ධර්මය සහ ජීවිතය - 05 කොටස-(සත්ත්වයා වරදෙහි බැඳීම)

 

අපට කිසිම දවසක සැබෑ වර්තමානය හමුවන්නෙ නැහැ. එයට හේතුව වර්තමානය යනු ක්ෂනයක කාලයක් පමණ නිසයි. ක්ෂනය කියන්නෙ ආසන්න වශයෙන් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් විතර. ඒ නිසා වර්තමාන කියන  ක්ෂණය තුල පඤ්චස්කන්ධයක් ඇතිවී නැතිවී යන බවවත් අපට හැඟෙන්නෙ නැහැ. එය ඒ තරමට වේගවත්. අප වර්තමානය කියා අවිද්‍යාව තුල පිලිගනු ලබන්නේ කලින් ක්ෂනය තුල ගෙවී ගිය අතීතයයි. අපට මේ වේගය නිසා වර්තමානය කියල දැනෙන්නෙ කලින් ක්ෂනය හෙවත් ආසන්නම අතීතයයි.  මේ අතීත වර්තමාන විග්‍රහය ඉතාම වැදගත් වෙනවා අප වරදෙහි බැඳීම ගැන යම් අදහසක් ගන්නට. 

මෙහිදී ධර්මයෙහි එන වචන තුනක් ඉතාම වැදගත් වෙනවා මේ වරදෙහි බැඳීම ගැන විමසන්නට

1.ආරම්භ වේතසා 

2.අනුවිතක්කේති

3.අනුච්චාරෙති

මෙම වචන තුනෙන් අදහස් කරන සමස්ථ ක්‍රියාවලියම කර්ම හෙවත් සංඛාර රැස් කිරීමට හේතු වන බව ධර්මයෙහි සඳහන් වෙනවා. 

"තීණිමානි, භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? ලොභො නිදානං කම්මානං සමුදයාය, දොසො නිදානං කම්මානං සමුදයාය, මොහො නිදානං කම්මානං සමුදයාය."

මහණෙනි..කර්ම රැස්වීම පිණිස හේතු තුනක් තියෙනවා.ලෝභය(රාගය) එක් හේතුවක්. ද්වේශය තවත් හේතුවක්. මෝහය තුන්වැනි හේතුවයි. 

"යං, භික්ඛවෙ, ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, තං කම්මං අකුසලං තං කම්මං සාවජ්ජං තං කම්මං දුක්ඛවිපාකං, තං කම්මං කම්මසමුදයාය සංවත්තති, න තං කම්මං කම්මනිරොධාය සංවත්තති. යං, භික්ඛවෙ, දොසපකතං කම්මං දොසජං දොසනිදානං දොසසමුදයං, තං කම්මං අකුසලං තං කම්මං සාවජ්ජං තං කම්මං දුක්ඛවිපාකං, තං කම්මං කම්මසමුදයාය සංවත්තති, න තං කම්මං කම්මනිරොධාය සංවත්තති."

මහණෙනි..ලෝභය මුල් කරගෙන, ලෝභය නිසා උපදින, ලෝභය නිදාන කොටගෙන, ලෝබය හේතු කරගෙන යම් කර්මයක් තියෙයිද, එය අකුසල කර්මයකි. ඒ කර්මය (අප විසින්) කරන වරදකි. එමෙන්ම ඒ කර්මය දුක් විපාක පිණිස පවතින තවත් කර්මයන් රැස් කිරීම පිණිස පවතින දෙයක්ය. ඒ කර්මයෙන් කර්ම ක්ෂය කරන්නට බැහැ. ඒ වගේම ද්වේශය නිසාද, මෝහය නිසාද, යම් කර්මයක් උපදියිද, එය අකුසල කර්මයකි. ඒ කර්මය (අප විසින්) කරන වරදකි. එමෙන්ම ඒ කර්මය දුක් විපාක පිණිස පවතින තවත් කර්මයන් රැස් කිරීම පිණිස පවතින දෙයක්ය. ඒ කර්මයෙන් කර්ම ක්ෂය කරන්නට බැහැ. 

-අංගුත්තර නිකාය-තික නිපාත- සම්බෝධි වග්ගය- පඨම කම්ම නිදාන සූත්‍රය-


එතකොට අකුසල මූලය සහ අකුසල කර්මපථය කියා දෙයක් මෙතැනදි හමුවෙනවා. එය දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා සසර වරදෙහි බැඳීම තේරුම් ගැනීම පිනිස.

පාණාතිපාතො ඛො, ආවුසො, අකුසලං, අදින්නාදානං අකුසලං, කාමෙසුමිච්ඡාචාරො අකුසලං, මුසාවාදො අකුසලං, පිසුණා වාචා අකුසලං, ඵරුසා වාචා අකුසලං, සම්ඵප්පලාපො අකුසලං, අභිජ්ඣා අකුසලං, ව්‍යාපාදො අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං - ඉදං වුච්චතාවුසො අකුසලං. කතමඤ්චාවුසො, අකුසලමූලං? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං - ඉදං වුච්චතාවුසො, අකුසලමූලං.

-සම්මාදිට්ඨි සූත්‍රය- මජ්ජිම නිකාය-මූල පණ්ණාසකය-

කුමක්ද මේ අකුසලය කුමක්ද මේ අකුසල මූලය -  

01.ප්‍රාණඝාතය අකුසල්ය
02.සොරකම අකුසල්ය
03.වැරදි ලිංගික හැසිරීම අකුසල්ය
04.බොරුකීම අකුසල්ය, 
05.කේලාම් කීම් අකුසල්ය, 
06.ඵරුෂවචන කීම අකුසල්ය, 
07.නිෂ්ඵල හිස් කථාකීම අකුසල්ය, 
08.අධික ලෝභය අකුසල්ය, 
09.බලවත් ක්‍රෝධය අකුසල්ය, 
10.වැරදි දෘෂ්ටිය අකුසල්ය,

 ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.

ඇවැත්නි, අකුසලමුලය කියන්නෙ කුමක්ද? ලෝභය අකුසල් මූලයි, ද්වේෂය අකුසල්මූලයි, මෝහය අකුසල්මූලයි, ඇවැත්නි, මේ අකුසල් මුල්යයි කියනු ලැබේ.

මෙන්න මෙතැනින් සසරට සත්ත්වයා ඇද වැටෙන මාරයාගේ උගුල හසුවෙනවා. මේ තැන ඉතාම සැලකිල්ලෙන් විමසා බැලිය යුතු වෙනවා. 

1.ලෝභය ද්වේශය මෝහය හටගන්නේ කොතැනින්ද?

උත්තරය - ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් බවයි. වඩාත් පැහැදිලිවම කිවහොත් ඇස තුලින්, කණ තුලින්, නාසය තුලින්,දිව තුලින්, කය තුලින්, බවයි. 

2.ලෝභය ද්වේශය මෝහය තියෙන්නේ ඒ තැන් වලද?

උත්තරය - නැත. ඒ කිසිම තැනක ලෝභය ද්වේශය මෝහය නැත.

3.හටගන්නට මුල් වන්නේ එතැනින් වූවත්, ඒ කිසිතැනක ලෝභය ද්වේශය මෝහය නැත්නම්, ලෝභය ද්වේශය මෝහය තිබෙන්නේ කොහේද?

උත්තරය - ලෝභය ද්වේශය මෝහය කොහේවත් නැත. එහෙත් දකින රූපය කෙරෙහි ඇසෙන ශබ්දය කෙරෙහි, දැනෙන ගන්ධය හෝ රසය හෝ පහස කෙරෙහි කිසියම් විතර්කයකින් සම්බන්ධ වෙයිද කිසියම් වටිනාකමක් ඒ කෙරෙහි දෙයිද, එය කිසියම් ආකාරයකට පිලිගනියිද නැත්නම් ප්‍රතික්ෂේප කරයිද, ඒ විතර්කය විසින් ලෝභය ද්වේශය මෝහය  උපදවනු ලබනවා.

ඡස්සු ලොකො සමුප්පන්නො
ඡස්සු කුබ්බති සන්ථවං
ඡන්නමෙව උපාදාය
ඡස්සු ලොකො විහඤ්ඤති

සළායතන හටගත් විට ලෝකය උපදියි. සළායතන පවතින විට කෙලෙස් ලෝකය සංවාසය (එක්ව වාසය) කරයි . සළායතනයන්ම ඇසුරු කරගෙන ලෝකය පවතියි. සළායතනයන් තිබෙන තාක් ලෝකය පෙලෙයි.

(හේමවත සූත්‍රය -සුත්ත නිපාතය)

මෙම ගාථාවෙන් ඒ න්‍යායය තවත් පැහැදිලි වෙනවා. සළායතන හටගත් විට, එනම් ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය හෝ මනස හෝ කුමක් හෝ හට ගැනීම තමයි සළායතන හටගැනීම යනුවෙන් සඳහන් වෙන්නෙ. ඇස හටගත්තා නම් රූප ලෝකය උපදියි. කණ හටගත්තා නම් ශබ්ද ලෝකය හටගනියි. නාසය හට ගත්තා නම් ගන්ධය නම් ලෝකය ඉපදෙයි. මේ ආදී වශයෙන් හටගන්නා ලෝකය පිලිබඳව ත්‍රිවිධ විතර්කයෙන් විචාරය කොට ඒ විචාරය හා බද්ධ වෙයිද ඊට අනුරූපීව ලෝභය ද්වේශය මෝහය හටගෙන තන්හා සංයෝජනයට ලක්වෙයි. 

නන්දි සංයොජනා ලොකො
විතකස්ස විචාරණා
තණ්හාය විප්පහානෙන නිබ්බානමීති වුච්චති

තණ්හාව ලෝක සත්ත්වයාගේ සංයෝජනයයි. විතර්කය ඔහුගේ විචාරයයි. එම තන්හාවේ ප්‍රහාණය නිවනයි.

(උදය සුත්‍රය - සුත්ත නිපාතය)

බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාම ගාම්භීරයි. ඒ වගේම සරළයි. කිසිදා කිසිවකුට තේරුම් ගන්නට බැරි අසීරු මාර්ගයක් උන්වහන්සේ දේශනා කොට නැහැ. වැල්වටාරම් මැද හිස අවුල්වන කිසිවක් උන්වහන්සේ ලෝක සත්ත්වයාට උගන්වා නැහැ. ඒ ගරු ගාම්භීර වූ එහෙත් සරළ කාරණාව, විවිධ දෘශ්ඨීන් මතිමතාන්තර අන්ධ විශ්වාසයන් ඉවත ලා මනා නුවනින් වටහා ගතහොත් යායුතු මාර්ය ඉතාම සරළයි. ඉතාම සුන්දරයි. සැනසිලි සහගතයි. 

නන්දි සංයොජනා ලොකො - ලෝකය හා ඇලෙන බැඳන සංයෝජනය තන්හාවයි. මේ කාරණය තේරුම් ගන්නට කාටවත් අසීරු නැහැ. සංයෝජනය කියන්නෙ එකක් තව එකකට මිශ්‍රවෙනවා එකතුවෙනවා යන අර්ථයයි. එතකොට ලෝක සත්ත්වයා ලෝකයට සංයෝජනය වෙනවා කියන කාරණය සරළව තේරුම් ගන්නෙ කොහොමද? ලෝකය කියන්නෙ මොකක්ද කියා මුලින්ම තේරුම් ගන්නට උවමනායි. 

ලෝකය කියන්නෙ රූප,ශබ්ද,ගන්ධ,රස, පහස(පොට්ඨබ්බ) සහ මනසට දැනෙන විවිධ අරමුණු. එතකොට ලෝකය කියා හමුවන්නෙ ඇස කණ නාසය දිව කය මනස සහ ඊට අදාල රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු ටික. ඊට එහා ලෝකයක් පිලිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා නැහැ. සළායතනයන්ගේ හට ගැනීමම ලෝකයයි. දැන් ඒ කාරණය පැහැදිලියි. 

එතකොට ලෝකය හා ලෝක සත්ත්වයා සංයෝජනය වන්නේ යැයි සඳහන් වන්නේ මොකක්ද? ඇසට සහ රූපයට තන්හා කිරීම, කණට සහ ශබ්දයට තන්හා කිරීම. නාසයට හා ගන්ධයට තන්හා කිරීම, දිවට සහ රසයට තන්හා කිරීම, කයට හා පහසට තන්හා කිරීම, මනසට සහ අරමුනු වලට තන්හා කිරීම.

එතකොට ඇත්තටම තන්හා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස ආදියටද? බැලූ බැල්මට නම් එසේයි. ඒත් සත්‍යය ඊට එහා ගිය දෙයක්. කුමක්ද සත්‍යය? මේ රූප ශබ්ද ගන්ධ ආදී දේවල් වල කිසියම් අරමුනු රසයක් තිබෙනවා. එය සැප සොම්නස සහිත විඳීමක් විය හැකියි, දුක් දොම්නස සහිත විඳීමක් වියහැකියි එසේත් නැත්නම් මැදහත් විඳීමක් විය හැකියි. ඒ විඳීම් තුනට කියනවා ත්‍රිවිධ වේදනාව කියා. සැප දුක් මැදහත් වේදනා යනුවෙන් හැඳින්වෙන ඒ අරමුනු රසය ඇසට හෝ කණට නාසයට දිවට කයට විඳින්න බැහැ. විඳින්නේ සිතයි. විඳින දෙය හඳුනා ගන්නේද සිතයි. ඇසට පෙනෙනවා පමණයි. කණට ඇදෙනවා පමණයි. නාසයට දිවට කයට දැනෙනවා පමණයි. ඒ දැනෙන දෙය විඳින්නේද හඳුනාගන්නේද සිතයි. 


දැන් සංයෝජනය වන්නේ කෙසේද කියා පැහැදිලි කරගත හැකියි.

ඇසේවත් රූපයේවත් සංයෝජන නැහැ. කනේවත් ශබ්දයේවත් සංයෝජන නැහැ. නාසයේවත් ගන්ධයේවත් සංයෝජන නැහැ. දිවේ වත් රසයේවත් සංයෝන නැහැ. කයේවත් පහසේවත් සංයෝජන නැහැ. ඇසයි රූපයයි ඇසේ හටගන්නා සිතයි නිසා හටගන්නා වේදනාවයි සිතයි අතර තමයි සංයෝජනය සිදුවන්නේ. රූපය නිසා හටගන්නා ත්‍රිවිධ වේදනාවට කැමැත්ත ඇතිවී ආශ්වාදයෙන් ඇලී එය නැවත නැවත ලබන්නට ඇතිවන නන්දිය හෙවත් කැමැත්තයි තන්හාව. ඒ තන්හාවයි රූප ලෝකයට සංයෝජනය වන්නේ. ඒකත් ඉබේම නෙවෙයි. වේදනා පච්චයා තන්හා.

විතකස්ස විචාරණා -විතර්කය ඔහුගේ විචාරයයි.කුමක්ද විතකස්ස කිව්වෙ?

විතර්ක තුනක් දහමෙහි සඳහන් වෙනවා.    

1.කාම විතර්ක‍  2.ව්‍යාපාද විතර්ක  3.විහිංසා විතර්ක

ඔබත් මමත් සෑම කෙනෙක්ම සෑම මොහොතකම ඉන්නෙ  ඔන්න ඔය ත්‍රිවිධ විතර්කය ඇතුලෙ. ඔය කිසිදු විතර්කයක් නැති වෙලාවක් සොයන්නට ඉතාම අසීරුයි. කාම විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන ප්‍රියමනාප සැප උපදවන සිත කැමත්තෙන් ඇලෙන සිතිවිලි වලට. වස්තු කාම කියන්නෙත් ඒවාට. ව්‍යාපාද විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන අප්‍රිය අමනාප දුක කේන්තිය වෛරය නොරුස්නා බව ක්‍රෝධය උපදවන සිත අකමැත්තෙන් ගැටෙන සිතිවිලි වලට. විහිංසා විතර්ක කියන්නෙ ඒ වය්‍යාපාද විතර්ක නිසා ඇතිවන පලිගන්නට, රිදවන්නට, ගහන්නට, බනින්නට, එකට එක කරන්නට, මරන්නට, හිංසා කරන්නට පහළවන චේතනා සිතිවිලි වලට. මේ සියලු විතර්ක ගොඩනැගෙන්නෙ වර්තමාන රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණ සමග අතීත දත්තයන් ස්පර්ශ වීමෙන්. 


සත්ත්වයා වරදට බැඳෙන්නට පටන් ගන්නේ කුඩා කාලයේදීමයි

දරුවෙක් යම් යම් දේවල් වලට තන්හා කරමින් උපාදාන සකස් කරන්නේ කවදා දැයි හරියටම කිව නොහැකියි. එහෙත් "පභස්සර මිද්ධං භික්ඛු චිත්තං" යන න්‍යායයට අනුව අලුත උපන් බිළිඳාගේ සිත ප්‍රභාශ්වරය. එය කිලිටි වී නැත. නමුත් ඒ සිත ටිකෙන් ටික කිලිටි වන්නට පටන් ගනී. ඇස කණ ආදී ස්පර්ශ ආයතන ක්‍රමයෙන් මෝරා යද්දී තම මවට, පියාට, සමීපතම අයට, සෙල්ලම් බඩු වලට, ඇලුම් කරන්නට පටන් ගනී. ඒවා නිසා සිතෙහි උපදින ත්‍රිවිධ වේදනාවට අනුව සුඛ වේදනාවට ඇැලයි. දුක වේදනාවට ගැටෙයි, හඬයි. ප්‍රතික්ෂේප කරයි. ඉන්පසුව ඒවා දකින දකින මොහොතක් පාසා තම මනසේ සකස් කරගත් සුඛ වේදනාව සිහිපත් කොට, ඒ වේදනාවට එකතු වෙමින් සතුටු වෙයි. ඒ නිසා දරුවාට මව පියා සමීපතමයින් සෙල්ලම් බඩු ආදිය නිත්‍ය සුඛ ආත්ම හැටියට මනසේ දැඩිව තැන්පත් වේ හෙවත් උපාදාන වේ. එසේ වීමෙන් "අම්මා බබාගේ...තාත්තා බබාගේ......ආච්චි සීයා බබාගේ....සෙල්ලම් බඩු බබාගෙ යනුවෙන් ඒ දේවල් වලට මනසින් වටිනාකම් දෙමින් මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගෙන මඤ්ඤමානයේ යෙදෙයි. 

සංකප්ප රාගො පුරිසස්ස කාමො - මනස තුල හටගන්නා සංකල්පයමයි පුද්ගලයාගේ කාමය වන්නේ

එසේ මඤ්ඤමාණයෙන් තමාගේ යැයි සකස් කරගත් සියල්ල අනුසය තන්හාව හැටියට මනසෙහි ඉතිරි වෙයි. ක්‍රමයෙන් දරුවා වැඩෙත්ම සළායතන මුහුකුරා යද්දි මඤ්ඤමානයෙන් බද්ධ වන්නාවූ අරමුනු වැඩිවෙයි. පාසැල,මිතුරන්, රූපවාහිනී,චිත්‍රපට, ක්‍රීඩා,සංගීතය, නැටුම්, කාන්තාවන්,ආදරය, ලිංගිකත්වය, ආදී අරමුනු වැඩිවෙත්ම මඤ්ඤමානය වේගවත් වෙත්ම මනසෙහි ගොඩ ගැසෙන අනුසය තන්හාවද වැඩි වෙයි. මෙන්න මේ ආකාරයට ඇලෙමින් ගැටෙමින් සතුටු වෙමින්, දුක් වෙමින් දරුවා තරුණ වියට පත්වෙමින් මැදිවියට පත් වෙමින්, මහලු වියට පත් වෙමින් අනුසය තන්හාවම ගොඩනගයි. කුඩා කල උපාදාන කල සමහර දේවල් මැදවිය මහළු විය පැමිනෙත්ම ක්‍රමයෙන්ම වෙනස්වී ගියත්, ඒ වෙනස්වී යමින් අලුත් අලුත් උපාදානයන් ඇති වන්නට  කුඩාකල උපාදාන කල අරමුනු වෙතින් ලද අනුසය තන්හාව බීජයක්  වෙයි. 


එවිට කුඩා කල පටන් මරණය දක්වා අවිද්‍යාවෙන් පිරුනු පුද්ගලයා කර තිබෙන්නේ අනුසය තන්හාව ගොඩ නගමින් එයම තළුමරමින් එයම ජීවිතය බවට පත්කරගෙන සිටීමය. සැප දුක ලෝකයේ පවතින දෙයක් බවට කල්පනා කොට එයට ඇලීමෙන් ගැටීමෙන් මුලාවට පත්වේ. එසේ සැප දුක ලෝකයට අයිති දෙයක් බවටත්, සැප දුක තියෙන්නේ බාහිර ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ආදියේ බවටත් නිත්‍ය සංඥාවෙන්  මුලාවට පැමිනේ. සැප ලෝබයෙන්ද දුක ද්වේශයෙන්ද ගෙන ඒ සියලු හැඟීම් තමාට අයත් තමාගේ දේ බවට ඇතිකරගත් සංකල්පය මෝහයයි. එබඳු හැඟීම් අල්ලා ගැනීමෙන් ග්‍රහනය කරගැනීමෙන් මම නම් සංකල්පය ගොඩනැගෙයි. සිතට නැගෙන හැමදේම මම යැයි ගන්නා මුලාව එයයි.එවිට එය මගේ වී මගේ ආත්මය විදින්නා මමය යන අදහස  මනස තුල  ගොඩනැගෙයි. 


එසේ වන විට සත්ත්වයා මෙලොව සහ පරලොව සැප විඳීම වෙනුවෙන්, දුක නැතිවීම වෙනුවෙන් විවිධ පුන්‍ය කර්ම සිදු කරයි. ලෞකික ධ්‍යාන සමාධිය බලාපොරොත්තුවෙන් භාවනා කරයි. එසේ කරනු ලබන හැම දෙයක් තුලම ආත්ම දෘශ්ඨිය වශයෙන් කරනු ලබන්නෙක් සිටින අතර කරනු ලැබූ දෙයින් ලද සුඛ වින්දනයට ඇලුම් කොට පඤ්ච උපාදානස්කන්ධයක් සාදාගනියි. උපාදානයේ ප්‍රතිඵලය මත අනුසය මනස තුල තැන්පත් වෙයි. මරනාසන්න මොහොතේ මේ තන්හා අනුසය අනුව කාම සුගතියේ හෝ, රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝකයක හෝ උත්පත්තිය ලබයි. එහෙත් ඒ නිසා සසරින් මිදී නොමැති අතර ජරාමරණ නිරුද්ධ කර නොමැත. මෙලොව සැපත,ලෞකික දියුණුව සඳහා පාප කර්ම සිදු කිරීමෙන්ද මේ ආකාරයටම තන්හා අනුසය මත කාම දුගතියේ සතර අපායේ උපත ලබයි.  එතකොට සසරෙහි මුලාවද පිණ පව භාවනා ධ්‍යාන තුල ගොඩ නැගෙයි. පව් කරන්නේද පින් කරන්නේද ධ්‍යාන තුල සිටින්නේද මම යනු එයින් අදහස් වේ. තන්හා අනුසය එතැනදි එකතු වෙයි. අනුසය හට ගන්නේ උපාදානයේ ප්‍රතිඵලයක් හැටියටයි. අනුසය යනු පඤ්ච උපාදානස්කන්ධය නිරුද්ධ වන විට අනාගතයට යමක් ඉතිරි කරමින් නිරුද්ධ වීමයි. එසේ අනාගතයට ඉතිරිවන කොටස අනුසය තන්හාවයි. කිසියම් අරමුණක ඇලීම හෝ ගැටීම මත සිත තුල ඇතිවන මුලාව නිසා එය නැවත නැවත ඉපදීම නිසා දුක හටගනියි. කැමති දේ නොලැබීම සහ අකමැති දේ ලැබීම කියන දුක ඒ තුල ගම්‍ය වෙයි. 

                       ඉතිරි කොටස ඊලඟ ලිපියෙන්


Post a Comment

0 Comments