ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක් අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා. ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක. ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය කියා භාවිතා කරනවා. නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි. ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් හෝ පුදපූජා සත්කාර කිරීමක් නෙවෙයි. ප්‍රායෝගිකව වැඩීමෙන් ශාක්ෂාත් කල යුතු කාරණයක් පමණයි. ඒ මාර්ගය තමා තුලින්ම සකස් කරගත යුත්තක්. අධ්‍යාත්මිකව සකස් කරගන්නාවූ වැඩ පිලිවෙලක් මිසක බාහිර තිබෙන දෙයක් නෙවෙයි.
"චත්තාරිමානි, භික්ඛවෙ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි , භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති. "
මහණෙනි, මේ කර්‍ම සතරක් මා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ. කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.
කතමඤ්ච, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං."
-අංගුත්තර නිකාය-චතුත්ථ නිපාතය-කම්මක්ඛය සංවත්ත සූත්‍රය-
මෙය සරළව විස්තර සහිතව මුලින්ම විමසා බලමු. බුදුරජානන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ විසින් විශිෂ්ඨ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කල කර්ම හතරක් තිබෙනවා කියා. එතකොට බුදුකෙනෙකුන්ගේ විශිෂ්ඨ ඥාණය ගැන විශිෂ්ඨ ප්‍රඥාව ගැන සැක නැති කෙනෙකුට විතරයි මේ කාරණාව පිලිගන්න පුලුවන්. බුදුහාමුදුරුවො ඔහොම කිව්වට ඕක එහෙමමත් නෙවෙයි කියන්න මිත්‍යා දෘශ්ඨිකයෙකුට හැර වෙන කාටවත් පුලුවන් කමක් නැහැ . බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කල ධර්මය කිසිවකුට අභියෝග කල නොහැකියි කියා නිර්භීතව ප්‍රකාශ කල උත්තමයෙක්.
"එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්‍රාහ්මනෙණ වා දෙවෙන වා මාරනෙ වා බ්‍රහ්මුණා වා කෙනෙචි වා ලොකස්මින්ති"
භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගවනයේදී දේශනා කොට වදාල මේ ආර්යය සත්‍යය කිසිදු බ්‍රාහ්මණයෙකුට,දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ කිසිම කෙනෙකුට එය එසේ නොවේ යැයි ආපස්සට කරකැවිය නොහැකිය.
-ධම්මචක්ක පවත්තන සූත්‍රය-
මොකක්ද මේ කර්ම හතර ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය?
1.කම්මං කණ්හං කණ්හවිපාකං - අකුසල පක්ෂයේ දුක් සහිත අකුසල විපාක ඇති කර්මයක් ඇත.
2.කම්මං සුක්කං සුක්කවිපාකං - කුසල පක්ෂයේ සැප සහිත විපාක ඇති කර්මයක් තිබේ.
3.කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං -අකුසල පක්ෂයේද, කුසල පක්ෂයේද දුක්සහිත සැප සහිත විපාක ඇති කර්මයක් තිබේ.
4.කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය - අකුසල්ද නොවන කුසල්ද නොවන දුක් විපාක නැති, සැප විපාකද නැති කර්මයක් තිබේ. ඒ කර්මය කර්ම ක්ෂය කිරීම පිණිස පවතියි. මේ කර්ම ක්ෂය කියන ඉතා වැදගත්. එතකොට මේ කර්ම හතරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්ද? විපාක සහිත යම් කර්මයක් තිබේ නම් එය සසරට හේතුයි යන කාරණය තමයි ඔතනදි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ තමයි චතුරාර්යය සත්‍යය ධර්මයේ එන දුක්ඛ ආර්යය සත්‍යය.
මෙය තවත් සවිස්තරව විමසා බැලුවොත් හමුවෙනවා සරළ පිලිතුරක්. කර්මය අකුසල් නම්, පව් අනුව නම්, ලැබෙන විපාකය සසර දුගතියේ දුක්සහිත බවයි. එය සතර අපායේ වේවා මිනිස් ලෝකයේ වේවා දුක් සහිත ජීවිතයක් ලැබෙන්නෙ. කර්මය කුසලනම්, පින අනුව නම් ලැබෙන විපාකය සසර සුගතියේ දෙව් මිනිස් ලෝක වල සැප සහිත ජීවිතයක්. අකුසල පක්ෂයේ පව අනුවද කුසල පක්ෂයේ පින අනුවද දුක් සැප ලැබීමේ න්‍යායය ගැනයි මේ සඳහන් වෙන්නෙ. එතකොට ඒ ගැනම තවත් විදියකට කියනවා නම් කළු කර්ම (අකුසල) සහ සුදු කර්ම (කුසල) කියා දෙකක් තිබෙනවා කියන කාරනයයි ඔතනට එන්නෙ. ඒ කර්ම දෙකට අනුව සසර ගමන යෙදෙනවා විපාක විඳින්නට වෙනවා. එතකොට සරළම උත්තරය යලි යලිත් සංසාරයම බවයි. සංසාරය කියන්නෙ දුකට කියන තවත් නමක්. යමෙක් කෙටි කාලයකට කරන ලද පින හෙවත් සුදුකර්ම නිසා සැප විඳින තැනක ඉන්නට පුලුවන්. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා "වයධම්මා සඞ්ඛාරා" කියා. සියලු සංඛාරයන් හෙවත් කර්ම වැයවෙනවා ඒ ඒ ජීවිත වල විපාක ගෙවී යද්දි. පින හෝ පව දෙකම ගෙවෙනවා. එහෙම උනාම හතර අපාය අවසන් කරලා මනුස්ස ලෝකයේ දුකට එනවා.ඒ වගේම දිව්‍ය සැප අවසන් කර හතර අපායේ දුකට වැටෙනවා. කොයි පැත්තෙන් ආවත් නැවත නැවත දුකටම ඇදගෙන වැටෙනවා. ශුද්ධාවාස වාස බ්‍රහ්ම ලෝක වල අනාගාමි උත්තමයන් හැර, ධ්‍යාන මාර්ගයෙන් බ්‍රහ්මලෝක වලට ගිය අයත් නැවත පහළට වැටෙනවා. මෙන්න මේ ටික තමයි ඉහත කර්ම පිළිබඳ සදහනේ පලමු කාරනා තුන වෙනුවෙන් වටහා ගත යුත්තේ. එතකොට කර්ම මාර්ගය ඒ බව වටහා ගැනීම වැදගත් වන අතර කර්ම මාර්ගයේ ගමන් කලොත් ගමන නිමක් නැති බවද වටහා ගත යුතු වෙනවා.
එහි හතරවැනි කාරණාව හැටියට කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය - අකුසල්ද නොවන කුසල්ද නොවන දුක් විපාක නැති, සැප විපාකද නැති කර්මයක් තිබේ. මෙන්න මේ මාර්ගය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි බුදුරජාණන් වහන්සේ නමක් ඉතාම කළාතුරකින් ලෝකයට පහළ වන්නේ.
කර්ම මාර්ගය වෙනුවට ධර්ම මාර්ගය
බොහෝ අය වරදවා තේරුම් ගන්නවා ධර්ම මාර්ගය වැඩිය හැකි වෙන්නේ භෞතික සියල්ල හැරදමා ගිහි ගෙයින් නික්මී වනගත වීමෙන් හෝ පැවිදි වීමෙන් කියා. අනාගාමී තලය තෙක් ධර්ම මාර්ගය වඩන්නට ගිහිගෙදර ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ගිහිගෙදර අඹුදරුවන් පෝෂණය කරමින් රැකියා කරමින්ද, ගිහිගෙයින් නික්ම පැවිදිව නිවන ඒකායන ඉලක්කය කරගෙනද ධර්ම මාර්ගය වඩන්නට කැමැත්තක් ඇති හැමදෙනාටම එය විවෘත බව පැහැදිලිය.
නිවන් මගට පිවිසෙන ලෝකොත්තර ඥාණ ලබා ගැනීමට උපකාරවන කිසියම් ධර්මයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම පමණකි. සෝවාන් මාර්ගය- සෝවාන් මගඵලය, සකදාගාමි මාර්ගය-සකදාගාමි මගඵලය, අනාගාමි මාර්ගය-අනාගාමි මගඵලය, අරහත් මාර්ගය-අරහත් මගඵලය, සහ නිවන සදහා වූ එකම මාර්ගයද මේ බෝධිපාක්ෂික ධර්ම වඩමින් යන ගමනය.
බෝධිපාක්ෂික ධර්ම
මූලික වශයෙන් බෝධිපාක්ෂික ධර්මයන් හතක් ඇති බවට ධර්මයේ සඳහන් වෙනවා. මේ සියලු බෝධි පාක්ෂික ධර්මයන්ගේ මුළු ගනන 32ක් වන නිසා එය සතිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස හැඳින්වෙනවා.
01.සතරසති පට්ඨානය
කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා
02.සතර සම්‍ය ප්‍රධාන වීරිය
නූපන් අකුසල් නූපදවා සිටීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසලයන් උපදවා සිටීමට, උපන් කුසලයන් වැඩි දියුනු කරවීමට ගන්නා දැඩි වීරිය
03.සතර ඉද්ධිපාද
ඡන්ද, චිත්ත, විරිය, විමංසා
04. පඤ්ච ඉන්ද්‍රිය
ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා
05.පඤ්ච බල
ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා
06.සප්ත බොජ්ඣංග,
සති සම්බොජ්ඣංග, විරිය සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය.
07.ආර්යය අෂ්ඨාංගික මාර්ගය
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
සතිය හෙවත් සිහිය
මේ බෝධිපාක්ෂික ධර්මයන් තුල ඔබ කවදාවත් දැක තිබේද එක් පොදු සාධකයක්. මෙන්න මෙතැන හරිම වැදගත්. "සති" කියන වචනය බෝධිපාක්ෂික ධර්මයන් තුල කී තැනක තිබෙනවාද. මෙන්න මේ සතිය කියන කාරණාව ඒ තරමට වැදගත් නිසයි සතර සති පට්ඨානයේ හතර තැනක තිබිය යුතු සිහිය ගැන සඳහන් වෙන්නෙ. ඒ වගේම සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත්, සතිය බලයක් හැටියටත්, සතිය බොජ්ඣංගයක් හැටියටත්, සතිය ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංගයක් හැටියටත් දක්වා තිබීමෙන් සතිය යනු කෙතරම් වැදගත් සාධකයක්ද කියා සිතන්නට වෙනවා. සති යන පාලි වචනයෙන් අදහස් කරන්නේ ලෞකික ජීවිතයේ එදිනෙදා කටයුතු මතක තබාගෙන කරනවා කියන තේරුම නෙවෙයි. ඒ සිහිය ලෞකිකයි. අප්‍රමාදී බවට තවත් වචනයක් තමයි සිහිය කියන්නෙ. ඒත් අප්‍රමාදි බව කියන්නෙත් වැඩ කටයුතු ඉක්මනින් කරනවා කියන එකට නෙවෙයි. අප්‍රමාදි බව කියන්නෙ ඊට ඉඳුරාම වෙනස් අර්ථයක්. භාවනා යන වචනයේ සැබෑ අර්ථය වැඩීම කියන එක. එතකොට සති භාවනාව කියන්නෙ සිහිය වැඩීමයි. සිහිය වැඩීමකින් තොර නිවන් මාර්ගයක් ගැන සිතන්නට නොහැකියි. කිසියම් සමථ භාවනාවක් කිරීමෙන් හෝ බලාපොරොත්තු වියයුත්තේ එය සිහිය වැඩීමට උපකාරයක් හැටියටයි.
ධර්ම මාර්ගය
බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පදනම් වන්නේ කර්මක්ෂය කිරීමෙන් නිර්වාණය අත්දකින්නටය. කර්ම රැස් කිරීමෙන් නිවනට යා නොහැකි බැව් එයින් අදහස් කෙරේ. කර්ම කියන්නෙ ඇස කන නාසය දිව කය මනස ආදී සළායතන හරහා චේතනා මූලිකව සිදුකරනු ලබන විවිධ විතර්කයන් හා බැඳුනු සිත කය වචනයෙන් සිදුකරනු ලබන දේවල්ය. පින් අනුවද, පව් අනුවද, ලෞකික ධ්‍යාන අනුවද කර්ම රැස්වේ. රැස්වන කර්ම වලට අනුව මතු විපාක අවස්ථාවක් ඇතිවන අතර හය සතර අපායද, දිව්‍ය මිනිස් ලෝකයන්ද, බ්‍රහ්ම ලෝකයන්ද විය හැකිය. රාගක්ඛයො, දොසක්ඛයො, මෝහක්ඛයො, කම්මක්ඛයො නිබ්බානං කියා වදාරා තිබෙන්නේ ඒ නිසාය. බොජ්ඣංග ධර්මයන් වැඩීම නිවනට ඒකායන මාර්ගයයි. සතර සතිපට්ඨානය අනුව සිහිය බලවත් කරගැනීම පළමු පියවරයි. යෝණිසෝමනසිකාරය වන්නේද බලවත් සිහියයි. ත්‍රිවිධ විතර්ක වලට නොබැදී කර්ම සකස් නොකර සිටින්නට උපකාරවන බලවත්ම ආයුධය සිහියයි.
තවත් කොටසක් ඊලඟ ලිපියෙන්
සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.
colombageshj@gmail.com
jcolombage@outlook.com
0 Comments