ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ.එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට. ලෝකොත්තර සහ පූර්වභාග (පසුගිය ලිපියෙන්)
ඒකෙදි ඒ දෙකටම ශීලය එකයි. මුලින්ම සිල්වත් වෙන්නට ඕනෙ. සිල්වත් වෙනවා කියනකොට ඒ ශීලය ටිකක් ගැඹුරුයි. පළලයි. ඒ කියන්නෙ මේ ශාසනයේ ඇත්තටම නිවන් දකින්න සමාධි කමටහනක් නැහැ. මේ ශාසනයේ ශීලය කියන්නෙ, ශීලයටමයි හිත සමාධි වෙන විදියට. ඒකට කියනවා " සමාධි සංවත්තනික ශීලය" කියලා. ශීලයටමයි හිත සමාධි වෙන්නෙ. ඒ ශීලය කියන්නෙ ධර්මතා හතරකින් පිරිච්ච එකක්.
1.ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
2.ඉන්ද්‍රිය සංවර ශීලය
3.ආජීව පාරිශුද්ධ ශීලය
4.ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය
ඒක වචන වලින් සීමා වෙන්න එපා. ජීවිතෙන් යොදාගන්න හැටි.
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
ප්‍රාතිමොක්ඛ කියන්නෙ මොක්ෂයට පමුණුවන, නිවනට පමුණුවන, ශීලය. ඒකට තමයි පන්සිල්, අටසිල්, දසසිල්, උපසම්පදා ශීලය කියලා කියන්නෙ.
ඉන්ද්‍රිය සංවර ශීලය
ඉන්ද්‍රිය සංවරය කියන්නෙ ඇහැ කණ නාසය දිව ශරීරය මනස දෙකට බෙදා ගන්නවා. යම් විදියකට මේ ආයතන පරිහරණය කරන කොට රාග ද්වේශ මෝහ ඇති වෙනවා නම් ඒ විදියට මේ ආයතන පරිහරනය කරන්නෙ නැහැ. යම් විදියකට මේ ආයතන පරිහරණය කරනකොට රාග ද්වේශ මෝහ අඩු වෙනවා නම්, ඒ විදියට ආයතන ටික පරිහරණය කරනවා කියලා දෙකට බෙදාගන්න එකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා.
ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය
ඊටපස්සෙ භෝජනයේ පමණ දැනගන්න ඕනෙ. රසතෘෂ්නාව අඩුවෙන්න ඇත්තටම හොඳ කාරණාවක් තේරුම් ගන්න. කෑම කනකොට දිවට රසටික ස්පර්ශ වෙනවත් එක්කම රසය කියන එක අයින් වෙනවා. ආහාරයෙන් කරන්නෙ, රසය අතුරු කාරණාවක්, ආහාරයට චුට්ටක්වත් සම්බන්ධ නැහැ රසය. අපි කනබොන කෑම වලින් කෙරෙන කෘත්‍යයයි සහ රසයයි වෙනමම දෙකක්. ඒ රසය දිව ස්පර්ශ නිසා රසය ඇතිවෙලා ඒ වෙලාවෙම නැතිවෙනවා. ඒ කනබොන ආහාරයේ තිබෙන ඕජාවෙන් තමයි මේ රූපය යැපෙන්නෙ. රසයෙ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තිත්ත වේවා, ඇඹුල් වේවා, එතකොට ඒ නිසා ආහාරයේ පමණ දැනගන්න. ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ පුත්‍රමාංශ සංඥාවෙන් කියලා.
පුත්‍රමාංශ සංඥාව
ඒ කියන්නෙ එක අම්මා තාත්තා දෙන්නෙකුට (බලන්න එතකොට කනබොන ආහාරය මොනතරම් ගිජුකම අඩුකරන්න තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ඒකෙන් පෙන්වනවා) එක යුවලකට ගමණක් යන්න වෙනවා කාන්තාරයකින්. දරුවත් අරගෙන යන්නෙ කාන්තාරය හරහා. යනකොට කාන්තාරයෙ ඉවර වෙන්න කලින්ම ආහාරපාන ඉවර වෙනවා. ඉවරවෙනකොට දැන් බඩගින්නෙ තුන්දෙනාම මැරෙන්න හදන්නෙ. ඒ පාර ඉතිං යෝජනාවක් කරනවා මේ පිරිමි කෙනා අපි තුන්දෙනාම මැරෙන්න යන්නෙ අපි මේ දරුවා මරාගෙන කාලා කොහොම හරි කාන්තාරෙන් එතෙරවෙමු අපිට පස්සෙ වෙන දරුවෙක් හදාගත්තෑකි. අම්මා කියනවා අනේ මට නම් ඒක කරන්න බෑ එහෙනම් ඔයා මරන්න. තාත්තා කියනවා මට ඒක කරන්න බෑ එහෙනම් ඔයා මරන්න.දරුවා තාත්තා ගාවට යනවා ආයෙ අම්මා ගාවට එනවා. ඔහොම කර කර එහාට මෙහාට යනකොටම දරුවා මැරිලා වැටෙනවා. ඊටපස්සෙ ඉතිං දරුවා මලානෙ. මොකද කරන්නෙ ඊටපස්සෙ දැන් මේ දරුවගෙ මස් කනවා. කකා එතෙර වෙනවා. ඉතින් අඬ අඬා කන්නෙ. තමන්ගෙ එකම දරුවා නිසාත් මස් අප්‍රියයි, ප්‍රියමනාප දරුවා නිසාත් මස් අප්පිරියයි, නොකන මසක් නිසාත්මස් අප්පිරියයි, ඊගාවට ලුනු ඇඹුල් මිරිස් නැති නිසාත් මස් අප්පිරියයි. කිසිම පිරියකින් තොරයි. නමුත් ජීවිතය යැප ගන්න කාන්තාරයෙන් එතෙරවීම සඳහාම විතරයි ගන්නෙ. මහණෙනි කබලිංකාහාරය මම එසේ උපමාවකට කියමි කියනවා. එතකොට ප්‍රයිඩ් රයිස් කියයි, කොත්තු කියයි, බුරියානි කියයි, අන්තිමට අපි ඔය රස තන්හාව මුල් කරගෙනයි ඔය විවිධත්වයකට ගිහින් තියෙන්නෙ. අන්තිමට ඇත්තටම නිවන් දකින් කෙනෙකුට අර්ථය ලැබෙන්න ඕනෙ මේ සංසාර කතරෙන් එතෙරවීම පිණිසයි මේ ආහාර ගන්න ඕනෙ කියලා. එච්චරට ආහාරයේ ගිජුකම අයින් කරන්න වෙනවා. එතකොට කියනවා ඒක ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයි.
ජාගාරියානු යෝග
ඊටපස්සෙ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙනවා. හය හත වෙනකොටම නිදාගන්නෙ නැතිව රෑ දහය එකොළහ වෙනකම් වත් භාවනා කරන්න ඕනෙ.ආයෙ උදේ හත අට වෙනකන් නිදාගන්නෙ නැතිව අඩුමගානෙ අඩුමගානෙ පාන්දර තුනහතරටවත් නැගිටින්න ඕනෙ. නැගිටලා ටිකක් භාවනාවකට උත්සාහවත් වෙන්න වෙනවා. ඒකට කියනවා ජාගාරියානු යෝගය.
සති සම්පජනනය
ඊට පස්සෙ තියෙනවා සතිසම්පජනන, එළඹ සිටි සිහිය, එළඹ සිටි සිහි කියලා කියන්නෙ ආනාපාන සතිය වඩන්න අපි තොල්දෙක ගාව හෝ නාසය ගාව හිත තබාගන්නවනෙ. ඒ විදියට ආනාපාන සතිය අතහරිනවා.අතහැරලා සතිනිමිත්තෙම හිත තියාගෙන හැම වැඩක්ම කරන්න ඕනෙ. ඊගාවට මෙන්න මේ සතිසම්පජනනය කියන තැන හරි සුවිශේෂී තැනක්. ඔයගොල්ලො ගොඩාක් නොසැලකිලිමත් වෙන නමුත් සමාධියට ඉතාමත්ම ලඟම කෙටිම හිතකරම තැන. නමුත් නොසලකාම හරින තැන. ඒ කියන්නෙ සිහියෙන් වැඩ කටයුතු කරන්න කියනකොට සතිනිමිත්තෙ හැමවෙලාවෙම ඔයගොල්ලො වැඩ කරනකොට තමන්ගෙ වැඩ කරන ක්ෂේත්‍රය තුලම මනස තබාගන්න උත්සාහවත් වෙන්න. ඒකෙන් මතක් කලේ දැන්, උපමාවක් කිව්වොත් දැන් මම ඔයගොල්ලො එක්ක මේ මොනව හරි කථා කරමින් කියමින් මේ මෙතන තියෙන දුරකථනය ගත්තා. එහෙම නෙවෙයි. සතිසම්පජනනය කියන්නෙ කය වගේම මනසත් ඉරියව්වට හරවලා මේකෙන් කරනවා ලොකු දෙයක්. මනසට අතීත අනාගත දෙකට දුවන්න නොදී වර්තමානයක හිත තබාගන්න විශාල රුකුලක් දීලා තියෙනවා. කරන වැඩේ මේකෙදි, ගන්නවා ගන්නවා, යනවා යනවා හිතන්න ඕනෙ නෑ. සතිනිමිත්තෙ හිත තියාගන්නවා. ඕගොල්ලො අත දාපු බවත් දන්නවා.මේක ගත්ත බවත් දන්නවා. පිහිය ගත්ත බවත් දන්නවා. හැම වෙලාවෙම කරන කරන වැඩේට විතරක් මනස සීමා කරගෙන කරන්න. ඒ කියන්නෙ කරන වැඩේ තුල දැනුවත් බවකින් කරන්න. ඒ ගැන කරනවා කරනවා කියල හිතන්නවත් එපා.මේක උපායක්.
ඒ කියන්නෙ අතීත අනාගත දෙකට යන්න නොදී හිත වේගයෙන්ම සමාධි වෙනවා. ඉක්මනට නීවරණ දුරුවෙන ක්‍රමයක්. ඊගාව එක තමයි යමක් ගන්නකොට එකපාරටම ගන්න එපා. අත නිබර කරලා මටසිළුටුවට බොහොම සිනිඳුව මෘදුව කරන්න ඕනෙ. මෙහෙම හෙමින් ඒ දේ ගන්නෙ. තියන කොටත් එහෙමයි. හෙමින් තියන්න. මේ ඉරියව්වටම හිත සමාධි වෙන්නෙ. වතුරටික බොන්න කෝප්පයට ගන්නකොට, හෙමින් කෝප්පයට අත තියන්න. නිබර කරලා. වටපිට බලනකොට උනත් සිහි ඇතිව, සිහි ඇතිව කියන්නෙ බලමි බලමි කියල නෙවෙයි.බලනවා කියන කම දන්නවා.දැනගෙන තමයි බලන්නෙ. එක පාරටම බලන්නෙ නෑ. මේ බලන ක්‍රමයට හිත සමාධි වෙනවා. ආපහු බලනකොටත් බලනවා කියනකම දැනගෙනමයි කරන්නෙ. යනකොට යනවා කියල දන්නවා. යන බව දැනගෙනමයි කරන්නෙ. ඉඳගෙන ඉන්න බව දන්නවා. දැනගෙනමයි කරන්නෙ. මේ කාරණාවෙන් එදා එදා එවෙලාවට එවෙලාවට මනස පවත්වනවා.
පොල් ටික ගානකොට පොල්ටික ගානවා කියන කාරණාව තුල මනස තියාගන්න. පොල්ටික ගානකොට මනස ඇමරිකාවේ තියාගෙන හරියන්නෙ නැහැ. දැන් කරන්නෙ ඒකමනෙ. එතකොට ඒ විදියට කරනවා සතිනිමිත්ත අතහරින්නෙ නැහැ.
ඔන්න ඔය ටිකට එනකොට ආජීව පාරිශුද්ධ ශීලයි. ශීලය කියන එක ඔතනට එනකම්ම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඔය තැන දක්වා තියෙනවා. ඔන්න ඔය ටික හදාගත්ත කෙනා සුදුසුයි භාවනා කරන්න. තවම මේ භාවනා කරන්න නෙවෙයි භාවනා කරන්න පසුබිම මම මේ කිව්වෙ. ඊටපස්සෙයි බුදුදහම පෙන්වන්නෙ හිස් ගෙයකට වේවා, කැලේකට වේවා, පිදුරු ගුහාවකට වේවා, ගල් ලෙනකට වේවා, ගිහින් භාවනා කරන්න කියලා. පන්සිල් හරි අටසිල් හරි දසසිල් හරි ශීලය කැඩෙන්නෙ නැතිව බලාගන්න. ඉන්ද්‍රිය සංවරය කරගන්න. නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න. සති සම්පජනනයේදී සති නිමිත්ත තුල සිත තබාගන්න. හැම වෙලාවෙම යද්දි එද්දි හරියට කූඩැල්ලෙක් එල්ලුනා වගේ අතහරින්න එපා සති නිමිත්ත.
අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. ලියනකොට ලියනවා. හිත ඇතුලෙන් එක එක අදහස් ඇති උනාට කමක් නෑ. ලියන්න ඕනෙ කල්පනා කරලා. නමුත් ක්ෂණිකව ඊටපස්සෙ ඒ ෆයිල් එක තියලා පැත්තකින් ඊගාව ෆයිල් එක ගන්නකොට ක්ෂණිකව ඒකට නුවණ. බලන්න ජීවිතේ මොනතරම් හොඳකට කරන්න පුලුවන් වෙයිද කියලා. වඩාත් පිරිසිදුව කරන්න පුලුවන්. හොඳට කරන්න පුලුවන්. බැරි නෑ. අපි දැන් මේ කෙලෙස් සහගතව දුවන මනසකට හුරුවෙලා හින්දා. කරන කරන වැඩේ සිහියෙන් කරන්න කියල කිව්වෙ ඒකට අමුතුවෙන් අර්ථකථන දෙන්න ඕනෙ නැහැ. කමි කමි අනමි අනමි එහෙම එකක් නෙවෙයි මේ කියන්නෙ. මේකෙන් කරන උපාය තේරුම් ගන්න.
අතීත අනාගත ප්‍රපංච ධර්මයන්ට මනසින් ආවර්ජනය කර කර ඉන්න නොදෙන කමයි මේ කරලා තියෙන්නෙ. වර්තමානයට හිත තබා ගැනීමෙන් කරලා තියෙන්නෙ මනෝමයෙන් අතීත අනාගත දෙකට යන්න නොදෙන එක මේ කරල තියෙන්නෙ. ඒකයි මේකට හිත සමාධි වෙන්නෙ වේගයෙන්. සති නිමිත්තෙ හිත තියාගන්නවා. වර්තමානයක කරන වැඩේට සිහියයි. යම් භාන්ඩයක් ගන්නවා නම් ගත්ත බවත් දන්නවා. අරගෙන ඉවර වෙච්ච බවත් දන්නවා. තියලා ඉවර බවත් දන්නවා. ඊගාව වැඩේට තාම ගිහි ඇත්තො හැටියට කරන වැඩේ තුල එක එක කල්පනා නොකර ඉන්න බැහැ ඔයගොල්ලන්ට. කරන්න. නමුත් පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන පර්ය්‍යංකය බැඳගෙන සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතිය වඩන්න.
-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-
වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.
මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.
0 Comments