අතීතය අප පසුකර යනවාද අප අතීතය පසුකර යනවාද / Ai රූප නිර්මාණයක්
දෘශ්‍ය මායාව
රාත්‍රියේ වීදි පහන් දැල්වෙමින් තිබෙනවා. කිසියම් ගමණක් ගිහිං මම නැවත මෝටර් රථය පදවාගෙන එමින් සිටින අතර මට පෙනෙනවා පාලුවට ගොස් ඇති මහා මාර්ගය දෙපස ඇති විදුලි පහන් කණු මා පසුකරගෙන පසුපසට යනවා. මට හිතුනා මා නිශ්චලව ඇති නමුත් විදුලි පහන් කණු මා පසුකරගෙන යනවා කියා. එවිට මම මෝටර් රථය පාර අයිනක නතර කර, පිටුපස වීදුරුව තුලින් ආපසු හැරී බැලුවා. විදුලි පහන් කනුද මා මෙන්ම නතරව ඇති බවක් මට පෙනුනා. මම කල්පනා කලා ආපස්සට ඇදෙන්නේ විදුලි පහන් කණුද නැත්නම් කාලයද කියා. මම නැවත මෝටර් රථය පණගන්වාගෙන ඉදිරියට ඇදුනා. මා ටික ටික ඈත් වෙන්නේ මා ගමන ආරම්භ කල තැනින් නේද?? නමුත් ඒක සත්‍යයෙන් අඩක් විතරයි. ආරම්භක ස්ථානයෙන් ටිකෙන් ටික ඈත්වෙනවා යනු මගේ නිවසට මා ටික ටික ලංවීම නෙවෙයිද? කොයි එකද එතකොට නිවැරදි??
අප දකින වර්තමානය කෙතරම් ක්ෂණිකද / Ai රූප නිර්මාණයක්
ජීවිතයෙන් ගමනෙන් පාඩමක්
මගේ ජීවිතයේ බොහෝ දේවල් දැන් මගෙන් ටික ටික අතහැරෙමින් යනවා. ඒ වෙනුවට මම අලුත් දේවල් වෙත මගේ ජීවිතය ගෙනියනවා. එතකොටත් මට අර ප්‍රශ්නයම පැන නගිනවා. මට ජීවිතයේ සමහර දේවල් ටික ටික අතහැරෙනවා කියන එකද හරි එහෙම නැත්නම් මම ජීවිතයට අලුත් දේවල් එකතු කරගනිමින් සිටිනවා කියන එකද හරි??
ලමා වියේ සිට තරුණ වයස දක්වා
ලමා වයසේ තිබුනු කෙලි සෙල්ලම්, සැහැල්ලුව සහ දිගු නින්ද, තරුණ වියට එළැඹෙත්ම මා පසුකර ගෙන ගිහින් තිබුනා. ඒ වෙනුවට දඩබ්බර, හිතුවක්කාර, ජේත්තුකාර, ජවසම්පන්න, කිසිවකුට යටත් නැති, අධිරාජයෙකුගේ මනෝභාවයෙන් සහ අහංකාරයෙන් මනස පිරී තිබුනා. ලෝකය වෙනස් කරන්නට, කණපිට හරවන්නට රැඩිකල් විදිහට හිතන්නට ඒ තරුණ වයසෙදි පෙළඹුනා. බෲස් ලී ගේ චිත්‍රපටයක් නරඹා සිනමා ශාලාවෙන් පිටතට එනකොට බෲස් ලීට වඩා මාෂල් ආට් වලින් සිත පිරී තිබුනා. ක්ලීන්ට් ස්ටුවර්ඩ්, ලී වෑන් ක්ලිෆ් ගේ ගොපලු චිත්‍රපට නරඹා ශාලාවෙන් පිටතට එන්නේ ඔවුන්ට වඩා වේගවත් තුවක්කු කරුවකු විදිහට. ඒ මනෝභාවයන් එසේම රැගෙන කාලයත් තරුණ වයසත් මා පසුකරගෙන වේගයෙන් ගමන් කලා. ඕනෑම කෙනෙකුගේ භෞතික තරුණ වයස තමයි ආලෝක වේගයෙන් ගෙවී යන්නේ.
තරුණ වයසේ සිට මැදිවිය දක්වා
රැකියාව, විවාහය, අඹුදරුවන්, වගකීම්, සමාජ සංස්කෘතියට අනුගත වීම් හරහා තරුණ විය ඉක්ම ගියා. රැඩිකල් බවට කැමති වූවද, සම්ප්‍රදායානුකූල හැකිලුනු ජීවිතයකට ක්‍රමක්‍රමයෙන් ලංවෙමින් තරුණ වයස මා පසුකර ගියා. අර සුපුරුදු ජේත්තුකාර හැඩකාර අහංකාර හිතුවක්කාර ජීවිතය නිදිකුම්බා පඳුරක පත්‍ර මෙන් හැකිලී ගියා නැවත නොඑන්නටම.
යමක් පසුකරගෙන යන්නේ තව දෙයකට ලංවන්නට බව ප්‍රත්‍යක්ෂ වීම තුල අධ්‍යාත්මික විමුක්තිය සොයා යාම ඉබේටම සිදුවන්නක්.
නොනවතින ගමන / Ai රූප නිර්මාණයක්
බුදුදහමේ අරක සූත්‍රයෙන් ජීවිත පාඩම
නූතන මිනිස් ජීවිතයක උපරිම ආයුෂ සාමාන්‍යය හැටියට ගතහොත් එය වයස අවුරුදු 70 බවට සැලකෙයි. මැදිවියට පැමිණි වයස අවුරුදු 50 ක කෙනෙකුට මිනිස් ආයුශ සාමාන්‍යය අනුව උපරිම කාලය තිබෙන්නේ තවත් අවුරුදු 20කි. එවිට ඔහුට ගතකිරීමට ඇති අවුරුදු ගනන අවුරුදු 20 ක් ලෙස ගනන් බැලේ නම්, ඔහුට ජීවත් වන්නට ඇත්තේ තව දින 7300කි. ඔහුට උදේ දහවල් රාත්‍රී යනුවෙන් ආහාර වෙල් ගනන 21300 කි.
උපත පසුකර ගෙන ටිකෙන් ටික මරණයට ලංවීම හරියට මගේ මෝටර් රථය පසුකරගෙන වීදි පහන් කනු පසුපසට දිව යනවා වගේ යැයි මට හිතුනා. එහෙත් බහුතරයක් දෙනා උපන්දිනය සිහිපත් කර සාද පවත්වනවා මිසක මරණය සිහිකර යථාර්ථ අවබෝධ සුවය අත්විඳින්නේ නැහැ කියල මට හිතෙනවා. මියයන තෙක්ම මියයන බව අමතක කරන්නට ඉටිපන්දම් දල්වාගෙන මියයමින් තිබෙන උපන්දිනය සිහිපත් කිරීම සහ සාද පැවැත්වීම මොන තරම් විහිළුවක්ද කියා මට හිතෙනවා.
අතීතය හැර යනවා නෙවෙයි නව ඉසව්වකට අපි ලංවෙනවා / Ai රූප නිර්මාණයක්
නැවත මහමග
මම සිතිවිලි අතර ගිලෙමින් තවමත් මෝටර් රථය පදවාගෙන යමින් සිටින්නෙමි. එක් වීදි පහන් කණුවක් පසු කරන විට තවත් වීදිපහන් කනුවක් මගේ ඉදිරියට පැමිණ මා පසුකරගෙන යයි. වීදිපහන් කණු වලට අමතරව, ඉදිරියේ හමුවෙන සෑම වස්තුවක්ම මා පසුකර යන්නේ මම මෝටර් රථය පදවන වේගයට සාපේක්ෂවය. කිසිවක් මගේ දෑස හමුවේ නතරවීමක් නැත. යලිත් පිටුපස වීදුරුවෙන් හැරී බලන විට අතීතය දෙසට ඇදී යමින් තිබෙන මා පසුකර ගිය හැම දේම නොපෙනී යනවා මම දැක්කෙමි. හිස හරවා වින්ඩ්ස්ක්‍රීණයෙන් ඉදිරිපස බලත්ම දෑස් හමුවට එන සියල්ලත් ඒකාකාරව මා පසුකරගෙන යන බව පෙනේ. යමක් දකින ඒ නිමේශය හෙවත් වර්තමානය කෙතරම් ක්ෂණිකද කියා මට හිතුනා. වර්තමානයේ පවතින කිසිවක් අත දමා අල්ලාගත නොහැකි බවත්, ඒවා මාගේ ග්‍රහණයේ නොපවතින බවත් ඒවා අතීතය බවට පත් වීම සදාතනික ඇත්තක් බවත් මට දැනුනා.
මහමගදී ඉගෙනගත් දේ
ඒ වගේම ඇස කණ නාසය දිව ශරීරය ඉදිරියට එය රූප ශබ්ද ගන්ධ රස කායික පහස සියල්ල ඒවා හමුවේ අනාත්ම පහල වෙලා, අනාත්මව මා පසුකරගෙන යන බව පැහැදිලිව දුටුවා. වරක් මගේ ගුරුවරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා
“ ලෝකය කොහෙද තියෙන්නෙ දරුවො??”
“ හැමතැනම... මහපොලොවෙ... සෞරග්‍රහ මණ්ඩලයේ...විශ්වයේ” මම වික්ෂිප්තව පිලිතුරු දුන්නා. ගුරුවරයා කාරුණිකව සිනාසුනා.
“ ලෝකය පේනවද පුතා? “ ඔහු නැවත ඇසුවා.
“ ඔව් මේ පේන්නෙ” මම උජාරුවෙන් පිලිතුරු දුන්නා.
“ පේනව විතරද?” ගුරුවරයා නැවත ඇසුවා.
“ නෑ... ඇහෙනවා....ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා.. සීතල උනුසුම පහස දැනෙනවා.”
“ හරියට හරි පුතා” ගුරුතුමා තෘප්තියෙන් කීවා.
“ ඔය ටික ඇරෙන්න... වෙන මොකුත් තියෙනවද ලෝකය ඇතුලෙ??”
මම නැවත වික්ෂිප්ත උනා. ගුරුතුමාගේ වචන වල මහා ගැඹුරක් තිබුනු බව මට දැනුනා. වෙන මොකුත් තියෙනවා කියල කියන්නට මගෙ හිතට මොකුත් ආවේ නෑ. ගුරුවරයා මා විශාල කැඩපතක් ලඟට එක්කගෙන ගියා.
“ හොඳට බලන්න” ඔහු මට කිව්වා. මම කැඩපත තුලින් පෙනෙන මගේ ප්‍රතිබිම්භය දෙස බැලුවා..” ඔය තියෙන්නෙ ලෝකය... ඔය ලෝකය නැති වෙච්ච දවසට මුළු විශ්වයම නැති වෙනවා” ඔහු දාර්ශණික හඬින් කිව්වා.
මොන තරම් හිස් මායාවක්ද මේ කාලත්‍රයම / Ai රූප නිර්මාණයක්
ගමනේ නිමාව
මා ගේට්ටුව තුලින් මෝටර් රථය මගේ නිවසේ මිදුලට ඇතුලු කලා. මා මගේ ගමනාන්තයට ලගවී අවසන්. ඉතින් මෝටර් රථයෙන් බැස යායුතුයි. මම මොටර් රථය වටා ගිහිං ඉදිරිපස විදුලි ලාම්පු දෙක අත ගා බැලුවා. ගමන එද්දී පසුකර ගිය කිසිම දෙයක කිසිම සලකුණක් හෝඩුවාවක් මෝටර් රථයේ කිසිදු කොටසක තැවරී හෝ තිබුනේ නැහැ. සියල්ල කාලය සමග අතීතයට ගිහිං තිබුනා. දැනුත් වර්තමානය අතීතය දෙසට ගමන් කරනවා මිසක මා සමග එකගව මා සමග රැඳෙන බවක් මට හැඟෙන්නේ නැති බව දුටුවා. මොන තරම් හිස් මායාවක්ද මේ කාලත්‍රයම... මම හෙමිහිට නිවස තුලට යමින් කල්පනා කලා.
මූලාශ්‍ර සහ වැඩිදුර කියවීම්
To explore the philosophical themes in this article, you might find these sources enlightening:
1. The Concept of Impermanence (Anicca): Central to Buddhist philosophy, this teaching asserts that all conditioned things are in a constant state of flux. The reflection on the lamp posts and life stages is a direct meditation on this principle.
2. The Doctrine of Non-Self (Anatta): As explored in the Anattalakkhana Sutta, this principle suggests that neither within nor outside the body and mind can a permanent, unchanging "self" be found. The mirror analogy used by the teacher points directly to this profound truth.
3. Time and Perception in Western Philosophy: Thinkers like St. Augustine in his Confessions (Book XI) and Martin Heidegger in Being and Time have deeply explored the nature of time as a subjective human experience rather than an objective reality.
4. Mindfulness and Present-Moment Awareness: The works of Thich Nhat Hanh, such as "The Miracle of Mindfulness," provide practical guidance on living in the present moment, which is the implicit answer to the article's central question.





No comments:
Post a Comment