Tuesday, 27 May 2014

ඡන්දසින් නොමිදුණු සිංහල නවකවි





“පෙරදිග ගොරහැඩි රකුසෝ
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පොරවගත්ත කළු රෙදිපට
තීරුවලට ඉරා දමන්න.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුළු හෙළනවා..”

එක්දාස් නවසිය පණස් අටේ අවුරුද්දේ මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත්වන සිරි ගුණසිංහ කවියා ගේ ‘අබිනික්මන’ කාව්‍ය සංග‍්‍රහයේ බොහෝ වාරයක් කියවා අසා පුරුදු කවියක් ඒ. ‘සිංහල කවියේ ඡන්දස’ කියන මාතෘකාවට ප‍්‍රවේශවෙන්න තමයි සිරි ගුණසිංහගේ ඉහත කවිය මම තෝර ගත්තේ.
අපි දන්න විදිහට සිරි ගුණසිංහ තමයි, මුල්වරට සියලුම සම්මත ඡන්දස්, විරිත්, වෘත්ත ආදිය ප‍්‍රතික්ෂේප කළ කවියා. ඒ නිසා, ඔහුගේ කවි ‘නිසඳැස් කවි’ කියලා කටපුරාම හඳුන්වන්න පුළුවන්.
 ඒවා ‘නිර් ඡන්දස් කවි’, සඳැසක් නෑ. නමුත්, සිරි ගුණසිංහට පවා කොයිතරම් දුරට පුළුවන් වෙනවද මේ ඡන්දසෙන් මිදෙන්න. ‘සිංහල කවියේ ඡන්දස’ ගැන කරන කතාව ඔහු ගෙන් ආරම්භ කරන්න වෙන්නෙ මෙන්න මේ කාරණය නිසයි. බලන්න.
රත්න ශී‍්‍ර විජේසිංහ
“කුරුල්ලන්ට ගල් ගහලා -උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා - කඳුළු හෙළනවා...”
මේ චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ බොහොම ප‍්‍රසිද්ධ අහල පුරුදු කවිය.
“අකුරට යනවැයි කියලා - ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මං ගුරු ගෙදරට - ගිහින් කියන්නම්..”
සිරි ගුණසිංහ ගේ මේ ‘නිර් ඡන්දස්’ කියන කවියේ ඡන්දස, විරිත එහෙමම තියෙනවා, ඒ එක්කම බලන්න, සිරි ගුණසිංහ ලියනවා, එක්දාස් නමසිය පණස් හයේ පළවන ‘මස් ලේ නැති ඇට’ කෘතියේ මෙන්න මේ විදිහට.
ජීවිතයට ඇති එකම සොඳුරු බව
ලෝකයටම ඇති එක රූමත් දෙය
ඈ මයි තනිවට හිටි එක ගැහැනිය
මැකී ගියත් තනිවට හිටි ගැහැනිය..”
“චක්කවරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පන්ණී...”
සිරි ගුණසිංහට මෙතනදිත් බැරි වෙනවා, මේ ඡන්දසෙන් මිදෙන්න. ඒ නිසා මං හිතන්නේ, ‘සිංහල කවියේ ඡන්දස’ ගැන අපි කිසියම් කතා බහක් ආරම්භ කරන එක හොඳයි කියල.
‘ඡන්දස’ කියල කියන්නේ මොකක්ද? ‘ඡන්දස්’ කියල කියන්නේ මොනවටද? ‘ඡන්දස් පිළිබඳව ලියැවුණු පැරැණිම ග‍්‍රන්ථය හැටියට අපි දන්නේ, පිංගලාචාර්යන් ගේ ‘වෘත්ත රත්නාකරය’. පිංගලාචාර්යන් ගේ ‘ඡන්දස් ශාස්ත‍්‍රය’ කෘතියේ ඡන්දස හඳුන්වා දෙන්නේ ‘අක්කර නියමුවෝ ඡන්දස්’ කියලා.
කවියක අක්ෂර නිර්ණය කිරීම තමයි ඡන්දස. ‘ඡන්දස්’ වර්ග රාශියක් පිංගලාචාර්යන් හඳුන්වා දෙනවා. ‘සඳලං ඡන්දස’, ‘උතුලං ඡන්දස’, ‘සෙල්ලං ඡන්දස’ ආදි වශයෙන්. මේ ඡන්දසේ අවයව තමයි ‘විරිත’ කියල කියන්නේ. නැත්නම්, වෘත්තය කියල කියන්නෙ.
ඡන්දස දෙආකාරයි. එකක් ‘ගණ ඡන්දස’. අනෙක ‘මාත‍්‍රා’ හෙවත් ‘වර්ණ ඡන්දස. ගණ ඡන්දස අපට මුණ ගැහෙන්නේ, සංස්කෘතෘත කාව්‍යයේ දී. නමුත්, සිංහලයේ වැඩිපුරම අපිට මුණ ගැහෙන්නේ, මාත‍්‍රා හෙවත් වර්ණ ඡන්දස. සංස්කෘත කාව්‍යයේ ගණයක් කියල අපි හඳුන්වන්නේ, මාත‍්‍රා තුනක්. ගුරු හෝ ලඝු මාත‍්‍රා තුනක්.
ඕනෑම භාෂාවක ඇදෙන්නෙ නැති අකුරු ගුරු මාත‍්‍රා සහ පෘථ මාත‍්‍රා. පෘථ මාත‍්‍රා කියන්නේ, ගුරු මාත‍්‍රාවකට තවත් ව්‍යංජනයක් එකතු වුණාම. එහෙත් ඒකත් අපි ගණනය කිරීමේ දී සලකන්නේ ගුරු මාත‍්‍රාවක් හැටියට.
උදාහරණයක් විදිහට ගත්තොත්, සිදත් සඟාවේ කියනවා ‘අඩමත් මළකර වේ’ කියලා. මාත‍්‍රා අර්ධය මළ අක්ෂරයක් විදිහටයි සැලකෙන්නේ. ඒක තනිව උච්චාරණය කරන්න බැහැ. උච්චාරණය වෙන්න නම්, තවත් අකුරක් එක්ක එකතු වෙන්න ඕනි. ඒ තමයි ඡන්දස පිළිබඳව තියෙන මූලිකම හැඳින්වීම.
මේ ගණ ඡන්දසේ දී සංස්කෘත කාව්‍යයේ ගණ අටක් හඳුන්වා දෙනවා. අභිචාරාත්මක අර්ථයෙන් ගත්තම ඒ ගණ අටෙන් හතරක් සුබයි. හතරක් අසුබයි. ඒ ගණ අට තමයි, මස්ථි, ගුරුස්ථි, ලඝුස්ච, නකාරෝ, බාදි, ගුරුමී, පුනරාදි, ලඝුෂ්‍යා, ‘ම’ ගණය ගුරු තුනක්, ‘ල’ ගණය ගුරු තුනක් ආදි වශයෙන්. ‘භූමි ගණේ ගුරු තුනයි. සිරි සැපදේ ‘ම’ ගණේ කියල සිංහලෙන් කියලත් තියෙනවා.
අපේ සිංහල කවියේ තිබෙන වර්ණ ඡන්දස ගත්තම, අපේ සිංහල කවියේ විශේෂත්වය තමයි, මාත‍්‍රා දෙකේ කවියේ ඉඳලා මාත‍්‍රා විසි අට දක්වාම පද තියෙන කවි තිබීම.
“කාමී
තාමී”
ඒ එක කවියක්. එහි එක පදයක තියෙන්නේ මාත‍්‍රා දෙකයි. ඒක අයිතිවෙන්නේ, ‘සිරි’ කියන විරිතට. ‘සඳ නම් ඡන්දසට.
“ලෝ මෙත්
පා මෙත්
බෝසත්
පෑ මෙත්”
ඒ මාත‍්‍රා හතරෙ කවියක්. ඒකම ජන කවියක තියෙනවා.
“දාවිත්
ඒවිත්
කාවිත්
බෝවිත්
දාවිත්
රෝසට
තෑගිත්
දේවිත්”
ඒත් මාත‍්‍රා හතරෙ කවියක්. ඒක අයිතිවෙන්නේ, ‘තලා’ විරිත හෙවත් මැදුම් ඡන්දසට.
“තිකුළු මීඇස් ගගා විලසින් එක කඳන් වට මනු වැරැද්ද...”
මෙහි මාත‍්‍රා විසි අටක් තියෙනවා. මේක අයිති වෙන්නේ, පුණු අතිපුණු කියන විරිතට මධු කියන ඡන්දසට.
ඒ සමඟම සංස්කෘත කාව්‍යයේ දී අපට මුණ ගැහෙන ගණ ඡන්දසේ කාව්‍ය හැඳින්වෙන්නේ, ශ්ලෝක නැත්නම්, සිලෝ ලෙසින්. ඒවා නම් කර තියෙන්නෙත් ඒ ගණවලින්මයි. උදාහරණයක් විදිහට ‘මාලනී’ විරිත ගත්තොත්, මාලනී කියන්නේ මල් පිපුණු ගහක් - මල්වලින් ආකුල වූ ගහක් දැක්කම ඇතිවන හැඟීම තමයි මේ විරිත පුරාම තියෙන්නේ.
මාලනී වෘත්තය හඳුන්වා දෙන්නේ ‘නණමයුතය මාලනී සොව්ලෝකේ’ යනුවෙන්. නණමයුතයෙන් කියවෙන්නේ, ‘න’,’ණ’, ‘ම’, ‘ය’ කියන ගණ පිළිවෙළින් ආවොත් විතරයි නණමයුතය නිර්මාණය වෙන්නෙ කියල. උදාහරණයක් විදිහට ජී. එච්. පෙරේරා කවියාගේ ‘තවම නූපන් අයට’ කියන කවි පෙළ ගත්තොත්, ඒ කවිය පුරාම දකින්නට ලැබෙන්නේ මාලනී විරිත.
“ළඟදී ඔය පළාතේ
බැල්ම ලාලත් දියේ මේ
උපදින අය ඇත්නම්
කාරියක් මම කියන්නම්!
මුලදි අපට කිව්වේ
නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි
දැන්ම මේවා කියන්නේ
රට බොහොම අසාරයි
ඉන්න උන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි
කම්මැලියි බාරදූරයි
‘අදර්’ මව් ‘මදර්’ වී
තාත්තාට ‘ෆාදර්’
සොඳුරට ‘මයි ඩාලිං’
‘කම් හියර්’ යයි දෙඩේවි
ගෙදර හිරමණේ පොල්
ගෑම ඉංගී‍්‍රසි තාලෙන්
මජරකම නොවේ නම්
මේ මොකක්දැයි ඉලව්වේ.
මාලනී විරිත අපේ රටේ ප‍්‍රසිද්ධියට පත්වෙන්නේ, ‘ගංගාරෝහණ වර්ණනාව‘ ආශ‍්‍රයෙන්. ‘සරණ සරණ සව් සත්දම් සතොස්සා..’ කියලා, සරණ මුදලිතුමා ආරම්භ කරන මේ කවිය තමයි, ‘සව් සත්දම් වාදය’ට මුල් වෙන්නේ. මේ කවියේ මාත‍්‍රා බෙදීම පිළිබඳව තමයි ‘සව් සත්දම්වාදය’ ඇති වෙන්නේ.
ඒ වගේම ඡන්දස අනුව ලියවෙන ‘ශාර්දූල විකී‍්‍රඩිිත කියල විරිතක් තියෙනවා. මෙහි ශාර්දූල විකී‍්‍රඩිිත කියල කියන්නේ කොටි පැටවුන් කී‍්‍රඩා කරන විලාසයට. කොටි පැටවුන් විතරක් නෙවෙයි, පූස් පැටවුන්, බළල් පැටවුන් සෙල්ලම් කරන කොටත් ඔය රිද්මයම තමයි තියෙන්නේ. සංස්කෘත කාව්‍යයේ නම්, මේකට උදාහරණයන් රාශියක් තියෙනවා. එක ප‍්‍රසිද්ධ කවියක් තමයි,
“ලක්ෂ්මී බිල්ලවනෙ කදම්භ කුසුමෙ
කත්‍යාංගනා කුංජරේ
දීනෙ තුංග රතෙ තුරංග ධවලෙ
ඡතෙ ධජෙ තාමරෙ...”
මේ විරිත අනුව සිංහලෙන් ලියවුණු බොහොම ප‍්‍රසිද්ධ කවියක් තියෙනවා. පැලෑනේ ශී‍්‍ර වජිරඥාන නාහිමියන් ලියපු, ‘දස බලුකම්’ කියල කවි පෙළක්. බලුකම් දහයක් ගැන මෙහි කියවෙනවා. ඉන් පළවැනි බලුකම තමයි,
සීලද්දෝ පහරක් ලදොත් පසු හැරී
එම ගල් එවුවන් සොයත්
බල්ලෝ නම් එම ගල් සපා කනු මිසක්
එවූවන් සොයන්නෝ නොවෙත්
ඒ ලෙස්නෙන් අවුලක් - දුකක් හදිසියේ
පත්තු වූ කෙනෙහී අයෙක්
කුල්මත් වී දඟලත් කිසිත් නොවිමසා
ඉක්මන් සටන්හි යෙදෙත්...”
මෙන්න දෙවැනි බලුකම.
“යම් යම් දස්කමකින් ඉදිං කොහොමවත්
බල්ලන් හුයෙන් හැදිලා
සිව්පාවුන් එක්සත් වෙමින් රජයදී
වැන්දත් පිදුවත් බැතින්
දැක්කත් හම් වහනක් නොකා සිටී ද ඌ
දැන් මං රජෙක්මැයි සිතා
කාගෙත් මුල් බලුකම් අලුත් රජකමින්
වෙන්වී පෙනෙන්නේ මෙසේ...”
මේ විදිහට මෙහි ‘ශාර්දූල විකි‍්‍රඩිත’ විරිතෙන් වජිරඥාන හාමුදුරුවෝ ‘බලුකම්’ දහයක් ඉදිරිපත් කරනවා. ඒ ඇරෙන්න සංස්කෘත ඡන්දස් අතරේ ‘වසන්ත තිලකා’ කියන විරිත බොහොම ප‍්‍රකටයි. ‘වසන්ත තිලකා’ කියල කියන්නේ, වසන්ත කාලයට තිලකයක් බඳු යන අදහසයි. අපි අහල පුරුදු ‘ජයමංගල ගාථා’ වල තියෙන්නේ මේ විරිත. ඒ වගේ තවත් ප‍්‍රකට විරිතක් තමයි, ‘තෝඨක’ විරිත. මාත‍්‍රා දහසයෙන් යුතු මේ විරිත සිංහලෙන් හඳුන්වන්නේ, ‘පෙඳෙක’ කියලයි.
අපිට සිංහල කවියේ ආකෘති හතරක් දක්නට ලැබෙනවා. එකක් ‘ගී’ ආකෘතිය, දෙවැන්න ‘සිව්පද’, තුන්වැන්න ‘සැහැලි’, හතරවැන්න සිලෝ හෙවත් ශ්ලෝක ආකෘතිය. ‘ගී’ ආකෘතියේ ගී ඡන්දස්වල අග එළිවැටෙන් තොරයි. පාද විෂම පාද, මුල එළිවැටකුත් නැහැ. මෙහි මාත‍්‍රා අසමානයි. උදාහරණයක් විදිහට ‘යා ගී’ විරිත ගත්තොත්, යා ගීවල තියෙන්නේ පළමු පාදයේ මාත‍්‍රා නමයයි. ඊළඟ පාදවල මාත‍්‍රා එකොළහ බැගින්. එය විෂම පාදයි.
“සැරද සුලකළකුරු මියුරු තෙපළෙන් රඳනා
රදකුල රහන් බැතිනී සියෙනී සැළලිහිණි සඳ...”
ඒ යා ගී විරිත
“පටවැරලි ගත්තෙන්
සරදමල් නොගත්තෙමි!
මනකා නොගන්නෙමි
නටන්නෙමි! වයන්නෙමි!...”
ඒ මාත‍්‍රා නමය, දහය ආදී වශයෙන් ලියවෙන උමතු විරිත.
සිංහල කවියේ සමුද්‍ර ඝෝෂය පල්වළක්ය කියලා, සකලවිධ ඡන්දස් ප‍්‍රතික්ෂේප කරලා කාව්‍යකරණයට එළැඹෙන, නිසඳැස් ලියනවාය කියන අභිධානයෙන් තමන්ම හඳුන්වා ගන්නා සිරි ගුණසිංහට කොච්චර දුරට පුළුවන් වෙනවද? මේ ඡන්දසින් මිදෙන්න.
“දහසක් ආවත් පැනගෙන
ඔබවැනි දැඩි පුන් සඳවල්
ඇගේ නියග පිපෙන එළිය
|නොලැබේ මට කවදාවත්...”
‘පැරකුම්බා සිරිතේ’ එන විරිදු හෙවත් මාත‍්‍රා විසි හතරේ විරිත සිරි ගුණසිංහ නොදැනුවත්වම භාවිත කරන හැටි බලන්න.
ඔදැති - තෙදැති රුපුනෙඩි මැඩි
විපුල විකුම් නාරායන
යුවති නයන මන පිනවන
රුසිරු තෙදැති නාරායන...”
මේ උදාහරණ කිහිපයත් ඔහුගේ ‘මස් ලේ නැති ඇට’ කෘතියෙන්.
“ණයට ගත්ත පැල්පතකි අතීතය
ගණ අඳුරයි එහි ඇති ආලෝකය
මිනිය වටේ හිඳගෙන වැලපෙනවා
හිනැහෙනවා
කොක් හඬලනවා...”
මේ කවි හැම එකකම වගේ තියෙන්නේ, ‘සෙත්සිරි දෙන මහ ගුණ මුහුදාණන්...’ කියන මාත‍්‍රා 16 ‘තෝඨක’ විරිතමයි. සිරි ගුණසිංහ ඉතාමත් අමාරුවෙන් වෙන්කරල ලියනව මෙහෙම ආකෘති විශේෂ කරලා.
“පණ ගනින් ගිනිදළුව
ජීවිතේ ආශාව
පණ පොවන්නට ඔබට
වුවමනා තරමටම
ගී වෙඬරු පරඬලා
දරකොට භූමිතෙල්
ගොඩනැගේ ජීවිතේ
සෑයකට ඇති තරම...”
මේ කොහොම පද බෙදුවත් මේ පද බෙදිල්ල ඇතුළෙ තියෙන මේ වෘත්ත ගන්ධි මාත‍්‍රා පහෙන් පහට බෙදෙන දසමත් විරිතම තමයි සිරි ගුණසිංහ භාවිත කරල තියෙන්නේ. ඒ විරිතම තමයි ගුණදාස අමරසේකර පාවිච්චි කරන්නේ 1955 දී නිකුත් වන ‘භාවගීත’ කාව්‍ය සංග‍්‍රහයේ ඇතුළත් වන මෙන්න මේ කවියට. එහි පද බෙදල තියෙන්නෙ මෙහෙමයි.
“ඔබේ
රතුමල් එක්ක
දිග ගවුම
හැඳ එන්න
එලෙස දැක ගන්ට ඔබ
මහට ඉවසුම් නැතිය...”
ඒ වගේ ම පද බෙදල අපට මේකත් කියන්න පුළුවන්.
“ආයුබෝ වනපෙතා
ඉසුරු අරමින් යුතා
ළමා ගුණ දළ නෙතා
ඉසුරු ඉන් බෝ වෙතා...”
කොපමණ පද බෙදා වෙන් කළත් මෙහි තියෙන්නෙත්, වෘත්ත ගන්ධියමයි. පස්මත් කැටිවලට බෙදෙන දසමත් විරිත දක්වා යන රීතියමයි.
සිරි ගුණසිංහ කවියාගේ එක් විශේෂත්වයක් තියෙනවා. ඔහු නිරුත්සාහකව භාවිත කරන මේ ස්වයං සිද්ධ ඡන්දස් හා විරිත් අතරේ කොතැනකවත් අපට මුණගැහෙන්නෙ නැහැ, සමුද්‍රඝෝෂ ආකෘතිය. ඒකට හේතුවෙන්න ඇත්තේ, කොළඹ යුගයේ කවිය සමුද්‍රඝෝෂ පල්වළක්ය කියල හැඳින්වීම. ඒ නිසා ඔහුගේ දැඩි අප‍්‍රිය අමනාපකමක් තිබුණා, සමුද්‍රඝෝෂ විරිතක් එක්ක. ඒ නිසාම ඔහු එය කොයිම වෙලාවකවත් පාවිච්චි කළේ නැහැ. එහෙත් ගුණදාස අමරසේකර කවියා එළිවැටෙන් තොරව භාවිත කළත් භාවිත කරන්නේ සමුද්‍ර ඝෝෂයමයි. සමුද්‍ර ඝෝෂය කියන්නේ ‘දෙසෙන් අටෙන් යති අටළොස් මතින් බැඳුණේ වේය සමුදුරු ගොස්’ කියන මේ ‘එළු ස¼දැස් ලකුණේ’ දැක්වෙන නිර්දේශයමයි.
පාදයක මාත‍්‍රා දහ අටක් තියෙන මේ විරිතේ දී දහ හතර වැනි මාත‍්‍රාවෙන් නැවැත්විය යුතුයි. ඊළඟට දහ අටවැනි මාත‍්‍රාවෙන් නැවැත්විය යුතුයි. ‘නලබල සසල දළරළ පෙළ’ කියල නවත්තන්න ඕනි. ‘නුබ නැඟෙන’ කියල දෙවනුව නවත්තන්න ඕනි. එහෙම කිව්වොත් විතරයි, සැබෑ සමුද්‍ර ඝෝෂය මතු වෙන්නේ. අමරසේකරගේ මේ කව් දෙකත් උදාහරණ විදිහට අරගෙන බලමු.
“වැස්ස වැටීමෙන් පසු
පොළොවෙන් නඟින
නැවුම් සුවඳ දැනුණා අප හට එවිට
පුළුල් සිනාවක් මෙන් හිරු ලෙස වැතිර
අමුතු ලෝකයක් පෙනුණා වට අවට..”
ඒ ඔහු ගේ ‘භාවගීත’ කෘතියෙන්. මේ 1976 ප‍්‍රකාශයට පත් කළ ‘ආවර්ජනා’ කෘතියෙන්.
“උඹේ මුද්ද අත්ඔරලෝසුව පෑන
ඇයි? රත්තරං පුතුනේ! එව්වේ මොටද?
මතක් වෙන්නවද? නැත්නම් විකුණගෙන
හාල් තුනපහේ අරගෙන කන්නට ද...”
එළිවැටෙන් තොරවුණාට ඒත් සමුද්‍ර ඝෝෂයමයි.
මේ සියල්ලෙන් අපි උත්සාහ කළේ ඡන්දස් විරිත් විසින් සිංහල කවියේ කරනු ලබන හික්මවීම ඉතාම ප‍්‍රබල බව කියන්න. කොයිතරම් අධානග‍්‍රාහිව කටයුතු කරන කවියකුට වුණත් ඉන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඒකට හේතුව තමයි, සිංහල භාෂාව ස්වයං සිද්ධ විරිත් හා ඡන්දස් ආශ‍්‍රය කිරීම.
අපි පාවිච්චි කරන ප‍්‍රස්ථාව පිරුළු බලන්න. ‘අනේ කාලේ වනේ වාසේ’, ‘කළ කළ දේ පල පල දේ’, ‘ආරේ ගුණ නෑරේ’. මේවා කවි නෙවෙයි. නමුත්, මේවයේ ඡන්දසක් තියෙනවා.
මේ සාමාන්‍ය කටවහරේ තියෙන යෙදුම්. ඒ නිසා, අපේ භාෂාව හැදිල තියෙන්නේ මේ ඡන්දසත් එක්කමයි. ඒ නිසා මට හිතෙන්නේ, මොනතරම් උත්සාහ කළත් අපේ කවීන්ට ඡන්දසින් මිදෙන එක ලෙහෙසි වැඩක් නෙවෙයි.

උපුටා ගැන්ම

No comments:

Post a Comment