විජ්ජාව සහ සත්‍යය 05 - ධර්මය සහ ජීවිතය - 25 කොටස

 


අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව  වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න  මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන පර්ය්‍යංකය බැඳගෙන සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතිය වඩන්න. (පසුගිය ලිපියෙන්).....

ආනාපාන සතිය බැරි නම් සති නිමිත්තේ හිත තබාගෙන

" චිර කතම්පි...චිර භාසිතම්පි....සරිතා අනුස්සතා"

බොහෝ කල් සිට කිව්වාවූ, කලාවූ, දේවල් මනසින් එනවනෙ. හිතට සිහි වෙනවනෙ. අන්න ඒ සිහිවෙන අරමුණු හොඳට විදර්ශනා කරන්න. මෙතනදිත් ඔයගොල්ලන්ට තව පහසුවක් මම කරල දෙන්නම්, පහසුවක් කියන්නෙ තොරතෝංචියක් නැතිව නොයෙක් අරමුණු එද්දි ඒ එකක් එකක් පාසා විදර්ශනා කරන්න ගියොත් ඔයගොල්ලන්ට අමාරුයි. දැනට සත්ත්ව පුද්ගලභාවයට හම්බවෙන  අරමුණු තියෙනවනෙ. සති නිමිත්තෙ හිත තබාගෙන සත්ත්ව පුද්ගල භාවයට හම්බවෙන අරමුණු ටික විතරක් විදර්ශනා කරන්න. එක තැනක ඉන්නකොට, ඉන්නවා නම්, භාවනා කරනවා නම්, පුලුවන් නම්, බාහිර අම්මා තාත්තා දුවා පුතා අයියා අක්කා ඒවා කියලා නෑදෑයො කියල සිහිවෙන අරමුණු අරගෙන එකින් එක ඒ අරමුණක් ගානෙ හිතින් හොඳට අල්ලගෙන ඒ රූපයේ කෙස්  ලොම් නිය  දත්  හම් මස් ඇට නහර ඇටමිදුලු වලින් යුක්තයි, කණබොන ආහාරයෙන් නේද හැදිල තියෙන්නෙ කියලා බලනව හොඳට කය. ඔය කය ඇසුරු කරගෙන ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි හිත පවතිනවා. ඒ හිත නිසා නේද ඔය කයේ එහා මෙහා යාම වෙන්නෙ, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ශබ්ද ඇසෙන්නෙ කියලා බලනවා. දරුවා යනවා දරුවා රූප දකිනවා  ශබ්ද අහනවා කියල බලන්නෙ නැහැ. අපි දරුවා ගියා දරුවා රූප බැලුවා දරුවා ශබ්ද ඇහුවා කියන තැනක තියෙන්නෙ මෙහෙම ඇත්තක් නේද කියල බලනවා. ඔය විදියට හිතනවා ආයෙ සති නිමිත්තෙ හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා.  


බැරිවෙලා සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා අරමුණු කිසි දෙයක් එන්නෙ නැත්නම් අධ්‍යාත්මික කය (මේ හැම වෙලාවෙම කමටහන තියෙනවා) මේ තමන්ගේ ශරීරය කෙස් ලොම් නිය දත් හම් මස් නහර බලලා කන බොන ආහාරයෙන් නේද මේ රූපය හැදිලා තියෙන්නෙ මේ කයද මළමිනියක් වගේ නේද කියල හොඳට බලනවා. මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි සිත පවතිනවා. ඒ සිතට නේද මේ රූප පෙනෙන්නෙ මට පෙනෙනවා නෙවෙයි තමන්ට පෙනෙනවා නෙවෙයි ඉඳගෙන ඉන්න කෙනාට පෙනෙනවා  නෙවෙයි මේ කය ඇසුරු කරගෙන පවතින හිතට මේ රූපාරම්මණය හම්බවෙලා තියෙන හැටි බලනවා. 


තමන්ගේ ජීවිතයම අනුන්ගේ දෙයක් හැටියට බලනවා. ඒ විදියට මේ නාමරූප දෙක බලමින් ආයෙ ආනාපානසතිය වඩනවා. එතැනින් නැගිට්ටට පස්සෙ භාවනාව ඉවරවෙලා නැගිට්ටට පස්සෙ අර කණුව ලෙහා දාපු හරකා වගේ ඔහේ ඉන්නෙ නැහැ. ආයෙ සති නිමිත්තෙ හිත තියාගෙන කරන කරන වැඩේට සිහියෙන් තමයි කරන්නෙ. හැමවෙලාවෙම මනසට පිහිටක් තියෙන්නම  ඕනෙ.


ඔය ටික තාම පූර්වභාග. හැබැයි ලෝකෝත්තර එහෙම නෙවෙයි. ඔය ටික, ටික ටික කරනකොට ඔයගොල්ලන්ට මේ පුද්ගලභාවය ගෙවෙනවා. මේ සත්ත්වයෙක් පුද්ගලයෙක් මනුස්සයෙක් කියන මේ ජීවී ගතිය අඩුවෙනවා. කෙනෙක් කියල හිතුවත් ඔයගොල්ලන්ගෙ හිතෙන්ම ප්‍රශ්ණ කරනවා මම කෙනා කියන්නෙ කෙස් ලොම්  නියදත් හම් මස් නහර වලින් හැදුන කනබොන ආහාරයෙන් හැදුන රූපෙද කෙනා? නැත්නම් ඒ කය ඇසුරු කරගෙන දැකීම් දැනීම් ආදී කටයුතු කරන හිතද කෙනා ??  කෙනා කියන්නෙ හිතටද කයටද? කියලා තමන්ම ප්‍රශ්ණ කරන මට්ටමක් එනවා. ගෙඩි පිටින් මේ වගේ පුද්ගලයෙක් දකින්නෙ නෑ හැමදාම. මේ විදියට කාලයක් කරනකොට "අත්ථි කායෙති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති". සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහියෙන් හොඳින් එළඹ සිටිනවා. කිසිම වෙලාවක සත්ත්වයකුගේ පුද්ගලයකුගේ කයක් ඔයගොල්ලන්ට දකින්න හම්බවෙන්නෙ නෑ. මෙහෙම ඇල්ලුවත් සතරමහා ධාතුවෙන් යුක්ත කණබොන ආහාරයෙන් යුක්ත කය නම් අහුඋනා කියල තේරෙයි.


මේ කය ඇසුරු කරගෙන පවතින හිතට මේ අල්ලපු බවත් දැනෙයි කියන එකත් තේරෙයි. එතකොට කෙනෙකුට දැනුනයි කියන එක නැහැ. මෙන්න මේ මට්ටමට එනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු උනාම ඒ කියන්නෙ තමන්ට  මෙහෙ ඉඳල බාහිර ඉන්න අම්මා තාත්තා දුවා පුතා අයියා අක්කා සිහිකරගන්න බැරි දවසක් එනවා. එච්චර මෝඩ නැහැ ඔයගොල්ලො එදාට. ඒ කියන්නෙ සිහිකරන කොටම එතන ඒ නාමරූප දෙකක්නෙ තියෙන්නෙ කියන එක සිහිය ඉදිරිපත් වෙනවා. ඒ නාමරූප දෙක තියෙන තැන ඇත්ත නොදන්නාකම නිසා අපිනෙ අම්මා තාත්තා දුවා පුතා කියන අදහස් හදාගෙන තියෙන්නෙ කියන එක එනවා. එතකොට දැන් අද අපට පුලුවන්කම තියෙනවානෙ මෙහෙ පැත්තක ඉඳගෙන බාහිර අය ගැන හිත හිතා ඉන්න. ඕකනෙ මේ ලෝකෙ දුක එන්න තියෙන්නෙ.යම් දවසක් එනවා ඔයගොල්ලන්ට බාහිර ආයතන වලට යන්න බෑ. ඕකට තමයි ආසිවිසෝපම සූත්‍රයේදී කියන්නෙ "සුඤ්ඤො ගාමය" කියලා. 


හිස් ගෙවල් හයක් හම්බවෙනවා.ආයෙ මේ රන්රිදී මුතු මැණික ඕවා හම්බවෙන්නෙ නැහැ. එතකොට තමයි නීවරණ ධර්ම දුරුවෙනවා හිත සමාධි වෙනවා. අන්න ඒ හිත සමාධිගත මනසකට හොඳට තේරෙනවා ඕගොල්ලො ඇස් ඉදිරිපිටට රූපයක් එද්දි මෙහෙම හිතනකොට හිතන එක දැනගන්නවා කියන එක පැහැදිලිවම පේනවා. හිතන  එකදැනගන්නවා හිතන එක පෙනෙන එකට අයිති නෑ කියල දෙක වෙන්වෙලා පෙනෙනවා.  ඒ සමාධිගත මනසට අපි මෙහෙම පෙනෙන කොට දැන් පෙනෙන දේ අද අපිට හිතන එක පෙනෙන එකට බැඳිලනෙ හිතෙන්නෙ එදාට පෙනෙන දේ වෙනමම සිද්ධියක්. ඒක වෙනමම කොටසක්. හිතන එක වෙනමම කොටසක් කියලා මේ මාර්ජින් එකක් හම්බවෙනවා මෙතන. බෙදිලා හම්බවෙනවා. මේක පෙනෙනවා. එදාට ඔයගොල්ලන්ට මේ එකක්වත් මනසින් හටගන්න කිසිම දෙයක් මේකට බඳින්නෙ නැතිව ඉන්න පුලුවනි. ඉබේමයි වෙන්නෙ. එදාට පෙනෙනවා ඔයගොල්ලන්ට පෙනෙන රූපය කියන්නෙ දිට්ඨෙ දිට්ඨ මන්තං වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියලා. අන්න ඒ කෙනාටයි එබඳු දර්ශණයක් තියෙන තැනටයි යං කිඤ්චි ධම්මං සබ්බංතං නිරොධ ධම්මං කියලා කිව්වෙ. 


 ඒ කියන්නෙ දකින්න පෙර තිබ්බා නෙවෙයි. දකින්න පෙර තියෙනවා නෙවෙයි. අවස්ථාවට උපදවාගෙනයි පෙනෙන්නේ කියන දර්ශනය අයිති ඔන්න ඔය චිත්ත සමාධිය තියෙන මට්ටමටයි. ඒ තියෙන එකේ ඇත්ත අද අපිට එහෙම අයිති නැහැ ඔය කියන වචනයි, මේ අද අපි ඉන්න මට්ටමට ගැලපුවාමයි, ඕක ගැලපෙන්නෙ නැත්තෙ. අපිට හම්බවෙන්නෙ දකින්න ඉස්සරවෙලා තිබ්බා තියෙන එකම දකිනවා දැක්කයින් පස්සෙත් තියෙනවා කියන ටික තමයි අපිට අයිති. ඒකට තමයි ලෝකය කියන්නෙ. හැමදාම ඉතිරියි. 


නමුත් ලෝකෝත්තරයි කියන්නෙ දකින්න ඉස්සරත් නැහැ. තියෙන එකක් දකින්නෙත් නැහැ.උපදවාගෙනයි දකින්නෙ. දැක්කයින් පස්සෙත් තියෙනවා නෙවෙයි. ඉතිරි නැහැ. ඒ දර්ශනය ඇති වෙන්නෙ මොකක්ද අන්න අර සමාධියට. ඒ ඇත්ත ඇති හැටියෙ දකිනකොට  මේආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා.



භාවනාව වඩන ආකාරය

එතකොට මට ඊගාවට කියන්න තියෙන කාරණාව තමයි ශීලයක පිහිටලා ඉන්ද්‍රිය සංවරය කරගෙන භෝජනයේ පමණ දැනගෙන නිදිදුරු කිරීමෙන් සිහියෙන් පිහිටලා කරන කරන වැඩේ සිහියෙන් කරනවා. ඒ වගේම එක තැනක ඉඳගෙන ඉන්නකොට සතිනිමිත්තේ තියාගෙන උපදින උපදින අරමුණු අනිත්‍ය වශයෙන් බලනවා. එහෙම  නැත්නම් නාමරූප බලනවා. මෙහෙම කරනකොට මනසේ සතුට ඇතිවෙයි. ප්‍රීතිය ඇති වෙයි. සැහැල්ලුව ඇතිවෙයි. නමුත් ඒවා මේ කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු  වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි. එහෙම කරනකොට නොයෙක් ආලෝක සංඥාවන් පහළවෙයි. ඒවා මේ කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි. මෙහෙම කරනකොට කිසිම දෙයක් නැති අසීමිත සුඤ්ඤතාවයක් එන්න පුලුවනි. පැය ගනනක් ඉන්න පුලුවනි. උදේ ඉඳන් හවස් වෙනකන් ඉඳගෙන ඉන්න පුලුවන් විදියෙ සතුටක් එක්ක සුඤ්ඤතාවයක් එන්න පුලුවන්. එයද මේ අපි කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි.


ඒ නිසා මෙතනදි මම මතක් කරන්නෙ එක තැනක ඉඳගෙන හිත වඩන්න වඩන්න ඔයගොල්ලන්ට නුවණ යන්න ඕනෙ නුවණ එන්න ඕනෙ මොකේටද? බාහිර ස්පර්ශ ආයතන  හයයි පිරිසිඳ දකින්න ඕනෙ. ස්පර්ශ ආයතන හය උපද්දවන්න බැරිකමයි එන්න ඕනෙ. මේ ලෝකෙ යමක් ප්‍රියයි නම්, මධුරයි නම්, එහි තන්හාවයි හික්මිලා තියෙන්න ඕනෙ ඔයගොල්ලන්ට. අපි උදාහරණයක් හැටියට කිසිම අරමුණක් නැති දැඩි ශුන්‍යතාවයක උදේ ඉඳන් රෑ වෙනකන් හිටියා කියමුකො. ඊටපස්සෙ එතනින් නැගිටලා ආපහු ලෝකෙට යනකොට පෙනෙන දේ තුල ඇලෙනවා නම් ගැටෙනවා නම් ඇහෙන ශබ්දයෙන් හිත රිදෙනවා නම් අපිට වැඩක් වෙලා තියෙනවද? පලක් වෙලා තියෙනවද? අපිට මොකුත් කරගෙන තියෙනවද?


ජීවත්වන ලෝකය තුලම නොරිදී ඒ ලෝකය හා නොගැටී ඒ ලෝකය තුලම ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.ලෝකයා පරිහරණය කරන ලෝකයා පරිහරණය කරන ලෝකයෙම ඉන්නවා ලෝකෙන් මිදිලා. ඒ ස්පර්ශ ආයතනම පරිහරණය කරනවා ලෝකයාගේ මානසික මට්ටමෙන් මිදිලා. එයා කැලේ  හිටියත් එකයි දාහක් මැද්දෙ හිටියත් එකයි තනියම. මේ දර්ශනය නැති කෙනෙක් මිනිසුන්ගෙ ඇඟේ වැදිල එන හුළඟවත් එන්නෙ නැති කැලේක හිටියත් එයා ඉන්නෙ දාහක් මැද්දෙ. මේ ශූන්‍යතා දර්ශනයෙන් යුක්ත කෙනා මිනිස්සු දාහක් මැද්දෙ හිටියත් ඉන්නෙ තනියම. මොකද එයාගෙ මනසට තියෙන්නෙ ශූන්‍යතාවයක්ම විතරක් නිසා.


ඉතින් මෙතනදි මට මතක් කරන්න ඕනෙ කම තියෙන්නෙ භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම  මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. ඔයගොල්ලො වතුරක් යටට ගිහිල්ලා ඇස් ඇරල බැලුවොත් කොහොමද? ඒ වගේ මේ අවකාශය ඔයගොල්ලන්ට ප්‍රකටයි. මේ අවකාශය මහා රළු වෙන දවසක් එනවා මේ හිතට සාපේක්ෂව. හිත හොඳට නීවරණ ධර්මයන්ගෙන් දුරු උනාම එතකොට අන්න ඒ වගේ මට්ටමකට ආවාමයි මේ ස්පර්ශ ආයතන හයට තමන්ගෙ මනස සම්බන්ධ නැහැයි කියන එක වෙන්කර ගන්න පුලුවන් තැන එන්නෙ. 


දැනට මේ ස්පර්ශ ආයතන හයට අපේ මනස සම්බන්ධ වෙලයි තියෙන්නෙ. එතකන් අපි ලෝකෙ. ස්පර්ශ ආයතන හය ලෝකයි. ලෝකය ශුන්‍යතාවයකින් තියෙන්නෙ. ඒ ලෝක ශුන්‍යතාවය කියන එක අත්විඳපු කෙනාට තමයි ලෝක නිරෝධය ශාක්ෂාත් වෙන්නෙ. එහෙම නැතිව අපි ඒ ස්පර්ශ ආයතන හයට අපේ මනස බඳින තාක් බැඳලා කතා කරන තාක්, අලි ලෝකෙට අයිති කෙනෙක් වෙලා මිසක අපි ලෝකෙන් මිදිච්ච කෙනෙක් හෝ මිදෙන කෙනෙක් හෝ මිදෙන මඟකට යන්නෙ නැහැ. ඒ වගේ තැනකට යන්න නම් මනසෙ ඇතිවන ගති වලට නොරැවටී යන්න වග බලාගන්න ඕනෙ.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-                            



වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.

                               

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.

Post a Comment

0 Comments