝ, ගෘහජීවිතයේදී හෝ, සමාජ සේවයේදී හෝ අනවශ්‍ය වැඩ කන්දරාවක් තමන්ට පැවරේ නම් ඔහු කාර්යය බහුල නොසන්සුන් අයෙක් වේ. ඒ නිසා ඔහුගේ කායික මානසික ශක්තිය පිරිහෙන අතර සමහර විට මානසික ආතතියටද ගොදුරුවිය හැකිය. වැඩකටයුතු අධික වීම නිසා විවේකය අහිමිවීම සිදුවන අතර, කිසිදු වැඩක් සාර්ථකව නිම කිරීමට නොහැකිව අසාර්ථක පුද්ගලයෙකු බවටද පත්වේ. ඒ නිසාම ඔහුගේ පෞරුෂයද බිඳවැටේ.

11 (සල්ලහුකවුත්ති) සැහැල්ලු පැවතුම් ඇතිබව / Light-heartedness

සැහැල්ලු පැවතුම් ඇති අයෙකු වීමෙන් අධිපරිභෝජනයෙන් මිදී, බහුභාන්ඩ පරිභෝගයෙන් මිදී, ඉතාම සැහැල්ලුවෙන් ජීවිතය පවත්වා ගැනීමට හැකි වෙයි. භික්ෂු සමාජයේ “ප්‍රත්‍යවේක්ෂාව” තුලින් කරනුයේද එය නිරන්තරයෙන් සිහිපත් කිරීමය. මානව සමාජයේ ජීවත්වීම සඳහා මූලික සාධක 4ක් තිබිය යුතු අතර ඒවා නම් ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ය. මේවා භාවිතා කරන්නේ කුමක් සඳහාද, එහි සීමා හෙවත් අවම භාවිතය කුමක්ද යන්න ගිහිපැවිදි දෙපාර්ශවයම සිහිකල යුතුය. එමගින් සැහැල්ලු පැවතුම් ඇති මනා පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බිහිවේ. ප්‍රත්‍යවේක්ෂා සීලයට මෙය අයත්ය.

12 (සන්තින්ද්‍රිය) ඉන්ද්‍රිය සංවරය / Disciplining the senses

මිනිසා ලෝකය දකින්නේ, අසන්නේ, දැනෙන්නේ, දැනගන්නේ ඔහු සතු ඇස,කණ. නාසය, දිව, ශරීරය මගින්ය.  මේවාට ඉන්ද්‍රිය යන භාවිතා වේ. මෙම ඉන්ද්‍රිය මගින් අරමුනු ලබාගන්නා පුද්ගලයා එයින් වින්දනය කරයි. එම වින්දනයේදී ඔහු ඇලීමට හෝ ගැටීමට පත්වෙයි. ඉන්ද්‍රිය සංවරය තුලින් මෙම ඇලීම ගැටීම ප්‍රකෝපවීම ආදියෙන් වැලකී සිටින්නට අවකාශ සැලසේ. එයද මනා පෞරුෂ ලක්ෂණයකි.

13 (නිපකො) නුවණ

ගිහි ජීවිතයට සාපේක්ෂව තැනට සුදුසු නුවණ යනුවෙන්ද, සතිමත් භාවය යනුවෙන්ද මෙය හැඳින්විය හැකිය. ඉහත සඳහන් කල කරුණු 12 ටම අදාල වන්නේ පදනම වන්නේ මෙම කාරණයයි. සදාචාර සම්පන්නභාවයේ පදනම මෙයයි. අල්පේච්චතාවය, ප්‍රත්‍යවේක්ෂාව, පරිභෝජනයේ සීමාව දැනගැනීම, හොඳ නරක, යහපත අයහපත මේ ආදී සියලු උසස් ගුණධර්ම වැඩෙන්නටත්, ඒ තුලින් මනා පෞරුෂයක් ඇති කරගන්නටත් උපකාර වන්නේ නුවණයි.

14 (අප්පගබ්භො) දමනය වූ අයෙකු වීම / Being a controlled person

දැමුනු ස්වභාවය හෙවත් නිවුනු පුද්ගලයෙක් වීම මහා පෞරුෂ ලක්ෂනයකි. කලබලයෙන් තොර, ගොරහැඩි අසංවර චර්යාවන් රහිත, කෙනෙක් වීම මානව සමාජයේම සැලකිල්ලට බඳුන් වේ.

15 ( කුලෙසු අනනුගිද්ධො) කුලයට නොඇලුන අයෙක් වීම

මෙහිදී කුලය යන වචනය පුලුල් පරාසයක් ගනියි. එය තමන්ගේ සමාජ ගෝත්‍රය වේවා, තමන්ගේ සමාජ තත්වය වේවා, තමන්ගේ දරු පවුල වේවා, තමන්ගේ වස්තුව ගේදොර වටිනාකම් වේවා, දැඩි ඇල්මක් නොමැතිවීම සහ ස්වෛරී පුද්ගලයකු වීම වටිනා පෞරුෂ ලක්ෂණයකි.

                          පෞරුෂය ජයගැනීමට පියවර කීපයක් - Ai Image නිර්මානයක්


මෙම සුදුසුකම් සපුරා ගන්නට කුමක් කල යුතුද

ඔබගේ චර්යාවන්ට ඍජුව සහ වක්‍රව බලපාන හේතු සාධක අතර මූලික වශයෙන් ඔබ ඇසුරු කරන, ඔබව මෙහෙයවන්නට බලපාන සාධක සමාජීය සාධක රාශියක් තිබෙනවා.බුදු දහමේ පෙන්වා දෙන ආකාරයට ඔබේ පෞරුෂය වර්ධනය කර ගැනීමට තෝරා ගැනීම් සහ හුරුපුරුදු කිරීම් කල යුතුව තිබෙනවා.

1 නුවන නැති, හික්මීමක් නැති පාපායට ලැදි අයගේ ඇසුරෙන් ඉවත් විය යුතුය.

2 නුවණ ඇති, තමන්ගේ ජීවිතයට වටිනාකම් එකතු කර දිය හැකි අවබෝධයක් සහිත පුද්ගලයන් ඇසුරු කල යුතුය.

3 ගෞරව කල යුතු, පිදිය යුතු අයට නිසි ගෞරවය දිය යුතුය.

4 සුදුසු හිතකාමී භෞතික පරිසරයක වාසය කල යුතුය.

5 තමන්ගේ ස්වයං විනය, දානමය පරිත්‍යාගී ගුණය, පිහිටා සිටිය යුතුය.

6 විවිධ විෂයයන් ශිල්ප ශාස්ත්‍ර උගත යුතුය.

7 සෑම විටම තම වචනය සත්‍යවාදී වියයුතු අතර වචනය ප්‍රවේසම් කරගත යුතුය.

8 දෙමාපියන්ට උපස්ථාන කල යුතු අතර අඹු දරුවන්ට උපරිම වශයෙන් යුතුකම් ඉටු කල යුතුය.

9 තමන්ගේ ජීවනෝපායය වන රැකියාව, වෙළඳාම, ගොවිතැන ආදී කටයුතු වලදී අලස නොවී උපරිම මට්ටමෙන් නියැලිය යුතුය.

 

නිගමනය

පුද්ගලයෙකුගේ චරිතයේ කැඩපත වන්නේ ඔහුගේ පෞරුෂයයි. ඔබ කෙබඳු පුද්ගලයකුද යන්න පෙන්වන හැඳුනුම්පත ඔබගේ පෞරුෂයයි. ඉහළ පෞරුෂයක් ගොඩ නගා ගැනීමට මිලමුදල්, වත්පොහොස්කම්, තනතුරු, පරම්පරාව ආදී කිසිවක් බල නොපායි. පරමාදර්ශී පෞරුෂයක් ගොඩ නැගෙන්නේ ඔබ තුල තිබෙන මානව ගුනධර්ම මතය. ඔබ සමාජයට වැදගත්ද නැතිද යන්න තීරණයබ කරන්නේ ඔබගේ පෞරුෂය තුලින්මය. බුදුදහමේ උගන්වන පරිදි මෙම වටිනා කාරනා පිලිපැදීමෙන් ඔබ තුල මෙන්ම ඕනෑම පුද්ගලයකු තුල ඉහළ පෞරුෂයක් ගොඩ නගාගැනීමට හැකිවන්නේය.

 

මූලාශ්‍ර

1 මෙත්ත සූත්‍රය

2 මහාමංගල සූත්‍රය

No comments:

Post a Comment

Comments