එක දහම් පාසලකින් සිර ගෙවල් සියයක් වසා දැමිය හැකි ශක්තියක් තිබේ. දහම් පාසල් ගුරුවරයා අත එකී වගකීම පවතියි. දහම් පාසල් අධ්‍යාපනය එතරම් අගවනා අමිල සේවාවක් දරුවන්ටත් සමාජයටත් ලබා දෙයි. දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම මෙතෙකැයි කිව නොහැකිය. දරුවන් දහම් පාසල් යැවිය යුත්තේ ඇයි කියන කාරණය පිලිබදව දෙමාපියන් වැඩිහිටියන් ගැඹුරින් සලකා බැලිය යුතු කාලය උදා වී ඇත. වර්තමානයේ මේ වනවිට දහම් පාසල් දරුවන්, දහම් පාසල වෙතින් සීග්‍රයෙන් ඈත්වෙමින් දහම් පාසල හැරදා යාමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතියි. නූතන සන්නිවේදන තාක්ෂනය මත දත්ත පදනම් කරගෙන එයට ආසන්න හේතු විමර්ශනය කිරීමෙන් මෙයට අදාලා ප්‍රස්තූතයන් විශ්ලේෂණය කරගන්නට හැකි වෙනවා.. මෙය සංකීර්ණ සමාජ ආර්ථික සංස්කෘතික විකෘතියක් හෝ සෝදාපාලුවක් නිසා ඇති විය හැකි තත්වයකි. විශේෂයෙන් ගිහිසමාජය වේවා, පැවිදි සමාජය වේවා, මුළු මහත් සමස්ථ සමාජයම භෞතික දියුනුව උදෙසා සිය උපරිම කාලය සහ වෑයම දරන කාලයක මෙවන් තත්වයක් ඇතිවීම ස්වභාවිකය. හේතු නිරීක්ෂණයේදී සහ එම හේතූන් විශ්ලේෂණයේදී පහත සඳහන් දත්තයන් මෙකී තත්වයට මූලික වේ යැයි පෙනී යනවා.
1. ගුරුවරුන් ඇතුලු දහම් පාසල් පරිපාලනයේ අධිකාරිබව-
එය දහම් පාසල් දරුවා සහ දෙමාපියන් තුල නියෝගාත්මක ආකාරයෙන් ඉදිරිපත්වීම නිසා දරුවන් බියෙන් සහ පීඩනයෙන් පිරුණු පරිසරයක් තුල දරුවන්ට නිදහසේ ප්‍රශ්න කිරීමට හෝ අදහස් පළ කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි වී තිබීම. දහම් පාසල කේන්ද්‍රවන්නේ විහාරස්ථානයක් තුලය. විහාරස්ථානයේ සිදුවන සියලුම භෞතික ගොඩනැගීම්, ශාසණික කටයුතු, උත්සව ආදිය සිදුකරන්නේ විහාරස්ථානයේ දායක සභාව මගින්ය. දායක සභාවේ සාමාජිකයන් වන්නේද එකී දහම් පාසලේම දරුවන්ගේ දෙමාපියන් ගෙන් බහුතරයකි. එකම භූමියේ පිහිටි ආයතන දෙකක් වුවද ඒ ආයතන දෙකම නියෝජනය කරන්නේ එකම පිරිසකි. දායක සභාවක් විසින් දැරිය යුතු වැඩ කොටසක වැඩි බරක් දහම් පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට යොමු කිරීම මගින් අනිවාර්යය බරක් ඔවුන් වෙත පැටවීමක්, එය ඔවුන්ට මානසිකව පීඩාවට පත් කෙරෙන දෙයක් වීම ස්වභාවිකය. ඒ තුලින් ඔවුන් අකර්මන්‍ය වීම මෙන්ම යම් යම් කලකිරීම් වලට ලක්වීමටද හේතු සපයයි.එම කාරණයද හේතු කරගෙන දරුවන් සහ දෙමාපියන් දහම් පාසලෙන් ඈත්වීම හෝ උදාසීනවීම සිදුවිය හැකිය. එමෙන්ම දහම් ගුරුවරුන් විසින් දරුවන් වෙත මුදාහරින පීඩනයද දිගටම දරුවන්ටත් දෙමාපියන්ටත් දරා සිටිය නොහැක. සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් නිර්මානය වීම, දරුවන් ගේ අදහස් වලට කන්දීම සහ සාධනීය අදහස් පිලිගැනීම, සුහද සිසුගුරු සබඳතා ගොඩනැගීම, බලහත්කාරයෙන් දරුවන් පාලනය කිරීම වෙනුවට ප්‍රසන්න පරිසරයක් තුල දරුවන්ට දහම් පාසල ඇසුරු කරන්නට සැලැස්වීම තුලින් මීට වඩා සාර්ථක ප්‍රතිඵල දැකගන්නට හැකිවෙනවා.
----------------------------------------
2. ආකර්ෂණය නොවූ පන්ති පරිසරය
පලමු කාරණය පන්ති කාමරයයි. ඉගෙනගන්නා පරිසරයයි. පන්ති කාමරය යනු හුදෙක් හතරැස් ගොඩනැගිලි කාමරයක් පමණක්ම නොවෙයි. එය ගුරුවරයා සන්නිවේදනය කරන දහම් පාඩම උකහා ගන්නට, බාහිර ස්වභාවික සහ මිනිස් බාධා රහිත පිරිසිදු ක්‍රමවත්, සිත් ඇදගන්නා පරිසරයක් විය යුතුයි. දහම් පාසල් ගුරු භූමිකාව ඉතාම සුවිශේෂී සේවාවකි. දරුවන්ට තමන් ඉගෙන ගන්නා පරිසරය භෞතිකව කරදරකාරී තැනක් නොවිය යුතුය. එම පහසුකම දහම් පාසල් අධිකාරිය ඉතාම උවමනාවෙන් සපුරා ලිය යුතු බව අපගේ පුද්ගලික අදහසයි. ආකර්ශනය නොවන හුදු සම්ප්‍රදායික පොත බලාගෙන කෙරෙන ඉගැන්වීම දරුවන්ට දහම් අධ්‍යනය එපා කරවීමකි.
-------------------------------------------------
3. දෙමාපියන්ගේ බලපෑම සහ අවධානයේ හිඟය
දෙමාපියන් බලවත් සමාජ ආර්ථික පීඩාවක ගොදුරක්ව ඇති යුගයක, රැකියාව පිලිබඳව වූ තරඟකාරිත්වය, දරුවන්ගේ පාසල් විෂයය දහරාව පිලිබඳව ඇති තරඟකාරිත්ය, ජීවත්වීම සහ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අමතරව, තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමේ අපේක්ෂාවෙන් විවිධ භෞතික දෑ රැස් කරගැනීමේ තරඟකාරිත්වයෙන්, බලවත් සේ වෙහෙසව ඇති යුගයක, දෙමාපියන් දහම් පාසල පිලිබදව දක්වන උනන්දුවේ හීනතාවයක් දක්නට ඇත. දරුවන් දහම් පාසලකට යැවිය යුතුය යන සමාජ මතය නිසා දරුවන් දහම් පාසලට යවන දෙමාපියන්ද සිටිති. දහම් පාසල තවද එක් උපකාරක පංතියක් සේ සලකා දරුවන් එවන දෙමාපියන්ද සිටිති. දහම් පාසලේ ව්‍යූහය, එහි අන්තර්ගතය, එහි මුඛ්‍ය පරමාර්ථය පිලිබඳව වැටහීමක් නොමැතිව සමහර දෙමාපියන් එය තවද එක් පාසලක් සේ සලකා දරුවන් එවන අවස්ථාද නිරීක්ෂනය වී ඇත. බුදුදහමෙන් සිත නිවා ගැනීම වෙනුවට, ජීවිතයේ සිහින සැබෑ කර ගැනීමට නොපෙනෙන බලවේග, ඉරනම, දෛවය, විවිධ පුදපූජා, විවිධ විශ්වාසයන් අභිචාර ක්‍රම පසුපස සීග්‍රයෙන් ඇදී යන වර්තමාන පරිභෝජන සමාජයේ ගොදුරක් බවට පත්ව ඇති සමාජ ප්‍රජාව ඒවා පසුපස ඇදී යාම හේතුකරගෙන බුදුදහම කෙරෙහි ශ්‍රද්ධාවට වඩා, දහම් අධ්‍යාපනයට වඩා, සිහින සැබෑ කරගැනීමේ මාර්ග වලට දරුවන්ද යොමු කරමින් සිටිති.
----------------------------------------------------
4. සීමාව ඉක්මවූ දරදඬු හික්මවීමේ ක්‍රම සහ ගතානුගතික අධික විනය-
දරුවන්ගේ ඇඳුමේ, හිස්කෙස් නියපොතු ආදියේ, පොත් බෑගයේ හෝ, දරුවන්ගේ හැසිරීම්වල හෝ, පාඩම් වැඩවල හෝ, දරුවන් කිසියම් වරදක් කල අවස්ථාවන්හි, ගුරුභවතුන් අතිශය රළු, අනුකම්පා විරහිත, නිර්දය දරුනු විවේචන මගින් සෙසු දරුවන් ඉදිරියේ නින්දාවට ගර්හාවට ලක්කරමින් බැනවදිමින් දඬුවම් පමුණුවන විට, අතිශය ඒකාකාරී ලෙස පාඩම් කටයතු වල ගුරුවරුන් නියැලෙන විට, සම්ප්‍රදායික ගතානුගතික ලෙස පටු ආකාරයට ගුරුවරයා සමාජය දෙස බලනවිට, වර්තමානය ලෝකය ගමන් කරන දිශාව, නූතන තාක්ෂණික දියුණුව සහ දරුවා එයට අනුගතවීම කෙරෙහි ගුරුවරයා යාවත්කාලීනව (updata) කියවා ගැනීමක් නැතිව එවා වැරදි සේ වැරදියට ගෙන කටයුතු කිරීම තුල දරුවා තුල ලජ්ජාවක්, සිත්වේදනාවක්, කලකිරීමක් එපාවීමක් ඇතිවන බවද නිරීක්ෂනය වී ඇත.
---------------------------------------------------
5. ප්‍රමාණය ඉක්මවූ කාර්යයභාරයන් පැවරීම-
දහම්පාසල විසින් දරුවන්ගේ වයස් මට්ටම සහ එම ලමා මනස නිවැරදිව කියවාගැනීමට අපොහොසත්වීම. සෑමවිටම සෑම පුද්ගලයෙක්ම වර්තමානය පිලිබඳව යාවත්කාලීන (updata) වී සිටිය යුතුය. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කලේ වර්තමානයේ සිත පිහිටුවා ගතයුතු බවයි. අතීතකාමය මෙන්ම අනාගත සිහිනද දුකට හේතුවක් බව එයින් අදහස් කෙරේ. ගෙවීගිය 60දශකය, 70,80,90 ආදී දශකයන් තුල පැවති සමාජ ආර්ථික සංස්කෘතික පරිසරය 2025 වනවිට දක්නට නැත. වෙනස්වීම විපරිනාමය වීම ලෝක ධර්මතාවයකි. එදා දරුවන් පරිකල්පනය අතින් ඉදිරියෙන් සිටි අතර ඔවුන්ට තාක්ෂණික මෙවලම් හෝ එබඳු දැනුමක් නොතිබිනි. අද දරුවන් තාක්ෂණය, තාක්ෂණික දැනුම අතින් වැඩිහිටියන්ටද වඩා ඉදිරියෙන් සිටිති. පරිකල්පනය අතින් දුර්වලය. දරුවන්ගේ තාක්ෂණික දැනුම සහ තාක්ෂනික මෙවලම් භාවිතය පිලිබඳව වැඩිහිටි ගුරුපරම්පරාව කුහක නොවිය යුතුය. ඒවා නිසා දරුවා නින්දාවට අවමානයට පත් නොකල යුතුය. දරුවා තේරුම් ගත යුතුය. දහම් පාසල් අධ්‍යාපනයට අමතරව වෙනත් වෙනත් කාර්යයන් සඳහා දරුවාට සහ දෙමාපියන්ට අසීමාන්තික වැඩපැවරීමක් සහ ඒවා අනිවාර්යය කිරීමක් තුලින් දරුවන් මෙන්ම දෙමාපියන්ද දහම් පාසලෙන් අකාලයේ නික්ම යන බවක් දක්නට ඇත.
----------------------------------------------
6. ගුරු සිසු සබඳතාවයේ දුර්වලකම-
ගුරුවරයා ගුරුභූමිකාවේ සීමා තුල සිටින සිසුවාගේ හොඳම මිතුරාද වියයුතුය. ගුරුවරයාගේ නොමද අවධානය සිසු මනෝභාවයන් තේරුම් ගෙන, සිසුන්ගේ වයසට සහ සිසුන් ගේම කෙනෙකු විය යුතුය. නමුත් ඔහු ගුරුවරයා බවත්, ඔහුගේ භූමිකාව වැඩිහිටියකු හා මගපෙන්වන්නෙකු බවටත් දරුවන්ට ඒත්තු ගැන්විය යුතුය. ඒ නිසා ඔහු සිසු දරුවන්ගේ හෘදයාංගම ආකර්ශණීයම පුද්ගලයාද විය යුතුයි. එබඳු සබඳතා නොමැති විට, දරුවන් තුල අප්‍රියයන් හා එක්වීමේ දුක දැනෙනු ඇත. එසේ වනවිට දරුවන් දහම් පාසලට පැමිනීම නතර කරති. හෘදයාංගම ගුරුවරයා නිදහස් මනසකින් යුක්ත දරුවා තේරුම්ගත් අයෙකු වියයුතුය.
------------------------------------------------
7. විවිධාංග සහ නව්‍යකරණය -
දහම් පාසල දරුවන් කේන්ද්‍රකරගෙන කෙරෙන කිසියම් ක්‍රියාකාරකමක් වේ නම්, එය දරුවන්ගේද, දෙමාපියන්ගේද, පූර්ණ අවශ්‍යතාවයක්, උවමනාවක් සහ දැනුවත්වීමක් තුල සිදුවිය යුතුය. දරුවන්ටත් දෙමාපියන්ටත් ඒ පිලිබඳව උනන්දුවක් උවමනාවක් නොමැති නම්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ සාපේක්ෂ වටිනාකම දී ඇත්තේ වෙනත් බාහිර අවශ්‍යතාවයන් කෙරෙහි නම්, එය හුදෙක් දහම් පාසලේ සහ ගුරුවරුන්ගේ උවමනාව මත සිදුකිරීම තුලින් අසාර්ථක වන්නේය. ඒ අසාර්ථක භාවය හේතුවෙන් දහම් පාසල් පැමිණීම දරුවාට මානසික වදයක් කරදරයක් බවට පත්ව දරුවා දහම් පාසලෙන් ඈත්වීම සිදුවිය හැකිය.
----------------------------------------------
8. ලමා මනසට සතුට අහිමිවීම
දහම් පාසල යනු සිත නිවන තැනකි. සතියේ සෙසු සියලු දිනයන් පුරා මනස වෙහෙසවා කායික මානසික පීඩාවට පත්ව සිටින දරුවා, දහම් පාසලට පැමිණ සිත නිවන, මනසට සතුට දැනෙන කිසියම් අධ්‍යාපනයක්, දැනුමක්, ක්‍රියාකාරකමක්, සන්නිවේදනයක් ලබන්නට ප්‍රිය කරයි. ඔහු දහම් පාසලට පැමිණිය යුත්තේ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමටම නොවේය. වෙනත් දහම් පාසල් සමග තරඟ වදින්නට නොවේය. විභාග සමත් වීමටම නොවේය. ඔහු දහම් පාසලට පැමිණිය යුත්තේ සිත නිවන, සිත සැනසෙන, හික්මීම ලබන, නායකත්ව පුහුණුව තුලින්, දහම තුලින් ස්වයං විනයක් ගොඩ නගාගත් දැමුනු පුද්ගලයකු වීමටය. ඔහුගේ සහජ හැකියාවන්, ඔහුගේ රසවීඳීම්, ඔහුගේ නිර්මානශීලිත්වය සෙසු අයට එලිදැක්විය හැකි වේදිකාවක් බවට දහම් පාසල ඉඩ සැලසිය යුතුය. ඔහුගේ ආත්ම ප්‍රකාශන මාධ්‍යය දහම් පාසල වූ විට ඔහු ශක්තිමත් සුවිශේෂී පුද්ගලයෙකු බවට පත්වීම නිසැකය. එසේ නොමැති විට, දහම් පාසල ඔහුට ප්‍රියමනාප පරිසරයක්, මනරම් වේදිකාවක් නොවූ තැන, ඔහු දහම් පාසල හැරපියා යනු ඇත.
-----------------------------------------
9 පාසල් අධ්‍යාපනයේ නීරස තරඟකාරිත්වය
වර්තමාන පාසල් අධ්‍යාපනයේ 5 වසර ශිෂ්‍යත්වයේ පටන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම දක්වා දරුවන් සහ දෙමාපියන් යැපෙන්නේ පුද්ගලික උපකාරක පංතිවලට දරුවන් යොමු කිරීමෙන්ය. පාසල් යන දරුවන් සිටින සියලුම දෙමාපියන්ගේ ජීවිතයේ මූලිකම අවශ්‍යතාවයක් මෙන්ම මූලිකම අංගයක් වන්නේද පුද්ගලික උපකාරක පංති යැවීමය. ඒ සඳහා දෙමාපියන්ට විශාල අමතර වෙහෙසක්ද විශාල වියදමක්ද දැරීමට සිදුවේ. ඒ නිසා දෙමාපියන්ට ඒ වියදම පියවීම සඳහාද තම කාලය විශේෂයෙන් අමතරව වැය කරන්නට සිදුවේ. පාසලට යන දරුවා දෛනිකව පාසල නිමවී නිවසට පැමිනෙන්නේ විගසින් ආහාර ටිකක් කුසට දමා ගෙන උපකාර බලා දිවයන්නටය. සතියේ දින හයක් පුරාවට දරුවාටද මේ පීඩාව දරන්නට සිදුව ඇති අතර දෙමාපියන් ගන්නා වෙහෙසට, වැය කරනා මුදලට සාධාරණය ඉටු කරන්නටද දරුවා තුල වගකීමක් නිතැනින් ගොඩ නැගී ඇති අතර එයද ලමා මනසට පීඩාවකි. ඊට අමතරව ඉරිදා දිනයේද උපකාරක පංති පැවැත්වෙන අතර ඒවා සඳහාද දෙමාපියන් මුදල් ආයෝජනය කර ඇති හෙයින් දරුවා දහම් පාසල් ගමන පසෙක තබා තම යුතුකම ඉටු කිරීම පිණිස එකී ආයතන කරා ඇදී යාම ස්වභාවයකි.
මේ සියලු කාරණා ගුරුභවතුන්ද, පාලන අධිකාරියද, දෙමාපියන්ද, විහාරස්ථ දායක සභාවන්ද, මුළුමහත් ප්‍රජාවද විශේෂ අවධානය යොමුකල යුතු තැනකි. මීට දශක ගනනකට පෙර සිටි දරුවා අද නැත. ඊට වඩා ඉතාම වෙනස්, ඊට වඩා ඉඳුරාම වෙනස් දරුවෙක් යුගය විසින් අද බිහිකර ඇත. වැඩිහිටියාගේ යුතුකම වන්නේ යුගය තේරුම් ගැනීමය. ඒ යුගයේ බිහිවූ දරුවාගේ මනස තේරුම් ගැනීමය. නැතහොත් දහම් පාසලද ඛේදවාචකයක් වනු ඇත.
------------------------------------
සටහන -ජයන්ත කොළඹගේ-
0 Comments