මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක් ගලක් පුටුවක් මේසයක් ඇඳක් වගේ දෙයකට. ඒවාට හිතන්න බැහැනෙ. ශරීරය හෙවත් කයටත් එහෙමයි. ගස්ගල් ඇඳ පුටු මේස වලට විඳින්න බැහැනෙ. ශරීරයටත් එහෙමයි. හිතන්නත් බැහැ විඳින්නත් බැහැ විඳවන්නත් බැහැ. එහෙම හිතන විඳින විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්‍රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැනෙ. අතපය හොල්ලන්න,ගමන් කරන්න, ඉඳගන්න,නිදාගන්න ඒ කිසිවක් කරන්නත් ශරීරයට දැනුමකුත් නැහැ ස්වාධීන හැකියාවකුත් නැහැ. ශරීරය යන්ත්‍රයක් විතරයි.
යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නට බලශක්තිය සහ විධානය අවශ්‍යයිනෙ. ශරීරයේ බලශක්තිය තමයි කබලිංකාහාර හෙවත් ආහාර ජලය සහ හුස්ම. (කබලිංකාහාරය කියන්නෙ ඔය තරම් සරළ දෙයක් නෙවෙයි.එය ගැඹුරු කාරණයක්).
නමුත් ඔන්න ශරීරය. තමන්ගේ යැයි සම්මත ශරීරය වේවා බාහිර අනුන්ගේ යැයි සම්මත ශරීරය වේවා යථාර්ථය ඕකයි. ඉතින් ශරීරයක් තව ශරීරයකට හෝ යමකට ආදරය කරනවා, පෙම්කරනවා, කිව්වාම හරිද?එහෙම වෙනවා නම් ඒක මොන තරම් විකාරයක්ද කියා හිතෙනවාද? ශරීරයක් තව ශරීරයකට හෝ යමකට වෛර කරනවා ඊර්ෂියා කරනවා කිව්වාම හරිද?එහෙම වෙනවා නම් ඒක මොන තරම් විකාරයක්ද කියා හිතෙනවාද? කිසිවකුගේ ආත්මයක් නොවන, කිසිවකු නොවන, කිසිවකුට අයත් නැති හුදු ශරීරයේ පැවැත්ම සහ විධානය වෙන කිසිවක් නෙවෙයි සිතයි. මේ සිත තුලයි විඳීම හටගන්නෙ. මේ සිත තුලයි සිතීම හටගන්නෙ. ඒ හැම දේකටම සිත තුලයි තන්හාව තියෙන්නෙ. යම් තන්හාවක් තිබෙයිනම් එයට එකම හේතුව විඳීමයි. වෙනත් හේතුවක් නොමැත.
"වෙදනාපච්චයා තණ්හා ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා වෙදනාපච්චයා තණ්හා. වෙදනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථා ති ?
බුදුරජාණන් වහන්සේ එසේ වදාරා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අසනවා "ආනන්දය..යම් විඳීමක් හේතු කරගෙන තන්හාව ඇතිවෙයිද, එය මෙන්න මේ විදියට දැනගත යුතුයි" කියලා. "කෙනෙකුට යම් වෙලාවක, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, යන මේ විඳීම් නැතිනම් තන්හාවක් කියා දෙයක් තිබේද" කියා.
එතකොට මෙතන තියෙනවා මහා විශාල ගැඹුරු කාරණයක්. ඒ තමයි විඳීම හටගන්නේ කොතැනින්ද කියන කාරණය ආපස්සට ගිහින් පැහැදිලි කෙරෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත්. උත්තරය එතැන තියෙනවා. ආයතන වල ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නෙ. එතකොට ඇස කණ නාසය දිව කය කියන ආයතන වලට ගෝචර වන්නේ, එහෙම නැත්නම් ස්පර්ශ වන්නේ රූප. රූප කිව්වාම කණට,නාසයට,දිවට,කයට ගෝචර වන පෙනෙන නොපෙනෙන සියල්ලම. මොනවාද ඒ?
1.ඇසට පෙනෙන රූප රූපය
2.කණට ඇසෙන ශබ්ද රූපය
3.නාසයට දැනෙන ගන්ධ රූපය
4.දිවට දැනෙන රස රූපය
5.කයට දැනෙන පහස හෙවත් පොට්ඨබ්බ රූපය
දැන් මේ ටික එකිනෙකට ගැටුන පමණින් විඳින්නට බැහැ. මොකද ඇසට කණට නාසයට දිවට කයට හිතන්නට හෝ විඳින්නට හෝ බැරි නිසා. එසේ නම් මෙතනට සිත එන්නට ඕනෙ. එක සිතක් නෙවෙයි සිත් පහක්
දැන් ඒ ඒ තැනට සිත හෙවත් විඤ්ඤාණය පැමිණි විට ඒ ඒ රූප අරමුණු වල අරමුණු රසය සිත විඳින්නට පටන් ගන්නවා. ඒ අරමුණු රසය තුල කැමති බවක් හෝ අකමැති බවත් තියෙන්නට පුලුවන්. ප්‍රියමනාප බවක් හෝ අප්‍රියඅමනාප බවක්ද තියෙන්නට පුලුවන්. හැබැයි කිසිම බාහිර අරමුණක නිත්‍ය රසයක් නැහැ. බාහිර අරමුණ අරමුණක් විතරයි. සිතට දැනෙන විදියට අරමුණ ප්‍රියමනාප එකක් නම් සැප වේදනාවක්ද, සිතට දැනෙන විදියට අරමුණ අප්‍රිය අමනාප එකක් නම් දුක වේදනාවක්ද, අරමුණු මැදහත් එකක් නම් මැදහත් වේදනාවක්ද ඇති වේ. එතකොට විඳින්නේ ඇස කන නාසය හෝ රූප ශබ්ද ගන්ධ නොව ඒ අරමුනු වලින් සිතට දැනෙන රසයටයි බව දැන ගැනීම වැදගත්ය. මේවා සත්ත්වයාගෙන් සත්ත්වයාට සාපේක්ෂය. යමෙක් තිත්ත රසයට කැමති අතර තවකෙනෙක් පැණිරසයට කැමතිය. මිනිසුන්ට අසූචි අප්‍රිය අමනාප උනාට ඌරන්ට බල්ලන්ට අසූචි ප්‍රියමනාපය. යමෙක් ඒ ඒ හැඩයේ රූප වලට කැමති අතර තවකෙක් ඊට වෙනස් හැඩයේ රූප වලට කැමති විය හැකිය. ඒ නිසා මේ බාහිර තිබෙන කිසිම වස්තුවක නිත්‍ය රසයක් හෝ වටිනාකමක් නොමැත. ඒ එ් සත්ත්වයාට හැඟෙන දැනෙන පරිදි ඒවා අනිත්‍යය වේ. කෙසේ හෝ බාහිර රූපය උපකාරයෙන් අරමුණු රසය තුල හටගත් විඳීමට සත්ත්වයා කැමැත්තෙන් ඇලෙයි. නොඑසේ නම් අකමැත්තෙන් ගැටෙයි. ඒ ඇලීම සහ ගැටීම දෙකම සිතින් අල්ලාගැනීමට හේතු වේ. ඒ නිසා තන්හාව හටගනියි.
"ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො. ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති."
බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට ඉතාම වැදගත් න්‍යායය සමීකරණයක් මෙතැනදි පැහැදිලි කරනු ලබනවා.
1.මේ ත්‍රිවිධ වේදනාව කරුණු කොට ගෙන තන්හාව ඇලීම ඇතිවෙනවා.
2. තන්හාව කරුණු කොටගෙන නැවත නැවත රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු සෙවීම සිදුවෙනවා
3.සොයන කොට ඒ අරමුණුම නැවත ලැබෙනවා
4.එසේ ඒ අරමුණු ලැබෙන විට ඒ අරමුනු වල රසය හොඳ නරක කැත ලස්සන ආදී වශයෙන් වශයෙන් විනිශ්චය කෙරෙනවා
5.ඒ විදියට විනිශ්චය ලැබෙන විට අරමුණු රසය ගැන ඇලීම (බලවත් ඡන්දරාගය) හෝ ගැටීම(දුබල ඡන්දරාගය) හට ගන්නවා . එය ලෝභ හෝ ද්වේශ වශයෙන් මමය මාගේය යන මෝහය ඇති වෙනවා.
6.ලෝභ හෝ ද්වේශ වශයෙන් මමය මාගේය යන මඤ්ඤාමනය අතිකල්හි, දැඩිව අල්ලා ගැනීම සිදුවෙනවා
-දීඝ නිකාය-මහාවග්ගපාලි- මහා නිදාන සූත්‍රය-
වේදනාව විසින් ජීවිතය ඉහළටත් පහළටත් හෙලනු ලබනවා. ඒ අටලෝ දහම සමග බද්ධ වෙලා. විටෙක ජීවිතයේ විවිධ කාරණා නිසා හටගන්නාවූ වේදනාවන් කෙනෙකුට පහසුවෙන් දරාගත නොහැකිව පෙලා දමනු ලබනවා. අවිද්‍යා සහගත පාළුව කාන්සිය තුල තනිකමට ඇද දමනු ලබනවා. ඒ කැමති දේ නොලැබීම නිසා. කැමති දේ කියන්නෙ මිලමුදල් යානවාහන ගෙවල් දොරවල් රන්රිදී මුතුමැණික් පමණක් නෙවෙයි. සත්ත්වයා ආදරය කරුණාව සෙනෙහස නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. යම් පාර්ශවයකින් එය නොලැබෙන විට සත්ත්වයා මහා දුකකට පාලුවකට කාන්සියකට තනිකමකට ඇද දමනු ලබනවා. කෙනෙකුට එහෙම වෙන්නෙ අර මුලින් කී අනුසය තන්හාව තුල සැප සොයා යාම නිසා. මෙන්න මේ මට්ටමේ ආදරයක්,කරුණාවක්,දයාවක්, ප්‍රේමයක්, සෙනෙහසක් උනුසුමක් ලැබේවි කියන අනුසය තන්හාව ඕනෑම සත්ත්වයකු තුල ගොඩ නැගී තිබෙනවා. ඒත් අනුසය කියන්නෙ මිරිඟුවකට. මිරිගුව කියන්නෙ නැති දෙයක් තිබෙනවා කියා පෙන්වන දෙයකට.එය නිත්‍ය සංඥාව බවටද පත්වෙනවා. හිතේ තිබෙන මට්ටම ලෝකයේ කොහේවත් හෝ කා ලඟවත් නැති වෙනකොට, සත්ත්වයා අරමුනෙන් අරමුණට,පුද්ගලයාගෙන් පුද්ගලයාට එය සොයා යනවා. අවසානයේ ඉතිරි වන්නේ "මා සොයන දෙය මේ කා ලගවත් නැහැ. කොතැනකවත් නැහැ" කියන අවිද්‍යා සහගත මුලාව පිරි දොම්නසට දුකට පත්වීමයි.
ජීවිතය තුල හිත ගසක් වගේ පවත්වාගත හැකි නම්,එය කෙතරම් අගේද? ගහකට මහා බලාපොරොත්තු නැහැ. නමුත් අපට තියෙනවා. ඒ නිසා ගහකට නොදැනෙන මහා දුකක් බලාපොරොත්තු නිසා අපට දැනෙනවා. "මෙච්චර කරලත් මේ අයගෙ කිසිම කෙලෙහි ගුණයක් නැහැ. මෙයාලට මුල මතක නැහැ...මෙයාලට කෘතගුණය ගෑවිලාවත් නැහැ" ආදී විවිධ හේතු කාරනා වලින් මිනිස් සත්ත්වයා හිත රිදවාගන්නවා. ඒ ඇයි? යමෙක් සඳහා කරන කියන දේවල් වලින් පෙරලා යමක් බලාපොරොත්තු වන නිසා. බුදුදහමේ කෘතගුණය මහා ඉහළින් අගය කරනවා. එහෙත් කෙලෙස් සහිත, වහා වෙනස්වන පෘතග්ජන පුද්ගලයා තුල කෘතගුණය කෙසේ නම් බලාපොරොත්තු වන්නද? තන්හාව,මානය,දිට්ඨිය, ලෝබය ද්වේශය මෝහය සහිත කෙනාට අතීතය ගැන නෙවෙයි වර්තමාන මේ මොහොත ගැනවත් සිහියක් නෑ. මානය නිසා ද්වේශයට පත්වෙලා. ඊර්ශියාව ක්‍රෝධය රිදවීම එකටඑක කිරීම නිසා ද්වේශයට පත්වෙලා. සක්කාය දිට්ඨිය වැනි විපරීත දෘශ්ඨිය නිසා ද්වේශයට පත්වෙලා. ඉතින් අමතක වීම පුදුමයක්ද?
ගසක් හැම විටම තම යුතුකම ඉටුකරමින් කාලයක් ජීවත්වෙලා මැරිලා යනවා. ගස හොඳින් වැඩී අතුපතර පැතිරී මල්ඵල හටගන්වනවා. ඒවා ගස අනුභව කරන්නේ නැහැ. කැමති ඕනෑම සත්ත්වයෙකුට පරිබෝජනයට ගන්න අවසර ඉඩහැර ගස නිහඬව ඉන්නවා. ගස මහා නියංසායට වුව දැඩි අවුරශ්මිය වලකමින් සත්ත්වයන්ට සෙවණ සලසමින් ගිනිඅව්වේ පිච්චෙමින් ඉන්නවා. ගස කිසිවිටෙකත් පෙරලා යමක් බලාපොරොත්තු වන්නේ නැහැ. ගස තමන්ගේ යුතුකම ලෝකයාට නිහඬව ඉටුකරමින් සිටිනවා. ඒ නිසා ගසට බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැති නිසා දුකක් නැහැ.
ලෝක සත්ත්වයා බලාපොරොත්තු තුලයි ජීවත් වෙන්නෙ. බලාපොරොත්තු තුල තියෙන්නෙ සැප සොම්නස සෙවීම. නිත්‍ය වූ සැපක් නිත්‍ය වූ සොම්නසක් කොහේවත් නැහැ. අටලෝ දහම විසින් සැප දුකට පෙරලනු ලබනවා. ලාභය හෙවත් ලැබීම, පාඩුව හෙවත් අහිමි වීමට පෙරලනු ලබනවා. ප්‍රශංසාව ආදරය කරුණාව දයාව යන කාරනා, නින්දාවට අනාදරයට වෛරයට ඊර්ෂියාවට ක්‍රෝධයට පෙරලනු ලබනවා. එතකොට කැමති දේ ලැබෙන විට සතුටු වන සත්ත්වයා මේ අනිත්‍ය ස්වභාවය හමුවේ කැමති දේ නොලැබීම හෙවත් අකමැති දේ ලැබීම තුල මහා දුකකට පත්වෙනවා. උමතු වෙනවා. දිවිනසාගන්නවා.
මේ ත්‍රිවිධ වේදනාව එවන් විශාල හපන්කම් කරන දෙයක්. වේදනාව සාදා දෙන්නේ ඍජුවම බාහිර කවුරුවත් හෝ බාහිර වස්තුවක් නෙවෙයි. බාහිර දේවල්වල, බාහිර පුද්ගලයන්ගේ උදව්වෙන් උපකාරයෙන් සිතමයි වේදනාව සාදා දෙන්නේ. ඇසට පෙනෙන රූපයෙන්,කණට ඇසෙන ශබ්දයෙන්,නාසයට දැනෙන ගන්ධයෙන්, දිවට දැනෙන රසයෙන්, කයට දැනෙන පහසින්, විඳීම උපයාගන්නවා. විඳීමටයි සත්ත්වයා තන්හා කරන්නෙ. නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ විඳීම වින්දනය කවදාවත් සත්ත්වයාට ඇතිවීමක් ගෙන දෙන්නෙ නැති බවයි.
"ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො"
-සෑහීමක් නැති ලෝකයේ සත්ත්වයා හැමදාමත් තන්හාවට දාසයෙකි.
-මජ්ජිම නිකාය-රට්ඨපාල සූත්‍රය-
තන්හාව ස්වාමියා බවත්, තමා එහි වහළා බවත් සත්ත්වයා දන්නෙ නැහැ. ඒ නිසා නැවත නැවත සුඛ විඳීමට දාසයෙක් වෙනවා. ඇසට පෙනෙන රූපයට දාසයෙක් වෙනවා. කණට ඇහෙන ශබ්දවලට වහළෙක් වෙනවා. ඇසට පෙනෙන රූප සහ කණට ඇසෙන ශබ්ද වලට මුලාවෙන් දාස භාවයට පත්වන සත්ත්වයා විටෙක ඒවා නැවත නැවත විඳින්නට ගොස් ආනන්තරිය පාප කර්ම වලටද එහා ගිහින් සසරම විඳවන්නට හේතු හදාගන්නවා. එලොව මෙලොව දෙකම අපායක් කරගන්නවා. වින්දනයට දාසයෙක් වූ නිසා. දිවට දැනෙන රසයට මුලාවන සත්ත්වයා සීමාවක් නැතිව දිවෙන් රසය හොයනවා. දිවට ඇති අසීමාන්තික දාසභාවය නිසා කිසිදා සුවනොවන දුක්විපාක සහිත ලෙඩරෝග වලට ලක්වී මුළු ජීවිතයම දුකට හෙලාගන්නවා. කෑමට ඇති තන්හාව පෙරේතකම විසින් සුඛ වින්දනය සොයා ගොස් මහා දුක් විඳවීමක් බවට පත් කරගන්නවා. එය එක උදාහරණයක් පමණයි. කයෙන් පහස සොයමින් පහසට ලොල්වී එහි දාසයෙක් වන සත්ත්වයා සමහරවිට එයින්ම ජීවිතය පවා කෙළවර කරගන්නවා. සුරාපානයද එසේම ජීවිතය විඳවන්නට හේතුවන තවත් කාරණයක් වෙනවා.
ප්‍රාණඝාතය,සොරකම,වැරදි කාමසේවණය,බොරුකීම,මත්පැන් පානය කිරීම එසේ කෙදිනක හෝ ජීවිතය දරුණු ලෙස විඳවන්නටත්, ඒ දරුණු විඳවීම තුලම මියගොස් සතර අපායට වැටෙන්නටත් හේතු සකස් වෙනවා. වින්දනය එබඳු දරුණු දුක් විපාක වැඩිවශයෙන් ගෙනදෙන කාරණයක්.වින්දනයට මුලාවීම යනු සසරට මුලාවීම වෙනවා.
ලෝකයේ කොහේවත් දුක් වේදනාව නැහැ. ලෝකයේ කොහේවත් සුඛ වේදනාවත් නැහැ. දුක හදාගන්නේ අප විසින්මයි.සැප හදාගන්නේද අප විසින්මයි. දුකද සැපද නිත්‍ය නැහැ. එසේ නිත්‍ය වූවා නම් සදාකාලික දුකක් හෝ සදාකාලික සැපක් තිබිය යුතුයි. නිවන හැර සදාකාලික සැපක් වෙන කොතනකවත් නැහැ. මක්නිසාද යත් සොයාගිහින්, දාසභාවයට පත්වූ තන්හාව තුල සාදාගත් දුක සැප නිවන තුල නොමැති නිසාය. නිවනින් මෙහා දුක සැප විඳීම දෝලනය වෙනවා. එය දෝලනය වීම තුල සැපට ඇලී දුකට ඇලී සත්ත්වයා විඳවන්න පටන් ගන්නවා. දුකද අනිත්‍යයි සැපද අනිත්‍යයි කියා හරියටම දැනගත් දවසට එයා විඳවීම අතහරිනවා.
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං"
-මහා මංගල සූත්‍රය-11 වැනි ගාථාව-
ලාභ අලාභ ( ලාභ කියන්නෙ ලැබෙන දේවල්වලට.හිමිවන දේවල් වලට.උපයා සපයාගන්නා දේවල්වලට. අලාභ කියන්නෙ අහිමිවීම්, නැතිවීම්, විනාශවීම්, වෙන්වීම් ආදියට) නින්දා ප්‍රශංසා ආදී අටලෝ දහමේ ධර්මතාවය ඉදිරියේ, නොඇලී නොගැටී සිටින්නට හැකි නම් හිත කිසිම දෙයකින් කම්පා වෙන්නෙ නැහැ. ඒ කිසි දෙයකින් විඳවන්නෙ නැහැ. ඒ විරජං යැයි සඳහන් කල ලෝභ ද්වේශ මෝහ කෙලෙස් මලකඩය දුරුකර අශොකං හෙවත් සෝක නොකරන බවද මංගල කාරණයක්.
ඵුස්ස ඵුස්ස වයං පස්සං, එවං තත්ථ විරජ්ජතී"
ඇස නිසා හටගන්නා විඳීමද, කණ නාසය දිව කය නිසා හටගන්නා විඳීමද ක්ෂණයක් ක්ෂණයක් පාසා නැතිවන බිඳෙන ස්වභාවය දිහා නුවණින් දැක එය කිසිදා නිත්‍ය නොවන දුක හෝ සැපක් කියා දකින කෙනා ඒ කිසිදු විඳීමක් විඳවීමක් කොට ගෙන ඇලෙන්නේ නැත.
-සංයුත්ත නිකාය-වේදනා සංයුත්තය-සුඛ සූත්‍රය-
සමහරුන්ට සෙම් පිත් වාත කිපීමෙන් නොයෙක් ආබාධ හටගන්නවා. එයින් විඳවනවා.සමහරුන්ට දේශගුණය කාලගුනය වෙනස්වීමෙන් ආබාධ හටගන්නවා. නිදිමැරීම, දැඩිසේ කායික මනසික වෙහෙස නිසා ආබාධ හටගන්නවා. උපක්‍රමික වශයෙන් සතුන්ගෙන් සතුරන්ගෙන් ආබාධ හටගන්නවා. ඒවා වලින් විඳවනවා. කර්මය නිසා, කර්ම විපාක නිසා ආබාධ හටගන්නවා. ඒ නිසා ජීවිතයම විඳවනවා. ඒ විඳවීම තුල අන් අය සමග ද්වේශය ඇති කරගන්නවා. ගැටෙනවා. සමහරුන් අදක්ෂ නිසා, උපතින් ගෙන ආ කුසලතාවයන් නොමැති නිසා, අන් අය කරන වැඩ කරන විවිධ ක්ෂේත්‍රවල තමන්ගේ අදක්ෂකම නිසාත්, තමන්ගේ නොහැකියාව නොපිලිගන්නා නිසාත් අන් අයට ඊර්ශියා කරනවා.කුහකකම් කරනවා. නින්දා කරනවා. එයින් තමාම විඳවනවා. මහා අකුසල් රැස් කරගන්නවා. විඳවීමට හේතුව සොයන්නට වෙහෙසෙන්නේ නැතිව අන් අයට වරද පටවනවා. යමෙක් නිරන්තරව බෙහෙත් වලින් යැපෙනවා නම්, ඒ ආබාධ නිසා ඇතිවන විඳීමට හේතුව සොයාගත යුතු වෙනවා. මනස ලෙඩ වීමෙන් කය ලෙඩවන බව දහමේ සඳහන් වෙනවා. කරුණාව,දයාව, ආදරය, කෙලෙහිගුණය, මෘදුබව,කීකරු කම, තුලින් ස්වකීය දැඩි බව නොනැමෙන අධිමානී බව විඳවීම අතහැරිය හැකිබව සිතිය යුතු වෙනවා.
සෑම අරමුණක් පාසාම ඇතිවී නැතිවී යන ස්කන්ධ පඤ්චකය සහ අනිත්‍යය නුවනින් මෙනෙහි කලොත් ඒ ස්කන්ධ පඤ්චකය කෙරෙහි වේදනා සංඥා වලට ඇති තන්හාවෙන් මිදෙන්නට ඉඩ සැලසෙනවා. ඒ සඳහා තිබිය යුත්තේ මනා සිහියයි. තන්හාව ඇති උනොත් දැඩිව බැඳීයාම හෙවත් උපාදානය සිදු වෙනවාමයි. උපාදානය කියන්නෙ ඒ ඒ අරමුණ කෙරෙහි සිත අත්නොහැර බැඳීමයි. අත් නොහැර බැඳෙනවා කියන්නෙ නැවත ඕනෑම වේලාවක කැමති කැමති අයුරින් ඒ අරමුණ යලියලිත් සිහි කරමින් යලි යලිත් විඳින්නට සිදු වීමයි. ඒ විඳීම ඇබ්බැහියක් (Addiction)වී, නිරන්තරයෙන් ඒ වින්දනය ලබන්නට එය ඇස කණ නාසය දිව හෝ කය මෙහෙයවා ලබන්නට සිදුවේවි. එතකොට එය විඳීමක් නොව විඳවීමකි. ඇබ්බැහිවීමකින් ලැබෙන්නේ කෙටිකාලීන තාවකාලික සුවයක් වුවත්, ඒ සුවය සොයායන්නට ජීවිතයේ වැඩිම කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවේවි. එවිට ජීවිතයේ නිසිඵල නෙලා ගැනීම වෙනුවට සිදුවන්නේ අනර්ථකාමි රාග,ද්වේශ,මෝහ මූලික කෙලෙස් කන්දරාවක් ජීවිතයට එකතු කරගෙන එයින් දුකට පත්වීමය. ඇබ්බැහි වන්නේ මාරයාටය. මාරයාට අවශ්‍ය වන්නේද ලෝක සත්ත්වයා කාමයන්ට ඇද දැමීමටය. මාරයාගේ අවශ්‍ය ඉටුකිරීමට නිරන්තරයෙන්ම ඉදිරිපත් වන්නේ තන්හාවය. තන්හාව ඇති කිරීමට මූලික වන්නේ වින්දනයය. විඳීම විඳවන්නක් වන විට මාරයාගේ මූලික අවශ්‍යතාවය ඉටුවී "ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො" සෑහීමක් නැති ලෝකයේ සත්ත්වයා හැමදාමත් තන්හාවට දාසයෙක් කරගනිමින් විඳීම පසුපස හඹායන තත්වයට පත්කරයි.
එනිසා අටලෝ දහමට අනුව එන දුක වේදනාව යමෙක් උපේක්ෂාවෙන් ඉවසයිද,නොගැටෙයිද,හේතු විමසමින් එයට බද්ධ නොවෙයිද, එමෙන්ම අටලෝ දහමට අනුව එන සැප වේදනාව නොඉවසයිද, නොඇලෙයිද, හේතුව දකිමින් එයට බද්ධ නොවෙයිද, ඔහුට මඤ්ඤමාණයෙන් මම මගේ යනුවෙන් කිසිවක් නොගෙන මාරයාට බද්ධ නොවී සිටිය හැකිය.
තවත් කොටසක් ඊලග ලිපියෙන්
1.https://pixabay.com/
2.https://www.eastmojo.com/
3.https://maazieb-abloggingworld.weebly.com/
සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.
jcolombage@outlook.com
0 Comments