මානසික ආතතියේ අන්ධකාර පැත්ත - Ai රූප නිර්මානයක්
හැඳින්වීම
බුදුදහම මුලුමනින්ම මනසේ හැසිරීම පිලිබදව ඇති විද්‍යාවකි. “ මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා” සියල්ලටම මුල් වන්නේ මනසයි. සියල්ලටම පෙරටුව එන්නේ මනසයි යන තැනින් බුදුදහම මනෝ විග්‍රහය ආරම්භ කරයි. එසේ හෙයින් බුදුදහම මනස, සිත, සිතිවිලි, චේතනා, පිලිබඳව නිරන්තර විග්‍රහයක් ඉදිරිපත් කරයි. නූතන සමාජයේ මානසික ආතතිය, මානසික පීඩාවන් පිලිබඳව සහ ඒවායින් මිදීමට කුමක් කල යුතුද යන්න බුදුදහම විවිධ ක්‍රම උපායන් ඔස්සේ අවධාරණය කරයි.
මානසික ආතති ඇතිවීමට හේතු
ආතතිය බාහිර ලෝකයේ පවතින තත්වයක් නොව, මනස හා බද්ධව පවතින තත්වයකි. ආතතිය යනු මනසේ ඇතිවන චිත්තවේගීය වෙනස්කම් හෝ අභියෝග තත්වයන් හමුවේ එය මනස විසින් පිලිගනු ලබන ආකාරයයි. ඒ අනුව එය ඔබේ ශරීරයේද යම් යම් රසායනික විපර්යාසයන් ඇතිකරනු ලබයි. එය ඒවා පිලිගැනීමක්, ප්‍රතික්‍රියාවක් කිසියම් අනපේක්ෂිත තීරණයක් දක්වා වර්ධනය වීමට බලපායි.
1 ප්‍රධාන වශයෙන් දැනෙන, දැඩි කායික මානසික අවිවේකය
2 ප්‍රමාණවත් නින්දක් නොලැබීම, අධික ලෙස නියම වූ දෛණික වැඩ කාලසටහනක් තුල මනස ව්‍යාකූල වීම
3 ජීවිතයට සමීප සම්බන්ධ අය සමග හෝ වෙනත් පුද්ගලයින් සම්බන්ධව ඇති නොවිසිඳුන සංකීර්ණ ගැටළුමය තත්වයන් නිසා ඇති දුෂ්කරතා
4 මුදල් අගහිඟකම / ණයබර
5 සමීපතමයන් ගේ මරණය හෝ තමන් ප්‍රතික්ෂේප වීම, හැරදා යාම
6 රැකියාවේ කාර්යයබහුලත්වය සහ මානසික පීඩනය
7 එකම කාර්යයයේ දවසේ වැඩිකාලයක් ඒකාකාරිත්වයෙන් යෙදී සිටීම
8 දැරිය නොහැකි යුතුකම් සහ වගකීම්
9 නිරන්තර දැඩි ගෝෂාකාරී පරිසරය සහ පීඩාජනක අධික ආලෝක සහිත පරිසරය
10 ඍනාත්මක චින්තනය.
11 සර්ව අශුභවාදී දැක්ම
12 සපුරා ගැනීමට දුෂ්කර සහ යථාර්ථවාදී නොවන විවිධ අපේක්ෂාවන් සහ ඉලක්කයන් පසුපස නිරන්තරයෙන් හඹායාම හෙවත් සිහින දැකීම
අනිත්‍යතා දර්ශනය සහ මානසික ආතතිය
මිනිස් සිතේ ස්වභාවය සියලු දේවල් වල පැවැත්ම සදාකාලික බවින් දැකීමයි. මිනිස් සිතට උවමනා කරන්නේ දුක් වේදනාවක් නැතිව, සියල්ල ඒකාකාර ලෙස සැප වේදනාවක් වශයෙන් ගෙන සතුටු වීමටයි. කිසිදු සත්ත්වයෙක් දුකක් විඳින්නට කැමති නැත. එහෙත් විශ්වයේ තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් යථාර්ථයකි. එනම් සියල්ලම අනිත්‍යය බවත්, වෙනස්වන බවත්, විපරිනාමය වන බවත්, එය කිසිවකුට කිසිම ආත්මයකට නතර කරන්නට නොහැකි අනාත්ම ස්වභාවයෙන් යුක්ත බවත්, සිත නොදන්නා බවය.
අනිත්‍යතාවය සහ දුක්ඛය පිලිබදව නූතන ක්වන්ටම් භෞතික විද්‍යාවේ එකඟවීම් පිලිබදව මෙතැනින් කියවන්න.
https://punaragamanaya.blogspot.com/2025/10/blog-post_30.html#more
මනස තුල ගොඩ නැගී ඇති ස්ථිරතා සංකල්පය හෙවත් සදාකාලික බව නම් මායාව නිසා, සිත කිසියම් දෙයක ස්වභාවික වෙනස්වීම හෙවත් විපරිනාමය පිලිගන්නට කැමති නැත. මානසික ආතතිය ආරම්භවන්නේ, තමන්ගේ පරිසරය හෝ දේවල් හෝ, පුද්ගලයන් තමන් කැමති විදිහට පවතින්නේ නැත යන ගැටීම් සහගත ව්‍යාකූල මානසික පසුබෑමට පත්වීමත් සමගය. මානසික ආතතියෙන් මිදෙන්නට උවමනා නම් මුලින්ම කල යුත්තේ මෙම අනිත්‍යාතා දර්ශනය නුවණින් සලකා බැලීමය.
දුක්ඛතා දර්ශනය සහ මානසික ආතතිය
ඊලඟට බුදුදහමේ ඉගැන්වෙන්නේ දුක්ඛ නම් දර්ශනයයි. දුක්ඛ යනු වෙනස්වීම, විපරිනාමය, වෙනත් ස්වරූපයකට පෙරලීම නම් විශ්ව සත්‍යයි. එනම් ඕනෑම පුද්ගලයකු අරභයා කාරනා අටක් නිරන්තරයෙන් වෙනස්වෙමින් පෙරලෙමින් පවතියි.
1 සැප ඇති දේ දුකට පෙරලෙයි.
2 ලැබුනු දේ අහිමි වී යයි.
3 ප්‍රශංසාව කීර්තිය නින්දාවට පෙරලෙයි
4 පිරිවර, ධනය, යසස, අයසට පරිහානියට පත්වෙයි.
තමාගේ ජීවිතය තුලින් මෙය අත්දකින්නට ඕනෑම කෙනෙකුට ඕනෑ තරම් අවස්ථාවන් තිබෙනු ඇත. මෙය සර්ව අශුභවාදයක් නොව, නැවත නැවත ස්වභාවය වෙනස් වෙමින් මෙම පෙරලීම සිදුවෙයි. තමන්ට ලැබීම් එනවිට, තමන්ට සැප එන විට, තමන්ට ප්‍රශංසාව කීර්තිය එනවිට, තමන්ට යසස එනවිට ඔබ මහත් සතුටට පත්වන්නා සේම ලැබුනු දේ අහිමි වනවිට, සැප දුකට පෙරලෙන විට, ප්‍රශංසාව නින්දාවට පෙරලෙන විට, යසස අයසට පෙරලෙන විට ඔබ අනිවාර්යයෙන්ම දුකටද පත්වේ. මේ චක්‍රය ඔබ ජීවතුන් අතර සිටිනාතාක් මේ ආකාරයෙන්ම පෙරලෙමින් පවතියි. මානසික ආතතිය ආරම්භ වන්නේ මේ තියුනු සත්‍යය ඔබට වටහා ගන්නට බැරිතරම් මනස ව්‍යාකූල වීම නිසාය.
අනාත්මතා දර්ශනය සහ මානසික ආතතිය
අනිත්‍යතා දර්ශනය සහ දුක්ඛතා දර්ශනය තුල බාහිර කිසිදු ආත්මයක් හෝ බලවේගයක් හෝ සතුරෙකු මිතුරෙකු මේ කිසිම පෙරලීමක් සිදු නොකරයි. හේතූන් නිසා හටගන්නා දෙයක් ඒ හේතු විපරිනාමය වීම නිසා වෙනත් ස්වභාවයකට පෙරලවයි. ලිට්මස් පරීක්ෂනය වගේ. හේතූන් නිසා විපරිනාමය වන තත්වයන් මම මගේ යැයි දැඩිව අල්වා ගැනීම තුල මානසික කම්පනය සහ ආතතිය ඇතිවන බව බුදුදහම මෙසේ පෙන්වා දෙයි. “ ඵුට්ඨස්ස ලොක ධම්මෙහි චිත්තං යස්ස න කම්පති, අසොකං විරජං ඛෙමං” මෙහි ඵුට්ඨස්ස ලොක ධම්ම කියා සඳහන් වන්නේ දුක්ඛතා දර්ශනය තුල ඇති සැප දුක/ ප්‍රශංසා නින්දා/ හිමිවීම අහිමිවීම/ යස අයස/ යන කාරනා 8 ය.
“හෙතුං පටිච්ච සම්භූතං හෙතුභඞ‍්ගා නිරුජ‍්ඣති”
“හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නැතිවී ගියේය”
-සංයුත්ත නිකාය - සේලා සූත්‍රය
මානසික ආතතියේ ඊලඟ පිම්ම
ඔබ විසින් කැමැත්තෙන් මනසින් අල්ලා ගත් සියලු දේවල් ඔබට ඔය තරම් වටින්නේ, ඔබ විසින් ඒවාට දී තිබෙන වටිනාකමි අනුවය. මතක තබාගන්න ඒ වටිනාකම් දුන්නේ ඔබ විසින්ම බව. එයට අප සාමාන්‍ය භාෂාවෙන් ව්‍යවහාර කරන්නේ “ ඔබේ කැමැත්ත, ඔබේ තේරීම” (Your will, your choice) යනුවෙන්ය. ඔබ දන්නවා කිසියම් දෘශ්‍ය සත්‍යයක් තිබෙනවා. උදාහරණයකට ඔබගේ පාවිච්චි කරමින් තිබෙන මෝටර් රථය විකුණා ඔබ අලුත් මෝටර් රථයක් ගන්නවා කියා. පාවිච්චි කල මෝටර් රථයට ඔබ මෙතෙක් දී තිබුනු වටිනාකම් ක්‍රමයෙන් අඩුවී ගිය නිසා නේද ඔබ අලුත් මෝටර් රථයක් මිලදී ගන්නේ?? එහි මූල්‍යමය වටිනාකම නෙවෙයි, ඔබ මනසින් දී තිබුනු වටිනාකම කුමක් හෝ හේතුවක් නිසා අඩුවී ගිය බව දකින්න. එතකොට හේතු ඇතිවීමෙන් යමක් ඇති වෙනවා හේතු වෙනස්වීමෙන් එය වෙනස් වෙනවා, හේතු නැති වීමෙන් එය නැතිවෙනවා. දැන් ඔබ ප්‍රතික්ෂේප කල නිසා මෝටර් රථය දුක් උනාට පලක් වේද? මෝටර් රථය ( අපි නිකමට හිතමු) මානසික ආතතියට පත් උනා කියා වැඩක් තිබේද?? ඔබව මෝටර් රථයට ආදේශ කර යථාර්ථය දකින්න උත්සාහ කරන්න.
වැඩි දුරටත් මෙතනින් කියවන්න
https://punaragamanaya.blogspot.com/2025/11/blog-post_11.html#more
මානසික ආතතිය විසින් ඔබව රැගෙන යන තැන
මානසික ආතතිය ඔබව ශාරීරික හා මානසික වෙහෙසට පත් කළ හැකි අතර, මේ එවැනි මූලික ලක්ෂණ කීපයක්
1කාංසාව, තදින් දැනෙන හුදෙකලා බව
2 තද කෝපය සහ පාලනයෙන් ගිලිහෙන ක්ෂණික කෝපය
3 යමකට පූර්ණ අවධානය යොමු කිරීමේ අපහසුතාව
4 හිසරදය
5 මාංශ පේශි වල වේදනාව
6 මානසික අවපීඩනය
7 ආහාර ජීර්ණ ගැටළු
8 නින්ද නොයෑම
මේ නිසා ඔබ බලවත් පීඩාවකට පත්වීම නොවැලැක්විය හැකි වන අතර, මානසික ආතතිය මුළුමනින්ම ඔබේ පෞරුෂය බිඳ දමයි. මානසික ආතතියෙන් මිදීමට තාවකාලික ලැගුම්හල වන්නේ බොහෝවිට මත්පැන් සහ මත්ද්‍රව්‍යයි. චිත්තවේගීව ඔබව අකර්මන්‍ය කරන අතර ඔබේ ක්‍රියාශීලීබව තුරන්කර ඔබව අලස මන්දගාමී පුද්ගලයෙක් බවට පත්කරයි.
මානසික ආතතියට බුදුදහම තුලින් පෞරුෂ වර්ධනය
බුදුදහමේ උගන්වන මෙත්ත සූත්‍රයෙන් පුද්ගලයෙකුගේ පෞරුෂ වර්ධනයට අත්‍යාවශ්‍යයෙන්ම උවමනා කරන කාරනා 15ක් සඳහන් කරයි. එය ලෝකයේ ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් ශක්තිමත් නොසැලෙන පෞරුෂයක් වර්ධනය කරගැනීමට ඒකාන්තයෙන්ම උපකාරී වෙයි. මෙන්න එයින් කාරනා කීපයක්.
1 දක්ෂ කෙනෙක් වියයුතුයි. (දක්ෂකම, හැකියාව තුලින් ජීවිතයේ මුහුණ දෙන අභියෝගයන්ට අවස්ථානුකූලව නොසැලී මුහුණ දෙන්නටත්, බොහෝ දේවල් පිලිබඳව දන්නා අයෙක් වීමත්, ඒවා බැරෑරුම් අවස්ථාවලදී යොදවා අවස්ථාව සමනය කරගන්නට සමත් අයෙක් වීමත් විය යුතුය.).
2 ඍජු පුද්ගලයකු විය යුතුය. ( යමෙකුට ඍජු අයෙක් විය හැකි වන්නේ ඔහු තුල ගුණධර්ම ඇතිවීමෙන් පමණි. බුදුදහමට අනුව යම් පුද්ගලයකුගේ ශරීරය වචනය සංවර වීම තුල, ඔහු මානව සමාජයේ ඍජු පුද්ගලයකු වේ. ශරීරයෙන් කෙරෙන ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වරදවා හැසිරීම, වචනයෙන් කෙරෙන බොරු කීම, කේලාම් කීම, හිස්වචන කීම සහ ඵරුෂ වචන කීම, යන කාරනා 7න් යමෙකු වැලකී සිටින්නේ නම් ඔහු මානව සමාජයේ ගරුත්වයට පත්වන, තමා තුලින්ද තමාට දොස් නොපවරන ඍජු කෙනෙක් වේ).
3 සුවච කීකරු කෙනෙක් විය යුතුය. ( මානව සමාජය දඩබ්බර නොහික්මුනු පුද්ගලයන් පිලිනොගනියි. අවවාද පිලිගන්නා, තමාගේ කල වරද තමාම පිලිගන්නා කෙනෙකු වියයුතුය).
4 මෘදු නිහතමානි අයෙකු විය යුතුය ( මෙය හේතුපලයක් ලෙස ඍජු පුද්ගලයකු තුල හටගනියි).
5 ලද දෙයින් සතුටුවන කෙනෙක් වියයුතුය. ( නොලැබෙන දේ පසුපස හඹායාම, ඒවා පිලිබඳව නිතර කනස්සලට පත්වීම, සහ සිහින දැකීම මානසික ආතතියටත් හේතු වේ).
6 අල්පකෘත්‍ය ඇති අයෙක් විය යුතුයි. ( කලයුතු වැඩ අඩු කෙනෙක් විය යුතුයි. දරන්නට බැරි වැඩ කන්දරාවක් මනසට වැටුනු පසුව කායික මානසික දරා ගැනීම බිඳ වැටේ. ඒ නිසා මානසික අසමතුලිත භාවයට පත්වීමටද එමගින් මානසික ආතතියට වැටීමටද සිදුවන අතර කිසිදු කාර්යයක් සාර්ථකව නිමකර ගත නොහැකි අසාර්ථක පුද්ගලයෙක් බිහිවේ.)
7 සරල ජීවිතයක් ඇති අයෙක් විය යුතුය. (බහුභාන්ඩ පරිහරණය කරන, අධි පරිභෝජනයේ යෙදෙන, අවිවේකී සහ සංකීර්ණ ජීවිතයක් තුල කාලය ගතකෙරෙන, අවශ්‍ය ප්‍රමාණයටද වඩා භෞතික වස්තූන් ගොඩගසාගෙන ඒවා තුල නිකරුනේ කාලය නාස්ති කරන කෙනාට, මානසික සතුට වෙනුවට ඇත්තේ සංකීර්ණ පීඩාකාරී මනෝ භාවයක්ය. සැහැල්ලු පැවතුම් ඇති, සරල දිවියක් මෙයින් අපේක්ෂා කෙරෙ).
8 ඉන්ද්‍රිය සංවරය ඇති අයෙක් විය යුතුය. ( ඇස කණ නාසය දිව ශරීරය දකින දකින අරමුනු දිව යාමත්, ඒවා තුල තමාගේ ආශාව තන්හාව උපදවා ගෙන ඒවා සන්තක කරගැනීමටත් වෙර දැරීම තුල අසීමාන්තික ඉන්ද්‍රිය අසංවරය ගොඩ නැගේ. ඒ තුලද මානසික ආතතිය හට ගැනීමේ ඉඩකඩ වැඩිය).
9 නුවණ ඇති අයෙක් විය යුතුය. ( සදාචාරසම්පන්න ජීවිතයකට නුවණ අත්‍යාවශ්‍ය අංගයකි. පරිභෝජනයේ තෘප්තිමත් බව ලැබෙන්නේ සංකීර්ණ වූ බහුභාන්ඩ පරිභෝජනයෙන් නොව නුවනින් පරිභෝජනයේ යෙදීමෙනි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ඉඳුම්හිටුම්, බෙහෙත් ඖෂධ කුමක් නිසා පරිභෝජනය කල යුතුද, කුමන සීමාවකින් ඒ අවශ්‍යතා ඉටුකරගත යුතුද යන්න මෙම නුවනට අදාල වේ.).
ආතතියෙන් මිදීම සඳහා බුදුදහමේ ප්‍රබලතම අවිය
සති හෙවත් මනා සිහිය බුදුදහම තුල යමෙක් ඉතා ප්‍රබල ලෙස වර්ධනය කරගත යුතු දෙයකි. බුදුදහමේ බොහෝ මානසික අභ්‍යාස පදනම් වී තිබෙන්නේ බලවත් සිහිය මතයි. මනස සහ සිහිය වර්ධනය කර ගැනීම තුල අධ්‍යාත්මික ශක්තීන් මෙන්ම ප්‍රඥාවද අවධි කරගත හැකිය. සිහිය ජීවිතය පවත්වන ඉඳගෙන සිටීම, ඇවිදීම, නිදාගෙන සිටීම, සිටගෙන සිටීම යන සතර ඉරියව්ව තුලම ඒකාකාරව පවත්වන්නට හැකි නම් එයින් ලැබෙන ප්‍රතිලාභ පිලිබඳව සතර සතිපට්ඨාන සූත්‍රයේ මනා සේ විග්‍රහ වේ. එය දුක් දොම්නස් දුරු කිරීමටත් සෝකපරිදේව ආදිය ප්‍රහාණය පිණිසත්, ඤාණය ලබා ගැනීම හා සදා සැනසීම පිනිසත් හේතුවන බව සඳහන් වේ.
ආතතියෙන් මිදීමට කල යුතු දේ
බාහිරෙන් ලැබෙන සැනසීමක් නොව අභ්‍යන්තර සාමයක් මුලින්ම ගොඩ නැගීම අතිශය වැදගත්ය. ගිනිපුපුර නැගෙන්නේ අභ්‍යන්තරයෙනි. ඒ නිසා චිත්ත සමථය හෙවත් සිතේ ඒකාග්‍රතාවය මුලින්ම ඇති කරගත යුතුය. ඒ සඳහා කලින් හුරුගත් මනා සිහිය අනිවාර්යයෙන් උවමනා වේ.
ඔබ අනි සියලු සිතිවිලි මොහොතකට ඉවතලා ඔබේ හුස්ම රැල්ල දෙස මනසින් බැලිය යුතුය.
ආනාපාන සති භාවනාව පිලිබඳව මෙතැනින් කියවන්න.
https://punaragamanaya.blogspot.com/2025/10/blog-post_16.html#more
දුක්ඛ ආර්යය සත්‍යය ගැන විමසීමෙන් ආතතියෙන් මිදෙන්නට හැකිය/Ai රූප නිර්මානයක්
🟡 නිගමනය
අවසානයේදී, අපේ ජීවිතයේ සැබෑ
සෙවනැල්ල වෙන්නේ බාහිර ලෝකය නොව, අපේම මනස තුළ ඇති
නිර්මලාකාර සත්‍යයයි. බුදුදහම අපට උගන්වන්නේ — දුක් ඇති
වන්නේ මනස නිසාත්, එය නිවීමත් මනස තුළින්ම යනුවෙනි.
අතීතයේ දුක, අදහස්, මතක, බිය, තීන්දු—මෙය සෑම දේකින්ම ඇලී බද්ධව සිටින මනස නිදහස් කළාම, අපට සෙවණක් ලැබෙන්නේ අන්ධකාරයෙන් නොව, ප්‍රඥාවේ
එළියෙන් ය.
ඔබෙම ඇති
ඇදහිල්ල, අවබෝධය, කරුණාව, සහ
සත්‍ය සෙවීමේ අඛණ්ඩ කැමැත්ත—මේවා තමයි ඔබව අඳුරු මඟකින්
ප්‍රභාෂ්වර මඟට ගෙන යන්නේ.
අවසානයේ, අපි සොයන්නෙත් අපිම, නිදහස සොයන්නෙත් අපේම තුළයි.
මෙයයි ලිපියේ හදබැස්ම: සත්‍යය... බාහිර ලෝකයේ නොව, ඔබ තුළම ඉපදෙන එළිමහනකි.
යොමු / මූලාශ්‍ර
බෞද්ධ ත්‍රිපිටකය
• ධම්මපදය (මනෝ පුබ්බංගමා ධම්මා)
• සතිපට්ඨාන සූත්‍රය – මජ්ඣිම නිකාය 10
• අනාපානසති සූත්‍රය – මජ්ඣිම නිකාය 118
• සේල සූත්‍රය – සංයුත්ත නිකාය
• මෙත්ත සූත්‍රය – ඛුද්දක නිකාය
නූතන පර්යේෂණ
• ජෝන් කබත්-සින් – සිහිකල්පනාව මත පදනම් වූ ආතතිය අඩු කිරීම (MBSR)
• ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (APA): ආතතිය සහ ඒවාට මුහුණ දීම
• හාවඩ් වෛද්‍ය විද්‍යාලය – සිහිකල්පනාව සහ ආතතිය කායික විද්‍යාව
• ස්ටැන්ෆර්ඩ් සිහිකල්පනාව පර්යේෂණ මධ්‍යස්ථානය



No comments:
Post a Comment