ධනිය සූත්‍රයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 20 කොටස

 


කස්මා ච, භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං 

බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා මහනෙනි..මේ කාමයන් සඳහා භය කියන වෙනත් වචනයක් ඇයි පනවන්නෙ කියලා. ඒ කිව්වෙ කාමයන්ටම භය කියන අනෙක් වචනයක් ඇයි පණවා තිබෙන්නේ කියා.


යස්මා ච කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති

යම් කාරණාවකින් කාම රාගයෙන් ගිනියම්වූද රත්වූද, කාමරාගයෙන් බැඳුනාද වූද පුද්ගලයා දිට්ඨධම්මකාපි මේ ජීවිතයේද, සම්පරායිකාපි පරලොව ජීවිතයේද භයෙන් නොමිදුනා වෙයි. ඒ නිසා භය යනු කාමයට කියන තවත් වචනයකි. 

බුදුරජාණන් වහන්සේගේ මේ අර්ථදැක්වීම කෙතරම් ගැඹුරකට අපව ගෙනයනවාද කිවහොත්, අපට අපගේ ජීවිතය තුලින්ම මේ සන්සිද්ධිය මනාව වටහා ගෙන මේ සංසාර දුකෙන් නිදහස් වන්නට කිසියම් පොටක් පාදාගන්නට හැකි වෙනවා. කුමක්ද මේ කියන්නෙ. බුදුරජාණන් වහන්සේ කුමක්ද මෙයින් ජීවිත අභ්‍යන්තරයට අපව කැඳවාගෙන  ගිහින් පෙන්වා වදාරන්නට උත්සාහ කරන්නේ.

අප විසින් රැයත් දවාලත්, හිස ගිනිගත්තවුන් සේ එකිනෙකා පරයා හඹාගෙන යන, එසේ හඹා ගොසින් ගොඩගසාගන්නට මහත් වෙහෙසක් දරන, එසේ වෙහෙසවීමේදී අනන්ත දුක් වළඳන කාමයන් පිලිබඳ අපි කිසිසේත් නොසිතන පැත්තකට අපගේ අවධානය  යොමුකරන්නටයි. අපි ජීවිතය කියන්නෙ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්භ කියන කාරනා වලට. එතකොට ඒ කාරණාවන් වල එකතුව තමයි අපි ලෝකය කියා පිලිගන්නෙ. එතකොට අපි හැම මොහොතකම උත්සුක වෙන්නෙ මේ ලෝකය ඒ කාරනා වලින් සැපසහගතව පුරවා ගන්න සහ ඒවා තුලින් දුක ඉවත් කරන්නයි. අපි හිතන්නෙ දුක තියෙන්නෙ ඒවා නැති නිසා කියලා. ඒවා තිබුනා නම්, ඒවා අප සතුව පවතිනවා නම් දුක නැතිව සැප ඇතිව සර්ව සම්පූර්ණ ලෝකයක් සහ ජීවිතයක් අපට ලැබේවි කියන උපකල්පනය පෘතග්ජන මනස තුල තියෙන්නෙ. ඒ නිසා පුද්ගලයා මොකද කරන්නෙ. ඒ ලෝකය ගොඩනැගීම සඳහා යානවාහන මිලමුදල් ගෙවල් දොරවල් ඉඩකඩම් නෑදෑ මිතුරන් අඹුදරුවන්, රැකිරක්ෂා තාන්න මාන්න මේ ආදී එකී නොකී දේවල් පසුපස හඹායනවා. කාමය කියන වචනය එන්නෙ ඔන්න හරහායි. එසේ නම් පළමුව කාමයන් යනු මොනවාදැයි විමසා බලමු. කාමයන් පිලිබඳව මෙතැනට පිවිස කියවා බලන්න.

එතකොට කාමයන් උපාදානීය ලක්ෂනයෙන් යුක්තයි. උපාදානය කියන්නෙ දැඩිව අල්ලා ගැනීම කියන අර්ථයයි. අත් නොහැර දැඩිව අල්ලාගෙන සිටින යමක් ඇත්ද, සිත ඒ අනුවමයි ඒ දෙසටමයි ඇදෙන්නෙ. එතකොට කාමගුණ කියන්නෙ 

කාමය කොටස් දෙකකි.

1.වස්තු කාමය

2.ක්ලේශ කාමය

වස්තු කාමයන් කියන්නෙ පස් ආකාරයකට අපට හමුවන, ඒ පස් ආකාරයට ඇලෙන බැඳෙන, දැඩිව අල්ලාගනු ලබන හේතුවෙලින් යුක්ත දේවල් වලට. මොනවද ඒ පහ? 

පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා - චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්‍යා සද්දා... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.

නිබ්බේධික පරියාය-අංගුත්තර නිකාය-

1.චක්ඛු විඤ්ඤෙය්‍ය රූපා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා, කාමුපසංහිතා,රජනීයං

ඒ කිව්වෙ ඇසින් දැනගතයුතු(චක්ඛු විඤ්ඤෙය්‍ය රූපා) රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්‍රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ එක කාමගුණයක්. 

2. සොත විඤ්ඤෙය්‍ය සද්දා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ කණෙන් දැනගතයුතු(සොත විඤ්ඤෙය්‍ය රූපා) ශබ්ද රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්‍රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්. 

3.ඝාණ විඤ්ඤෙය්‍ය ගන්ධා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ නාසයෙන් දැනගතයුතු(ඝාන විඤ්ඤෙය්‍ය රූපා) ගන්ධ රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්‍රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්. 

4.ජිව්හා විඤ්ඤෙය්‍ය රසා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ දිවෙන් දැනගතයුතු(ජිව්හා විඤ්ඤෙය්‍ය රූපා) රස රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්‍රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්. 

5.කාය විඤ්ඤෙය්‍ය පොට්ඨබ්බා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ කයෙන් දැනගතයුතු(කාය විඤ්ඤෙය්‍ය රූපා) පොට්ඨබ්බ රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්‍රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ පස්වැනි  කාමගුණය. 

එතකොට මේ කාමගුණ කෙරෙහි සංකල්ප වශයෙන් ඇලීම තමයි කාමය කියන්නෙ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංකප්ප රාගො පුරිසස්ස කාමො කියන පදයෙන්. මෙතනදි සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා වරදවා තේරුම් අරගෙන තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ආදිය තමයි පඤ්චකාම කියලා. නමුත් ඒවා කාමය නෙවෙයි කාමගුණ කියලා බුදුරජානන් වහන්සේ පෙන්වා වදාලා. 

"නෙතෙ භික්ඛවෙ කාමා, අපි ච කාමගුණා නා මෙතෙ අරියස්ස විනයෙ" බුදුරජාණන් වහන්සේ ඒ විදියට වදාලා මහණෙනි ඒවා කාම නෙවෙයි මේ ආර්යය විනයේ ඒවා කාමගුණ හැටියටයි හඳුන්වන්නෙ කියලා. නමුත් පෘතග්ජන මනසට මේවා වස්තු කාමයමයි. ඒ ඒ කාමගුණයන් නිසා හිතේ ඇතිවන ඇලීම, කැමැත්ත, ප්‍රියකරන  බව ආදිය මත හටගන්නා ඡන්දය හෙවත් කැමැත්ත තන්හාව වෙනවා. ඒ තන්හාව තමයි ක්ලේශ කාමය වෙන්නෙ. 

එතකොට කාමගුණය කියන්නෙ ලෝකයේ පවතින ලෝකයට අයිති දෙයක්. 

නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ

මේ ලෝකෙයේ තිබෙන චිත්‍ර වැනි රූප ශබ්ද ගන්ධ ආදිය කාමයන් නෙවෙයි.

තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ

ලෝකයේ තිබෙන ඒ චිත්‍ර එහෙමම තියෙනවා. ඒවායේ කාමයන් නැහැ. නමුත් 

සංකප්ප රාගො පුරිසස්ස කාමො

යම් පුද්ගලයකු තුල ඒවා කෙරෙහි රාගය සහ ඊට අදාල සංකල්පයමයි කාමය වෙන්නෙ. එතකොට ඒක පුද්ගලයා මනසින් හදාගන්නා දෙයක් මිසක ලෝකයේ පවතින දෙයක් නෙවෙයි. ඒවා කෙරෙන් එන සැප වේදනාවටයි පුද්ගලයා තන්හා කරන්නෙ. වේදනා පච්චයා තන්හා. තන්හා පච්චයා උපාදාන. එතකොට ලෝකයේ කොහේවත් තිබෙන දෙයකට තන්හා කරනව නෙවෙයි. ලෝකයේ පවතින යම්කිසි දෙයක් නිසා හටගත් සැප වේදනාවටයි තන්හා කරල තියෙන්නෙ.

එතකොට ලෝකය කියන්නෙ තමන් නිර්මානය කරගත් දෙයකට. ඒ නිර්මානය කරගත් ලෝකය තුල යමෙකුට දුක් වෙවී පසුතැවිලි වෙන්නත් පුලුවන් එහෙමත් නැතිනම් තමන් නිර්මානය කරගත් ලෝකය තුල ආශ්වාදය විඳිමින් සතුටු වෙවී තමන්ගේ යසස පිලිබඳව උදම් අන අන සිටින්නටත් පුලුවන්. මේ දෙකේම යථා ස්වභාවය නොදන්නා නිසා ඒවා ඒ ඒ කෙනාට නිත්‍ය දේවල් හැටියට පෙනෙන්නටත් පුලුවන්. මේ යථා ස්වභාවය තමයි ඒ කිසිවක් හැමදාම එකම විදියට නොපවතින බව. මිලමුදල් යන්ත්‍රසූත්‍ර වගේ දේවල් වැය වෙනවා.ක්ෂය වෙනවා. හැමදේම ඇති උනා වගේම යම් මොහොතක නැති වෙනවා. 

යම් හටගැනීමක්  තියෙනවා නම්, ඒ හට ගැනීම යම් දවසක් යම් මොහොතක නැති වීමෙන් අවසන් වෙනවා.නමුත් එහෙම වෙනවා කියා සිහිය නැති නිසා හටගත් දේ ඒ විදියටම පවත්වන්නට ගන්නා මහා වෙහෙස තුලම තියෙන්නෙ බයක්. කෙටියෙන් කීවොත් සැප යැයි අල්ලා ගත් දේ තුල සැපයට වඩා තියෙන්නෙ බයක්. ඇයි පවත්වන්න දුක් විඳ විඳ වෙහෙස වෙන්නෙ. ඒ දේ තමන් කැමති විදියට තමා සන්තකයේ පවත්වන්න බැරි වේවිද, අන්සතු වෙයිද, වෙනත් හේතුවක් නිසා නැති වෙයිද  කියන බය නිසා. එතකොට ඒක තන්හාව කියලයි යෙදෙන්නෙ.

එතකොට මේ දේවල් තිබිලත් අපි දුකෙන් හෝ භයෙන් නිදහස් වෙලා මිදිලා නැහැ. හැමතිස්සෙම අපට තියෙන්නෙ මේවා අහිමිවෙයි නැතිවෙයි අන්සතුවෙයි විනාශ වෙයි කියන සංත්‍රාසය. අපි ඒ්වා කෙරෙන් කිසියම් හෝ ආශ්වාදයක් වින්දත්, ඒ් ආහ්වාදයට යටින් තියෙන්නෙ මෙන්න මේ සංත්‍රාසය සහ භය. ඒතකොට හැම තිස්සෙම බයෙන් තමයි ආශ්වාදය විඳලා තියෙන්නෙ. හිතේ සන්සිඳීම සතුට කියන ඒක ඒතකොට නැහැ මේ ආශ්වාදය තුල. ගේදොර ඉඩකඩම් වේවා, මිලමුදල් වේවා, බිරිඳ සැමියා වේවා, රැකියාව තාන්නමාන්න වේවා, මොනතරම් ඉහළින් තිබුනත් අර භය නිරන්තරයෙන් අපව යටකරගෙන අපට වද දෙනවා. 

ඒ් කියන්නෙ යම් උපතක් තියෙනවා නම් ඒක ජරා මරණයෙන් කෙළවර වෙනවා.ජරා මරණය කිව්වාම සෑම වෙනසක්ම ඊට අයත් වෙනවා. ඒ කිවේ හටගත් දේ ව්‍යාධියට දිරීමට ක්ෂය වීමට, වෙනස්වීමට, විපරිනාමය වීමට ඒ කියන සියලු තත්වයන් අයත් වෙනවා.සැප සොම්නස විඳින අතරෙත් ඒ ගැනත් බියක් සන්ත්‍රාසයක් හිත යට තියෙනවා. එහෙම උනාම අස්වැසිල්ලක් නැහැ හිතට.  එතකොට උපත ලැබුවට පස්සෙ යම් සතුටක් විඳිනකොට ජරා මරණය කියන සේයාව හැමතිස්සෙම තැවරිලා තියෙන හින්දයි මේ කය පවත්වන්න අපි බෙහෙත් ආදිය ගන්නෙ.ආහාරපාන ගන්නෙ. එතකොට වෙනත් විදිවලින් යන්ත්‍රමන්ත්‍ර, බාරහාර, පුදපූජා, ඇදහිලි, වල යෙදෙන්නෙ කේන්දර බලන්නෙ පහන් පත්තු කරන්නෙ, බෝධිපූජා කරන්නෙ ඊලඟට සුදුකෙස් කළු කරන්නෙ, රූපලාවන්‍යය කටයුතු කරන්නේ හෝමෝන ගන්නෙ ජිම් එකට යන්නෙ ජරා මරණයට තියෙන බය නිසාමයි. ඒ් තරමට මේ මරණයේ සේයාව අප ලඟ තියෙනවා. නමුත් කොහොම කලත් මොන විදියෙ උපක්‍රම යෙදුවත්  ඒ් කිව්ව සන්ත්‍රාසය යම් තැනකදි අප තුල මහා භීතියක් ඇති කරනවා.

ඉතිං යම් එක්වීමක් තියෙනවා නම් ඒ්ක වෙන්වීමෙන් අවසන් වෙනවා නම්, හැම තිස්සෙම අපි වෙන්වෙයි කියන බයෙන් පීඩා විඳිනවා.ඒ් නිසා මොකද කරන්නෙ ඒ එක්වුන දේ හෝ එක්උන කෙනා සම්බන්ධයෙන් කටයුතු කරද්දි, වෙන්වීම කියන බය ඇතිවන නිසාම මහා දුකක් විඳිමින් අකමැත්තෙන් හෝ වෙන්නොවී ඉන්නට බොහෝ දේ කරන්නට වෙනවා. එතකොට මේ තුලින් අපට කාමයන් පිළිබඳ එක ඇත්තක් එනවා. ඒ් තමයි අප විසින් හදාගත් අප විසින් අපවම කොටුකර ගත් මිත්‍යාවක් සිටිනවා මිසක කවදාවත් ඇත්තක් හම්බ නොවන වග. 

මොකක්ද ඒ මිත්‍යාව? මේ දේවල් සහ මේ පුද්ගලයන් අහිමිවෙයි කියන බය නිසාම,ඒ කිව්වෙ හැරයයි, මිය යයි, ගිලිහෙයි,අන්සතු වෙයි, ක්ෂය වෙයි, වැයවෙයි, විනාශවෙයි, නැතිවෙයි කියන බය අප ලඟ හැමදාම තියෙනවා. එතකොට ඒ දේවල් වලට හෝ ඒ පුද්ගලයන්ට අපි ආදරෙයි කියා කියන්නෙම ඒ දේවල් සහ ඒ පුද්ගලයන් නිසා අපේ හිතේ ඇතිවන සතුට සොම්නසට බව පැහැදිලියි. එතකොට අපි කාටවත් ආදරය කරල නැහැ ආදරය කරල තියෙන්නෙ ඒ දේවල්  වලින් දැනෙන සැප සතුට සොම්නසට නම්, ඒ සැප සොම්නස සතුට වෙනුවෙන් අපි ඒ දේවල් රැකගන්න, අපේ සන්තකයේ තබාගන්න, අන්සතු නොවන්න, විනාශ නොවන්න නේද මේ හැම දුකක්ම විඳින්නෙ. එහෙනම් අපි ඒ දේවල් වලට ආදරෙයි කිය කියා කරන්නෙම මිත්‍යාව පෝෂණය කර කර මිත්‍යාව තුලම ඉන්න එක නේද? ඒක නෙවෙයිද ඇත්ත? එහෙම නම් අපි පෝෂණය කරල තියෙන්නෙ අවිද්‍යාව හෙවත් මිත්‍යාව සහ තන්හාවම නේද? සැමියාට ආදරෙයි බිරිඳට ආදරෙයි දරුවට ආදරෙයි කියල මතුපිටින් දැනුනට සිද්ධවෙලා තියෙන්නෙ මිත්‍යාව සහ තන්හාව පෝෂණය කල එක නේද?

ධනිය සූත්‍රයෙන් පැහැදිලි වන්නේ එබඳු කාමලෝකයක ඇති යථාර්ථයයි. කවුද මේ ධනිය ගෝපාල කියන්නෙ. ඔහු ධනවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඔහු ජීවත් උනේ මහී ගංගාව නම් මහා නදිය අසබඩ. ඔහුට අයත් දැවැන්ත ගවසම්පතක් සහ කිරි කර්මාන්තයක් තිබුනා. ඒ වෙතින් ඔහු විශාල ධනයක් උපයාගෙන සමෘධිමත් ජීවිතයක් ගතකරමින් හිටියෙ. එමෙන්ම ඔහුට ගව සම්පතට අමතරව විශාල පරිවාර ජනයා සහිත පිරිවර සම්පතත් තිබුනා. ඔහු ජීවත් උනේ ඉතාම තෘප්තියෙන් සහ උජාරුවෙන්. දවසක් මහා වැසි වැටෙන කාලයක බුදුරජාණන් වහන්සේ මේ මහී ගංගාවේ එක් ඉවුරක වැඩ සිටිනවා. ගංගාවෙන් එහා පැත්තෙ අනෙක් ඉවුරෙ තියෙන්නෙ ධනිය ගෝපාලගේ වාසස්ථානය. බුදුරජාණන් වහන්සේටත්, ධනිය ගෝපාලගේ වාසස්ථානයත් අතරින් මහී ගංගාව නිසොල්මන්ව ගලා බසිනවා. තාරකා එළිය වසා ගෙන මහා දැවැන්ත වැහි මේඝයක් අහස පුරා පැතිර එමින් තිබෙනවා. බැලූ බැල්මට එය මහා විශාල දැවැන්ත වර්ෂාවක පෙරමඟ සළකුණක්. ගොම්මං කළුවර ගලාගෙන ඇවිත් රාත්‍රිය උදාවෙනවා. අන්ධකාරය සහ කනාමැදිරි ආලෝකය අතරින් ගංගාව ගලායන කාව්‍යමය රිද්මය මැද ධනිය ගෝපාලගේ කටහඬ බුදුරජාණන් වහන්සේට ඇසෙනවා. 


ධනිය ගෝපාල -

පක්කොදනො දුද්ධඛීරොහමස්මි - අනුතීරෙ මහියා සමානවාසො
ඡන්නා කුටි ආහිතො ගිනි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මගේ කුටියේ(මන්දිරයේ) ආහාර කිස අහවර වෙලා තියෙන්නෙ. ආහාරය සූදානම්. කිරිදොවලා තියෙන්නෙ. දවසේ වෘත්තිමය රැකියා කටයුතු ඒ අනුව සමෘද්ධිමත් ආකාරයට ඉටුවෙලා අවසන්. මගේ කුටිය නම් මන්දිරය හොඳින් සෙවිලි කර තිබෙන්නෙ. එය පරිසරයට සංවෘතයි. ඒ නිසා සීතල සුළං හෝ අව් වැසි පිණි කෘමි උවදුරු මොකුත්ම මා කරා එන්නෙ නැහැ. ඇතුලත සුවදායක විදියට උනුසුම දැනෙන පරිදි (කෙලෙස්) ගිනි දල්වල තියෙන්නෙ. ඒ ගිනි රශ්මියෙන් ජීවිතය සැපදායක කරනවා. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ ඇති තරම් වහින්න..ඔබට කැමති තරමක් වේගයෙන් වහින්න..මම ඒ කිසිවකට බය නැහැ. 


ධනිය ගෝපාලගේ ප්‍රකාශයේ දාර්ශණක අර්ථය-

මෙය උදම් ඇනීමක් හා සමානයි. මෙයින් ධ්වණිත වන්නේ ධනයෙන් සහ බලයෙන් පරිපූර්ණ පෘතග්ජන බලවත් පුද්ගලයෙක් සතු ආත්ම අභිමානයයි. ඔහු සතු ධනබලය සහ ශක්තිය නිත්‍ය දෙයක් හැටියටයි ඔහු දකින්නෙ. අපිත් එහෙමයි. ඉඩමක් අරගෙන ගෙයක් හදාගත්තොත් එයටම වාහනයක් අරගත්තොත් අපි හිතනවා ජීවිතයේ ප්‍රශ්න වලින් හරි අඩක් විසඳා අවසන් කියලා. ඊලඟට හොඳ වැටුපක් සහිත රැකියාවක් හෝ ලාභය උපයන ව්‍යාපාරයක් හෝ අස්වැන්න සරු ගොවාතැනක් ලැබුනොත් හිතනවා ජීවිතයේ ආර්ථික ප්‍රශ්නයත් විසඳා අවසන් බව. ඊලඟට විවාහයක් කරගෙන දරුමල්ලන් ඇති උනාම ජීවිතේ ඉතිරි අඩුවත් සම්පූර්ණයැයි සිතා උද්දාමයට පත්වෙනවා. හරියට ධනිය ගෝපාලයන්ගේ මන්දිරය ඇතුලත හොඳින් ගිනි දැල්වී සුවදායක උණුසුම භුක්ති විඳිනවා වගේ, ඒ කෙලෙස් ආශා බලාපොරොත්තු තන්හාවන් පෝෂණය කෙරෙනවා. එයම පරම සැපත හැටියටත්, එයම පරම සැනසීම හැටියටත් දකිනවා. ධනිය ගොපාලගේ මන්දිරය හොඳින් සෙවිලි කර තිබෙනවා වගේ අප විසින් ගොඩනගාගත් ඒ ලෝකයද සංවෘතයි. එය අපට පමණයි විවෘත. කිසිවකුට බාහිරෙන් එයට ඇතුවන්නට හෝ අයිතිවාසිකම් කියන්නට ඉඩක් නැහැ. එතකොට මම කියන මගේ කියන තන්හාවද දෘශ්ඨියද මානයද සහිත ප්‍රපංච ලෝකයක අපි ඉන්නෙ. මේ බාහිර ආරක්ෂාව ගැන අප සිටින්නේද ධනිය ගෝපාල වගේම උදම් අනමින්. ලෝකයේ මොන මොන ප්‍රශ්න ආවත් මට ඒවා කරදරයක් නෙවෙයි. මට රැකියාවක් තියෙනවා. මට ව්‍යාපාරයක් ගොවිතැනක් තියෙනවා. මගේ හොඳ ආදායමක් තියෙනවා. මට හොඳ ගෙයක් තුන්වෙලටම හිඟයකින් තොර කුසපුරා ආහාර වේලක් තියෙනවා. ආරක්ෂාව සහ සුවපහසුව තකා ගෙයක් දොරක් තියෙනවා. ඉතිං ඇයි මම බයවෙන්නෙ. ඒ නිසා ලෝකය ගැන ඇයි මම කරදර වෙන්නෙ. ඒ තමයි දෘශ්ඨිය. නමුත් ධනිය ගෝපාල වැහිවළාකුල හැටියට අටලෝ දහම දුටුවෙ නැහැ. ඔහු කල්පනා කලා මහා වැස්ස නම් අටලෝ දහම ඔහුට අභියෝගයක් නෙවෙයි කියා. ඒ නිසා අටලෝ දහමට ඔහු අභියෝග කලා. ඔබ ආවට මම බය නැහැ කියලා. අපිත් එහෙමයි. ලෝකයේ සිදුවන ව්‍යවසන විනාශයන් අප දකින්නෙ නැහැ අටලෝ දහම විදියට. ඒ නිසා අපිත් අභියෝග කරනවා අටලෝ දහමට මට මේ සැප සම්පත් සහ ආර්ථික භෞතික ශක්තිය තිබෙන නිසා එය දේවල් ආවට මම බය නැහැ. මට මේවා මේවා තියෙනවා ඒ නිසා මම ගැලවිලා කියලා. කේන්දරෙත් බැලුවා. දේවාලෙටත් ගියා. දැන්ම අපල නැහැ කිව්වා. උපරිම ආයුෂ ගෙවිලයි මැරෙන්නෙ කිව්වා. තවත් ධනයෝග තියෙනවා කිව්වා. ඒ නිසා මොනම බලවේගයකටවත් මාව වට්ටන්න බැහැ කිව්වා. ඒ නිසා දැන්ම මැරෙන්නෙත් නැහැ. අපි ඒ විදියට සංකල්ප හදාගෙන ඉන්නෙ. ඒ සංකල්ප වල ඉඳගෙන ලෝකයා දිහා බලාගෙන ඉන්නවා ලෝකයට එහෙම උනාට මට නම් දැන්ම එහෙම වෙන එකක් නැහැ කියල. 

මානෙන් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ   බොරුමය
දානෙන් සීලෙන් නොකලොත් දරුමය
පානෙන් අඳුරට ගෙය යයි කරුමය

-ලෝවැඩ සඟරාව- 60 වැනි කවිය-

මේ කියන්නේ ඉහතින් කථාකල හදාගත් සංකල්ප ලෝකවල මානයෙන් දෘශ්ඨියෙන් තන්හාවෙන් කල්ගෙවන එහෙත් අටලෝ දහම නොදැන එය තමන් කරා ආ කල දැඩි සේ කම්පාවට පත්ව කර්ම සකස් කරගෙන දුක්ඛිත සසරට යන සත්ත්වයින් ගැනයි. 

අසල් ගෙයෙකැ සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉඳිනේ තම ගෙය රැක
සියල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඇයි ඉඳිනේ නොවැසැක

-ලෝවැඩ සඟරාව - 63 වැනි කවිය-

මේ තමයි පෘතග්ජන සත්ත්වයාගේ සංකල්පය. අහලපහළ ගෙදරකට සොරුන් පැන වටිනා දේ පැහැරගෙන ගියත්, අපි නිසොල්මනේ ඉන්නවා මගේ ගෙදරට නම් සොරු පනින එකක් නැහැ මම විමසිල්ලෙන් ඉන්නෙ කියල හිතාගෙන. ඒත් සොරු එන්නේ කාටත් හොරෙන් නොදන්වා හොර රහසෙමයි. නමුත් ඒ විදියටම අපි ලෝක සත්ත්වයා මරුවා විසින් ගෙනයනවා දැක දැක, මම නම් දැන්ම මැරෙන්නෙ නැහැ, කේන්දරෙත් තියෙනවා මැරෙන්නෙ අහවල් කාලයට කියලා, මම බාරහාර වෙමින් පුදපූජා තබමින් දෙවියන්ගෙන් පවා ආශිර්වාද ගන්න කෙනෙක්. සෙනසුරා ඇතුලු සියලු ග්‍රහයින්ටම පුදපූජා දෙන කෙනෙක්, කියල හිතාගෙන පූර්ව නිගමනට ඇවිත් නිත්‍ය වූ ජීවිතයක් ගැන හිතනවා. ධනිය ගෝපාලත් එවැනි සංකල්පයක ඉඳන් උදම් අනන හැටි අසාගෙන උන් බුදුරජාණන් වහන්සේ ඊට කදිම පිලිතුරක් දෙනවා.



බුදුරජාණන් වහන්සේ-

අක්කොධනො විගතඛිලොහමස්මි - අනුතීරෙ මහියෙකරත්තිවාසො;

විවටා කුටි නිබ්බුතො ගිනි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මගේ නම් කුටියෙ ගිනි නිවිලා තියෙන්නෙ.(රාග ද්වේශ මෝහ ආදී කෙලෙස් ගින්න). ක්‍රෝධය නම් වූ කණු මම මුළුමනින්ම ගලවා දමලයි ඉන්නෙ. පිරිවර ජනයා කවුරුවත් නැතිව මම තනිවමයි මේ මහී ගංගා ඉවුරෙ ඉන්නෙ. මම වැඩ ඉන්න කුටිය මුළුමනින්ම විවෘත කරලයි තියෙන්නෙ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

මගේ කුටිය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කලේ උන්වහන්සේගේ සිත ගැන.කුටිය විවෘතයි කියල කිව්වෙ සාමාන්‍ය පෘතග්ජනයා ගේ සිත පඤ්ච නීවරණ ආදී කෙලෙස් වලින් වැහිල තිබුනට උන්වහන්සේගේ සිත නීවරණ සංඛ්‍යාත කෙලෙස් වලින් තොරයි. නීවරණ නැතිනම් නිවන විවෘතයි. ඒ උන්වහන්සේගේ සිතේ ස්වභාවය විස්තර කලේ. 

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවචනය ධනිය ගෝපාල සැලකිල්ලෙන් අහගෙන හිටියෙ. ඒ නිසා ඊට ප්‍රතිඋත්තර හැටියට ධනිය ගෝපාල මෙසේ කියනවා.

ධනිය ගෝපාල - 

අන්ධකමකසා න විජ්ජරෙ - කච්ඡෙ රූළ්හතිණෙ චරන්ති ගාවො

වුට්ඨිම්පි සහෙය්‍යුමාගතං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

කණ මැස්සන්ගෙන්වත්, මදුරුවන්ගෙන් වත්, මෙහෙ කිසිම කරදරයක් නැහැ. මගේ සැපතට  බාධාකරන්නට ඒ කවුරුවත් මෙහි එන්නෙ නැහැ. ගංගාතීරෙ මගේ ගවයො තණකොළ බුදිමින් ඉන්නෙ. මට ඒව ගැන බලන්න කරදර වෙන්න දෙයක් නැහැ. උං වැස්ස ගැන ඉවසාවි.  ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

බුදුරජාණන් වහන්සේ -

බද්ධාසි භිසී සුසඞ්ඛතා - තිණ්ණො පාරගතො විනෙය්‍ය ඔඝං

අත්ථො භිසියා න විජ්ජති, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.

මම පහුර බැඳලා අවසන් කරල ඉන්නෙ. ඒ පහුරෙ නැගලා පරතෙරටම එතෙර උනා. දැන්  මට පහුරෙනුත් වැඩක් නැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

සම්මුතියේදී පහුර උවමනා කරන්නෙ ගඟකින් එතෙර වන්නට. ගමන අවසන් කොට නැති කෙනාට පහුර තවදුරටත් උවමනායි. ඒත් මෙතන බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මාර්ගය නමැති පහුර බැඳලා, මේ සතර´ඔඝයන් තරණය කරමින් එතෙරෙට ගිහින් ඉවරයි. මගේ ගමන අවසන්.තවත් මට යන්නට උවමනා තැනක් නැහැ. ඒ නිසා මට පහුරෙන්ද වැඩක් නැහැ. ඒ නිසා වැස්ස ඇවිත් පහුර යටවෙයි කියන බය මට නැහැ. ඒ නිසා ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

ධනිය ගෝපාල තමන්ගේ උදම් ඇනීම තවමත් නතර කලේ නැහැ. ඔහු මහී ගංගාවේ එහා ඉවුරේ ඉඳගෙන මහා වැහි වළාකුල දිහා බලල මෙසේ කියනවා.

ධනිය ගෝපාල - 

ගොපී මම අස්සවා අලොලා - දීඝරත්තං  සංවාසියා මනාපා;

තස්සා න සුණාමි කිඤ්චි පාපං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මට ඉතාම කීකරු බිරිඳක් ඉන්නෙ. දිගු කාලයක් තිස්සෙ අපි එක්ව වසන්නෙ. එයා එක එක දේවල් වලට ලොල් ගතියක් දක්වන්නෙ නැහැ. ඒ වගේම කෑදරත් නැහැ. ඇය හැමවිටම මගේ ගතසිත මන වඩනවා. එයාගෙ කිසිම වරදක් දෝශයක් පාපයක් මම දකින්නෙත් නැහැ. ඇය මගේ සිතැඟි පරිදි සිත් අලවාගෙන මා සමග වාසය කරනවා.ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.  

මෙතැනදී පවා ධනිය ගෝපාල කියන්නට උත්සාහ කරන්නේ තමන්ගේ කාමභෝගී ජීවිතය භෞතික සහ ආර්ථික අතින් පමණක් නෙවෙයි භාර්යාවගෙන් පවා ලැබෙන්නේ සතුටක් සොම්නසක් සැපයක් කියන උජාරු උදම් ඇනීමයි. තමන්ගේ විවාහ ජීවිතයක් ගැටළු ප්‍රශ්න වාදවිවාද රහිතව අන් අයට වඩා ආශ්වාදනීය ආකාරයට තමන් භුක්ති විඳින බවයි. 

එය අසා සිටින බුදුරජාණන් වහන්සේ නැවත මේ විදියට වදාරනවා.

බුදුරජාණන් වහන්සේ -

චිත්තං මම අස්සවං විමුත්තං - දීඝරත්තං පරිභාවිතං සුදන්තං

පාපං පන මෙ න විජ්ජති - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මගේ සිත මට කීකරුයි. ඒ නිසා මම එයින්ද මිදී සිටින්නෙ. දීර්ඝ රාත්‍රීන් පුරාවට මෙන්ම දිගු කාලයක් තිස්සේ එය මනා කොට වඩමින් දමනය කරන ලද්දක්.ඒ තුල කිසිදු පාපයක් මමද දකින්නෙ නැහැ.ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.    

ධනිය ගෝපාල - 

අත්තවෙතනභතොහමස්මි - පුත්තා ච මෙ සමානියා අරොගා

තෙසං න සුණාමි කිඤ්චි පාපං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

භාර්යාව පිලිබඳ පමණක් නෙවෙයි. මගේ දරුවොත් මා එක්කමයි වාසය කරන්නෙ. ඒ අය ඉතාම හොඳ සෞඛ්‍යය සම්පන්නව නිරෝගීව, කිසිම වරදක් පාපයක් නැතිව සමගිව වාසය කරනවා. අනික මම කා‌ගෙන්වත් යැපෙන කෙනෙක් නෙවෙයි. මගේ දරුපවුලම කාටවත් අතපාලා පාච්චල් වෙලා ජීවත් වෙන අය නෙවෙයි. මම ජීවත් වෙන්නෙත් අඹුදරුවන් පෝෂණය කරන්නෙත් මගේම වේතනයෙන්. මගේම ආදායමෙන්. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.    

ධනිය ගෝපාලයන්ගේ ඒ අහංකාර ආඩම්බර උදම් වචනටික අහගෙන සිටින බුදුරජාණන් වහන්සේ හරිම අපූර්ව උත්තරයක් දෙනවා.

බුදුරජාණන් වහන්සේ -

නාහං භතකොස්මි කස්සචි - නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ

අත්ථො භතියා න විජ්ජති - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මමත් කිසිම කෙනෙක්ගෙ බැලයෙක් නෙවෙයි. මමත් කාටවත් බැලමෙහෙවරකම් කරන්නෙ නැහැ. මේ ලෝකයේ ති‌බෙන්නාවූ සියලුම බැලමෙහෙවරකම් වලින් සදහටම මිදුනු එකම එක කෙනා මම විතරයි. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.   

බුදුරජාණන් වහන්සේ ගේ මෙම ප්‍රකාශය ඉතාම ගැඹුරුයි. ධනිය කෙතරම් උදම් ඇනුවත් කිසිවකුගේ බැලමෙහෙවරකම් නොකරන බවට, ඔහු ඔහුගේ බිරිඳටත්, දරුවන්ටත්, ගවයන්ටත්, පරිවාර ජනයාටත්, අවසානයේ තමාටත් බැඳී ඇති බවත්, ඒ බැඳීම තුලම ඇත්තේ බැලමෙහෙවර බව ඔහුට ඒ මොහොතේ නොපෙනුනා විය හැකියි. නමුත් බුදුරජාණන් වහන්සේ උදම් අනන්නේ ඒ කාරණය මැනවින් දැකගෙනයි. ඒ නිසයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ තමාගෙන්ද මිදුනු බවට."මේ ලෝකයේ ති‌බෙන්නාවූ සියලුම බැලමෙහෙවරකම් වලින් සදහටම මිදුනු එකම එක කෙනා මම විතරයි" යනුවෙන් නගන්නේ සත්‍යවාදීවූ සිංහනාදයයි. 

ධනිය ගෝපාල - 

අත්ථි වසා අත්ථි ධෙනුපා - ගොධරණියො පවෙණියොපි අත්ථි

උසභොපි ගවම්පතීධ අත්ථි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මට තියෙන්නෙ සුළුපටු ගවසම්පතක් හෙම නෙවෙයි. අතිවිශාල කර්මාන්තයකට උරදෙන මහ විශාල ගවසම්පතක් මට තියෙන්නෙ. ඒ ගවසම්පත ඇතුලෙ නාඹර වස්සො විශාල ගනනක් ඉන්නවා. කිරිබොන වසුපැටව්ද ඉන්නවා. පැටවුන් කුසතුල තබාගෙන සිටින ගැබ්ගත් වැස්සියොත් ඉන්නවා. ප්‍රවේණිඝඨනයට හෙවත් පට්ටි දැමීමට සූදානම් ශක්තිමත් ගවයෝත් ඉන්නවා. ඒ වගේම ගවයන්ට නායක වූ ගවම්පති නම් මහා වෘෂභ රාජයන්ද ඉන්නවා. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.   

බුදුරජාණන් වහන්සේ -

නත්ථි වසා නත්ථි ධෙනුපා - ගොධරණියො පවෙණියොපි නත්ථි

උසභොපි ගවම්පතීධ නත්ථි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මට නම් (කෙලෙස් කියන) වස්සො නම් එකෙක් වත් නැහැ. ගවදෙන්නු( අනුශය කෙලෙස්) ඇත්තෙම නැහැ. ප්‍රවේණිඝඨනය හෙවත් පට්ටි දමන්නට සුදුසු( නැවත නැවත සංසාරයේ ගමන් කරන්නට සකස්වන කර්ම) ගෝධරනීයො හෙවත් කර්ම (භව තෘෂ්ණාව) කිසිවක් නැහැ. ගවයන්ටත් ගව වූ ගවම්පති වෘෂභයෝ (අභිසංඛාර විඤ්ඤාණ) මට නැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.   

ධනිය ගෝපාල -

ඛිලා නිඛාතා අසම්පවෙධී -  දාමා මුඤ්ජමයා නවා සුසණ්ඨානා

න හි සක්ඛින්ති ධෙනුපාපි ඡෙත්තුං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මේ ගවයො බැඳ දමා තිබෙන කණු හිටවා තියෙන්නෙ හොඳට යටට පොලොව හාරා ශක්තිමත් විදියට. ඒවා අඩුම තරමෙ සෙලවෙන්නෙවත් නැහැ.උන්ව ගැට ගහල තියෙන්නෙ මෘදු තණකොළ අඹරා සකස් කරගත් ශක්තිමත් වැල් පට වලින්. ඒ බැමි නාඹර ශක්තිමත් තරුණ වස්සෙකුටවත් කඩාගෙන යන්නට බැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.   

බුදුරජාණන් වහන්සේ -

උසභොරිව ඡෙත්ව  බන්ධනානි - නාගො පූතිලතංව දාලයිත්වා 

නාහං පුනුපෙස්සං  ගබ්භසෙය්‍යං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මම නම් වරපට කඩාගත් ශක්තිමත් වෘෂභයෙක් වගේ තමයි. ඒ වගේම පූතිලතාව කඩා බිඳගෙන යන මහා ඇත්රාජයෙක් වගෙයි මම. පූතිලතාව කියන්නෙ ඇතුන් බැඳ දමන ඉතාමත්ම ශක්තිමත් වරපොටට.ඒ සියලු බන්ධන මම බිඳ දමා අවසන්. මාව බැඳ දමන්න සමත් කිසිම බන්ධනයක් කොහේවත්ම නැහැ.එබඳු බන්ධන කිසිම දෙයකින් මාව බැඳ දමන්නට නොහැකි නිසා මම නැවත මව් කුසකට එන්නෙත් නැහැ. සියල්ලෙන්ම මම නිදහස්. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.   


බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය සිදුකරත්ම මහාමේඝය මහා වර්ෂාවක් වී ඇද හැලෙන්නට පටන් ගන්නවා. වේගයෙන් ඇද හැලෙන විශාල වැහිබිංදු වලින් මහී ගංගාවේ නිහඬව සෙමෙන් ගලාගිය ජලධාරාව කැළඹෙන්නට පටන් ගන්නවා. මහී ගං තීරය හරහා ඇඟ කිලිපොලන තරමේ සීතල සුළඟක් හමා යන්නට පටන් ගන්නවා. ක්ෂනයක් යන්නටත් කලින් සුන්දර ලලනාවක් සේ ලාලිත්‍යයෙන් ගලා ගිය මහී ගංගාව කුරිරු යක්ෂණියක සේ වේගවත් වන ආකාරයද, ප්‍රචන්ඩ බවට පත්වන ආකාරයද ධනිය ගෝපාලට පෙනුනා. ප්‍රචන්ඩත්වයෙන් වියරු වැටුනු මහී ගංගාව ඉවුරු දෑලවර පහත් බිම් යටකර ගෙන වේගයෙන් ජලප්‍රවාහයක් වන ආකාරයද, ගවයන් සිටින පහත්බිම ජලයෙන් යටවන ආකාරයද ධනිය ගෝපාලගේ දෑස හමුවේ දිස්උනා. එවිටම මේ යථාර්ථය, මේ විපරිනාමය, මේ ස්වභාවය ඉතාම අපූරුවට මැනැවින් මොහොතකට කලින් මුදුහඬින් එහා ඉවුරේ සිට ප්‍රකාශ කලේ කවුදැයි කියා ධනියට වැටහෙන්නට උනා. ධනිය ගෝපාල හදිසියේ යමක් සිහිපත් වූවා සේ උද්දාමයෙන් එහා ඉවුරේ සිට මෙසේ කියනවා.


ධනිය ගෝපාල -

ලාභා වත නො අනප්පකා - යෙ මයං භගවන්තං අද්දසාම
සරණං තං උපෙම චක්ඛුම - සත්ථා නො හොහි තුවං මහාමුනි
ගොපී ච අහඤ්ච අස්සවා - බ්‍රහ්මචරියං සුගතෙ චරාමසෙ
ජාතිමරණස්ස පාරගූ - දුක්ඛස්සන්තකරා භවාමසෙ

මේක නම් ආශ්චර්යයක්මයි. මේක නම් ඒකාන්තයෙන්ම ලාභයක් මයි. මේ නම් භාග්‍යවතුන් වහන්සේ මයි. මහාමුණිවරයානනි..ඇස් ඇත්තාවූ නුවනැත්තානනි..මමද මගේ භාර්යාවද...මේ මොහෝතේ පටන් ඔබවහන්සේ ගේ සරණ යනවා. මේ සියලු යථාර්ථය ඇස් ඉදිරිපිට පහදා දුන් ඔබවහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේමය..ඔබවහන්සේ සමීපයේ බ්‍රහ්මචරියාවේ හැසිරෙමින් ජාති ජරා ව්‍යාධී මරණ දුක්ඛයෙන් ඔබ්බට ගියාවූ ලෝකයෙන් එතෙරට යන මාර්ගයට එක්ව අපිදු සංසාර දුක්ඛය නිමා කරනවා.

බුදුරජාණන් වහන්සේ මුණිවත තුල එහා ඉවුරේ ඉවසා වදාරා සිටිනවා. විවිර වූ නුවණැස  සහිත ධනිය ගෝපාලයද ගෝපියද මෙහා ඉවුරේ සිටිනවා. වියරු වැටුනු ප්‍රචන්ඩ මහී ගංගාව ඒ අතරින් ගලා බසිනවා. ඒ අතරින් මාරයා ඔවුන් දෙස හිස පොවා බලා මෙසේ කියනවා.


මාරයා -

නන්දති පුත්තෙහි පුත්තිමා -  ගොපියො ගොහි තථෙව නන්දති

උපධී හි නරස්ස නන්දනා - න හි සො නන්දති යො නිරූපධි

දරුවන් ඇති කෙනා ඒ දරුවන් ඇතිබවට සතුටු වෙනවා. බොහෝ ගවයන් සිටින කෙනා ඒ ගවයන් ඇති බවට සතුටු වෙනවා. කාමයන් හා බැඳීමෙන් සතුටු වෙන කෙනා හැරෙන්නට කාම බන්ධන අත්හැරපු කෙනා මොන සතුටක් ලබයිද??

(මාරයාට මේ වෙනස බලා සිටින්නට ඉවසා දරා සිටින්නට හැකි දෙයක් නෙවෙයි. කාමයන් අයිති මාරයාටයි. ජාති ජරා වය්‍යාධි මරණ දුක්ඛය අයිතිද මාරයාටයි. ඉතිං යම් කෙනෙක් කාමයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙනවා නම් මාරයාට රුස්සන්නෙ නැහැ. ඒ නිසා තමයි ඔහු මේ කාමයන් පිලිබඳ වර්ණනාව ධනිය ගෝපාලයන්ට  අදාල පරිදි සිදු කලේ). ඒ අසාගෙන සිටි බුදුරජාණන් වහන්සේ මාරයාටද, ධනිය ගෝපාලයන්ටද ඇසෙන පරිදි මෙසේ වදාලා.


බුදුරජාණන් වහන්සේ - 

සොචති පුත්තෙහි පුත්තිමා - ගොපියො ගොහි තථෙව සොචති

උපධී හි නරස්ස සොචනා - න හි සො සොචති යො නිරූපධී’’ති

දරුවන් ඇති කෙනා දරුවන් ඇති බවටමයි ශෝක කරන්නෙ. ගවයන් ඇති කෙනා ගවයන් ඇති බව නිසාම ශෝක කරනවා.කාමයන් කෙරෙහි බැඳීම් සහිත කෙලෙස් ඇති කෙනා ඒ බැඳීම් නිසා ශෝක කරන අතර කාම ආදී  බන්ධන වලින් මිදුනු තැනැත්තා ඒ මිදුනු බව නිසා ශෝක කරන්නේ නැත.


බාහිර ආයතන(රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය) හමුවේ ඇති රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ආදී කාම අරමුනු වලින් බැඳුනු කෙනා  ජාති ජරා ව්‍යාධි මරණ බිය හමුවේ දරුවන් කෙරෙහි ශෝක කරනවා. ඒයට හේතුව භවය සකස් වෙන්නේ මෙම බාහිර ආයතන පිලිබඳව වූ අවිද්‍යා ක්ලේශය නිසාය. ඒ්වා නිත්‍ය සුඛ ආත්ම බවට ඇති මෝහය මෙම අවිද්‍යාවයි. එනිසා එම පරිවාර සම්පත්තිය මිලමුදල් වතුපිටි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්, තනතුරු තාන්නමාන්න දිවට දැනෙන රස, කය කැමති පහස මේ ආදී සියලු කාමයන් පිළිබඳවම ශෝක කරනවා.  ශෝකය නිසා භය ඇති වෙනවා. භය නිසා දුක ඇති වෙනවා. මේවා කෙරෙහි මනස සාපේක්ෂ වටිනාකම් නැතිව සිහියෙන් වර්තමාන ක්ෂණය තුල පරිහරණය කරයිද, නැවත නැවත පුනර්ජන්මය ඇතිවන විදියට සිත සිතා නොසිටියිද, ඒවා වල අනිත්‍යය ස්වභාවය දකියිද ඒ කෙනා ඒ බන්ධන වලින් මිදෙනවා. ශෝකයෙන්ද බයෙන්ද මිදෙනවා.


මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.


මූලාශ්‍ර

1.අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය- කාම භය සූත්‍රය-

2.නිබ්බේධික පරියාය සූත්‍රය -අංගුත්තර නිකාය

3.ඛුද්දක නිකාය - ධනිය සූත්‍රය-

4.ලෝවැඩ සඟරාව 





Post a Comment

2 Comments

  1. සාදු සාදු සාදු !!! ඔබගේ මේ ධර්ම දානමය කුසලය ප්‍රාර්ථනිය බෝධියකින් නිවන් සුව අවබෝධය පිණිසම හේතුවේවා !!!!.

    ReplyDelete
    Replies
    1. යහපතක්ම වේවා.ලබා දුන් කළණ ධෛර්යයට බොහොමත්ම පින්

      Delete