විජ්ජාව සහ සත්‍යය 01 - ධර්මය සහ ජීවිතය - 21 කොටස

 


වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්‍රතිඵලයයි.


                 අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

ඇත්තටම බුද්ධොත්පාද කාලය ඉතාමත්ම දුර්ලභයි. මනුස්ස ජීවිතය ඉතාමත්ම දුර්ලභයි. අපි මනුස්සයො වෙලා ඉපදිලා ඉන්න හින්දා අපට ඒකෙ බරසාරකම තේරෙන්නෙ නැහැ. නමුත් සසර ස්වභාවය දිහා බැලුවාම මේ සසරෙ තියෙන අනවරාග්‍ර ස්වභාවය තතාගතයන් වහන්සෙ දේශනා කරනවා උපමාවකින් පවා කියන්නට පහසු නැහැ කියලා. ඉතින් ඒ හින්දයි බුදුරජාණන් වහන්සේ අනවතග්ග සංයුත්ත සූත්‍රයේදී හැමදාම දේශනා කරන්නෙ මව් මළ දුක, පියා මළ දුක, සහෝදරයා මළ දුක මේ ආදී දුකට හැඬුව කඳුළු මහා සාගරයට වැඩියි කියලා. 


අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරයේදී ගෙවල් හදලා ඇති. දරුවො හදල තියෙනවා, රජකම් කරල තියෙනවා.නමුත් අද අපි තාමත් මෙතන. ඉතින් වර්තමානයේදී අපිට මේ තියෙන වටපිටාව නැත්නම් මේ අවුරුදු පනහට හැටට විතරක් ජීවිතයට සීමා වෙන්න එපා. මේ දහම හොඳට තේරුම් ගන්න. මේ දහම තේරුම්  අරගෙනකොහොම හරි ඊට අනුව යෙදිලා ජීවිතේ ලබපු මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක්  ගන්න කියල මතක් කරනවා. 


මොකද හැමෝම තමන්ගෙන්ම අහල බලන්න අපි හැමෝම ජීවත් වෙනවා කියල කරන්නෙ මොකක්ද කියලා. අපි විතරක් නෙවෙයි මේ මුළු ලෝකයම හොඳට හිතුවොත් සිහිකලොත් කල්පනා කලොත් මේ හැමෝම උත්සාහවත් වෙන්නෙ දුක අයින්  කරන්න හා සැපෙන් සතුටින් ඉන්න නෙවෙයිද කියල බලන්න. මේ හැම දෙයක්ම කරල තියෙන්නෙ, මුදල් එකතු කරන්නෙ, ගොඩනැගිලි හදන්නෙ, රට රාජ්‍යවල් අල්ලන්නේ, මොකක් නිසාද? දුකෙන් බේරෙන්න සැපෙන් ඉන්න. නමුත් බුදුහාමුදුරුවො දේශනා කලේ දුක ඇතිවෙන තැන මොකක්ද කියල හොයන්නෙ නැතිව දුක නැති කරන්නෙ කොහොමද කියල. මේ දහම හරි සහේතුකයි. ඒ කියන්නෙ චුට්ටක්වත් අදහන්න ඔන දෙයක් නෙවෙයි. 


ඕකට මට මතක් වෙනවා සකුළුදායි කියල සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ  සකුළුදායිට කියනවා " උදායි ඔබට හිතෙනවා නම් මම හදන්නෙ ඔබව මගේ ශ්‍රාවකයෙක් කරගන්න කියලා, එහෙම වෙන්න ඔනෙ නැහැ. ඔබගේ ශාස්තෲන් වහන්සේ, ඔබගේ ශාස්තෲන් වහන්සේම වේවා. මම කියන මේ වචනය එක රැයක් දවාලක් කරල බලන්න". ඒ තරම් සහේතුක දහමක්. ඒ කියන්නෙ අදහන්න ඕනෙ එකකුත් නෙවෙයි. මේ ඉතින් දුක පිළිකුල් කරන, දුක අකමැති, සැප ලබාගන්න  ඕනෙ බුද්ධිමත් කෙනෙකුට තියෙන දහමක් මේක. ඒ හින්දා පින්වතුන්ට මතක්  කරන්නෙ ඔයගොල්ලන්ට පින් තියෙනවා ඔය අන්ධානුකරණයෙන් දුවන්නන් වාලෙ දුවන සමාජ රටාවට අනුව දුවන්නෙ නැතිව මොහොතකට නතරවෙලා තමන්ගෙන්ම අහල බලන්න තමන් එක්කම කථාකරල බලන්න මෙච්චර දේවල් හොයන්නෙ, හම්බ කරන්නෙ, මේ කටයුතු කරන්න හදන්නෙ මං මොකටද? මොකක් බලාපොරොත්තුවෙන්ද කියලා. ඒකම තව ගැඹුරෙන් විශ්ලේෂණය කරලා බලන්න. මේ හැම එකකම අර්ථය ජීවිතයට සැපක් සතුටක් උදා කර ගන්න නේද කියන එක බලන්න ඔයගොල්ලන්ට ඒ උත්තරය එයි මනුස්සයො  විතරක් නෙවෙයි තිරිසන්ගත සතාගෙ ඉඳන් හැමෝම කරන්නෙ ඒ ටික. ඉතිං මේ ලෝකයේ හැමදාම ඔයටිකට තමයි උත්සාහවත් උනේ. නමුත් කරන ක්‍රමය වැරදියි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා දුක නැති කරන්න කියල යමක් කරයි නම් කරන්නේ දුක ඇති වෙන විදියටයි. මේ ලෝකයට දුක නැති වෙන මාවත හොයල දෙන්න කියන අදහසිනුයි ලෝකයට පහළ උනේ. 


ඒ නිසා මෙතනදි මම මේ ටික මතක් කරන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන ප්‍රශ්ණ ගැටළු වලට උත්තර ටිකමයි. ඒ නිසා හොඳට මේ ටික අහලා ඒකෙ යෙදෙන්න ඔයගොල්ලන්ටම ඒ කාරණා මොන තරම් ඇත්තද කියලා තේරෙයි. ඕනෙම දෙයක් අපි කරන්න ඉස්සර වෙලා කවුරුවත් කිව්වට  අපි නොකට යුතුයි. බුදුහාමුදුරුවො කිව්වත් කරන්න ඕනෙ නැහැ. ඒක අපේ අවබෝධයක් වෙන්නට ඕනෙ. මම මේක කලොත් මට මේ ලාභය ලැබෙනවා නොකලොත් මේ අලාභය වෙනවා කියන එක තේරුම් ගන්නට ඕනෙ. තේරුම් අරගෙන තමන්ගේ දැක්මක් බවට පරිවර්ථනය කරගෙනයි කරන්න ඕනෙ.තථගතයන් වහන්සේ පෙන්වල දුන්නෙත් එහෙමයි.


ඒ නිසා ඉස්සර වෙලාම මම බුදුදහමේ තියෙන කාරණා ටික ඔයගොල්ලන්ට මතක් කරන්නම්. ඊටපස්සෙ ඒක තමන්ගෙ අවශ්‍යතාවයක් හැටියට අරගෙන ඔයගොල්ලො ඒක කරන්න කියන කාරණාව මෙතනදි මතක් කලේ මොකද මේ අවුරුදු පනහට හැටට විතරක් ජීවිතය සීමා කරන්න එපා දැක්ම සීමා කරන්න එතෙන්ට විතරක් කටයුතු කරන්න එපා කියන කාරණාව මුලින්ම මතක් කරලා. 

                               photo credit - https://www.pinterest.com/

භාවනා කරනවා කියනකොට ඒක කරන්නෙ මොකටද? මොන මොන තැන දක්වාද කල යුත්තෙ? ඒක කරනකොට අපි දැනගන්නෙ කොහොමද? මේ විස්තර ටික ඉස්සර වෙලා තියෙන්ට ඕනෙ. ඒ විස්තර ටික තමන් සන්තකයේ තියාගෙනයි කල යුත්තෙ. අපි ගොඩාක් දෙනෙක් හුරුවෙලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා භාවනා කරන්න. හැබැයි කරන්නෙ මොකක්ද මොන තැන දක්වාද කොහොමද කියන කාරණාව නැහැ. ටිකක් කරගෙන යනකොට ප්‍රශ්නෙ දැන් මේ ටික කලා ඊට පස්සෙ මොකක්ද කියලා. නමුත් එහෙම නෙවෙයි. මාර්ගයට බැහැල යන්න ඉස්සර වෙලායි මම අහවල් තැනටයි යන්න ඕනෙ කියන ඉලක්කයක් තියාගන්න ඕනෙ. එහෙම ඉදිරියෙන් ඉලක්කයක් තබා ගත්තම ඒ ඉලක්කයට අනුව මාර්ගය තේරෙන්නෙ මාර්ගය කියන ලැබෙන්නෙ. ඉතින් නිවනත් එහෙමයි. ඒ නිසා භාවනා ගැන අහන්න ඉස්සර වෙලා අපිට තේරුම් ගන්නට ඕනෙ කරන කාරණා ටිකක් තියෙනවා. මම ඉස්සර වෙලා ඒ ටික කෙටියෙන් මතක් කරන්නම්.   


දිට්ඨධම්ම වේවා සම්පරායික වේවා, ඒ කියන්නෙ මෙලොව වේවා පරලොව වේවා යම්කිසි දුකක් තියෙනවා නම්, අපිට තියෙන ප්‍රශ්නෙ දුකනෙ නේද? හැමෝටම තියෙන ප්‍රශ්නෙ දුකට අකමැති කමනෙ.දුක. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නය දුක. ඒ කියන්නෙ  අද නිරෝගි වෙන්න පුලුවන්.නමුත් මේ ලෝකෙ බුදුහාමුදුරුවො දේශනා කරනවා බුදුදහම විද්‍යමාන වෙන්නෙ ධර්මතා තුනක් හින්දයි කියල.

1.ජාති

2.ජරා

3.මරණ

ඒ කියන්නෙ බුදුදහමෙ විතරයි ඔය ධර්මතා තුනට උත්තර තියෙන්නෙ. අනිත් ඔළුවෙ කැක්කුම්, බඩේ කැක්කුම් වලටත් උත්ත්ර තියෙයි ලෝකෙ පැනඩෝල් හරි මොනව හරි බොන්න බෙහෙත් තියෙයි. නමුත් ඉපදීම මහළුබව මරණය කියන එකට බෙහෙත්  නෑ. ඉතින් අනිත් මොන සැපක් තිබුනත් ඔය ධර්මතා අභියසදී ඒ ඔක්කොම දුකක් බවට පරිවර්ථනය වෙනවනෙ. ඊගාව එක තමයි මෙතන තියෙන සුවිශේෂීකම ඒ ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් මිදෙන්න මරණයෙන් පස්සෙ පෙන්වන නැතිනම් මරණයෙන් පස්සෙ පෙන්වන විමුක්තියක් ගැන මටවත් විශ්වාසයක් නැහැ. මං විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම නම් මම මේ ශාසනයෙ ඉන්නෙත් නැහැ. එහෙම නම් බුදුදහමයි අනිත් ආගම් අතරයි වෙනසකුත් නැහැ.


බුදුදහමේ පෙන්වන්නෙ දුක නැති කරන්න. ඉන්නකම් දුක් විඳලා විඳලා මරණෙන් පස්සෙ ලැබෙන විමුක්තියකින් පලක් තියෙයිද? දුක තියෙන වෙලාවට නේද ඒ දුක නැති කරන්න  ඕනෙ නැති වෙන්න  ඕනෙ.එහෙනම් එබඳ දහමක් මේ බුදුදහම.


එතකොට බුදුරජානන් වහන්සේ මෙලොව වේවා පරලොව වේවා යම්තාක් දුකක් තියෙනවා  නම් ඉතාම කුඩා තැන ඉඳලා මහළුබව මරණය කියන තැන දක්වා තියෙන සියලුම යම්තාක් දුකක් තියෙනවා නම් මේ දුක බුදුරජාණන් වහන්සේ පෙන්නුවා සහේතුකයි හේතු සහිතයි දුකට හේතුව තන්හාව, වට්ටමූලික තන්හාව සහ සමුදයාචාර තන්හාව  කියලා. නැත්නම් ප්‍රතිසන්ධියට පැමිණෙන්න ඉදිරිපත් වෙන තන්හාව සහ ආයතන පරිහරණය කරද්දි ඇතිවන තන්හාව කියන දෙආකාර තන්හාවකින් ජීවිතයේ දුක සහ අරමුණු වල දුක කියන දුක අපේ ජීවිත වලට ගෙනත් දීලා තියෙනවා. 


අරමුණු වලින් දුක් නොවිඳින්දත් ජීවිතයේ පැවැත්මම දුක වෙනවනෙ. ලෙඩවීම මහළුබව මරණය ඒ වගේ දුක ඇති කරන්න හේතු වෙලා තියෙනවා ප්‍රතිසන්ධියට මුල් වෙච්ච තන්හාව. ඒක කාමතන්හා, භවතන්හා, විභවතන්හා කියලා වට්ඨමූලික තන්හාව. ඊට පස්සෙ දරුවො නැතිවෙලා, ගෙවල් දොරවල් කැඩිලා, මිලමුදල් නැති වෙලා, කියලා අරමුණු අරභයා අපට දුක එනවනෙ. උපන්නට පස්සෙ කායපටිබද්ධ දුක නැතිව අරමුනු නිසා එන දුකක් තියෙනවා. ඒ දුකට කියනවා රූපතන්හා, ශබ්දතන්හා, ගන්ධතන්හා, රසතන්හා, පොට්ඨබ්බතන්හා, ධම්මතන්හා කියලා. සමුදයාචාර තන්හාව කියලා. එතකොට යම් දුකක් තියෙනවා නම් කය කෙළවර කොට වේවා, බාහිර නාමරූප දෙකක් වේවා, යම් දුකක් විඳිනවා නම්, දුකක් එනවා නම්, මේ දුකට හේතුව තන්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. මේක න්‍යායයක් වශයෙන්  දැනගත්තාම ඇති. ඊටපස්සෙ තන්හාව නැති උනොත් දුක නැතිවෙනවා. සමුදයාචාර තන්හාව නැත්නම් රූපතන්හා, ශබ්දතන්හා කියන තන්හාව නැති උනාම අරමුණු වලින් එන දැන් දුක නැතිවෙනවා.ඒකෙන්ම වට්ඨමූලික තන්හාව නැත්නම් ප්‍රතිසන්ධියට යන්න තියෙන හේතුවත් නැති වෙනවා. එතකොට තන්හාව නැති කලාම දුක කියන එක නැති වෙනවා. 


දුක කියන එක ඇති වෙලා තියෙන්නෙ තන්හාව නිසයි තන්හාව නැති කලොත් දුක නැති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය න්‍යායය පෙන්නුවා.ධර්මතාවය පෙන්නුවා. දුක ඇතිවන හැටි සහ දුක නැති වන හැටි ධර්මතාවයේ ඇත්ත  ඕකයි පෙන්නුවා. පෙන්වලා නමුත් තථාගතයන් වහන්සේ කවදාවක් පැනෙව්වෙ නැහැ එහෙනම් දුක ඇති වෙන්නෙ තන්හාව නිසා නම්, තන්හාව නැති කරන්න කියල පනවල තියෙනවද කොහේවත්.නැහැ. තන්හාව නැති කරගන්න කියල ප්‍රතිපදාවක් පැනෙව්වෙ නැහැ.තන්හාව නිසා දුක ඇති වෙනවා. තන්හාව නැති උනොත් දුක නැති වෙනවා, දුක නැති කරන්න"අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො - දුක්ඛ නිරොධ ගාමිනි පටිපදා" කියලා දුක් නැති කිරීමේ ප්‍රතිපදාවට පෙන්නුවෙ වෙන ක්‍රමයක් මොකක්ද?? සම්මා දිට්ටිය මුල් කාරණාව කරගත්ත අංග අටක්. ඇයි ඒ? තන්හාව කියන තැනට හිත තබලා තන්හාව නැති කරන්න බැරි නිසා.


දරුවෙකුට තන්හාව ඇති වෙනවා නම් උඹ පලයන් යන්න ගෙදරින් කියලා දරුවා එලෙව්ව කියලා තන්හාව නැති කරන්න බැහැ. ඒ නිසා දුකට හේතුව තන්හාව, තන්හාව නැති උනොත් දුක නැති වෙනවා, දුක නැති කරන්න තියෙන ක්‍රමය තමයි මොකක්ද සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියෙන් දැකීම. එතකොට මොකේද ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ?? කුමක්ද ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ?? යම් තැනක තන්හාව ඇති වෙනවා නම්, තන්හාව පවතිනවා නම්, අන්න එතැනයි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ. දුකට හේතුව තන්හාව,තන්හාව නැති උනොත් දුක නැතිවෙනවා, දුක නැති කරන්න නම් සම්මා දිට්ඨිය, ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ. මොකේද?? ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටියෙ දකින්න ඕනෙ. ඇහැට හම්බවෙන රූපයේ ඇත්ත ඇති හැටියෙ දකින්න ඕනෙ. කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින  හාපවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ. 

                                   -තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-


මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.

Post a Comment

4 Comments

  1. කිසිදු ආකාරයක ලෞකික වාසියක් බලාපොරොත්තුනොවී ඔබ මේ කරන සත්කාරයට බොහෝම පිං....
    ඔබට තෙරුවණ් සරණයි..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම පින්..යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.

      Delete
  2. ඉතාම පැහැදිලි.. තෙරුවන් සරණයි!

    ReplyDelete