ධර්මය සහ ජීවිතය - 06 කොටස (නොපෙනෙන ලෝකය හෙවත් සිත)

 

මෙය ඉතාම ගැඹුරු සංකීර්ණ මාතෘකාවක්. මුලු බුද්ධ දේසනයම පාහේ තිබෙන්නේ මෙම මාතෘකාව මුල් කරගෙනයි. මෙම මාතෘකාවේ එන කාරණා තේරුම් ගන්නට කිසිදු ආමිස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් කල නොහැකිය. ඉතාම පහසු උදාහරණ කීපයක් ගෙන මෙය විග්‍රහ කරන්නට උත්සාහ ගනිමු.

1.නිවෙසක් තැනීම

අප කිසියම් දවසක අත්තිවාරමක් දමා සාමාන්‍ය නිවසක් ඉදිරිකරන්නට පටන් ගන්නවා. නිවස ඉදිකිරීමෙන් පසුව විශාල සතුටක් දැනෙනවා. නිසි දවසක ඒ ගෙදර පදිංචි වෙනවා. එය මගේ නිවසයි. කලක් යනවිට අර මුලින් පදිංචි වූ කාලයේ සිතට දැනුන මහත් උද්දාමය අඩුවෙන්නට පටන් ගන්නවා. එහෙත් ලොවේ කොතැනක ගියත් මගේ නිවස කී සැනින් සිතට එන්නේ අර හදාගෙන පදිංචි වී සිටින ගෙදර රූපයයි. බාහිර ලෝකයේ තවත් සුන්දර සුවිශාල අලංකාර ගෙවල් දකින විට "ෂාහ්..මගේ ගෙදරත් මේ විදියට තිබුනා නම්" කියා සියුම් හෝ සිතිවිල්ලක් සිතට දැනෙන්න පටන්ගන්නවා. "මටත් මෙහෙම ගෙයක් තිබුනා නම්" කියා සිතෙන්නට පටන් ගන්නවා. සිතට අනුව අපි අපේ ගෙදර යම් යම් වෙනස්කම් කරන්නට පටන් ගන්නවා.උඩුමහලක්, තාප්පයක්, නවීන අංගෝපාංග සහිත නානකාමර වැසිකිලි ආදිය, අපේ ගෙදරට එකතු කරනවා. දැන් නැවතත් සිත සතුටින් පිරෙනවා. දැන් ලෝකයේ කොතැනක ඉඳන් හෝ මගේ ගෙදර කියා සිහි කරන්නේ මේ නැවත හැදූ ගෙදරටයි. අප හොඳින් මතක තබාගත යුත්තේ අපි දෙවන වතාවට අලුත් ගෙදරක් හැදුවා නෙවෙයි. තිබුනු ගෙදරට සිතට අනුව තවත් දේවල් එක් කලා පමණයි. මෙය ප්‍රතිසංස්කරණය කියා හෝ යාවත්කාලීන හෙවත් update කිරීම හෝ , නැවත සකස් කිරීම කියා ගත හැකියි. 


2.පරිඝණකය update කිරීම

පරිඝණකය කියන්නේ දෘශ්‍ය තිරයක් (monitor) තියෙන, ඒ වගේම කිසියම් විද්‍යුත් පරිපථ කීපයක් සමග දත්ත ගබඩා කල හැකි දෘඪ තැටියක්, මෙමරි කාඩ් පතක් තියෙන කිසියම් යාන්ත්‍රණයක්. පරිඝණකය වෙනම දෙයක්.පරිඝණකයේ දිවෙන වැඩසටහන වෙනම එකක්. අප එය වින්ඩෝස් කියා ගනිමු. කලකදි අපි windows 98 භාවිතා කලා. කලක් යද්දි එහි කාර්යක්ෂම බව වේගය අඩු නිසා windows 2000, windows7,windows 8,windows10 ආදී ප්‍රතිසංස්කරණ වෙත ගියා. එකම පරිඝණකය අප මෙසේ විවිධ ආකාරයට නැවත සකස් කලා. ඒ සෑම විටම මගේ පරිඝණකය කියා සිතට දැනුනෙ අවසාන වතාවට කල යාවත්කාලීන කිරීමේ රූප ටිකයි. වින්ඩෝස් සමාගම හෝ වින්ඩොස් පරිශීලකයින් අවසාන යාවත්කාලීන කිරීමෙන් නතර වන්නේ නැහැ. ඊලඟට...ඊලඟට...ඊලගට මොනවාද එකතුකල යුතු විශේෂාංග, කුමක්ද එහි වේගය සහ කාර්යක්ෂම බව ආදිය පිලිබදව නිරතුරු සිතනවා. හැම විටම තිබෙන දේ ඉතාම කෙටි කලකින් යල්පැන ගිය දෙයක් බවට පත්වෙනවා. එහි අගය වටිනාකම ක්ෂය වෙනවා. එවිට යාවත්කාලීන කිරීමක් අප්ඩේට් එකක් අවශ්‍ය බව දැනෙනවා. සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් කුමක් හෝ "ඇරියස් එකක්" මේ හැමදේකම තියෙනවා. 

මේ උදාහරණ වලින් සිතෙහි ස්වභාවය යම් තරමකට අපට තේරුම්ගත හැකි වෙනවා. කුමක්ද ඒ? සිත හැම විටම සකස් කරන දෙය වර්තමානය වන බවයි. නමුත් සකස් කොට තිබුනේ අතීතයේදීයි. ඒ සකස් කල දෙය නැවත නැවත ප්‍රතිසංස්කරණය කල බවක්, යාවත්කාලීන කල බවක් අප්ඩේට් කල බවක් අපට දැනී නැහැ. 

කලින් ලිපියෙහි අපි කාරණා තුනක් සිහිපත් කරනු ලැබුවා.

1.ආරම්භ වේතසා 

2.අනුවිතක්කේති

3.අනුච්චාරෙති

මෙම වචන තුනෙන් අදහස් කරන සමස්ථ ක්‍රියාවලියම කර්ම හෙවත් සංඛාර රැස් කිරීමට හේතු වන බව ධර්මයෙහි සඳහන් වෙනවා. 

1. රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු නිසා අතීතයේ හටගත්  ඡන්ද රාගයට (ඡන්ද රාගය කියන්නෙ කැමැත්තෙන් ඇලීමයි)  මේ මොහොතෙහි බද්ධ වීම. එතකොට ඒ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු මුල්වරට පැමිණීමෙන් අනතුරුව අතීතයේදී එයින් හටගත් විඳීම් හෙවත් වේදනාවන් වලට ඇලී අනුසය වශයෙන් යමක් සිතේ  තිබුනේද, මේ මොහොතේදී ඒ අනුසය වේදනාවට වේදනා සංඥා සංඛාර වලින් 

යලිත් බද්ධ වීමද, (ආරම්භ වේතසා), ඒ අනුවම සිතට හැසිරෙන්නට ඉඩ හැරීම  (අනුවිතක්කේති)   වන අතර, ඒ අනුව නැවත නැවත සිතමින් ඒ අරමුණ හා සිතට බද්ධ වන්නට ඉඩ හැරීම (අනුච්චාරෙති) වෙයි. එතකොට අප නිතරම කර තිබෙන්නේ අරමුණු කෙරෙහි අතීතයේ හටගත් ඡන්දරාගයට මේ මොහොතේදී එකතු වීමයි. අනුවිතක්කේති (අනුව සිතීමේ ක්‍රියාවලිය) කියන වචනය ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. අතීතය අනුව අතීතයද, අතීතය අනුව යමින් වර්තමානයද, අතීතය අනුව යමින් වර්තමානයේ හිඳිමින් අනාගතයද, වර්තමානයේ හිඳිමින් වර්තමානයද අනුව විතර්ක කරනවා.

කලින් ලිපියෙහි සඳහන් කලා විතර්ක මොනවාද කියා.

1.කාම විතර්ක‍  2.ව්‍යාපාද විතර්ක  3.විහිංසා විතර්ක

එතකොට අතීත ඡන්දරාගයට මේ මොහොතේ බද්ධ වීමෙන් කරනු ලබන්නේ අප ඉහතකී නිවසක් සෑදීම සහ පරිඝණකය අප්ඩේට් කිරීමේ ක්‍රියාවලියම සිදුකරනු ලබන බවයි. නැවත සකස් කරනු ලබනවා. අභිසංඛාර හෙවත් ලෝභ ද්වේශ මෝහ වශයෙන් නැවතත් කර්ම සකස් කිරීම එමගින් සිදු කරනු ලබනවා. සකස් කරන්නේ හේතු මගින්. හේතු කියන්නෙ ලෝබ ද්වේශ මෝහ වලට. අනුසය ධර්මයක් හෙවත් අතීත සංඛාරයක් නැවත නැවතත් සකස් කිරීම තමයි ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සිදු වන්නේ. මෙය හරිම පුදුම සහගතයි. එය ලෝකය මනසින් සකස් කිරීමක් වුවත් අප සිතන්නේ එය ලෝකයේ හැමදාමත් තිබුන දෙයක් කියායි. මෝහය එයයි. 

සළායතන වලින් මතු මතුත් කැමති කැමති කැමති වින්දනය උදෙසා නැවත නැවත මේ අනුසය ධර්මයන්ට වර්තමාන අරමුණ ගැටගසමින් ඒවා බලවත් කරගනු ලබනවා. අනුසය ධර්ම බලවත් වන්නට වන්නට කරුනු සකස් වන්නේ චිත්ත අභ්‍යන්තරයේ ඇති දුක තවත් ඉදිරියට පවත්වාගෙන යාමක් බව සත්ත්වයාට වැටහෙන්නේ නැහැ. මෝහය නිසා. සිත පිණවීම පිණිස ඇස කණ නාසය දිව කය මනස තුලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදී අරමුනු රසයට ඇලීම් හා ගැටීම් වශයෙන් තන්හාවට පත්වෙමින් මඤ්ඤමානය තුල මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට මෝහයට පත්ව සක්කාය දිට්ටිය තරකර ගන්නවා. සම්මුතියේ සමාජ භාවිතාව තුල මම යැයි කීම වෙනස්ම එකක් වන අතර රූප ශබ්ද ගන්ධ ආදී අරමුනු වල අරමුණු රසය තුල ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් මම යැයි හැඟීම වෙනස්ම එකකි. ආත්ම දෘශ්ඨිය වන්නේ එයයි. මමයි බලන්නේ, මටයි ඇසෙන්නේ, මටයි ගඳසුවඳ දැනෙන්නේ, මටයි රසය දැනෙන්නේ, මටයි පහස දැනෙන්නේ, මගේ සිතටයි සිතෙන්නේ යන විතර්කය හැමවිටම ඔබද මමද ඇතුළු සත්ත්වයා මෝහය තුල ගිල්වා දමනු ලබනවා.

සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද?

අප පළමු ලිපියෙන්ම සඳහන් කලා ඇසට රූප පෙනෙනවා පමණයි, කණට ශබ්ද ඇසෙනවා පමණයි,නාසයට ගන්ධය දැනෙනවා පමණයි, දිවට රසය දැනෙනවා පමණයි, කයට පහස (පොට්ඨබ්බ) දැනෙනවා පමණයි

කියා. පලවෙනි ලිපිය මෙතැනින් කියවන්න

එය තවත් විස්තර කලොත්, ඇසට පෙනෙන බාහිර රූපය පිලිබඳව කිසිවක් ඇස දන්නෙ නැහැ. ඒ නිසා යමක් හෝ යමෙක් දුටු බවත්, ඒ සම්බන්ධ සැපදුක් මැදහත් වේදනාවක් හටගත් බවත්, එහි හඳුනන බවත් සිතට දැනී රූපය ඇසෙන් ඉවත්වන විට කිසිවක්ම ඇසේ හෝ සිතේ ඉතිරි නොවී නිරුද්ධ වී යනවා. ඒ තමයි පෙනෙන රූපයේ සහ ඇසේ ඇත්තම ඇත්ත ස්වභාවය.

එහෙත් ඒ පෙනෙන රූපය නිසා අරමුණු රසය හැටියට සුඛ වේදනාව හටගනියිද, ඒ රූපය තමාගේ ප්‍රියතම කෙනා බවට සංඥා සහ චේතනා සිතිවිලි හටගනියිද, ඒ ඔස්සේ සිතෙහි සිතිවිලි හටගනියි. ඒ සියල්ල වර්තමාන වේදනා සංඥා චේතනා අනුව නොව අනුසය විසින් ඉතිරි කොට තැබූ වටිනාකම් සහ අගය කිරීම්ය. එතකොට මේ නැවත දැකීම වශයෙන් සිත විසින් කලින් සකස් කල වටිනාකමට අනුව සකස් කල රූපයෙන් නැවත සුඛ වේදනාව සහ ඊට අනුරූපී චේතනා සිතිවිලි හටගනියි. එතකොට ඒවා දැන් වර්තමානයේ තිබෙන වටිනාකම් නොව අතීතයේ සකස් කල අගයන් වේ.

මේ කාරණාව පැහැදිලි මදි නම්, අපි සරළ උදාහරණයක් ගනිමු. අපිට කවුරුන් හෝ මිතුරෙක් තේ කෝප්පයක් පිලිගන්වනු ලබනවා. ඒ තේ කෝප්පයෙන් උගුරක් බොන අපි අසතුටු සිතින් කියනවා "අයියෝ සීනි මදිනෙ..කහටත් මදිනේ" කියලා. මේ සරළ උදාහරණයෙන් ඔබට තේරුම් යනවා ඇති අපගේ කැමති අකමැති බවේ අනුසය තන්හාව නේද මේ ආවෙ කියල. එහෙනම්  සීනි සහ තේ කහට වල ප්‍රමාණවත් නිවැරදි මට්ටම නේද අරමුණු රසයට ඇලීම හෙවත් ලෝබය කියා කියන්නෙ. කොහෙද මේ නියම සීනි මට්ටම තියෙන්නෙ. කොහෙද මේ නිවැරදි තේ කහට මට්ටම තියෙන්නෙ..????? අපේම හිතේ නේද? එතකොට ඒ සීනි මදි හෝ කහට මදි කියා ඇතිවන අසතුටු මට්ටම හෙවත් අරමුණු රසයට ගැටෙන බව කොහෙද තිබුනෙ?ඒත් හිතේ නේද? එසේ නම් අපට කැමති තේ කෝප්පය සහ අකමැති තේ කෝප්පය සාදා දුන්නේ අපේ මිතුරාද නැත්නම් අපේම සිතද? එසේ නම් කැමති හෝ අකමැති තේ කෝප්පය කියා අපට හමුවන්නේ අපේම හිත නෙවෙයිද? එතකොට අපේ සිත ඒ මට්ටමට පැමිණ තිබුනේ අද නෙවෙයි අතීතයේ නේද? එසේ නම් වර්තමාන අරමුණ ( තේ කෝප්පය සහ දිව) අපි අතීතයට ගැටගසා අතීතයට බද්ධ කොට නේද වර්තමානයේ රස විඳින්නට හුරු වී සිටින්නේ. 


මේ අනුව බලන විට, සැබෑවට නොමැති ‘මම’ කෙනකු සිතින්ම මවාගෙන සුඛ වේදනාවේ ඇලීම් මඟින් ද දුක්ඛවේදනාවේ ගැටීම් වශයෙන් ද යලි යලිත් ප්‍රතිසංස්කරණය කරන්නේ, නැවත සකස් කරන්නේ  සිතෙහි දුකම ය. දුක්ඛ ආර්යය සත්‍යය වශයෙන් ගත්විට කැමති දේ නොලැබීද,අකමැති දේ ලැබීමද දුකයි යන පරම සත්‍යය ඔය තේ කෝප්පයේ සරළ උදාහරණයෙන් ඔබට සිතා ගත හැකිය. කැමති දේ යනු අතීතයේ සකස් කරගත් අනුසය ධර්ම මට්ටමයි. එතකොට යම් දෙයකට කැමතිවීම යනු සුඛ ආස්වාදයක් සුඛ වේදනාවක් වුවත් ඒ සතුට සැපය එය ලැබෙන විට පමණි. සැප වේදනාවට කැමැත්තට ඇලෙන සත්ත්වයා, ඒ සැප වේදනාව යලියලිත් ඒ මට්ටමින්ම නොලැබෙන විට දුකට දොම්නසට පත්වීම ආර්යය සත්‍යයක් බව බුදුන් වදාලා. "යම්පි ඉච්ඡං න ලභති තම්පි දුක්ඛං" යම් කැමති දෙයක් තිබෙයිද, එය නොලැබෙන විට දුක හටගනියි. යලි ලබන්නට දුක උපදවා ගනියි.  ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ සැප වේදනා සීයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුක් වේදනාද සීයක් තිබෙනවා කියා. 

එතකොට මේ කැමති දේ කාමයන් වන අතර සත්ත්වයා ලොල් බව ඇති කරගෙන සිටින්නෙත්, කැමැත්තෙන් ඇලී සිටින්නේත් කාමයන්ට සහ කාමයන් නිසා හටගනු ලබන සැප වේදනාවට බවත් බුදුන් වහන්සේ වදාලා. 

 1.කර්මය

2.කර්මයට හේතුව

3.කර්ම වල වෙනස

4.කර්ම විපාක

5.කර්මයේ නැතිවීම සහ කර්ම රහිත තැන

6.කර්මය නැති කිරීමේ මාර්ගය

යන මේ කාරණා මනා නුවණින් දැනගත යුතු බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දී වදාලා.

“චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි" මහනෙනි චේතනාව කර්මය යයි මම කියමි.  මහණෙනි, ස්පර්‍ශය කර්මයන්ගේ නිදානය හෙවත් ඇති ඇතිවීමයි. මෙන්න මේ තැන ගැනයි අප දිගින් දිගටම කතාකලේ. කර්මයට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය කියන්නෙම බාහිර රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු හිතේ තිබෙන දත්තයන් වලට හෙවත් අනුසය තන්හා වලට ගැට ගැසීම, එසේ ගැටගසා මඤ්ඤමාණය කරමින් අරමුණු රසයට නැවත නැවත ඇලෙමින් ගැටෙමින් මම කොට, මගේ කොට, ආත්මය කොට ගැනීම නිසා ඇතිවන සංඛාර හෙවත් චේතනා මුල් කරගෙන සිතීම, කිරීම, කීමයි. මෙය අකුසල වන්නට පුලුවන්, පින් වෙන්නට පුලුවන්, භාවනා සමාධියකින් ලැබෙන සුව විඳීම වෙන්නට පුලුවන්. ඒවා සියල්ල නැවත නැවත සසරට ගෙනයන්නට සසර පැවැත්මට උපකාර කරන්නට මුල්වන්නාවූ කර්මයි. කර්මයේ ස්වභාවය තමයි ඊට අනුරූපී විපාක දීම. පුන්‍ය කර්මය වේවා, අකුසල කර්මය වේවා, භාවනා කර්මය වේවා චේතනාන්විතයි. චේතනාව මුල් වී කල දේවල්. එතකොට එයට විපාක සසරෙහි සුගතිය දුගතිය වුවත් ඒ හැම තැනම සත්ත්ව පුද්ගල භාවයමයි මුල් උනේ. සක්කාය දිට්ඨියමයි.පඤ්චඋපාදානස්කන්ධයමයි. ඒ නිසා ජරා මරණයෙන් සහ දුක්ඛ විපාකයෙන් ගැලවී නැහැ. 

කර්මයෙහි වෙනස දැනගත යුතුයි කියා බුදුන් වදාලේ එයයි. නිරයෙහි දුගතියෙහි විපාක විඳිය යුතු කර්මද තිබේ. ඒ කර්ම වලින් සුගතිය ප්‍රාර්ථනා කලාට සුගති සැප ඉල්ලුවාට ලැබෙන්නේ නැත. නිරයෙහි දුගතියෙහි විපාක විඳිය යුතු කර්ම සිදු වූවා නම් ඒකාන්තයෙන්ම නිරයෙහි දුගතියෙහි විපාක විඳිය යුතුමය. තිරිසන් ජාතියෙහි විපාක විඳියයුතු කර්මයක් ඇත. ඒ කර්මයට අනුව තිරිසන් ජාතියෙහිම ඉපිද විපාක විඳිය යුතුමය. ප්‍රේත ලෝකයේ විපාක විඳියයුතු කර්මයක් ඇත.ඒ කර්මයට අනුව ප්‍රේත ලෝකයේ ඉපිදි විපාක විඳිය යුතුමය. 

ප්‍රේත ලෝකයේ විපාක විඳියයුතු කර්මයක්  සිදුකොට මිනිස් ලොව ඉපදෙන්නට ප්‍රාර්ථනා කලාට පලක් නැත. එමෙන්ම මිනිස් ලොව ඉපදෙන්නට මුල් වන්නාවූ කර්ම සිදුවීම නිසා නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපදෙන්නට ප්‍රාර්ථනා කලත් නැත. ඒ හේතුවෙන් ඉපදෙන්නේ මිනිස් ලෝකයේමය. කර්මයේ ස්වභාවය එයයි. කර්මයට අනුරූපී විපාකයමයි ලැබෙන්නෙ. උදාහරණයකට ගතහොත් මුංබීජ වපුරා කොපමණ යාගහෝම කලත්, කොපමණ බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වාගෙන සිටියත්, කොපමණ දෙවියන් යැද්දත්, විපාක අස්වැන්න හැටියට ලැබෙන්නේ තිරිඟු හෝ වී හෝ, කුරක්කන් නොව මුං ඇටමය. මුං වපුරා මුංඇටම ලැබෙන න්‍යායයක් කර්ම විග්‍රහයේදී එයි. ඒ නිසා මිනිස් ලොව ඉපදෙන්නට මුල් වන්නාවූ හේතු කර්ම සකස් කොට දිව්‍ය ලෝකය හෝ බ්‍රහ්ම ලෝකය ප්‍රාර්ථනා කලාටද වැඩක් නැත. ලැබෙන්නේ මිනිස් ලෝකයමය. දෙව්ලොව ඉපිද විඳියයුතු කර්මයක් සිදුකොට, දිව්‍ය ලෝකය ප්‍රතික්ෂේප කොට මිනිස් ලොව හොඳයැයි පැතුවාට ඒත් පලක් නැත. දිව්‍ය ලෝකයේම ඉපිද විපාක විඳිය යුතු වෙනවා. මේ ආකාරයට කර්ම සිදු කිරීමෙන් සතර අපායේ හෝ, සුගතියේ හෝ භාවනාමය කුසලයෙන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝක වල ඉපදීම සිදුවෙයි. කුසල කර්මය වේවා, පිණ වේවා, අකුසලය පව වේවා සත්ත්වයා ගෙනයන්නේ සසරටය. ජරාමරණ සංඛ්‍යාත දුක්ඛ ආර්යය සත්‍යයටය. පින අවසන් වීමෙන් නැවත සතර අපායටත්, පව ක්ෂය වී පිණ කුසලය බලවත් වීමෙන් නැවත සුගතියට බ්‍රහ්ම ලෝකයටද, නැවත පිණ කුසලය ක්ෂය වී පව බලවත් වී සතර අපායටත් මේ නොනවතින සසර සැරිසැරීම සිදුවෙනවා. 


කර්මයන්ට මුල් වන්නේ ස්පර්ශයයි. ස්පර්ශය හටගන්නේ බාහිර අරමුණත්, ස්පර්ශ ආයතන වල ඇාස කණ නාසය ආදියත් සමග එකතු වන්නාවූ සිතයි. සත්ත්යාට සිත පහසුවෙන් තේරුම් ගත නොහැක්කේ අසිහිය නිසාය. අසිහිය තිබෙන්නේ අයෝණිසොමනසිකාරය නිසාය. හැම විටම සිහිය සහ නුවණත්, වීරියත් වඩනවා නම් සත්ත්වයාට සිත යම් දුරකට හෝ තේරුම් ගත හැකිය. එය චිත්තානුපස්සනාවද වන්නේය. සතර සතිපට්ඨානය කියන්නේ එක තැනක ඵලක් බැඳගෙන දෑස වසාගෙන වරු ගනන් සිටීම නොවන බව මෙයින් පැහැදිලි වේ. සතර සති පට්ඨානය සිදුවිය යුත්තේ සතර තැනක සතර ආකාරයෙන්ය. 

"තිට්ඨං චරං නිසින්නොවා සයානොවා යාවතස්ස විගධමිද්ධො"

ජීවිතය පවතින්නේ මේ සතර ඉරියව්වේය. සිටගෙන,හිඳගෙන,ඇවිදිමින්, සයනය කරමින් සිටීම සතර ඉරියව්වයි. ආගන්තුක කෙලෙස් හෝ අනුසය තන්හාව හටගන්නේ මේ ඉරියව් හතරේ ජීවිතය පවතින විටයි. මේ සතර ඉරියව්වේ ජීවිතය පවත්වාගෙන යනවිට කය පිලිබඳව, සිත පිලිබඳව, වේදනාව පිලිබඳව, ධර්මතාවය පිලිබඳව මෝහයෙන් නොගෙන මඤ්ඤමානය සිදුනොකොට, ලෝබ ද්වේශ මෝහ ඇති නොවන ආකාරයට සිත පැවැත්වීම සතර සති පට්ඨානයයි. 

එතකොට ස්පර්ශයෙන් හටගත් කර්මයට මුල් වන්නේද, ස්පර්ශය සමගම උපන් වේදනා සංඥා වේතනා වලින්ය. වේදනාසංඥා දෙකට තන්හා කරමින් ඒ අරමුුනු රසයට ඇලෙන හෝ ගැටෙන සත්ත්වයා ඒ අනුව කල්පනා කරමින් චේතනා පහළ කරමින් සිතින් කයින් වචනයෙන් කර්ම සිදු කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ඵස්ස නිරෝධයෙන් සංඛාර හෙවත් කර්ම නිරෝධය ඇතිවන බවයි. ලෝභක්ඛයො,දොසක්ඛයො,මොහක්ඛයො නිබ්බානන්ති යනුවෙන් වදාලා. ලෝබ ද්වේස මෝහ අනුසය දක්වාම නිරුද්ධ වන තැන නිවනයි. එය කම්මක්ඛයො හෙවත් කර්ම ක්ෂය වන තැනයි. 

                       තවත් කොටසක් ඊලඟ ලිපියෙන් 

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com
jcolombage@outlook.com

Post a Comment

0 Comments