ජීවනයේ ශාකය හෙවත් "ආශ්චර්යමත් ගස" ලෙසද හැඳින්වෙන Moringa oleifera මොරිංගා ඔලිෆෙරා නමින් උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන මුරුංගා ශාකය අතිවිශාල ඖෂධීය සහ ඖෂධීය නොවන ප්රතිලාභ සහිත වටිනාකම් රාශියකින් සමන්විත නිසා වැදගත් ශාකසාර ශාකයක් ලෙස වර්ගීකරණය වී ඇත.
මුරුංගා යන කුල නාමය බිහිවී ඇත්තේ දමිළ වචනයක් වන මුරුංගා යන වචනය අනුව බවත් එහි තේරුම "ඇඹරුනු කරල්" බවත් සඳහන් වේ.මුරුංගා හැඳින්වීම සඳහා තවත් පරිවාර නම් කීපයක්ම භාවිතා වන අතර ඒවා අතර, බහු මුල, දම්සමුල, ක්‍රිෂ්ණගන්ධ, ක්‍රිෂ්ණාෂිගුරු, මුරුංගි, කටුකන්ද, කෝමල් පත්‍රක ආදී නම් බහුල වශයෙන් භාවිතා වෙනවා.මුරුංගා ආහාරයක් ලෙස ගැනීමෙන් දෙවියන්ගේ ශක්තිය තමන්ට ලැබෙන බැව් හින්දු භක්තිකයින් විශ්වාස කරන අතර ඒ විශ්වාසයට පදනම් වූයේ මුරුංගා සතු අතිවිශිෂ්ඨ රසායණික සංයුතිය බව නොරහසකි. හින්දු භක්තිකයින් බහුලව වෙසෙන කේරල මලයාලම්, දක්ෂිණ ඉන්දියා දමිල ප්‍රජාව සහ විශේෂයෙන් ශ්‍රීලාංකිකයින් එහි ගුණාත්මක භාවය අතීතයේ සිටම හඳුනාගත් බවට ජනප්‍රවාදයෙහි සඳහන් වෙනවා.
මුරුංගා වල උපත ලෙස පිලිගනු ලබන්නේ උතුරු ඉන්දියාවේය. මුරුංගා ගස ඝර්ම කලාපීය රටවල හොදින් වැවේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව , මැලේසියාව, ඉන්දුනීසියාව, බුරුමය, පිලිපීන දූපත්, චීනය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව,බොහෝ අප්‍රිකානු රටවල මුරුංගා විවිධ ප්‍රභේද සහිතව ව්‍යාප්ත වී ඇත. ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවල සමහර මුරුංගා වර්ග මීටර 3 කට වඩා උසට නොවැඩේ.සමහර මුරුංගා මල් රතු පැහැතිය. සමහර මුරුංගා මල් සුදු පැහැතිය. ශ්‍රී ලංකාවේ කතරගම, අනුරාධපුරය, මන්නාරම, යාපනය, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල බහුලව ව්‍යාප්තිය සිදුවන අතර එයින් බැහැරව ලංකාවේ සෙසු පලාත්වලද මුරුංගා ශාකය පහසුවෙන් වගා කරගත හැක.
මුරුංගා වල අඩංගු අත්‍යාවශ්‍ය රසායන සංයෝග
විටමින් A
විටමින් B1 (තයමින්)
විටමින් බී 2 (රයිබොෆ්ලැවින්)
විටමින් B3 (නියාසින්)
විටමින් C (ඇස්කෝර්බික් අම්ලය)
කැල්සියම්
පොටෑසියම්
යකඩ
මැග්නීසියම්
පොස්පරස්
හම මතුපිට ඇතිවන තුවාල වේගයෙන් සුවකිරීමේ හැකියාවක් මුරුංගා සතු ඔක්සිකාරක ගුනයට හැකි බව සොයාගෙන ඇති අතර, සමහර මූලාශ්‍ර වලට අනුව මුරුංගා බීජ වලින් සාදාගනු ලබන තෙල් හිස්කෙස්වල සුවතාවය සඳහා භාවිතා කල හැකි බවද සඳහන් වේ.
මුරුංගා කොළ සතුව බොහෝ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වී ඇත.
නෙලාගත් කෝප්ප එකක එනම් ග්‍රෑම් 21 එකක් තුල
ප්රෝටීන් ග්‍රෑම් 2ක්ද
විටමින් B6: RDA හි 19%
විටමින් C: RDA හි 12%
යකඩ: RDA හි 11%
රයිබොෆ්ලැවින් (B2): RDA හි 11%
විටමින් A (බීටා-කැරොටින් වලින්): RDA වලින් 9%
මැග්නීසියම්: RDA හි 8% ආදී වශයෙන් අන්තර්ගතව ඇති බව පර්යේශණ වලින් සොයාගෙන ඇත.
ලෙඩරෝග මර්ධනය සඳහා මුරුංගා යොදා ගැනීම
දියවැඩියාව
දිගුකාලීන දැවිල්ල
බැක්ටීරියා, වෛරස් හා දිලීර ආසාදන
සන්ධි වේදනාව
හදවත් නිරෝගීතාවයට
පිළිකා
මුරුංගා ශාකයේ සෑම කොටසක්ම ආහාරයට මෙන්ම ඖෂධ ආකාරයට අතීතයේ සිටම ප්‍රයෝජනයට ගෙන තිබේ.මුරුංගා කරල් මෙන්ම මුරුංගා කොළද,මුරුංගා ශාකයේ මුල් සහ පොතුද වශයෙන් සියල්ල ප්‍රයෝජනයට ගතහැකි නිසා එය ඉතාමත් ආශ්චර්යයමත් ශාකයක් වශයෙන්ද සලකනු ලබයි.
මුරුංගා වලින් රසවත් ආහාර කිහිපයක් සකස් කරගන්නා අයුරු
වඩාත් ප්‍රචලිත මුරුංගා ව්‍යංජනය පිලියෙල කරගැනීම සඳහා අමුමිරිස්, තුනපහ, රම්පෙ, කරපිංචා,බීලූනු, උළුහාල්,කහකුඩු, සහ තරමක් දිගට කපාගත් මුරුංගා කරල් පොල්කිරි මිශ්‍රකර සුදු හොදි ව්‍යංජනයක් සේ සකස් කරයි.
මුරුංගා තෙලට
මුරුංගා කරල් 10 ක පමණ මදය
තක්කාලි ගෙඩි 2යි
සුදුලූනු කුඩා ප්‍රමාණයේ ගෙඩි 3 ක් පමණ
උම්බලකඩ තේ හැඳි 2 යි
ලොකුලූනු ගෙඩි 3 යි
අමුමිරිස් කරල් 6 යි
කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
කුඩු කුරගත් ගම්මිරිස් තේ හැඳි 1/2 යි
කහ තේ හැඳි 1/4 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
රම්පෙ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට
පොල් තෙල් මේස හැඳි 3 ක්
රසය අනුව ලුණු
දෙකට පලාගත් මුරුංගා කරල්වල මදය ඇට සමගින් සූරාගත යුතුයි. භාජනයක් රත්වීමට තබා එයට සුදුලූනු සමග කරපිංච සහ රම්පේ කොළ එකතු කල යුතුය.ඉන්පසුව බීලූනු, උම්බලකඩ, අමුමිරිස් එකතුකොට, බීලූනු අවශ්‍ය ප්‍රමාණයට තැම්බීගෙන එන විට එයට කපාගත් තක්කාලි දමා කලවම් කරගත යුතුයි. ඉන්පසු එයට සූරාගත් මුරුංගා මදය එක්කොට භාජනය වසා මදගින්නේ තැබිය යුතුයි. මඳ වේලාවක් මදගින්නේ තැම්බුනු එයට නැවත දියලුනු, ගම්මිරිස් කුඩු සහ කහකුඩු එකතුකර කෑලිමිරිස්ද එක්තොට මඳ වේලාවකින් බාගත යුතුයි.
රටකජු මිශ්‍ර මුරුංගා කොළ කටගැස්ම
අමු රට කජු ග්‍රෑම් 200 ක් පමණ
මුරුංගා කොළ ග්‍රෑම් 200 ක් පමණ
කෑලි මිරිස් මේස හැඳි 2 යි
උම්බලකඩ මේස හැඳි 3 යි
බී ලූනු ග්‍රෑම් 500 ක්
ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
පොල්තෙල්
අවශ්‍ය ප්‍රමාණයට ගැඹුරු තෙලේ බැදගන්නා ලද රටකජු, බී ලූනු, උම්බලකඩ වලට මුරුංගා කොළවල පැහැය වෙනස් නොවන ප්‍රමාණයට එක් කොට, මිශ්‍රකර උණුසුම තිබියදීම කෑලිමිරිස් සහ දියලුනු එක් කරගත යුතුයි. එය ඉතාම රසවත් කටගැස්මකි.
මුරුංගා සම්බෝලය
මුරුංගා කොළ ග්‍රෑම් 150 ක් පමණ
අමුමිරිස් කරල් 6 ක් පමණ
රතුලූනු ගෙඩි 7- 10 ක් පමණ
පොල් බෑයක ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට
දෙහි බෑයක පමණ යුෂ
උම්බලකඩ මේස හැඳි 1 යි
රසය අනුව ලුනු
සෝදා දිය බේරෙන්නට තැබූ මුරුංගා කොළ පසුව සිහින් ප්‍රමාණයට ලියාගතයුතුයි. රවුම් හැඩයට ලියන ලද රතුළූනු, නිසි ප්‍රමාණයට ලියාගත් අමුමිරිස්, ලුනු, ගාගත් පොල්, සහ උම්බලකඩ එකම මිශ්‍රණයට දමා අතින් කලවම් කරගත යුතුයි. ඒ මත දෙහි යුෂ දමා හොඳින් කලවම් කර, පසුව මුරුංගා කොළ නොතැලෙන සේ කලවම් කර ඒ මත ගම්මිරිස් කුඩු විසිරුවිය යුතුයි.
මුරුංගා මල් මැල්ලුම
මුරුංගා මල් ග්‍රෑම් 100 ක් පමණ
පොල් බෑයක් පමණ. මෙය කලටි පොල් නම් වඩාත් සුදුසුයි.
රතුලූනු ගෙඩි 6 යි
අමුමිරිස් කරල් 3 යි
කරපිංචා ඇවැසි පරිදි
කහ කුඩු තේ හැඳි කාලක් හෝ අවශ්‍ය ප්‍රමාණයට
රසය පරිදි ලුනු
පළමුව මුරුංගා මල් හොදින් සෝදා වතුර බේරා ගතයුතුයි. දෙවනුව පොල් සමග අමුමිරිස්, ලුනු,කහකුඩු, රතුලූනු, එක්කොට ගලේ අඹරා ගත යුතුයි. අනතුරුව ගල සෝදා එකතු කරගත් වතුර මැටි භාජනයකට දැමිය යුතු අතර, එයට ගලේ අඹරාගත් මිශ්‍රණය එකතු කරගෙන මඳ ගින්නෙන් විනාඩි 4ක් වැනි කාලයක් තම්බාගත යුතු අතර පොල් මැලවී ගිය පසුව මුරුංගා මල් සහ කරපිංච කොල එක් කර එකී මිශ්‍රණය හැන්දෙන් කූරු ගාමින් පිසගත යුතුය.
මීට අමතරව රසවත්ව සාදාගත් මුරුංගා කොළකැඳ ශරීරයේ සියලු දොස් සමනය කොට පෝෂදායි බවක් ගෙනදීමට සමත් වන බව පැරණි පොතපතෙහි සඳහන්ය. රසායණික පොහොර කිසිවත් අවශ්‍ය නොවන ඖනෑම පරිසර තත්වයක් යටතේ වැවෙන මුරුංගා ශාකය ඔබේ නිවසටත් නැතිවම බැරි ශාකයක් බව මෙයින් වැටහී යනු ඇත.
මූලාශ -
https://en.wikipedia.org/https://www.webmd.com/ https://www.sirikatha.lk/article/tasty_food/, https://pmc.ncbi.nlm.nih.gov https://www.subasetha.lk/, https://www.prisilasblog.com/ https://www.medicalnewstoday.com/ https://www.healthline.com/
ඡායාරූප මූලාශ්‍ර https://mahamegha.lk/ https://siyahanda.com/ https://divaina.lk/ https://www.pinterest.com/
0 Comments