ප්‍රමාදය-අප්‍රමාදය සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 10 කොටස

 


තරමක ගැඹුරු මාතෘකාවක් මෙන්ම ඉතාම ගැඹුරු ධර්ම කාරනා කීපයක් මේ හරහා කථාකරන්නට සිදුවෙනවා. ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් මේ ලිපිය කියවා බලන්නට ආරාධනා කරන අතර සත්ත්වයා ප්‍රමාදයට පත්වන ආකාරයද, ප්‍රමාදයෙන් සසරට බැඳෙන ආකාරයද, අප්‍රමාදය නිවනට ඒකායන මාර්ගය වන බවද මෙයින් වටහා ගෙන ඉතාම අසීරුවෙන් ලබාගත් මේ මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට යැයි ඉල්ලා සිටිනවා. 

මෙහි සඳහන් කරන කිසිදු ධර්ම කාරණයක් හොඳ හෝ නරක වශයෙන් බෙදා දක්වන්නට උවමනා නැත. උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රාණඝාතය නිසා සතර අපායට වැටෙන බව සඳහන් කලහොත් එය හොඳද නරකද වශයෙන් නොබෙදා ධර්මතාවය නම් මෙයයි ධර්ම න්‍යායය නම් මෙයයි යනුවෙන් අවබෝධයෙන් ඒ දෙස බැලීම වටිනවා. දන් දුන්නොත් පින් කලොත් සුගතියේ ඉපදෙනවා. එය හොඳද නරකද යනුවෙන් බෙදා බලනවාට වඩා එයද ධර්මතාවයක්,එයද ධර්ම න්‍යායයක් ලෙස ගැනීම සුදුසු වෙනවා. හොඳ නරක වශයෙන් යමක් බෙදා දැක්වීමෙන් එයද අන්ත වලට වැටීමක් වෙනවා.අන්ත හැමවිටම දුක්විපාක ගෙනදෙන දෘශ්ඨියක් නිසා දෘශ්ඨි වලට නොවැටී සම්මා දිට්ඨිය ඇති කරගැනීමට මේ ලිපිපෙල උපකාර වේවා කියා උපකල්පනය කරමින් අදට තෝරා ගත් මාතෘකාව මෙතැනින් ඇරඹෙනවා.



නිර්වින්දනය වී සිටීම

කිසියම් කාලසීමාවකට සිහි නැති කිරීමෙන් හෝ හිරිවැට්ටවීමෙන් හෝ ශෛල්‍ය වෛද්‍යවරයා රෝගියෙකුගේ ශරීර අවයව කපා කොටා ශල්‍යකර්මය කරගෙන යනවා. රෝගියාට ඒ කිසිවක් දැනෙන්නේ හෝ රිදෙන්නේ හෝ නැහැ. එහෙත් නිර්වින්දන කාලසීමාව ගෙවී ගියාට පසුව රෝගියාට ඒ කැපුම් කෙටුම් වල බරපතල වේදනාව දැනෙන්නට ගන්නවා. නමුත් ඒ වනවිටත් කැපුම් කෙටුම් සිදුකෙරීම අවසන් වී  බොහෝ වේලාවක් ගතවී ඉවරයි.

ලෝක සත්ත්වයාද නිර්වින්දනයෙන් පෘතග්ජන ජීවිතය ගතකරමින් සිටිනවා. සිදුවෙමින් පවතින සංකීර්ණ දේවල් ඔහුට දැනෙන්නෙ නැහැ. ශල්‍යවෛද්‍යවරයා නිර්වින්දනය ඇති කරන්නේ බෙහෙත් ඖෂධ මගින්. පෘතග්ජන ලෝක සත්ත්වයා නිර්වින්දනය වෙන්නේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා මගින්. අර ශල්‍යකර්මයේදී දුකවේදනාව නොදැනෙන්නට නිර්වින්දනය කලා වගේ, ලෝකයේ දුක දුකක් නෙවෙයි සැපක් හැටියට දැනෙන්නට සත්ත්වයා නිර්වින්දනය කරන්නේ මේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා කියන නිර්වින්දන ඖෂධය මගින්. එතකොට ඒ නිර්වින්දනය තුල සත්ත්වයා නිගමන කීපයකට එනවා.

අසාරෙ සාර මතිනො
සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධී ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා 

නිසරු දේ සරු දේවල් ලෙසත්, සරු දේ නිසරු දේවල් ලෙසත් වැරදි කල්පනාවලින් යුක්තව දකින කෙනා කවදාවත් සරු දහමක් නොලබයි.

-ධම්මපදය- යමක වග්ගය-11 වැනි ගාථාව-

එතකොට මේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා කියන නිර්වින්දන ඖෂධය මගින් නිර්වින්දනය වී සිටින ලෝක සත්ත්වයා දකින්නෙ ඔය විදියට. නිසරු දේ සරු දේවල් හැටියටයි ගන්නෙ. තන්හාව නිසා,වැරදි දෘශ්ඨිය නිසා, මානය නිසා, අවිජ්ජාව නිසා සිතන කරන කියන සියලුම දේවල් සාරවත් දේවල් හැටියට ගනිමින් එයට බද්ධ වෙමින් බන්ධනය වෙමින් සිටින්නෙ. බන්ධනය කියන්නෙ ඒවාට බැඳෙනවා. ඒවාට සතර උපාදානය කියා හඳුන්වනවා. මොනවාද ඒ බැඳෙන දේවල්.

1.කාමයන්ට බැඳෙනවා

2.දෘශ්ඨියට බැඳෙනවා.

3.විවිධ වෘතසමාදාන වලට, පුදපූජාවලට, විවිධ සිරිත්විරිත් වලට, විවිධ සීල වලට බැඳෙනවා.

4.සියල්ල මමත්වයෙන් ගැනීම හෙවත් මඤ්ඤමානයෙන් බැඳීම. 

සතර උපාදානය කිව්වට කොටස් හතරකට බෙදිලා අපි උපාදාන වෙනවා නෙවෙයි. උපාදානය තුල මේවා තැන්පත් කරගන්නවා. උදාහරණයට මෙහෙම හිතමු. අල්මාරියක් තියෙනවා.මේකට ඇඳුම් පැලඳුම් ආදිය දාලා පුරවා ගත්තම අපි ඒකට කියනවා ඇඳුම් අල්මාරිය කියලා. ඔය අල්මාරියටම පොත්පත් සඟරා ලිපිද්‍රව්‍ය දාලා පුරවා ගත්තම කියනවා පොත් අල්මාරිය කියල. කුස්සියේ මිරිස් තුනපහ ආදිය මේකට පුරවල තිබ්බාම කියනවා කුස්සි අල්මාරිය කියල. අන්න ඒ වගේ දෙයක් මේක. 

කාමයන් කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් කෙරෙහි චිත්ත අභ්‍යන්තරයෙන් කැමැත්ත (හෝ අකමැත්ත) සාදා ගෙන එයට සිතෙන් ඇලීමට (හෝ ගැටීමට) පත්වීම. එතකොට මේකෙ ස්වභාවය තමයි ඒ ඇලෙන්නට කැමති රූප ශබ්ද ආදී අරමුනු පසුපස හඹා ගිහින් ඒවා සොයා ගැනීම හෙවත් කාම එසනාවෙහි යෙදීම. ඒක කරනවා ඉහත සඳහන් කාරනා හතරම යෙදීමෙන්. ඒ කියන්නෙ කාමයට බැඳෙනකොටම දෘශ්ඨියටද බැඳෙනවා. මොනයම් හෝ වෘතසමාදානයකටත් වැටෙනවා. ඒ සියල්ල මමත්වයෙන් ගෙන මඤ්ඤමානය සිදු කරගන්නවා.

නියත මිථ්‍යා දෘශ්ඨිය-

දුන් දේ වල විපාක නැත මහාදානයෙහි විපාක නැත. පූජා පැවැත්වීමෙහි විපාක නැත. කුශලා කුශලයන්ගේ විපාක නැත. මෙලෝ නැත. පරලෝ නැත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. ඕපාපාතිකව උපදින සත්වයෝ නැත. මෙලොවද පරලොව දෙක  විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරන, යහපත් මාර්ගයෙන් යහපත් තැනට  පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) නැත.

එතකොට කාමඑසනා හෙවත් කාමයන් සොයා යාමේදී මෙම දෘශ්ඨියේ සිටින කෙනාට ප්‍රාණඝාතය සොරකම වැරදි කාමසේවනය,බොරුකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීම, කේළාම්කීම, හිස්වචන කීම,ඵරුෂ නොසරුප් අවිනීත වචන කීම වරදක් නොවේ. ඒ නිසා ඒ පුද්ගලයා මේ කුමන හෝ ආකාරයෙන් තමාගේ සිතැඟි ඉටුකරගෙන කාමයන් සොයා යනවා. එසේ සොයා යන කාමයන්ට තදින් බැඳුනාම ඒ දෘශ්ඨියටද තදින් බැඳෙනවා. ඒ කාමයන්ටත් දෘශ්ඨියටත් තදින් බැඳුනාම සියල්ල මමත්වයෙන් ගැනීම හෙවත් මම කොට මගේ කොට ආත්මය කොට මඤ්ඤමානයෙන් බැඳීම සිදුවෙනවා. එහි ප්‍රතිඵලය හැටියට මරණින් මත්තේ නිරය,ප්‍රේත භාවය, තිරිසන් භාවය වැනි තැන්වල උපත ලබා සසරේ අනන්ත දුක් විඳ විඳ බොහෝකලක් සතර අපායේම සසර දිගුකර ගන්නවා. 

එහෙම නැත්නම් 

ලෞකික සම්මා දිට්ඨිය හෙවත් දස වස්තුක සම්මා දිට්ඨිය

දුන් දේවල් වල මතු විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියා වල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. ඕපපාතිකව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කල, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.

මේ ලෞකික සම්මා දිට්ඨිය හරිම විශේෂයි. මේ දෘශ්ඨියේ සිට කටයුතු කරන කෙනා නියත මිත්‍යා දෘශ්ඨියෙන් මිදෙනවා. පාපයට අකුසලයට බිය වෙනවා. පින්දහම්, දානමය කටයුතු සහ භාවනා කරන්නට ගන්නවා. කිසියම් හික්මීමක් ලබනවා. නියත මිථ්‍යා දෘශ්ඨියට පත් කෙනාට ඒකාන්තයෙන්ම හිමිවන්නේ සතර අපාය වුවත් ලෞකික සම්මා දිට්ඨියේ කෙනා යම් දුරකට සතර අපායෙන් ගැලවෙනවා. මුළුමනින්ම නෙවෙයි. ඔහුට සතර අපායට වැටීමේ අනතුර නැති වෙලා නෙවෙයි. ඔහුටත් දෘශ්ඨි නැතිවා නෙවෙයි.  නමුත් දාන ශීල භාවනා කටයුතු හේතුවෙන් ඔහුට කාම සුගතිය වූ දිව්‍ය ලෝක හය හෝ මිනිස් ලෝකයේ උපදින්නට හේතු සකස් වෙනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාලා "සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා" ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියන්නෙ තදින් අල්ලාගත් දේවල්. ලෝභ ද්වේශ මෝහ, පිනද තදින් අල්ලා ගන්නවා. ඒ කියන්නේ කරන කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් සිටිනවා කියන දෘශ්ඨිය මෙතැනදි අතහැරිල නැහැ. එහෙනම් ඔහු දෘශ්ඨියෙන් බැඳිලා ඉන්නෙ.  පින් කරන්නේ මම, දන් දෙන්නෙ මම, භාවනා කරන්නෙ මම ආදී වශයෙන් අල්ලා ගැනීම් තියෙනවා. මම යැයි අල්ලා ගත්තා නම් ඔහු ලෝකයට අයිතියි. විවිධ ශීල වෘත වලට අයිතියි. අත්ත කිලමතානු යෝගයටද අයිතියි.  ඒ පින අනුව යමින් මතු භවයන් වල  දුක් සැප විපාක වලට නියමිතයි. සසරින් ගැලවිලා නැහැ. නිවන නැහැ.

මුළු විස්තරයම නැවත මෙතැනින් කියවන්න

කයට දුක් දෙමින් අනුගමනය කරන පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලේ නැහැ. ඒ පිලිවෙත හැඳින්වූයේ  අත්තකිලමතානු යෝගය කියල. අද දවසේ නිවන් මාර්ගය යැයි සලකා කරන විවිධ භාවනා සම්බන්ධයෙන් විමසා බැලුවොත් ඒවා වැටෙන්නෙත් ඔය කියන අත්තකිලමතානු යෝගයටමයි. එතකොට ඉහත සඳහන් කල නියත මිථ්‍යා දෘශ්ඨියත්, දසවස්තුක සම්මාදිට්ඨියත් ප්‍රමාදයට හේතූයි. 

"සදා සතො මෝඝරාජ" කියා බුදුරජාණන් වහන්සේ මෝඝරාජ හට දේශනා කලේ සම්මා සතිය හෙවත් බලවත් නිවැරදි සිහිය නිරන්තරව වඩන්න කියලා. බලවත් සිහිය වඩන කෙනා සිටින්නේ අප්‍රමාදය තුලයි. එතකොට ඒ පව පිණ ධ්‍යානය බලවත් කරන, සසරට හේතු ඉතිරි නොවන නිසා. බලවත් සිහිය තුල මඤ්ඤමාණයට ඉඩක් නැති නිසා. ප්‍රමාදය පව තුලද, පිණ තුලද, ධ්‍යානය තුලද සිදුවන්නට පුලුවන් නිසයි පටිච්ච සමුප්පාද විග්‍රහයේදී සඳහන් වන්නේ අවිජ්ජා පච්චයා සංඛාර කියා. එතකොට සංඛාර කිව්වාම (කර්ම) පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන සංඛාර තුන් වර්ගයම පෙන්වා දී තිබෙන්නේ ඒ නිසා. 

සම්ප්‍රදායික දාන ශීල භාවනා කියන ක්‍රමයට දීර්ඝ කාලයක් තිස්සේ හුරුවී සිටින ලෝක සත්ත්වයා එයින් ඔබ්බට විමර්ශනාත්මකව කල්පනා කර බලන්නට හෝ ගවේශනය කරන්නට දක්වන්නේ බලවත් අකමැත්තක්. එයට හේතුව නිවනට ඒකායන මාර්ගය එය  බවට ඇතිකරගෙන තිබෙන බලවත් දෘශ්ඨියයි. ඒ දෘශ්ඨිය ඇට මස් ලේ ඇට මිදුලු දක්වා තදින් මුල් බැහැගෙන තියෙන්නෙ. උපෝසථය සමාදන් වීම, දන්දීම, සමථ භාවනා කිරීම හැරෙන්නට දීර්ඝ කාලයක් මුළුල්ලේ පරම්පරා කීපයක් ප්‍රමාදය සහ අප්‍රමාදය කියන්නේ කුමක්ද, එය වැඩිය යුත්තේ කෙසේද සහ වඩන්නේ කුමකටද කියා සිතා බලා නොමැත. ආර්යය මාර්ගයට ප්‍රවිශ්ඨ වීමට, සෝතාපන්න භාවය ප්‍රත්‍යක්ෂ කිරීමට තවමත් භාවනා කරන අය සිටිනවා. ඒ එදා කාලයේ පටන් මේ දක්වා පැමිණෙමින් තිබෙන සම්ප්‍රදායික ආගමික ස්වරූපය නිසයි. දාන ශීල භාවනා කිසිසේත් අයහපත් දේ නොවන අතර ඒවා කිරීමෙන් වැළකී සිටින්නට යැයි මෙයින් අදහස් නොකෙරේ. මේ ටික අයිති වන්නේ දසවස්තුක සම්මා දිට්ඨියට නම් එය ලෞකික බවත් ලෝකෝත්තර මාර්ග ඵල හෝ නිවන ලබන මාර්ගය නොවන බවත් වටහා ගැනීම ඉතාම යහපත්. ඒ නිසානෙ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලේ...

අප්පමාදො අමතපදං  පමාදො මච්චුනො පදං;
අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.

අමත පදය හෙවත් අමෘත පදය යැයි කියනු ලබන නිවනට ප්‍රවේශ විය හැකි එකම මාර්ගය අප්‍රමාදය හෙවත් සිහියයි. එය යෝණිසෝමණිසිකාරය,සතරසතිපට්ඨානය ලෙසින්ද විදහා දැක්විය හැකිය. එතකොට ඒ බව නොදැන අසිහිය, අයෝනිසෝමණසිකාරය සහිත කෙනා ජීවත් වෙලා හිටියත් සිටින්නේ මියගිය කෙනෙක් වගේ. මොකද ප්‍රමාදය මරණයට මාර්ගයයි. අප්‍රමාදි කෙනා මියයන කෙනෙක් නෙවෙයි.

-ඛුද්දක නිකාය-ධම්මපදය-අප්පමාද වග්ගය-21 වැනි ගාථාව-

මේ නිර්වචනය තුල මුළු බුද්ධ දේශනාවම සහ මුළු නිවන් මාර්ගයම තිබෙනවා. එය විස්තර වශයෙන් යමෙක් නුවනින් කල්පනා කලොත් ඔහුට මුළු ආර්යය අෂ්ඨාංගික මාර්ගයම යථා පරිද්දෙන් වටහාගන්නට හැකි වේවි. 

‘හන්ද දානි, භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා’’ති.

මහණෙනි, දැන් තොපට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී (කළයුතු දේ) සම්පාදනය කරව්.

-දීඝනිකාය-තථාගතපච්ඡිමවාචා සූත්‍රය-

මේ බුදුරජානන් වහන්සේ ගේ අන්තිම වචනයයි. මේ වචනය තුල ඇත්තේ අන් කිසිවක් නෙවෙයි. යමෙක් තුල තිබිය යුතු බලවත් සිහිය ගැනයි මේ බුදුන්ගේ අවසාන වචනය සඳහන් කරන්නේ. "වයධම්මා සංඛාරා" 

සියලු සංස්කාර ධර්මයන් විනාශයට පත්වෙනවා. සංස්කාර කියන්නෙ හේතූන්ගෙන් සකස්වූ දේවල්. එහෙම නැත්නම් කර්ම. එතකොට යමෙකුට අවබෝධ කරගන්න වෙනවා තමතමන් විසින් චේතනාන්විතව සකස් කරන ලද සියලු කර්ම විපාක අවස්ථාවෙන් පසුව වැයවෙලා විනාශ වෙලා යනවා කියා. පව් පින් ධ්‍යාන ඵල මේ සියල්ලම ඒ ඒ භවය ගෙනදී විපාකයට වැය වී නැති වෙලා යනවා.

පෘතග්ජන පුද්ගලයෙක් ඉතාම ඉහළින් සිල් රකිමින් දන් පින් කරමින් මරණයෙන් පස්සෙ දිව්‍ය ලෝකයක ඉපදෙනවා. දිව්‍ය සැප වළඳන දෙවියාට දුක දැනෙන්නෙ නැහැ. සැපම වළදනවා. ඒ නිසා දුකෙන් නිදහස් වීමක් හෝ දුක් විඳීමක් ගැන එයා දන්නෙ නැහැ. එයා විඳින දිව්‍ය සැප එයාම කරගත් දන්පින් ශීල සංඛාර හෙවත් කර්මයන්ගේ විපාකයක්. මේ සැප  විඳින්නෙ අර කලින් උපයාගත් සංස්කාර වලින්. එයා සැප විඳින්න විඳින්න ඒ සංස්කාර හෙවත් කර්ම ශක්තිය ගෙවිලා යනවා. නැවත දුකෙන් නිදහස් වෙන්නට දන් පින් කරන්න එයාට ඉඩක් නැහැ දුක නොදන්නා නිසා. ඉතිං මොකද වෙන්නෙ? ඒ දිව්‍ය ලෝකයේ ජීවත් වන්නට සකස් කරගත් කර්ම ශක්තිය මුළුමනින්ම ගෙවිලා ගියාම එයා දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට ඕනෙ. ඒක තමයි ධර්මතාවය. එතකොට ආයෙ ආයෙ සුගතියේ ඉපදේවිද?මිනිස් ලෝකයේ ඉපදේවිද? මොකද හිතන්නෙ? එයා සැප වින්දා මිසක දන්පින් කලේ නැහැ. සිල් රැක්කෙ නැහැ. එයා ඒ දිව්‍ය සැපටම ඇලිල හිටියෙ. ඇලි හිටිය නම් එයාට ගැලවෙන්න බැහැ ප්‍රේත ආත්ම භාවයෙන්. එහෙම නැත්නම් සතර අපායෙන්. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "ප්‍රමාදය" කියලා. වයධම්මා සංඛාරා කිව්වෙත් ඒකයි. සදාකාලිකව දෙවියෙක් හැටියට එයාට ඉන්න බැහැ. 

ඒ වගේම තමයි නිරයේ හෝ හතර අපායේ වැටුනු කෙනාට සැපක් ඇත්තේ නැහැ. කලින් ජීවිතයේ කල කළු කර්ම සංඛාර හෙවත් අපුඤ්ඤාභි සංඛාර නිසා විපාක හැටියට එයා හතර අපායට වැටුනෙ. අමුතුවෙන් දුක ගැන හිතන්න දෙයක් නැහැ. එයාගෙ මුළු ජීවිතයම කෙළවරක් නැති දුකක තියෙන්නෙ. දුකෙන් මිදෙන්න දන් පින් කරන්න විදියක් නැහැ. නිරයේ ප්‍රේතභාවයේ තිරිසන් භාවයේ දන්පින් කියා දෙයක් නැහැ. නමුත් අති දීර්ඝ කාලයක් එයා දුකම විඳිමින් නැවත නැවත නිරයටම හතර අපායට වැටෙමින් ඒ කර්ම ශක්තිය වැය කරනවා. එයාගෙ කර්ම ශක්තිය හිතන්න බැරි දීර්ඝ කාලයක් ගතවෙලා ගියාට පස්සෙ මුළුමනින්ම ගෙවිලා ගියාට පස්සෙ ඉතිරි වෙලා තියෙන කිසියම් දුබල කර්මයක විපාකයක් හැටියට මිනිස් ලෝකයේ දුක්ඛිත ජීවිතයක් ලැබෙනවා. එයද සමහරවිට මිත්‍යා දෘශ්ඨික ජීවිතයක් විය හැකියි. දසඅකුසල් දුගතිගාමී පාපයන් පිරුනු ජීවිතයක් විය හැකියි. එබඳු අය ගැන බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ "තමො තම පරායනො" කියල. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කියලා. එයා අඳුරේ ඉඳලා ඇවිත් ආලෝකය නොලැබ නැවත පැමිණි දිසාවටම අන්ධකාරයටම යනවා. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "ප්‍රමාදය" කියලා. වයධම්මා සංඛාරා කිව්වෙත් ඒකයි.

ඒ වගේම ඉතාම ගැඹුරින් භාවනා කරමින් ධ්‍යානඵල උපදවාගන්නා කෙනෙක් ඉන්නවා. ප්‍රථමධ්‍යානයේ සිට නෙවසංඤානාසසංඤායතනය දක්වා රූපී අරූපී ධ්‍යාන වඩමින් එයා සංස්කාර රැස් කරගන්නවා. ඒවාට කියනවා "ආනෙන්ජාභි සංඛාර" කියලා. මේ භාවනා නිවන් මාර්ගය කියල සමහර අය වරදවා වටහාගත්තත් මේවා පෘතග්ජන භාවය තුලම වැඩෙන සංස්කාර හෙවත් බලවත් කර්ම කියා ඒ අය කල්පනා කරන්නෙ නැහැ. ආනෙන්ජාභි සංඛාර වැඩීමෙන් නිවනට නොව සසරට යන බව නොදන්නාකම නිසා එතැනට මුලා වෙනවා. එහෙම මුලා වෙලා මරණයෙන් පස්සෙ රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක කල්ප ලක්ෂ ගනන් ආයුශ ලැබ ඉපදෙනවා. කල්ප ලක්ෂ ගනනක් ඒ බ්‍රහ්ම ලෝකයක අර ආනෙන්ජාභි සංඛාර වල විපාක වශයෙන් ජීවත් වෙනවා. දුකක් දැනෙන්නෙ නැහැ. ඕළාරික කයක් නැහැ. මනායතනය හෝ සංඥාව ඇසුරු කරගෙන ඉන්නවා. හැබැයි අර කර්ම ශක්තිය ගෙවි ගෙවී යනවා. පෘතග්ජන භාවය ඉක්මවා නැති නිසා කෙදිනක හෝ ඒ බලවත් කර්ම ශක්තිය ගෙවුන දාක නැවත ඉතිරි වන කිසියම් කර්ම ශක්තියක් අනුව සසර දුගතියේ හෝ සුගතියේ හෝ මිනිස් ලොව උපත ලබනවා. කල්ප ලක්ෂ ගනන් බ්‍රහ්මලෝක වල ජීවත් වෙද්දී මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේලා බොහෝ නමක් පහළ වී පිරිනිවනට පත්වී ගියද එයාලා දන්නෙ නැහැ. එයාලගෙ සසර ගමනේ දීර්ඝ භාවයද ඒ ආනෙන්ජාභි සංඛාරයේ බලවත් කමද නිසා සසර මිසක නිවන ශාක්ශාත් කරගන්නට හැකි වෙන්නේ නැහැ.

සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන  වඩමින්  බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.

ඒත් නුවන තියෙන කෙනා සද්ධර්ම  ශ්‍රවණය කරමින් දැනගන්නවා ඔය කොතැනට ගියත් සසර දුකින් මිදෙන්නෙ නැහැ නිකම් සිත රවටා ගැනීමක් විතරයි කරල තියෙන්නෙ කියල. ඒ නිසා ඒ කෙනා අප්‍රමාදය වඩමින් සසරට හේතු සකස් කරන චේතනා මූලික සංඛාර හෙවත් කර්ම සකස් නොකර සිටින්නට සිහිය පිහිටුවා ගන්නවා. කොහොමද ඒක කරන්නෙ?????

මඤ්ඤමානො ඛො, භික්ඛු, බද්ධො මාරස්ස; අමඤ්ඤමානො මුත්තො පාපිමතො’’ති.

තෘෂ්ණා දෘශ්ඨි මාන වලින්  මමය මගේය මගේ ආත්මයය යන මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා කෙනා  මාරයාට බද්ධ වෙනවා. එසේ නොකරන කෙනා මාරයා හා බද්ධ වීමෙන් මිදෙනවා. 

-සංයුත්ත නිකාය-ඛන්ධවග්ගය-මඤ්ඤමාණ සූත්‍රය-

එසේනම් මඤ්ඤමාණය හෙවත් මමත්වයෙන් ගැනීම සිදු වෙන්නේ කෙසේද? ත්‍රිවිධ විතර්කය නිසා. ඒ ගැන ඊලඟ ලිපියෙන් කථාකරමු.


-තවත් කොටසක් ඊලග ලිපියෙන්-


සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com

ඡායාරූප අනුග්‍රහය

https://www.pinterest.com



Post a Comment

2 Comments

  1. ඉතාමත්ම වටිනා ධර්ම කරුණු රාශියක් ඉහත ආත්මය හෙවත් මේ ජීවිතයේදීම ලෝකයේ උත්තරීතර බවට පත්වීමට මෙම ලිපියේ අඩංගු වී තිබෙනවා. ලෞකික ය නැත්තෙත් නෑ නමුත් ලෝකෝත්තර yata පාර කපා ගැනීමට අපිට මිනිසුන් වසයෙන් ලැබුන ක්ෂණ සම්පත්තිය මේ අපිට ලැබී තියෙන්නේ නමුත් මිනිසුන් අතරත් සෑම දෙනාටම මේ අවස්ථාව ලැබී නෑ සද්ධර්මය ඇසීමට ලැබුණොත් පමණයි මෙම අනර්ඝ අවස්ථාවක් හිමි වන්නේ . දේශක තුමා කියනා පරිදිම අපි විශේෂයෙන් ම අවධානය යොමු කළ යුත්තේ මෙම ්‍රිවිධ විතර්කය ට ඒ කියන්නේ කාම ව්‍යාපාද විහිංසා කියන විතර්ක තුනට එයින් අප විශේෂයෙන්ම සිහිය තබාගත යුත්තේ ්‍රිවිධ විතර්කයෙන් එකක් ආපු බව හඳුනාගැනීම ඒ වගේම ඒක අතීතයේ දෙයක් බව තේරුම් ගැනීම ඒ වගේම එයට එකතු වුණොත් පමාව බවත් එකතු නොවී සිටියොත් එය තමයි අප්‍රමාදය බවත්. ඒ වගේම අපි නිරන්තරයෙන් කතා කරන අයෝනිසෝ මනසිකාරය එකතුවීම බවත් යෝනිසෝ මනසිකාරය එකතු නොවීම බවත් අපි සිහියෙන් දැනගන්නවා නම් ගොඩක් වටිනවා මේ පිළිබඳව කරුණු කාරණා විස්තරාත්මකව ඔබතුමාගෙන් කියවා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මෙතුමා පහදා දෙන කරුණු කියවා කියවන සැමටම ේ අදාළ කරුණු තේරුම් ගන්නට ප්‍රඥාව ලැබේවා ඔබේ දැක්ම ගැඹුරු වේවා ඔබ අනුසෝතගාමී එක් වෙනුවට පටිසෝතගාමී ක් බවට පත්වෙලා සසරේ නිරෝධය දැකීමට හැකි වේවා සෑම දෙනාටම තෙරුවන් සරණයි.🙏🙏🙏🏻🙏🏻

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට ලිපිය මැනැවින් තේරුම් ගෙන බුදුරජාණන් වහන්සේ වදාල පරිදි නිවැරදි මාර්ගය පිලිබදව වටහා ගැනීම පිලිබදව. මෙම අදහස අපව තවතවත් දහම් ලිවීම පිලිබඳව උනන්දු කරවන අතර ලිපිවල අඩංගු ධර්ම මාර්ගය වටහාගත් එක් අයෙක් හෝ සිටීම පිලිබදව කළ්‍යාණ මිත්‍ර ඇසින් බලා සතුටු විය හැකිවෙනවා. තෙරුවන් සරණයි.

      Delete