විජ්ජාව සහ සත්‍යය 06 (අවසන් කොටස) - ධර්මය සහ ජීවිතය - 26 කොටස

 

භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම  මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. (පසුගිය ලිපියෙන්)....

ඊගාව දේ තමයි මට දෙන්න පුලුවන් ඊලඟ අවවාදය නම් සතිනිමිත්ත අතහරින්න එපා. සතිනිමිත්ත අත්නොහැර පුලුවන් තරම් යන්න. මොකද සතිනිමිත්ත අත්හැරල යන්න එපා කියන්නෙ හැමදාම මෙහෙම නෑ.හොඳටම වීරියවන්ත කෙනෙක් ඉන්නවා  නම්, හිටියොත් තේරෙයි හිත වඩනකොට ඇතිවන ගති ගොඩාක් වෙනස්. 

නොයෙක් විදියේ චිත්තජ රූප හම්බවෙනවා හිත සමාධි උනාම ඇස් ඉදිරිපිටෙන්ම පහළ වෙනවා. සතිනිමිත්ත නැති කෙනාට ඊට අනුගත නොවී ඉන්නවා කියන එකක් වෙන්නෙ නැහැ. එතකොට පිස්සු හැදෙනවා එහෙම කියන එක බොරුවක් එහෙම .නෙවෙයි තමන්ගෙම අරමුණු වලට තමන් බයවෙලා ඔය තියෙන්නෙ.


චිත්තජ රූප 

යකෙක් කියල හෙම හිතුවොත් යකෙක්ම පේනවා. හිතන හිතන හිතන එක පේනවා. නමුත් එයාට තේරෙන්නෙ නැහැ හිතන හිතන එකයි පෙනෙන්නෙ කියලා. දැන් අදත් වෙලා තියෙන්නෙ ඒකයි. අපි හිතන හිතන විදියට පෙනිලා තියෙනවා. අඹගහ කියල හිතලා තියෙනවා. දැන් අපි ඔක්කොටම අඹ ගහක්ම පෙනෙනවා මිසක වෙන මොකුත් පේනවද? මේ ඔක්කොමලා දන්නෙ නැහැ අපි හිතපු විදියටයි පෙනිල තියෙන්නෙ .කියලා අපි හිතන හිතන විදියට පෙනිලා තියෙන්නෙ ඒ විදියට තමයි ඊටපස්සෙ හිත දියුනු උනාම දවල්ටත් ඇස් දෙක ඇරගෙන හිටියත් ඔයගොල්ලන්ට මෙහෙ චිත්‍ර පෙනෙයි ඔයගොල්ලන්ට පෙනෙයි භූතයො යනව යක්කු යනවා කියලා. 

නෑ දැනුත් හිතෙන වචනයක් ගානෙ චිත්තජ රූප ඇඳෙනවා. නමුත් අවරණීය ධර්ම නිසා අපට ඒක පෙනෙන්නෙ නැහැ. දැන් මම පොල් කියල කිව්වොත් ඔයගොල්ලන්ට තේරුණා කියල හිතන්නෙ මොකක්ද කියලද? ඔයගොල්ලන්ගේ මනසේ ගෙඩියක් මැවිලා තියෙන හින්දා. දැන් අනිත් භාෂාවක් එනකොට තේරෙන්නෙ නෑ කියන්නෙ එයාගෙ මනසෙ ඒ වගේ රූපයක් මැවිලා නැහැ. රූපයක් මැවුනෙ නැත්නම් ඒ භාෂාව තේරෙන්නෙ නැහැ. චිත්තජ රූපයක් මැවුනොත් භාෂාව තේරෙනවා. නමුත් අපට එහෙම චිත්තජ රූපයක් මැවිලා කියල කාටවත් තේරෙන්නෙ නැහැනෙ.


නමුත් පොල් ගෙඩියක් අරගෙන එන්න කියලා කිව්වොත් ඔයගොල්ලො ඔච්චර බඩු ගොඩාක් තියෙන එකේ ගිහිල්ල ගිහිල්ල බලලා එකම එකක් උස්සගෙන එන්නෙ ඇයි? වෙන මොකක් හරි කෑල්ලක් අරගෙන එන්න එපැයි? තමන්ගෙ හිතේ තියෙනවා හැඩේ. ඒ හැඩේට ගැලපෙනකන්ම මෙහෙ හොයනවා. හොයලා හිතේ තියෙන හැඩේට ගැලපෙනකොටම හා හරි මේ තමයි පොල් කියලා ඒක අරගෙන එනවා. ඒ හිතේ තියෙන හැඩේට ගැලපුනේ නැත්නම් මොකද කරන්නෙ? පොල් නෑ. ඒක නෙවෙයිද කරල තියෙන්නෙ කියල බලන්න. නැත්නම් මෙහෙ හොයන්න ඔයගොල්ලන්ට මිම්මක් කොයින්ද? දැන් හොද්දකට ලුනු රස බලනවා කියලා මොකක්ද කරන්නෙ? ටිකක් දිගාලා බලනවා පරණ මිම්මට මැනල බලනවා තව ටිකක් මදි ඒ මිම්මට ආපහු තව ටිකක් දානවා. කරන්නෙ එහෙම නෙවෙයිද කියල බලන්න ඔය හැම එකකටම. 

එතකොට මේ ඔක්කොම බාහිරේ ගනුදෙනු කරන්නෙ මනසට මැන මැන මානය කියන්නෙ ඒකටයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හිත දියුණු උනාම චිත්තජ රූප ප්‍රකටයි. ඒ කියන්නෙ දැනුත් අපිට චිත්තජ රූප පහළ වෙනවා. මේ වචනයක් වචනයක් ගානෙ චිත්තජ රූප ඇඳෙනවා. ඒ ඇඳෙන නිසයි භාෂාවක් දන්නෙ. නමුත් ඒවා අද අපට ප්‍රකට නැහැ. හිත දියුණු උනාම අපි හිතන හිතන ගානෙ ඒ කියන්නෙ මෙහෙන් කවුරු හරි කෙනෙක් මොනවා හරි කිව්වොත්, දැන් කෙනෙක් ගැන කිව්වොත්, ඒ ශබ්දයත් එක්ක නිමල් කියල කිව්වොත් ඒ ශබ්දයෙන් මා තුල ඇඳෙන චිත්තජ රූපය මට ඇස් ඉදිරිපිටින්ම පේනවා.  


දැන් බලන්න ඇත්තටම කවදාවත් කෙනා කෙනා ගාව තියෙන දේම අපි අරගෙන කාලා තියෙනවා මිසක් අනුන්ගෙන් දෙයක් හම්බවෙලා නෑ කියන එක ස්පර්ශ ආයතන හයට අපේ මනස අයිතියක් නෑ කියන එකට තව ශාක්ෂියක් ඔය මම කිව්ව වචනයම ගන්න. දැන් මම නිමල් කියල කිව්වොත් ඔයගොල්ලො කාටත් නිමල්ලා මතක් වෙනවා ඇතිනෙ. හැමෝම දන්න විදියෙ නිමල්ලා නැද්ද? ඉන්නවා නේද? නමුත් බලන්න කෙනා කෙනාගෙ මනසෙ ඉන්න නිමල්ලා ඔක්කොම එකයිද, රූප ටික දිහා බලන්න. දැන් මම නිමල් කියල කෙනෙක්ව සිහි කරගෙන තමයි කිව්වෙ. මගේ  මනසේතියෙන රූපය වෙන එකක්. එතකොට එකම ශබ්දයට අපි චිත්තජ රූප මවා ගන්නවා. නමුත් ඔයගොල්ලො හිතාගෙන ඉන්නවා තමන්ගෙ මනසේ තියාගෙන මේ නිමල් ගැනනෙ කියන්නෙ . දැන් මම කථාකරන ටික, නිමල් හොඳ නැහැ, මහ නරක මිනිහෙක්, මෙහෙමයි මෙහෙමයි කියනකොට ක්ෂණිකව තමන් තමන්ගෙ නිමල්ට ගැට ගහගන්නවා ඉතින් ඔක්කොම ටික. ඊට පස්සෙ අන්තිමට තමන්ගෙ මනසින් දැන් නිමල් හොරෙක් නැත්නම් හොඳ මිනිහෙක් කියලා හදා ගෙන තියෙන එකක්. 


බලන්න මම මේ කිව්වෙ ශබ්දය කියන එක හැමෝගෙම කණ ගාවට එනකොට ඇවිල්ලා තියෙන්නෙ එක මට්ටමට. නමුත් කෙනා කෙනා ගාව විවිධත්වයකට චිත්තජ රූප මැවුනේ ඇයි? මොකක් නිසාද? ඒ නිසයි මේ හැම භාෂාවකම එහෙමයි ස්වභාවය. ඒ නිසයි මෙතන අනුපාදා පරිනිර්වාණය කියල කියන්නෙ තමන්ගෙ මනසේ උපදින ගති ස්පර්ශ ආයතන හයට උපාදාන කරන්නෙ නැතිව බඳින්නෙ නැතිව ජීවත් වෙන්න පුලුවන් නම් එයාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. අටලෝ දහමෙන් කම්පා වෙන්නෙ නැහැ කියන්නෙ. 

ඒක කරන්න පුලුවන් සමාධිගත මනසකින් ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකලා. මොකද එයාට මේ පෙනන මට්ටම එන්න ඕනෙ. ඇස් ඉදිරිපිටට මේ රූපය මෙච්චරයි එතනින් එහාට හිතන ටික අපිමයි හිතන්නෙ කියන ටික පැහැදිලිවම පෙනෙන්න ඕනෙ. පේන්න නම් සමාධියක් ඕනෙ. අපි හිතලයි දැනගන්නෙ කියන එක පේන්නෙ නැති තාක් අපි හිතන්නෙ බාහිරටයි කියලයි හිතන්නෙ. ඒ තාක් බාහිරට බැඳිලා. අපි ඒ තාක් අසරණයි. ඇයි ඒ?

අපිව අඬවන්න පුලුවන් අනුන්ට. අපි අනුන් මතින් යැපෙන්නෙ. ඒ කියන්නෙ අනුන් හොඳ වචන කථාකරන තාක් මට සතුටින් ඉන්න පුලුවන්. අනිත් අය නරක වචනයෙන් මට රිද්දන්න පුලුවන්. නරක රූපයක් පෙන්වලා මට රිද්දන්න පුලුවන්. අපේ  සැප දුකඅද අපි භාරදීලා තියෙන්නෙ අනුන්ට. ඉතින් අනුන් මතින් යැපෙනතාක් අපි, සැප ජීවිතයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? එහෙම නෙවෙයි. අනුන් මතින් නෙවෙයි. තමන් මතින් ජීවත්වෙන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නෙ ඔයගොල්ලන්ට රිද්දනවත් සැපවත් කරන්නවත් අනුන්ට බැහැ. රිදවනවා  නම් හෝ සැපවත් වෙනවා නම් ඒක තමන්ටමයි කරගන්න පුලුවන්. ඉතින් දර්ශනයකට එන්න. ඇත්තටම පුලුවන් ඔයගොල්ලන්ව දුක් කරගන්න ඕනෙ නම් දුක හිතෙන හිතෙන විදියට හොඳට ටිකක් හිතන්නකො බලන්න. දුක හිතිල තමන්ම අඬයි ඉකිගගහා. කරනවත් ඇතිනෙ. අදටත් කරන්නෙ ඕකම තමයි. ඒ වගේම තමන්ට සතුටු කරගන්නත් පුලුවන් සතුටු වෙන විදියෙ දේවල් හිතලා හිතලා තමන් හොඳට සතුටු වෙනවා. ඇත්තටම ඕක තමයි ඇත්ත.

ඔය ටික දකින්න බාහිර ආයතන ටිකට සම්බන්ධ කරන්නෙ නැතිව. ඕක හරිම ලස්සනට බුදුහාමුදුරුවො දේශනා කරනවා. ඊගාවට මම කියන්නෙ නිවන් මගට වෙන  මොකුත්ඒ සූත්‍රය විතරක් ඇති. ඔය අර්ථය එහෙමම තියෙනවා. කුම්භෝපම සූත්‍රය කියල සූත්‍රයක් මම ඔය කියන්නෙ. බුදුහාමුදුරුවො දේශනා කරනවා 
මහණෙනි..මම පෙර වෙච්ච දෙයක් කියන්නම් කියලා, පෙර ගංගා නම් ගඟේ නදියෙ උඩහ ඉවුරෙ ඉඳලා ඉබ්බෙක් හෙමින් හෙමින් ආවාලු. පහත ඉඳල නරියෙකුත් එනවලු උඩහට. නරියා දැක්කලු ඉබ්බාව. ඉබ්බත් දැක්කලු නරියාව. නරියා හිතනවලු උඹ ලඟට වරෙන් ආවාම මම අතක් කඩාගෙන කනවා. ඔළුව හෝ කඪාගෙන කනවා. කියලා නරියා හිතනවලු. ඉබ්බා හිතනවලු දැන් නරියා හිතනවා ඇති මම ලඟට ආවාම මගේ අත හෝ කඩාගෙන කන්න. ඔළුව හෝ කඩාගෙන කන්න. මම නම් ඉඩ තියන්නෙ නැහැ ඕකට කියල දැන් දෙන්නා ලං උනා. ලංවෙන කොටම ඉබ්බා මොකද කරන්නෙ ඔළුවයි කකුල් හතරයි කෑලි පහ ඇතුලට දාගත්තා. ඇතුලට දාගෙන ඇතුලට වෙලා ඉන්නවා. දැන් නරියා සද්ද නැතිව හෙමින් ඉන්නවලු. සද්ද නැතිව. උඹ අතක් දාපන් එළියට අත කඩාගන්නවා. ඔළුව දාපන් එළියට ඔළුව කඩාගන්නවා. ඉබ්බා ඇතුලෙ ඉඳන් හිතනවලු නරියා හිතනවා ඇති දැන්  අතදාපන් එළියට අත කඩාගන්නවා.ඔළුව දාපන් එළියට ඔළුව කඩාගන්නවා මම  නම් දාන්නෙ නැහැ එකක්වක් කියලා. ඉබ්බා එළියට දැම්මෙම නැතිලු. ඉතින් නරියා බලාගෙන ඉඳල ඉඳලා බැරිම තැන ගියාලු. 

බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේශනා කරන්නේ මහනෙනි ඒ වගේ. "කුම්භො අංගානි සකෙ කපාලෙ..සමොදහන් භික්කු මනො විතක්කෙ". මහණෙනි..ඉබ්බා සිය කබලෙහි අවයව බහා ගත්තා වගේ මනො විතර්ක ටික හකුලා ගන්න. මේ රූප ශබ්ද නෙවෙයි. ඒවා අරභයා මනො විතර්ක ටික හකුලා ගන්න. සමොදහන් භික්ඛු මනො විතක්කෙ.ඉබ්බා බැරිවෙලා ඔළුව හෝ එළියට දැම්මොත් නරියා කඩා ගන්නවනෙ. ඔයගොල්ලන්ගෙ මනසෙ තියෙන විතර්ක බැරිවෙලා හරි රූපයට දැම්මොත් කෙලින්ම නරියා කඩා ගත්තා වගේ මාරයාට අහුවෙනවා. මනසෙ ඇතිවන විතර්ක විතර්ක ශබ්දයට ගැට ගැහුවොත් දැම්මා අන්ඩක් එළියට මාරයාට අහු වෙනවාමයි. මනසේ ඇතිවන විතර්ක ටික නාසයට දිවට කයට ගැට ගැහුවොත් මොකද වෙන්නෙ? අන්න පෙන්නනවා නරියා කඩා ගත්තා වගේ.
මහණෙනි ඇහැ එළියට දාන්න එපා 
මහණෙනි කණ එළියට  දාන්න එපා 
මහණෙනි නාසය එළියට දාන්න එපා
මහණෙනි දිව එළියට දාන්න එපා
මහණෙනි කය එළියට දාන්න එපා
ඇයි ඒ එළියට දාන්න එපා කියල කිව්වෙ? සමොදහං භික්ඛු මනො විතක්කෙ. හොඳ උත්තරයක් දෙනවා. මනසේ විතර්ක ටික හකුළා ගන්න. මේක මනසේ ඇතිවන විතර්ක ටික මේ ආයතනයට දාන්න එපා කියනවා. එතකොට මාරයාට අහුවෙන්නෙ නැහැ කියනවා. බැරිවෙලා මේ ඇහැ එළියට දැම්මොත් මහණෙනි නරියා කඩාගෙන කෑවා වගේ මාරයාට අහුවෙනවා.

ඉතින් මට මතක් කරන්න තියෙන්නෙ මේ අද්භූත දෙයකුත් නෙවෙයි. ආශ්චර්යය දෙයකුත් නෙවෙයි. මේක සත්‍යයක්. ඒ කියන්නෙ අපට තියෙන්නෙ ඇත්තටම සත්‍යය අවබෝධ කරගන්න. ඇත්ත ඇති හැටියෙ දකින්න තියෙන්නෙ. මේක දර්ශනයක්. මල්පහන් පූජා කරන එකකුත් නෙවෙයි. ඒක වෙනමම එකක්. ආගමික එකක්. පින් සිද්ධ වෙනවා. ශෘස්තෲන් වහන්සේ..ඒක කරන්න. නමුත් මම මේ කියන දර්ශණය ගැන, මේ දර්ශනය කියන එකට ආගමක් පක්ෂයක් පන්තියක් කුලයක් භේදයක් මොකුත් නැහැ. කාටත් සුදුසුයි. බලන්න ඇස් ඉදිරිපිටට එන රූපය සහ ඒ අරභයා සිතන දේ. මේ තමන් හිතන දේ හකුළුවා ගත්තොත් ආපහු ඒකට ආදේශ නොකලොත් තමන් දුකින් මිදෙන්නෙ නැති වෙයිද කියල. 

මරණෙන් පස්සෙ නෙවෙයි මැරෙන්න ජීවත් වන්නෙක් ඉන්නවද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නයම අහනවනෙ ධාතු විභංග සූත්‍රයේදී. ධාතු විභංග සූත්‍රයේදි ඔබට තේරෙයි ජරා මරණයන්ගෙන් මිදෙන්න ඉස්සර ජරා මරණයට පත්වන ජීවත්ව ඉන්නෙක් ඉන්නවද කියලා පුක්කුසාති රජුගෙන් අහන්නෙ. ඉතින් ඒ් වගේ දර්ශනයක් මේ තියෙන්නෙ. ඒ් නිසා හැම දෙනාටම මතක් කරනවා මේ වගේ වචන ටිකක්වත් අපිට ඇහෙන්නෙ අපි කල්පාන්තරයක් පෙරුම්පුරලා ඇති. ඔයගොල්ලො හිතනවද හීනෙකින්වත් අපට අහගන්න හම්බවෙයි නැතිනම් තනියම අපට තේරෙයි කියල කවදාවත්ම??? අපි මෙච්චර කාලයක් හිටියා අපිට කවදාවත් තේරිලා තියෙනවද කණ ගාවට ඒන ශබ්දය නිකම්ම එකක් අපියි බැනුම් අහගෙන තියෙන්නෙ කියලා. 

හැමදාම අවිද්‍යාවෙන් අනුන් බනිනවා අනුන් ප්‍රශංසා කරනවා කියලා අනුන් මතම ජීවත්  කරවන්න හැදුවා මිසක තනියම කාටවත් යටත් නොවී, තනියම ජීවත් වෙන්න පුලුවන් ජීවිතයක් හදල දෙන එකම ශාස්තෲන් වහන්සේ බුදුහාමුදුරුවො විතරයි. අනිත් අයට නිවහල්ව යටත් නොවී කෙනෙකුට වහල් නොවී ජීවත්වෙන ක්‍රමයක් හදලා තියෙනවා.

අපි වහල් යුගයක් ගැන වහල්ලු ගැන කථා කරනවා. නමුත් අපි දන්නෙ නැහැ අපිත් ඉන්නෙ වහල්කමේ කියලා. ඒ කියන්නෙ අනුන් යටතේනෙ ඉන්නෙ. අපිව අද අඬවන්න බැරිද ලෝකෙ ඕනෙම කෙනෙකුට?? අනිත් අයට අපිව අඬවන්න පුලුවන් හිනස්සන්න පුලුවන් අපේ සැපදුක් රැඳිලා තියෙන්නෙ අනුන් මත. අනුන් මත සැපදුක් රැඳිල තියෙන තාක් අපේ ජීවිතය සුරක්ෂිතයිද? අපිට ඕනෙ දෙයක් ඕන වෙලාවක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවද? පුලුවන්ද? බෑ. අපිට සතුට ඕන වෙලාවක අනිත් අය අඬවන දෙයක් කලොත් අපිට සතුටු වෙන්න බෑ. අපිට අඬන්න වෙයි. අපිට අඬන්න ඕනෙ වෙලාවට අනිත් අය සතුටු වෙන දෙයක් කලොත් අපිට සතුටු වෙන්න වෙයි. ඇයි ඒ?? අපි ජීවත්වෙලා තියෙන්නෙ අනුන් මතින් නිසා. අපිම සපයගෙන කන්න පුලුවන් දවසක් උනොත් තමයි අපිට පුලුවන් සතුටද දුකද කියන එක අපිම හදාගන්න මට්ටමකට එන්නෙ. 

රහතන් වහන්සේ නමක් විතරයි අනුන්ගෙන් යැපෙන්නෙ නැතිව ජීවත්වෙන්නෙ. අනිත් ඔක්කොම සැපදුක් විඳින්නෙ අනුන් මතින්. ඒ නිසා නිවහල් මනසක් නිදහස් මනසක් හදාගන්න තියෙන එකම කාලය එකම දහම මේ බුදුදහම. බුදුදහම කියලත් ඔයගොල්ලො ආගමික රාමුවකට කොටුවෙන්න එපා. ඇත්තටම ආගමික රාමුවකින් යන එක හරිම පාඩුවක් කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද එච්චරටම ලෝකෙකට පුදුම සහනයක් සැනසිල්ලක් ලබාදෙන්න පුලුවන් දර්ශනයක් මේක. නමුත්  අපි බෞද්ධයි කියන කමින් ගියාම මිනිස්සු ඒ දිහාත් බලන්නෙ තව ආගමක් හැටියට. මේක අහන ඔක්කොම බෞද්ධ වෙයි. මේත තේරෙන ඔක්කොම බුද්ධිමත් අය. නමුත් පුලුවන් තරම් මේ දර්ශනය කියන එක පෙන්වන්න ලෝකෙට, මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්. ඒකයි මේ දහමෙ ගුණයක් තියෙනවා ඒහිපස්සිකො. මෙහෙ එන්න මෙහෙ ඇවිල්ල බලන්න කියලා. 

ඔය කියපු කාරණා ටිකෙන් ඕනෙම කෙනෙක් ඉන්නවා නම් කියන්ඩ කියන්න මෙන්න මේ කියපු එක බොරුයි කියලා. මම මේ කියපු වචන ටික බොරුයි කියල කියන්ඩ කියන්න. මොකද මම ඒ ටික බයනැතිව කියන්නෙ ඔය ටික මම කියන හින්ද නෙවෙයි බුදුහාමුදුරුවො කියලා තියෙන හින්ද. මොකද එයා තර්ක කරන්නෙ එතකොට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ බොරුයි කියන එක. මොකද මම ඒ කාරනා සහේතුකව පෙන්වනවා. 

ඉතින් ඒ නිසා සම්මා දිට්ඨිය කියන්නෙ මෙන්න මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දකින එක. ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා ස්පර්ශ ආයතන හයේ නොඇලිලා ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනසේ මිදීමටයි අනාශ්‍රව චේතොවිමුක්ති පඤා විමුක්ති කියලා කියන්නෙ. රහත් උනා කියන්නෙ. ස්කන්ධ ටික විතරක් තියෙනවා ඒ කියන්නෙ සුඤ්ඤතාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් තියෙනවා මනස ඒවාට ගැටගහන්නෙ  නෑ. මනසින් යම් යම් දේවල් හිතන්න පුලුවන් හිතල කරන්න පුලුවන් ඒවා බාහිර දේවල් වලට අයිති නැහැ. ක්ෂේත්‍රය කලවම් කරගන්නෙ නැහැ. දෙකක් මයි. එහෙ ගොඩ මෙහාටත්, මෙහෙ ගොඩ එහාටත් දාන්නෙ නැහැ. ඒ ගොඩ ඒ පැත්තෙම තියෙද්දිම පරිහරනය කරනවා. මෙහෙ ලොඩ මේ පැත්තෙම තියෙද්දිම පරිහරනය කරනවා කියන සිහිනුවණකින් කරනවා. ජීවිතය අවසන් වෙනකොට අර දිවි  කෙළවරකොට ඇති දුක් ටිකත් නිවිලා යනවා පහණක් නිවුනා වගේ රහතන් වහන්සේ නිවෙනවා. 

ඉතින් මම කියන්නෙ ඔයගොල්ලො ඔයගොල්ලන්ගෙ යහපත කැමති නම් මේ ටික ඇත්තටම කරන්න. කවදාවත් අපි මේ වගේම බණදහම, ශුන්‍යතා දර්ශණය, නිවන්මග, කියපු බුදුරජාණන් වහන්සේලා ඕනෙ තරම් ඉන්න ඇති. සමහරවිට අර චන්දසූකර වගේ අපිත් සමහරවිට අල්ලපු වත්තෙත් ඉන්න ඇති. අපි සමහරවිට ඌරො නම් මරන්න නැතිව ඇති. නැත්නම් එන්න හම්බවෙන්නෙ නැහැනෙ. සමහරවිට එදත් අපි දරුවාව පන්තියට ගිහින් දාන්න යන්න දරුවා ඉස්කෝලෙට යවන්න දරුවගේ වැඩකටයුතු හින්ද බණ අහන්නවත් වෙලාවක් නැතිව ඇති. 

අද මෙතනට ආවා. පන්තියට ගෙනියන්න දරුවව, ගෙනිච්ච හින්ද දරුවව ජීවත් කරවන්න රස්සාවට ගිය හින්දා බණ අහන්න බැරි උනා. අන්තිමට එහෙම රැකපු දරුවත් නැහැ. දහමත් නැහැ. මෙතනත් ඒ ටිකමයි කියන එකත් තේරුම් ගන්න. දරුවාව පන්තියටත් අරින්න. උගන්වන්න. හැබැයි ඔයගොල්ලන්ට බණ දහමක් අහන්න කාලෙකුත් තියාගෙන කියන කාරණාව මතක් කරනවා. මේ අවස්ථාව හැමදාම ලැබෙන්නෙත් නැහැ. මේ අවස්ථාව අතහරින්න එපා කියලා මතක් කරමින් මගේ දේශනාව අවසන් කරනවා. 



වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.
  
මෙම "විජ්ජාව සහ සත්‍යය" ලිපි පෙලම එකම ධර්ම දේශනයක් ලෙස අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ කටහඬින්ම ඔබටශ්‍රවණය කිරීම පිණිස පහත පළවේ.

                          

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.


Post a Comment

0 Comments