විජ්ජාව සහ සත්‍යය 02 - ධර්මය සහ ජීවිතය - 22 කොටස

 


කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින  හා පවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ. 

- පසුගිය ලිපියෙන්-


1.බාහිර ආයතන         - 06

2.අධ්‍යාත්මික ආයතන - 06

3.විඤ්ඤාණ               - 06

4.ස්පර්ශ                     - 06

5.වේදනා                   - 06

6.සංඥා                      - 06

7.චේතනා                   - 06

8.තන්හා                     - 06

9.විතක්ක                    - 06

10. විචාර                     - 06

                                = 60 යි.

ඔය දහයම බෙදලා ගත්තාම එක ගොඩකින් එක එක උදුරලා ගත්තොත් අධ්‍යාත්මික ආයතන හයෙන් ඇස ගත්තොත්, බාහිර ආයතනය රූප, අධ්‍යාත්මික ආයතනය ඇස, චුක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්ඵස්සජා වේදනාව, රූප සංඥාව, රූප චේතනාව, රූප තන්හාව, රූප විතක්කය, රූප විචාරය.

ඒ වගේ ආයතන හය හරහාම එක ආයතනයක් හරහා මෙහෙම රූපයක් බලලා යමක් ඒකට විතර්ක කරනකොටම, කාරණා දහයක් යෙදිලා තියෙනවා. ඒ කාරණා දහය තුලම තියෙනවා තන්හාව. ඒකෙන් මම මතක් කෙරුවෙ  ඕගොල්ලන්ට කාරණා දහයක් යෙදිලා හම්බ වෙන්නෙ නැහැ.  ඕගොල්ලන්ට හම්බවෙන්නෙ ඇහැට පෙනෙන රූපය විතරයි. ඔය ඇහෙන් රූපයක් දකිනකොට ධර්මතා දහයක් තියෙනවා. ඔය දහයෙම තන්හාව යෙදිලා තියෙනවා. ඇහැට පෙනෙන රූපයට විතරයි ඔයගොල්ලො තන්හා කරන්න  ඕනෙ කාරණා දහයටම තන්හා කරලා තියෙනවා. කණට ඔයගොල්ලන්ට ඇහෙන ශබ්දය විතරයි, කාරණා දහයම වැයවෙලා ශබ්දෙ විතරයි ශබ්දෙට විතරයි තන්හා කරන්න  ඕනෙ කාරණා දහයටම තන්හාව යෙදිලයි තියෙන්නෙ. ඔන්න ඔය වගේ ආයතන හයම දකින්න. යම් වෙලාවක ඇහැට පෙනෙන රූපයේ ඔයගොල්ලන්ට තන්හාව නැති උනොත් කාරණා දහයෙම තන්හාව නැති වෙනවා. 


මේ වගේ ලෝකෙ ප්‍රියයි නම්, මධුරයි නම්, තන්හාව ඇති වෙන්නෙ එහියි. යමක් ලෝකෙ මධරයි ප්‍රියයි නම් තන්හාව නැති වෙන්නත්  ඕනෙ එහියි. එතකොට සම්මා දිට්ටි  කියල කියන්නෙ දැනට කෙටියෙන් ගන්න ඇහැට පෙනෙන රූපය කියන එක පිරිසිඳ දකින්න. සම්මා දිට්ටිය කිව්වාම පිරිසිඳ දැකීම. මෙතනදි තව කාරණාවක් තේරුම්  ගන්න අපි මේ හදන්නෙ සත්‍යය අවබෝධයක් කරන්න. සත්‍ය අවබෝධයක් කරන්නෙ කියන්නෙ ඇත්ත ඇති හැටියෙ අවබෝධ කරන්න. බුදුරජාණන් වහන්සේගේවත් අදහස නෙවෙයි. මේ ලෝකෙ හැමදාම කෙනෙක් ඇහැකින් රූපයක් බලනවා නම්ඒ රූපයේ ඒ ඇහෙන් බලනවා කියන ඇත්ත, ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න. සම්මා දිට්ටි කිව්වෙ ඒකටයි. 


කණට ඇහෙන ශබ්දයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

නාසයට දැනෙන ගන්ධයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

දිවට දැනෙන රසයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

කයට දැනෙන පොට්ඨබ්බයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

හිතට දැනෙන සිතිවිලි වල ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.


ඔය බාහිර ස්පර්ශ ආයතන හය ගැන විතරක් වග බලාගන්න. එතකොට මෙන්න මේ ඇත්ත දැකපු දවසට ඇහැට පෙනෙන රූපයේ ඇත්ත දැක්කම ඒ සම්මා දිට්ටියේ වැඩක් තමයි  ඕගොල්ලො ගාව තියෙන තන්හාව අයින් කරන එක.  ඕගොල්ලො තන්හාව  අයින්කරන්න මහන්සි වෙන්න එපා. ඒක ධර්මයට භාර දෙන්න. සම්මා දිට්ඨියට බාර දෙන්න. එයාගෙ වැඩක් ඒක. සම්මා දිට්ටිය, නැත්නම් ඇත්ත දකින කොට තන්හාව නැති වෙයි. තන්හාව නැති වෙන කොට දුක නැතිවෙයි. එතකොට දුක  නැතිවෙන්න නම් තන්හාව නැති වෙන්න  ඕනෙ, තන්හාව නැති වෙන්න නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න  ඕනෙ. මොකක්ද??

ඇහැට හම්බවෙන රූපයේ

කණට හම්බවෙන ශබ්දයේ

නාසයට හම්බවෙන ගන්ධයේ

දිවට හම්බවෙන රසයේ

කයට හම්බවෙන ස්පර්ශයේ

මනසට හම්බවෙන ධර්මාරම්මණ වල ඇත්ත ඇති හැටියෙන් දැනගන්න  ඕනෙ. ඔන්න ඔය ඇත්ත ඇති හැටියෙන් දැනගන්නවා කියන කාරණයයි සුලභ නැත්තෙ.  ඕකයි හැමදාම හම්බවෙන්නෙ නැත්තෙ. ඔය ඇත්ත තේරුම් ගන්නයි බුද්ධොත්පාද කාලයක්  ඕනෙ වෙන්නෙ. මොකද බුදුරජාණන් වහන්සේ නමකට නැතුව ඔය ස්පර්ශ ආයතන හයේ ඇත්ත යම්කිසි කෙනෙක් දැනගත්තොත් එයාට කියනවා "පච්චේක බුද්ධ" කියලා. තනියම කෙනෙක් දැක්කොත් එයාට කියනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. එයිට මෙහා කිසිදු කෙනෙක් හීනෙකින්වත් දකින්නෙ  නැහැ දැකලා නැහැ ඒ ඇත්ත දන්නෙ නැහැ. නමුත් ඇස් තියෙන කෙනෙකුට ඇස් ඇරල බලනව වගේ, නුවණක් තියෙන කෙනෙකුට බලාගන්න බැරි දෙයක් එහෙම නෙවෙයි. අදහගන්න බැරි දෙයක් එහෙම නෙවෙයි. මේක සත්‍යයක්. එක කාරණාවක් තේරුම් ගන්න.

"විජ්ජාව සහ සත්‍යය"

බැරිවෙලා බණ කියකියා මොනව හරි දෙයක් කියකියා ඉන්න ගමන් අඩි හතරක් පහක් අහසේ උසට පර්ය්‍යංකය බැඳගෙන කවුරුහරි හිටියොත් ඉඳගත්තොත් ඔයගොල්ලො ඔක්කොමලා සාධුකාර දෙයි. දීලා ඔය පින් කරනවා කියන ඒවා බොරු  ඕවා නෙවෙයි බුදුදහම මෙන්න මේකයි කියලා මොනව හරි බොරුවක් කිව්වොත් ඔයගොල්ලො ටක් ගාලා පිලිගනියි. ඇයි ඒ?? ඔයගොල්ලන්ට හිතාගන්න නුවණක් නැහැ සමහර විටක මේක විජ්ජාවක් මිසක සත්‍යයක් නෙවෙයි කියලා. 


අපිට අවශ්‍ය වෙන්නෙ විජ්ජාවක් නෙවෙයි සත්‍යයක්. මොකද මම එහෙම ආසනෙන් උඩට නැගලා පර්ය්‍යංකය බැඳගෙන හිටියා කියන්නකො. හිටියා කියලා ඔයගොල්ලන්ගෙ ජීවිත වලට මොකද උනේ? ඔයගොල්ලන්ගෙ ජීවිත වල දුක ගෙවුනද? ඔයගොල්ලො තව චිත්‍රපටයක් බැලුවා වගේ එක දර්ශනයක් බැලුවා එච්චරයි. නමුත් එහෙම නෙවෙයි. සත්‍යය කියන එක තේරුම් ගන්න. සත්‍යය කියන්නෙ මේ ලෝකෙ තථාගතයන් වහන්සේ පහළ උනත් නැතත් හැමදාම තිබුනු හැමදාම පවතින ඇත්ත. ඒ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කලේ. ඒ ඇත්ත ඇති හැටියට දැක්කොත් දුක් උපදවන දුක දෙන මේ තන්හාවට ඉඩ නැති වෙනවා.


ඒකෙන් මම ටිකක් මතක් කරන්නම් මේ පිරිසිදුම බුදුදහම. ඒ කියන්නෙ එතන මගේ පුද්ගලික අදහසක් එහෙම නෙවෙයි. ඔයගොල්ලො ඕනෙ නම් බලන්න ඒ පොත්. අභිධර්ම පිටකයේ ධර්ම සංඝණි ප්‍රකරණ අරන් බලන්න. පටිසම්භිදා මග්ගයේ ඔය ඥාණ  කථාවලදි, ඔය වත්ථු නානත්ත ඥාණය, ගෝචර නානාත්ත ඥාණය කියල ඒ නුවනවල්, ඒ කියන්නෙ ගෝචර නානාත්ත ඥාණය කියන එකේ ගෝචර කියන්නෙ රූප  ශබ්ද ගන්ධ රස ඒකෙන් පෙන්වනවා අපි තුල ඇහැට පේන රූපය ගැන අපි නුවණ හදාගන්න ඕනෙ මොන වගේද කියලා. එතකොට දැන් මම කිව්වා සම්මා දිට්ඨිය කියල කියන්නෙ මොකක්ද අර අංග දහයම යෙදිලා අපිට පෙනෙනවා නම් ඇහැට පෙනෙන රූපය, පෙනෙන රූපයේ ඇත්ත ඇත් හැටියට දකින්න. පෙනෙන රූපයේ ඇත්ත ඇති හැටියට දැක්කාම රූප තන්හාව අතහැරෙයි. ඒ නිසා එම දුක නෑ. කණට ඇහෙන ශබ්දයේ ඇත්ත ඇති හැටියට දකින්න. දැක්කාම ශබ්ද තන්හාව අතහැරෙයි. ඒ නිසා ඒ දුක නෑ. මේ ස්පර්ශ ආයතන හයම එහෙමයි.


එතකොට මොකක්ද මේ ආයතන වල අපට නොතේරෙන අපට නොපෙනෙන ඔය කියන විදියේ සුවිශේෂී ඇත්ත? ඇත්තම නම් මොකක්ද? පෙනෙන ඇහෙන දේට ඔයගොල්ලන්ගේ මනස බැඳෙන්න නොතබා තබාගන්න පුලුවන් මට්ටමක් එන්න ඕනෙ. මං ඕකට උපමාවක් කියන්නම්.ටිකක් ගැඹුරුයි. උපමාව කිව්වොත් තේරෙයි. ඒක අනිත් ආයතන වලට ආදේශ කරගන්න ඔයගොල්ලන්ට ටිකක් ගැඹුරුයි. මම අර මතක් කලේ කවුරු හරි ජපන් භාෂාවකින් හෝ අපි නොදන්න භාෂාවකින් ඇවිල්ලා කෙනෙක් මෙතනදි වචන ටිකක් කථාකරගෙන කථාකරගෙන ගියොත් ඔයගොල්න්නට මොනවද තේරෙන්නෙ? තේරෙන්නෙ නෑ.ඔයගොල්ලන්ට තරහා යයිද? නැහැ. මේ බැන්නා කියලා හිතෙයිද? නැහැ. ඔයගොල්න්ට ගුණ කිව්වා කියලා හිතෙයිද?නැහැ. එහෙනම් ඒ අරභයා ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක් පහළ වෙයිද? කිසිම හැඟීමක් පහළ වෙනවද? ශබ්ද ටිකක් නම් ඇහෙයි. ශබ්ද ටිකත් මතක තියාගන්න පුලුවන්ද? බෑ. අතහැරෙයි. කණ ඉදිරිපිටට එන හැම ශබ්දයකම ඇත්ත එච්චරයි. මේ ඇහෙන ශබ්දයේ ඇත්තත් එච්චරයි. එයිට මෙහා, ඒකයි ශබ්දය නැත්නම් සෝත විඤ්ඤාණය අපි දන්නෙ නැහැ කියල කියන්නෙ. ශබ්දය දන්නෙ නැහැ නෙවෙයි එබඳු ශබ්දයක් එනකොට ශබ්දය කියන එක පිරිසිඳ නොදන්නාකම නිසා අපි හිතෙන් එක එක විදියට හිතලා ශබ්දෙට ගැට ගහලයි ලෝකය හදාගෙන තියෙන්නෙ. 


මට කියන්න ඕනෙකම තිබුනෙ ඒ ශබ්දය කියන තැන ඇහුනාම, ඒක තේරෙන හින්ද මම ගත්තෙ. ඔයගොල්ලො දැක්කනෙ ඔයගොල්ලන්ගෙ මනසට කිසිම සම්බන්ධයක් නැතිව ශබ්දය විතරක් වෙනම පැත්තක තියෙනවා. තේරුනා නේද? මනසින් කිසිම හැඟීමක් ප්‍රතික්‍රියාවක් දක්වන්න දක්වන්න බැරිව ශබ්දය කියන එක වෙනම පැත්තක. බාහිර එකක් වෙලා. අපි මොකුත් ගොඩනැගුවෙ නැත්නම් ඒ වගේ ඔයගොල්ලො පිළිගන්නවද ඇස් ඉදිරිපිටට එන හැම රූපයක්ම, හැම ගන්ධයක්ම, හැම රසයක්ම, කයට දැනෙන හැම ස්පර්ශයකමත් ඇත්ත ඔච්චරයි. දැන් මේක දැක්කාම අරහෙ මෙහෙ කියලා මේ විස්තර ටික තියෙන්නෙ කණට ඇහෙන ශබ්දයට අපි හිතින් දාපු විස්තර ටික වගේ මේ තියෙන්නෙ. 


එතකොට හැම රූපයකටම රූප,ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ කියන මේ බාහිර ආයතන  ටිකම සම්පූර්ණ ශුන්‍යතාවයකින් තියෙන්නෙ. සත්ත්ව පුද්ගල ආත්ම වූ කිසිම  දෙයක් ඒ තුල නැහැ. ලාභ,අලාභ, යස,අයස, නින්දා ප්‍රසංසා, කිසිදෙයක් ඒ තුල නැහැ. කයෙන් විතරයි සැපදුක් ගන්නෙ. අනිත් ඒවායේ සැපදුක් වත් නැහැ. එතකොට  ඒවිතරක් නෙවෙයි ඒ නොදන්නා මට්ටමෙන්මයි ආයතනයක් රූප හම්බ වෙන්නෙ. ඒ රූපයෙන් පමණ පෙනීම් මාත්‍රයක් විතරයි අර මම කියන්නෙ වතුරට වැටුන ඡායාවක් අපට බලන්න පුලුවන් නමුත් කවදාවත් අල්ලන්න බෑ. එබඳු මට්ටමක් විතරමයි ඇස් ඉදිරිපිටට එන රූපයේ තියෙන්නෙ. කණට ඇහෙන ශබ්දය නොදන්නා භාෂාවකින් කෙනෙක් කතාකරනකොට ඇහෙන ශබ්ද මාත්‍රයක් විතරමයි තියෙන්නෙ. එතකොට ඔන්න ඔය මට්ටමේ රූප ටික පිරිසිඳ දැක්කොත් ඔයගොල්ලන්ට තේරෙයි මුළු ලෝකයක්ම හදල තියෙන්නෙ අපි මනොමයෙන් නේද කියලා. ඇහැට රූප හම්බ වෙනකොට අපි තුල හොඳට වේවා නරකට වේවා මේ රූපය ඇස් දෙන දල්වා ගෙන මනසින් හොඳට හෝ නරකට එක එක දේවල් වලට අපි හිතනවා. හිතුවාම පටපණුවාට වෙච්ච දේ අපට වෙනවා.


සංඛාරයට උපමාවක් තියෙනවනෙ. ඔය අවිද්‍යාව අන්ධයෙකුට උපමා කරලා. සංඛාරය පටපණුවාට උපමා කරල තියෙනවා. පටපණුවා දන්නවනෙ? අර මල්බෙරි ගස්වල හදන පටපණුවො කෝෂය හදනවනෙ. ඊටපස්සෙ කෝෂය හැදුවාම, හදලා ඌ උගේ ඔක්කොම වහගෙන ඒකෙ ඇතුලෙ ඉන්නවා. ඌ ඒකෙ ඉන්නෙ සමණලයෙක් වෙන්න බලාගෙන. ඊටපස්සෙ මිනිස්සු මොකද කරන්නෙ ඒ කෝෂ පිටින්ම තම්බලානෙ නූල් ටික ගන්නෙ. අන්තිමට තමන් හදපු කෝෂයේම පටපණුවාට මැරෙන්න වෙනවා.



ඒ වගේ සංඛාරයට උපමාවක් කරල තියෙන්නෙ මොකක්ද පටපණුව වගේ කියල? තමන් මනෝමයෙන් ගොඩ නගාගන්නා සිතිවිලි වලට තමන්ම පටලැවෙනවා. ඇස් ඉදිරිපිටට කිසිම දැනුමකින් තේරුමකින් තොරව නන්ඳුනනා මට්ටමේ කවදාවත් විස්තරයක්  නැති නන්නාඳුනනා මට්ටමේ දැකීමට පමණක් සීමා වෙච්ච රූපයක් එද්දි ආගන්තුකවම ඔයගොල්ලො මේ රූපය අරභයා මේ තේක්ක ගහ, මේක අඹගහ, කියල හිතුවම ඔයගොල්ලන්ගෙ හිතටම හිත ඒකටම ඔයගොල්ලො පැටලෙනවා. ඔයගොල්ලොම රැවටෙනවා. මේ හිතින් හිතපු එක අයිති බාහිරට කියලා. ඔයගොල්ලො ආයෙත් මෙහාට ගැටගහල තියනවා. 


ඊටපස්සෙ ශබ්දයටත් එහෙමයි. මේ රූපවල එක එක හැඩ තියෙනවනෙ. මේ හැඩයට තේක්ක කියනවා. මේ හැඩය අඹ කියනවානෙ. ශබ්ද වලත් එක එක හැඩයෙන් හැඩයට අපි හිතලා තියෙනවා. ඒ හින්දයි මේ ශබ්දය ඇහෙනගානෙ මම කියන එක තේරෙනවා නෙවෙයි, මේ ශබ්ද සංඥාව එනකොට ඔයගොල්ලො ගාව ක්ෂණිකව ඒකෙ අදහස් සිහිකර ගැනීමේ හැකියා ටික සිහි කරගෙන ඔය තියෙන්නෙ. ඔයගොල්ලන්ට භාෂාව තේරෙනව කියන්නෙ ඔයගොල්ලො ගාව තියෙන අදහස් ටික වේගයෙන් සිහි කරගන්නවා. මේ සිත ඒ තරම් වේගයි. නමුත් මේ වචන ශබ්දය කණ ගාවට එනකොටම අපි ගාව තියෙන අදහස් අපේ මනසින්ම සිහිකර ගත්තා කියන  එකඔයගොල්ලන්ට පෙනෙන්නෙ නැහැ. ඔයගොල්ලන්ට පෙනෙන්නෙ හාමුදුරුවො මෙහෙම බණ ටිකක් කිව්වා කියලා. 


පටපණුවා උගේම කෝෂයේ පටලැවෙනව වගේ අපි අපේම මනසින් හදාගන්නා කෝෂ ටිකේ පැටලෙන හැටි මම මේ කියන්නෙ. නාසය ඉදිරිපිටට ගන්ධයක් එනකොට සුගඳ දුගඳ තියෙයි. ඒක අසූචි ගඳ වේවා, අරලිය මල් ගඳ වේවා, සමන් පිච්ච මල් ගඳ වේවා, කියල ඒ ගන්ධයට සුගඳට දුඟඳට කාරනා නැහැ. ඇලෙන්න ගැටෙන්න පිළිකුල් කරන්න කාරණා නැහැ. ඒ ගන්ධය එනකොට අපේ මනස තුල කැවුම් බදින සුවඳ, කෝපි කුඩු සුවඳ, හඳුන් කූරු සුවඳ කියල විස්තර ටිකක් එනකොට අර පටපණුවගේ කථාව ආයෙත් අපිට එනවා. මනසේ තියෙන ටික අපට කිසිම දැනුම් මාත්‍රයකින් තොර ගන්ධ මාත්‍රයක් නාසය ඉදිරිපිටට එන්නෙ. විස්තර ටික මනසින් නේද උපදවා ගන්නෙ කියල දන්නව නම් ඔයගොල්ලො මේ ගන්ධය දිහා බලන්නෙ නැහැ කැවුම් සුවඳ කියලා. සමන් පිච්ච මල් සුවඳ කියලා. නමුත් අපි අපේ සංඛාරය, අවිජ්ජා පච්චයා සංඛාරා, දැන් සංඛාරය ගැනත් අවිජ්ජාව. මේ පටිච්ච සමුප්පාදය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයක් වෙනවා. අවිජ්ජාව නිසා සංඛාරය වෙනවා. සංඛාර නිසාත් ආයෙත් අවිජ්ජාව ඇති වෙනවා. එතකොට දැන් අවිද්‍යාව සංඛාරය කියන එකත් දන්නෙ නැ කියන කොට මොකද වෙන්නෙ? දැන් ආයෙත් මනස හදා ගත්ත කාරණා ටික අපි ගන්ධයට බැන්දහම දැන් ඔයගොල්ලන්ට මේ ගඳ, කැවුම් බදින සුවඳ වෙලා. කෝපි කුඩු සුවඳ වෙලා. නැත්නම් අසූචි ගඳ වෙලා. 

මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො  ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස  තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා. 

                         -තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-                            


වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.

                               

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.

Post a Comment

2 Comments

  1. නියම දහම ලැබුනා.. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. එයම භාග්‍යයක්. තෙරුවන් සරණයි.

      Delete