අද්ධා පීතිමනො හොති - ලද්ධා මච්චො යදිච්චති
වස්තු කාමයට කැමැති කෙනාට යම් විදියකින් ඒ වස්තු කාමයන් ලැබෙන විට, ඒ ලැබුනු වස්තු කමායන් ගෙන් සතුටට පත්වේ. පසුගිය ලිපියෙන් කාමය පිලිබඳ ඉතාම කෙටි සටහනක් තැබුවා මෙලෙස." වටිනාකම් දුන් දේවල් වලට වස්තු කාම යැයි කියනු ලැබේ. ඒ කාමයන්ට ඇති ඇලීම් ස්වභාවයට ක්ලේශ කාම යැයි කියනු ලැබේ. වස්තුකාම සහ ක්ලේශ කාම වලට පොදුවේ කාමයන් යැයි ව්‍යවහාර කෙරේ." -මහා නිද්දේස පාලි-
කාමය කොටස් දෙකකි.
1.වස්තු කාමය
2.ක්ලේශ කාමය
වස්තුකාමයන් යනු ප්‍රිය ස්වභාවයෙන් යුක්ත රූප, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ශබ්ද, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ගන්ධ, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත රස, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කායික පහස,ආදියයි. මේවා තුලම අන්තර්ගතව තිබෙනවා ගෙවල් දොරවල්,යානවාහන,මිලමුදල්, අඹුදරුවන්, සේවකසේවිකාවන්, මිතුරු මිතුරියන්. රන්රිදී මුතු මැණික, ආභරණ පළදාවන්, ඉඩකඩම්, දේපල වස්තුව නැටුම් ගැයුම් වැයුම් චිත්‍රපට නාට්‍ය සන්දර්ශන, ගම,නගරය, රට, ලෝකය මේ ආදී සකල විධ දේවල්. තවත් විදියකට කිවහොත් මනසින් ඇලීමට හේතුවන, ඇලීමෙන් ආශාවෙන් තන්හාවට අරමුණු වන, ප්‍රාර්ථනා කල යුතු වන අර්ථයෙන් කාමයන්ය.
එතකොට කාමයන් පිලිබඳව එසේ දළ වශයෙන් විග්‍රහයක යෙදෙද්දී සත්‍ය වශයෙන් කාමයන් යනු කුමක්ද කියා දැනගැනීම ඉතාම වැදගත් වෙනවා මේ සසරින් ගැලවීම සඳහා. සත්‍යය වශයෙන්ම කාමයන් කියන්නේ කුමකටද?
නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්ප රාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්ති
කාමයන් පිලිබඳව බුදුන්ගේ පැහැදිලිම පිරිසිදුම විවරණය මෙතැනදි හමුවෙනවා. කුමක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරන්‍නෙ...
"තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ" මේ ලෝකයේ යම්තාක් රූප ශබ්ද ගන්ධ රස කායික පහස ආදිය තියෙයිද ඒවා ඇස කණ නාසය දිව කය හමුවට එන සිතුවම් හා සමාන දේවල් පමණයි. ඒවා ලස්සන විය හැකියි.මිහිරි විය හැකියි. නමුත් ඒවා සිතුවම් පමණයි. ඇසට පෙනෙන රූපය අතින් අල්ලන්න බැහැ. අතට දැනෙන්නේ ඇසට පෙනෙන දෙය නොව ඝණ බව සියුම් බව උනුසුම් සීතල බව පිම්බුනු හැකිළුන බව විතරයි. ඇසට පෙනෙන්නේ එකක් අතට දැනෙන්නේ තවෙකක්. හරියට ලස්සන මල්වත්තක චිත්‍රයක් අතින් ඇල්ලුවා වගේ. අතට මල් හසු වේවිද?අතට නටු අග කටු හමුවේවිද.නැහැ චිත්‍රය ඇඳ ඇති කැන්වසයේ ඝණ බව පමණක් දැනේවි. මේක තමයි ඇත්තම ඇත්ත. පුද්ගලයො වේවා දේවල් වේවා ඇහැට පෙනුනාට අතට දැනෙන්නෙ නැහැ ඒව ඒ විදියටම. ඒ නිසයි "තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ" ලෝකයේ බොහෝ මනවඩන ප්‍රියඋපදවන දේවල් තියෙනවා. ඒවා සිතුවම් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා "නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ" ඒ චිත්‍ර සිතුවම් කාම නෙවෙයි. එහෙනම් කාම කියන්නෙ මොකකටද?
"සංකප්ප රාගො පුරිසස්ස කාමො" පුද්ගලයාගේ කාමය වෙන්නේ ඔහු තුලම ඒවා කෙරෙහි ගොඩනැගෙන සංකල්පමයි. එය බාහිර තිබෙන දෙයක් නෙවෙයි.
සංකල්පය-
සංකල්ප බාහිර ලෝකයේ නොපවතියි. සියල්ල සිතේම හටගනියි. සංකල්පය අතිශය පෞද්ගලිකයි. එය සත්‍යයක් නෙවෙයි. සිතින් හදාගන්නා දෙයක් පමණයි. සංකල්පය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. කිසියම් බාහිර රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් කායික පහසක් සම්බන්ධයෙන් සිත විසින් ලබාදෙන වටිනාකම අනුව සංකල්පය ගොඩනැගෙයි. ඕනෑම වස්තුවකට වර්ණයක් සහ හැඩයක් තිබේ. එය ධර්මතාවයකි. ඒ වර්ණය සහ හැඩය තුල හොඳ නරක කැත ලස්සන රස නීරස උසස් පහත් කියා අන්ත දෙකක් නැත. එහෙත් සිත විසින් ගොඩ නගන සංකල්ප තුල මේ අන්ත දෙක උපදියි. එසේ අන්ත බිහිවීම නිසා කැමැත්ත අකමැත්ත ප්‍රිය අප්‍රියභාවය කියා දෙකක් හටගනියි. එසේ අන්ත දෙක බිහිවීම නිසා ඇලීම සහ ගැටීම කියා ධර්මතාවයන් දෙකක් හටගනියි. හැමවිටම සංකල්පය විසින් මේ අන්ත දෙකට පුද්ගලයා ඇද දමනු ලබයි. එසේ ඒ අන්ත දෙකට ඇද වැටුනු පුද්ගලයා ඒ අන්ත දෙක තදින් අල්ලා ගනී. එය උපාදානය නම් වේ. එයද පුද්ගලයාගේ ලෝකය හැටියට ඔහුව එතැනට රැගෙන යයි. මේ නිර්වචනය අනුව බුදුන් වදාල"සංකප්ප රාගො පුරිසස්ස කාමො නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ" නමින් විග්‍රහ කල කාරනා යම් දුරකට කෙනෙකුට තේරුම් ගත හැකියි.
කාමගුණ
එසේ නම් රූප ශබ්ද ගන්ධ රස කායික පහස යනු කුමක්ද? ඒවා කාම නොව කාමගුණ නමින් හැඳින්වේ.
" මහණෙනි, කාම ගුණ පහක් තිබෙනවා. යහපත්වූ, ප්‍රියවූ, සිත් අලවන්නාවූ, මනා දැකුම් ඇති, මනා රූ ඇති, කාමයන් ඇතිකරවන්නාවූ, ඇසින් හැඳින ගන්නා රූපයෝද, කණින් හැඳිනගන්නා ශබ්දයෝද, නාසයෙන් හැඳිනගන්නාවූ සුවඳද. දිවෙන් හැඳිනගන්නාවූ රසයෝද, කයින් හැඳිනගන්නාවූ ස්පර්‍ශයෝද වෙති. එසේ නමුදු මේ කාමයෝ නොවෙති. මේවා කාම ගුණයැයි ආර්‍ය්‍ය විනයෙහි කියනු ලබනවා."
කාමගුණ යනු කාමයන්ට හිතැති යන අර්ථයයි. පුද්ගලයාගේ සංකල්පය හොඳ නරක කැත ලස්සන ආදී වශයෙන් ගොඩනැගෙන්නේ රූප ශබ්ද ගන්ධ රස කායික පහස යන කාරනා මුල් කරගෙනය. එය පුද්ගලයාගේ ලෝකයයි. හොඳ ලස්සන මිහිරි මනාප දේවල් නිසා සිතේ සොම්නසක් සුඛ විඳීමක් හටගනියි. සිත සොයන්නේ එයමයි. සිත ඒ සුඛ සොම්නසට ඇලෙයි. නැවත නැවත සොයයි. එමෙන්ම සිත අවලස්සන කැත අමිහිරි අමනාප දේවල් වලට අකමැතිය. දුකට අකමැතිය. ඒ නිසා සිත අවලස්සන කැත අමිහිරි අමනාප දේවල් ඇස කණ නාසය දිව කය කියන ආයතන හමුවට නැවත නැවත එනවාට කැමති නැත. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒ දුක වේදනාව සමග ඇති ගැටීම නිසාය. මෙන්න මේ සිද්ධාන්තය තේරුම්ගත් විට ඒ සියලු ඇලීම් සහ ගැටීම් සහිත අන්තයන් සංකල්පමය වශයෙන් පමණක් පවතින බව දැකිය හැකිය. කාමය යනු කැමැත්තය. කැමැත්තෙන් ඇලී ගැලී සිටීම කාමඡන්දය වන අතර එය තන්හාවද වේ. එසේම ව්‍යාපාදය යනු අකැමැති අමනාප අප්‍රිය දේවල් කෙරෙහි දක්වන ගැටීමයි. ගැටීම පටිඝ නමින්ද හැඳින්වේ. සෑම පෘතග්ජන පුද්ලයෙක්ම ජීවත්වන්නේ කාමඡන්දය සහ ව්‍යාපාදය තුල දෝලනය වෙමින්ය. කැමැත්තෙන් අකමැත්තටද, අකමැත්තෙන් කැමැත්තටද පුද්ගලයා ගමන් කරයි. ඒ තුම ජීවත් වෙයි. අකමැත්ත දුරු කරන්නටත් කැමැත්ත වඩන්නටත් ඔහු නිරන්තර උත්සාහයේ යෙදෙයි. ඒ සියලු උත්සාහයන් ඔහු ගනුලබන්නේ තමන්ගේම සිත තුල උපන් සංකල්පයන් කෙරෙහි බව ඔහුට නොවැටහෙයි. ඒ නිසා සැපත් දුකත් ඔහුට ලැබෙන්නේ බාහිර ලෝකයෙන් බාහිර පුද්ගලයින්ගෙන් සහ දේවල් වලින් බව ඔහු දකියි. එය වැරදි දෘශ්ඨියක් බව ඔහු නොදකියි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා
මහණෙනි, කාමය දැනගත යුතුයි. කාමය ඇතිවීමේ හේතුව දැනගත යුතුයි. කාමයන්ගේ වෙනස දැන ගත යුතුයි. කාමයන්ගේ විපාකය දැනගත යුතුයි. කාමයන් නැතිවීම හෝ නැති තැන දැනගත යුතුයි. කාමයන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දැනගත යුතුයි. ඒ නිසා “පුරුෂයාගේ කල්පනා (සංකල්ප) වශයෙන් උපන්නාවූ රාගය කාම නම් වේ. ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, ඒවා කාමයෝ නොවෙයි. විසිතුරු අරමුණු ලෝකයෙහි එ් විදියටම තිබේවි. මහණෙනි..කාමයන්ගේ හටගැනීම හෙවත් හේතුව කුමක්ද? හේතුව ස්පර්ශයයි.
ස්පර්ශය යනු කුමක්ද?
ස්පර්ශය සිතේ පවතින තවද එක් ක්‍රියාකාරිත්වයකි. එය ධර්මයෙහි "ඵස්ස" නමින් හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඵස්සය හෙවත් ස්පර්ශය යනු යමක් තවත් දෙයක් සමග ගෑවෙන, එකට ගැටෙන සම්බන්ධ වන (contact) අර්ථයයි. නමුත් දහමේ සඳහන් වන ස්පර්ශය එවැනි භෞතික වූ යමක් එකට ගෑවීම නෙවෙයි. මූලික වශයෙන් ඵස්සය ආකාර හයකට සඳහන් වේ.
1.චක්ඛු සම්ඵස්සය - ඇසේ ස්පර්ශය
2.සෝත සම්ඵස්සය- කණේ ස්පර්ශය
3.ඝාණ සම්ඵස්සය - නාසයේ ස්පර්ශය
4.ජිව්හා සම්ඵස්සය - දිවේ ස්පර්ශය
5.කාය සම්ඵස්සය - ශරීරයේ ස්පර්ශය
6.මනො සම්ඵස්සය - මනසේ ස්පර්ශය
මෙතැනදී ඉතාම හොඳින් බැලුවොත් මේ ධර්මයේ ඉතාම ගැඹුරු තැනක් පහසුවෙන් වටහාගත හැකි වෙයි.
උදාහරණයකට චක්ඛු සම්ඵස්සය - ඇසේ ස්පර්ශය ගතහොත්, ඇස භෞතික යමක ගැටෙනවා යන තේරුමට එහා ගිය දෙයක් මෙතැනදි අදහස් වෙයි. එය සාමාන්‍ය තර්ක බුද්ධියකට හසුනොවන අතර, හොඳින් නුවණින් විමසා බැලුවොත් එතැන වැටහේ. ඇස ගැටෙන්නේ කොහේද?බාහිර රූපයේද? නැත. ඇස කිසිදා බාහිර රූපයේ නොගැටෙයි. බාහිර රූපයේ ගැටෙන්නේ චක්ඛු ප්‍රසාදයයි.
" බාහිර ලෝකය පෙනෙන්නේ දීප්තිමත් කාචයක් බඳු ඉතාම සූක්ෂම ප්‍රසාදයකටය. එය චක්ඛු ප්‍රසාදය යැයි කියනු ලැබේ. චක්ඛු ප්‍රසාදයට බාහිර රූප පෙනෙනවා පමණය. "
කියවන්න මෙහි පළමු ලිපිය - මෙතැනින්
චක්ඛු ප්‍රසාදයට බාහිර රූප අරමුණක් ගැටුන විට ඡක්ඛු විඤ්ඤාණය පහළ වෙයි. ඒ සාධක තුන එක් වීමෙන් ඇසේ ස්පර්ශය පහළ වෙයි. ස්පර්ශය පහළ වූ සැනින් එය වේදනා සංඥා සංඛාර නම් වූ තවත් සිතේ ස්වභාවයන් තුනක් සමග සම්බන්ධ වී බාහිර රූපය තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රිය අප්‍රියභාවය මත සකස් කරයි. එය ප්‍රත්‍යය හෙවත් හේතු සමග හටගනියි. හේතු යනු ලෝභ ද්වේශ මෝහ මුල් කොට ගත් කෙලෙස්ය. මෙම ඇස කණ නාසය දිව කය මනස පිනවා ගැනීම පිණිස පුද්ගලයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු ලබයි. සත්‍ය වශයෙන්ම කිවහොත් පිනවාගන්නේ ඇස කණ නාසය ආදී ආයතන නොව සිතය. සිත පිණවීම පිනිස ආයතන හයෙන් අරමුනු සොයා යන පුද්ගලයා එම අරමුණු වින්දනයෙහි ඇලීම හා ගැටීම වශයෙන් තෘෂ්ණාවට පත්වෙයි. ඒ තුල තිබෙන්නේ ලෝභ ද්වේශ මෝහ තුල හට ඟත් මඤ්ඤමානය හෙවත් මමත්වයයි. සැප අරමුණක් ලද කල්හි ඒ කෙරෙහි ලෝබය උපදවයි එයට ඇලෙයි. එහි ඇති සුඛ වින්දනය විඳින කෙනෙක් හට ගනියි. ඒ මමය මගේය මගේ ආත්මයය යැයි මම කොට ගනියි.
"මඤ්ඤමානස්ස ඛො භික්ඛවේ බද්ධ මාරස්ස"
එසේ මමකොට මගේ කොට ගැනීම මෝහය වන අතර එය තන්හා දිට්ඨි මාන වශයෙන් සසරට හේතු හදයි. සසර අයිති වන්නේ මාරයාට හෙයින් එසේ ලෝබයෙන් රාගයෙන් අරමුනු වලට ඇලීම මාරයා හා බද්ධ වීමක් වේ. අකමැති අරමුණක ඇති දුක වින්දනයට ගැටෙන පුද්ගලයා එය මඤ්ඤමාන කොට ගනියි. සසරට ඇලෙයි. මාරයා සමග බද්ධ වෙයි.
(ඉතිරි කොටස ඊලඟ ලිපියෙන්)
0 Comments