සිතේ එකඟබව සහ බුදුදහම

 

                                        මානසික සාමය සහ භාවනාව / Ai නිර්මාණයක්

මානසික එකඟතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ බුදුදහමේ විතක්ක සන්ථාන සූත්‍රයේ උගත් හැකි කදිම මනෝ උපදේශ. අයහපත් සිතිවිලි ඉවත් කර මානසික සමතුලිතතාවය රැකගන්නා ක්‍රම 5ක් ඉගෙන ගන්න.

 

හැඳින්වීම

ජීවිතයේ සෑම විටම මානසික ඒකග්‍රතාවය පවතියි නම් එයින් නිවැරදිව දෛනික කටයුතු කරගෙන යාමට මහත් පිටුවහලක් ලැබේ. නමුත් වර්තමාන ලෝකයේ කාර්යය බහුල ජීවන රටාව තුල මානසික ඒකාග්‍රතාවය මනස තුල තබාගන්නට මහත් වෙහෙසක් දැරිය යුතු අතර මානසික අවිවේකය සහ මානසික සමතුලිත භාවය රැකගන්නට අපොහොසත් වීම නිසා විවිධ මානසික ආතතීන් වලට මිනිසාට මුහුණ දීමට සිදුවේ.

දෛනික වැඩකටයුතු සහ කලබලකාරී වාතාවරණයන් මැද රැකියාවන් කරද්දී, වෙළඳ ව්‍යාපාර ආදී වෘත්තීන් වල නියැලෙද්දී, උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙද්දී සහ විශේෂයෙන් මානසික වෙහෙස නිසා ගෘහ ජීවිතයේ සහ විවාහ ජීවිතයේ පවා බොහෝ ගැටළු පැන නගියි. සිතේ එකඟකම ඇති කරගන්නට බුදුදහමේ මජ්ඣිම නිකායේ "විතක්ක සන්ථාන සූත්‍රය" කදිම මනෝ උපදේශයක් සපයයි.

 

                ආතතිය සමනය කිරීම / Ai නිර්මාණයක්

මානසික එකඟතාවය නැති කරන සිතිවිලි හඳුනා ගනිමු

මනසෙහි පවතින කිසියම් සිතිවිල්ලක් චේතනාවක් නිසා යම් පුද්ගලයෙකුට නිරන්තරයෙන් සිතට වද දෙන්නාවූ ලෝභ සහගත සිතිවිල්ලක්, ද්වේශ සහගත වෛරී සිතිවිල්ලක්, මුලාකරවන රවටන මෝහ සහගත සිතිවිල්ලක් ඇතිවෙයිද, ඒ ළාමක පාපකාරී සිතිවිල්ලෙන් චේතනාවෙන් මිදීමට නම් ඒ පිලිබදව දිගින් දිගට සිතමින් කාලය ගත කිරීම නතර කල යුතුය. ඒ වෙනුවට මනසට පීඩාවක් නොවන වෙනත් සිතිවිල්ලක් වෙත මාරු විය යුතුයි.

 

            සිත පාලනය - වඩු කාර්මික උපමාව / Ai නිර්මාණයක්

අහිතකර සිතිවිලි ඉවත් කරන්නේ කෙසේද?

ක්‍රමය 01: වෙනත් සිතිවිල්ලක් මගින්

උපමාව: දක්ෂ වඩුකාර්මිකයෙක්, ලී පෘශ්ඨයක් මත තිබෙන මහා ලී ඇණයක් උඩට, කුඩා ඇණයක් තබා එයට මිටිපහරදී එම ඇණය ගලවන්නේ යම් සේද, ලෝභ ද්වේශ මෝහ නොවන්නාවූ කිසියම් සිතිවිල්ලක චේතනාවක මනස පිහිටුවාගෙන මනසට වදදෙන කල්පනාව ගලවා දැමිය යුතුය.

ක්‍රමය 02: ප්‍රතිවිපාක සිහිකිරීම මගින්

පළමු ක්‍රමය සාර්ථක නොවී නම්, දෙවන ක්‍රමය උත්සාහ කල යුතුය. මනසට වදදෙන, ආතතියට හේතුවන, මනසේ ඒකාග්‍රතාවය විනාශ කරන මේ සිතිවිල්ල චේතනාව දිගේ දිගටම ගියහොත්, මෙන්න මේ අයහපත් ප්‍රතිවිපාක ඇතිවිය හැකිය. මේ කල්පනා කිරීම පාපකාරී ළාමක දෙයකි. මෙසේ කල්පනා කිරීමෙන් තම සිත තුල ලෝභය වේවා, වෛරය තරහාව වේවා, මුලාව රැවටීම මෝහය වේවා දිගින් දිගටම ඇති විය හැකිය.

ක්‍රමය 03: සිතිවිල්ල ඇසුරු නොකිරීම මගින්

දෙවන ක්‍රමයද අසාර්ථක නම්, උපමාව: ඇස් තිබෙන කෙනෙක්, අකමැති රූපයක් තම ඇස් හමුවට පැමිණි විට, ඇස් දෙක වසා ගනියිද, වෙනත් දිශාවක් දෙස බලයිද. ඒ ආකාරයට පාපකාරී අයහපත් නරක සිතිවිල්ල හැරදමා වෙනත් අරමුණක සිත පිහිටුවා ගනියි.

ක්‍රමය 04: මුල් හේතුව විමසා බැලීම මගින්

03 වැනි ක්‍රමයද අසාර්ථක නම්, උපමාව: යම් පුද්ගලයෙක් වේගයෙන් ගමන් කරන අතර, තමන් කුමක් නිසා වේගයෙන් යන්නේද, මීට වඩා සෙමෙන් යාම යහපත් යැයි සිතා සෙමෙන් ගමන් කරයිද, සෙමෙන් ගමන් කරන ඔහු සෙමෙන් වුවත් කුමකට ගමන් කරයිද නතරවී සිටීම යහපත් යැයි සිතයිද, නතරවී සිටින ඔහු හිඳගැනීම යහපත් බව සිතයිද, වාඩිවී සිටින ඔහු හේන්සිවීම පිලිගනියිද. ඒ ආකාරයෙන් ආරම්භක හේතු විමසීම තුලින්, වඩාත් ගොරෝසු තදබල සිතිවිලි මෘදු සිතිවිලි දක්වා පරිවර්තනය කරගනිමින් පාපකාරී අයහපත් සිතිවිලි නතර කරගනියි.

ක්‍රමය 05: සිතිවිල්ල දැඩි සේ පාලනය කිරීමෙන්

04 වැනි ක්‍රමයද අසාර්ථක වන්නේ නම්, උපමාව: යම් ශක්තිමත් පුද්ගලයෙක් විසින් දුර්වල පුද්ගලයෙකුගේ හිසෙන් හෝ උරහිස් වලින් අල්ලාගෙන බිමට ඔබාගෙන දැඩිව පීඩාවට පත්කරන අයුරින් සිතට නැගුනු පාපකාරී අයහපත් සිතිවිල්ල දත්වලින් දත් දතකරගෙන හෙවත් දත්මිටි කාගෙන, දිවෙන් උඩුතල්ල තදකරගෙන එම සිතිවිල්ල පෙලමින්, තමාටම නින්දාකරමින් එම සිතිවිල්ල පිලිබඳව සිතීම දැඩි සේ පාලනය කල යුතුයි.

 

                                  ලෝභ ද්වේශ මෝහ රූපක නිරූපණය/ Ai නිර්මාණයක්

අයහපත් සිතිවිලි වල ස්වභාවය

බුද්ධ දර්ශනයට අනුව අයහපත් පාපකාරී සිතිවිලි වලට හේතුව මනසේ පවතින එක්තරා සිතිවිලි රටාවකි. ඒවාට අකුසල මූලයන් යන වචනය භාවිතා වේ. අකුසල මූලයන් තුනකි:

i. ලෝභය - ලෝභ යන තනි වචනයෙන් හඳුන්වන්නේ යම් යම් දේවල් කෙරෙහි මනසේ පවතින දැඩි ආශාව, දැඩි කැමැත්ත, දැඩිව ඇලීම, අත්හැරීමට ඇති නොකැමැත්ත, නැවත නැවත එය අත්විඳින්නට ඇති ලෝභයයි.

ii. ද්වේශය - ලෝභය යනු ලෝකයේ දේවල් කෙරෙහි ඇති ඇලීම නම් ද්වේශය යනු ලෝකයේ ඇති දේවල් කෙරෙහි ඇති ගැටීමයි. තරහාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, බය, ආදී අයහපත් මනෝ භාවයන් ද්වේශය තුල අන්තර්ගතය.

iii. මෝහය - සැබෑ ස්වරූපය නොදන්නාකම හෙවත් මුලාව සහ රැවටීම.

 

අයහපත් සිතිවිලි රටාවේ ස්වරූපය

I. ලෝභය නිසා හටගන්නා සිතිවිලි වලට කාම සංකල්පනා යැයි කියනු ලැබේ.

II. ද්වේශය නිසා හටගන්නා සිතිවිලි වලට ව්‍යාපාද සංකල්පනා යැයි කියනු ලැබේ.

III. ව්‍යාපාදය තුල හටගන්නා සිතිවිලි වලට විහිංසා සිතිවිලි යැයි කියනු ලැබේ. (විහිංසා යනු අයහපත් ලෙස ප්‍රතික්‍රියා දැක්වීමට ඇති සිතිවිල්ල)

 

                                     මානසික එකඟතාවය / Ai නිර්මාණයක්

නිගමනය

බුදුහමේ දැක්වූ මෙම ක්‍රම උපායන් මගින් සිදු කෙරෙන්නේ මනස තුල උපන් මනසේම ක්‍රියාත්මක පාපකාරී අකුසල සිතිවිලි මගින් තමාටත් අන්‍යෙයන්ටත් අයහපතක් නොවීම පිණිසත්, මානසික ආතතිය නොරිස්සුම් ස්වභාවය ඇතිකරන මනෝභාවයන් ජනිතවීම නැවැත්වීමත්ය. මෙම ක්‍රමෝපායන් පුරුදු පුහුණු වීම තුල මනා සිහියක්, මනසේ ඒකාග්‍රතාවයක් වර්ධනය වන අතර මානසික ව්‍යාකූලභාවය ඇතිවීමට එරෙහිව කදිම උපායක්ද වන්නේය

මූලාශ්‍ර

  1. මජ්ඣිම නිකාය - විතක්ක සන්ථාන සූත්‍රය (MN 20)
  2. ත්‍රිපිටකය - බෞද්ධ ශාස්ත්‍ර සාහිත්‍යය
  3. අභිධර්ම පිටක - අකුසල මූලයන් පිළිබඳ විස්තරය
  4. විසුද්ධි මග්ග - බුද්ධඝෝෂ හිමියන්
සූත්‍ර පිටක - මානසික සංවර්ධනය පිළිබඳ ඉගැන්වීම්

 

 

 

 

 

No comments:

Post a Comment

Comments