සිංහල කවිය

සිංහල කවිය දෙවියන්ගෙන් නැති නම් කිසියම් අද්භූත බලවේගයකින් පහළ වූ ප්‍රතිපාදනයක්‌ නොවේ. පරිසරයේ බලපෑම් සහිතව ස්‌වාභාවික හේතූන් තුළින් උදා වූ මෙම සුභාවිත කලා අංගය බොදු සමයේ ආභාෂය ලැබූවකි. එය සම්භවය ලැබුවේද විකාශනය වූයේද, ව්‍යාප්තව ගියේද බෞද්ධ දර්ශනයේ නිර්මල චින්තන ධාරාව වැළඳ ගනිsමිනි.
සිංහල කවියට වඩා තරමක්‌ ප්‍රාක්‌ත වූද සමකාලීන වූද භාරතීය කාව්‍ය නිර්මාණ දෙවියන්ගෙන් ලැබුණු වරප්‍රසාදයක්‌ සේ සැලකුණද දෙවියන් පිනවීම සඳහා උපයෝගී කරගත් සන්නිවේදන මාධ්‍යයක්‌ වුවද එහි ප්‍රශාඛාවක්‌ වන සිංහල කවිය එබඳු තත්ත්වයකට පත් නොවීය. එයට හේතු වූයේ සිංහල ජාතිය බුදු දහම තුළින් ලැබූ මානසික සංස්‌කෘතිය පාදක කොට ගැනීමයි.

වෛදික යුගයේ ජීවත් වූ භාරතීය චින්තකයන් ස්‌වකීය කාව්‍යමය චින්තාවන් ප්‍රකාශයට පත් කිරීමේදී ප්‍රකෘති වන්දනයෙහි ලා බැහැව ගත් සැටි ආදිතම වේද ගීතිකාවන්ගෙන් සනාථ වෙයි. අහස - පොළොව- සඳ - හිරු - අව් - වැසි සුළඟ - කුණාටුව ආදිය අදෘශ්‍යමාන මායාකාරී බලවේගයන්ගෙන් සමන්විත වූ දෙවියන් සේ සලකා නිර්මාණය කළ කිවි පබැඳුම් විචාරකයන්ගේ සිත් සතන් යොමු කරවන්නේ ඉහත සඳහන් නිගමනයට එළඹීමටය.

සිංහල පද්‍ය වංශයෙහි සඳහන් වන පැරැණිතම හෙළ පැදි වශයෙන් ඉදිරිපත් කළ හැක්‌කේ මෙතෙක්‌ සොයාගෙන ඇති ගලෙහි කෙටූ සෙල් පැදිය. එය සිංහල සාහිත්‍ය වංශයෙහි ආදිම අවස්‌ථා ගවේෂණය කරන නිරීක්‍ෂකයන්ගේ දැඩි අවධානය යොමු කරවන්නකි. එම සෙල් ලිපි කවි සිංහල කවි පුරාණයේ මුල් අවධිය පිළිබඳව නොබිඳිය හැකි සාධක සපයා ගැනීමට උපකාරවත් වන හෙයිනි. මේ වූ කලී භාරතීය කාව්‍යය සාහිත්‍යයෙහි වුවද දැකගන්නට පිළිවන් වන්නක්‌ නොවෙයි. භාරතයේ ආදිතම කවියා වශයෙන් හැඳින්වෙන වාල්මිකී න් කළ රාමායනය පවා ආචීර්ණ කල්පිත දේව විශ්වාසයන්ගෙන් හැසී ගැවසී සිටී. මුල්ම අවධියේ කාව්‍යමය නිර්මාණ තුළින් පවා සිංහලයේ කවීන් ප්‍රදර්ශනය කළ අදීන චින්තන ධාරාව ප්‍රශස්‌ත තත්ත්වයෙන් අධික ආකර්ෂණයක්‌ ලබන්නේ එය දේව සංයුතිය බැහැර කොට ඇති බැවිනි.

පැරැණිම භාරතීය කවීන්ගේ කවි නිමැයුම්වල වැඳුම් - පිදුම්, යෑදුම් - යාදිනි, කන්නලව් ආදී මානසික සංකල්පවලට සමීප වන සිතුවිලි පිළිබිඹු වන අතර, පැරැණිම සිංහල පැදිවල විද්‍යාමාන වන්නේ බුදු ගුණයෙන් විසිතුරු වූ මානසික ස්‌වාධීනත්වය ළඟා කරවන දාර්ශනික චිත්තාවේගයි. මෙම විශේෂය සකල සිංහල කවි අන්වය පුරාම ඉඳුරා දකින්නට ලැබෙන්නකි. මේ තාක්‌ සොයාගෙන ඇති පැරැණිතම සෙල් ගී පවා මීට සාධක සපයයි. සිංහල කවියේ සම්භවය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරැදි තීරණයක්‌ ගැනීමට එම සෙල් ලිපි අනුබල දෙන්නේය.

සිංහල කවියේ සමාරම්භය ගැන පර්යේෂණයක යෙදෙන විට එහි කාල නිර්ණය සලකා බැලිය යුතුවෙයි. එහිදී අපට පෙනෙන්නේ එම මූල අවස්‌ථාව ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවස පමණ ඈතට විහිද යන බවයි. කොස්‌සොගම, කිරින්ද, තිස්‌ස, අකුරුගොඩ, කුසලාන කන්ද, හබුතගල, කරඳපොළ, කොරතොට, නුවර කන්ද යන ආදී ස්‌ථානවලින් සොයාගෙන ඇති ගී හුරුව ගත් ගලේ කෙටූ ලිපි මෙහිදී බෙහෙවින් වැදගත් වෙයි. නිදර්ශන වශයෙන් මතු දැක්‌වෙන පැරැණිතම සෙල්ලිපි අතර දක්‌නට ලැබෙන රචනා, ඉදිරිපත් කළ හැකිය.

අපරිමිතෙ ලොකහි බුධ

සමෙ නතී අඨාන පරම දුලබෙ

සවඳුතපතෙ අනුතරෙ සථෙ

මහසරණෙ (ලො) කච (ක) බුධ නම සය භූ

මෙ ගලහි විහරෙ නක

උවර (ජෙන) ම බුධ සරණ

ගතෙ මිවිය දිටික බිඳය

(යහ) (මහ) (පර) (ය) (ණ) භූතෙ

මෙහි ගී වල වාච්‍යාර්ථය මෙසේය.

අපරිමිත ලෝකවල අර්ථයන් අතුරෙහි පරම දුර්ලභ බුදුන් හට සමයෙක්‌ නැත්තේය. ඒ බුදු රජ සර්වඥතාවයට පැමිණියේය. අනුත්තරය. ශාස්‌තෲය. මහ පිහිටය. ලොවට ඇසක්‌ බඳුය. බුද්ධ නම්ය. ස්‌වයංභූ ය.

මෙම ගලෙහි පිහිටි විහාරයේදී නාග නම් උපරජ මිථ්‍යා දෘෂ්ඨිය බිඳ දමා බුදුන් සරණ ගියේය. යහ මග පරායන වූයේය. ක්‍රිස්‌තු පූර්ව පළමුවැනි සියවසට අයත් යෑයි විශ්වාස කරනු ලබන මෙම ගී ඡන්දස්‌ ශාස්‌ත්‍රයට අනුකූල වන පරිද්දෙන් ලියෑවී ඇත. පළමුවැනි ගීය උද්දීති විරිතෙන් ද, දෙවැන්න ගී විරිතෙන් ද බඳනා ලද හෙයින් පිළිගැනේ. මෙම ගී සටහන් වන සෙල් ලිපි සොයාගෙන ඇත්තේ කිරින්දෙනි. මෙතෙක්‌ සොයාගෙන ඇති කවි සෙල්ලිපි අතර මෙයට හිමි වන්නේ දෙවැනි තැනය. කොස්‌සොගම කන්ද සෙල් ලිපිය මෙයට වඩා පැරැණි කොට සලකන බැවිනි. බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියෑවී ඇති පැරැණිතම සෙල් ලිපි කිහිපයක්‌ කිතු වසට පෙර තුන් වැනි, දෙවැනි, පළමුවැනි සියවස්‌වලට අයත් යෑයි පුරා විද්‍යාඥයෝ සලකති.

කොස්‌ගම කන්ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මරදන්කඩවල අසල පිහිටි ස්‌ථානයකි. එම පියසෙන් සොයා ගන්නා ලද සෙල් ගී ලිපිය ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසට අයත් කොට සලකති. මේ එම ගීයයි.

මහරධජහ ගමණී

අබයහ දෙවනපියශ

(ර) ම (ණී) බ (රී) ය මිලකතිශ

විහරෙ කා (රි) තෙ කතිය

'දෙවියන් හට ප්‍රිය වූ ගාමිණී අභය මහ රජතුමාගේ රමණීය භාර්යාව වන කතිය විසින් මිලකතිශ විහාරය කරවන ලදී" යන්න මෙම ගීයෙන් පැවසෙන අදහසයි. සෙල් ලිපිය ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසට අයත් යෑයි සැලකේ. ක්‍රිස්‌තු පූර්ව පළමුවැනි සියවසට අයත් කොට සැලකෙන තවද සෙල් ලිපියක්‌ කුසලාන් කන්දේ කොටා ඇත. ආලය පිළිබඳව නිශ්චිත නිගමනයක්‌ නැත ද මෙම ලිපිය ක්‍රිස්‌තු වර්ෂයට පෙර පළමු වැනි සියවසට අයත් කොට සලකනු ලැබේ. එම ගී ලිපියෙන් කියෑවෙන අදහස මෙසේය. නාග උප රජුගේ පුත්‍රයා අභය නම් රජය. ඔහුගේ පුතු "ගමිණිතිෂ" නමි. ඔහු විසින් සුදර්ශන නම් ලෙන සංඝයා සඳහා කරවන ලදී.

රුහුණු මාගම්පත්තුවේ තිස්‌ස අකුරුගොඩ ගී ලිපියෙන් කියෑවෙන අදහස මතු දැක්‌වෙයි. වැඩෙන තෘෂ්ණාව නම් වූ යම් ධර්මයක්‌ වේද, එය බිය නම් වෙයි. තිස්‌සගේ රාජකීය ග්‍රාමයෙහි ජනයා මිසදිටු බවටත්, ආසා සංඛ්‍යාත තෘෂ්ණාවටත් වැටෙන්නට නොහැක්‌කේ ද හැක්‌කේමය. එහෙයින් මිසදිටු බව බිඳුණු කැමති බුදු රජුන් සරණ ගිය නාග උපරජ නම් මවිසින් උප රජ කාලයෙහි පිහිටුවන ලද ටැම් ලිපියයි මේ. බුදු දම් සඟ යන තුනුරුවන් ගුණ කියෑවෙන මෙම ගී දෙක ලියෑවී ඇත්තේ උප ගීති හා ගී යන විරිත් වලිනි. එම ගී මතු දැක්‌වෙයි.

ය ගෙධම සෙ බයෙ නාම

සගවඩමනෙ නාම මිච දිටික

ජන අවතයනෙ භකියෙ සග

ආසාතිසොහ රජකිය ගාමෙ



මිචදිටි බිනක අටි

මථිම බුධ සරණ ගතෙ

නා උවරජෙ නාම

කඩ උවරජ කාලහි

කිරින්දේ කවි දෙක කෙටුණු ගලට දකුණු පැත්තේ ඇති ගුහා වෙක තවද ගී අඩක්‌ දක්‌නට ලැබෙයි. මෙම ගී අඩ කලින් දැක්‌වුණු ගීවල අකුරුවල ස්‌වභාවයට වඩා වෙනස්‌ව ලියෑවී ඇත. ලියෑවී ඇත්තේ බ්‍රාහ්මී අක්‍ෂර වලිනි. එම ගී අඩ මෙසේය.

"මචුළි රධශ මණිකරශෙ

ශිල ඉට ක කටය අගතශෙ මඩුගතශෙ"

ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසට අයත් කොට සැලකෙන මෙම සෙල් ගීයෙහි අදහස දැක්‌වෙන්නේ මෙසේය.

"ගල් කඩොල් කපනු පිණිස මෙහි පැමිණි මහා චූළික රජුගේ ගල්කරුවෝ මෙහිදී මරුගේ වසඟයට පත්වූහ."

පාළි හා සංස්‌කෘත භාෂාවල දැක්‌වෙන ආර්යා වෘත්ත ලක්‍ෂණ විද්‍යමාන වන පත්ථ්‍යා නම් විරිත අනුව මෙම ගීය රචනා කොට ඇති බව සලකනු ලැබේ.

මුල්ම අවධියට අයත් තවද සෙල් කවියක්‌ කරඳපොල සෙල් ලිපි අතර දක්‌නට ලැබේ. මෙම ගීයෙන් කියෑවෙන්නේ කාවන්තිස්‌ස මහ රජතුමාගේ හබුතගල විහාරයෙහි සංඝයාට තමා සතු මහව වැව මත්තා නම් උපාසිකාව විසින් පූජා කරන ලද වගය. මෙම ගීය ලියෑවී ඇත්තේ යහ ගී ඒ විරිතෙනි. මෙසේය.

හබුතගල විහරහි - කකවණතිශ මහරජහ

උවසික මතු තුමහ වවි - සඟ දිනෙ ම (හ) ව

මෙම අවධියටම අයත් යෑයි සැලකෙන මතු දැක්‌වෙන ගීය දුවඟ ගී විරිතෙන් බඳනා ලද්දකි.

පරුමක ශුමන පිත

පරුමක ශුමනහ ලෙන

අගත අනගත චතුදිශ

ශගශ දිනෙ මහපදශන නම

ප්‍රමුඛ සුමනගේ පුත්‍රයා ප්‍රමුඛ සුමනගේ මහා පදශන නම් ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට දෙන ලදී. මෙම ගීය කොරතොට සෙල් ලිපියෙහි දක්‌නා ලැබේ. නුවර කන්ද ගී ලිපියද මෙම අවධියට අයත් වන්නකි. එයින් කියෑවෙන්නේ දීගල්ලේ ගෝපක සුමනගේ පුත්‍ර රාජභූතික නමැත්තා ධනුර්ධරාචාරීන්ගේ ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට දුන් වගය. එම සෙල් ගීය මෙසේය.

දිගලෙ ගවක ශුමන

පුත රද බුතිය ලෙණෙ

අගත අනගත චතුදිශ

ශගශ දිනෙ දනු අචරියහ

මෙම යුගයටම අයත් යෑයි සලකනු ලබන තවද ගී ලිපියක්‌ මුල්කිරිගලින් සොයාගෙන ඇත. කාලය විසින් නිගමනයකට එළඹ නැති ගලේ කෙටූ මෙම ගීය කිතුවසින් දෙවැනි සියවසට අයත් සේද සලකනු ලැබේ. මුල්කිරිගල නොහොත් මූකිරිගල ගී ලිපියෙන් කියෑවෙන්නේ කහවැව් ගම අධිපති මහල්ලන් විසින් මුහුන්දු ගිරි (මූගිරි) ගල විහාරයෙහි මෙම පොකුණෙහි පියගැට සතරක්‌ අට මසුරමක වියදමෙන් කරවන ලද වගය. මෙම රචනය ද ගීති වෘත්ත භේදයකට අයත් බව කල්පනා කරනු ලැබේ. ගීය මෙසේය.

මුහුන්දු ගිරිය කහවැල්

කියන රාල් මහල්ලන්

විසින් දියෙහි මස්‌සට

කෙටවූ සතර පිය ගති

ඉහත දැක්‌වුණු ගීවලින් ලියෑවුණු සෙල් ලිපි පිළිබඳව කාලය නිර්ණය කිරීමේදී මතභේද මතුවී ඇතත්, එම ගී අනුරාධපුර යුගයේ ආදිම අවස්‌ථාවට අයිති බව නියත වශයෙන් පිළිගනිති. එසේම මෙම යුගයටම අයත් වන තවද ගී ලිපි කිහිපයක්‌ සම්බන්ධයෙන් විචාරකයන්ගේ අවධානය යොමු වී ඇත්තේය. මෙම සෙල් ලිපිවල පද ගඨනාව කිසියම් විශේෂ රටාවක්‌ අනුව යෙදී ඇති බව වටහා ගත් පුරා විද්‍යා කොමසාරිස්‌ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලවලින් විදහා දැක්‌වුණේ එම සෙල් ලිපි ගී ලිපිය ගී විරිත් ලකුණුවලින් සමන්විත වන බවයි. මෙම ගී ඉන්දු ආර්යයන් විසින් උපයෝගී කර ගන්නා ලද විරිත්වල අභාෂයෙන් සකස්‌ වූ රචනා විශේෂයක්‌ ලෙස සැලකේ. රචනයෙහි බාහිර ආකෘතිය මෙහි විශේෂ සමීක්‍ෂණයට භාජන වී ඇත. පැබැඳුමේ සැලැස්‌ම රටාව හා ආකෘතික ලක්‍ෂණ සම්බන්ධයෙන් පැහැදිලි ස්‌වරූපයක්‌ විද්‍යමාන වන බැවින් එම රචනා ගී වෙසෙස්‌ වශයෙන් හඳුන්වා දී ඇති බව පැවසිය යුතුය.

1945 මුද්‍රණයේ ප්‍රකාශයට පමුණුවන ලද රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ ශාස්‌ත්‍රීය සංග්‍රහයෙහි පළමුවැනි වරට පළවූ ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ ලිපියෙන් මෙම තොරතුරු වත්මන් පරපුර ඉදිරියේ අනාවරණය විය. එම පර්යේෂණාත්මක ලිපියෙන් පරණවිතාන සූරීහු ආදිම යුගයේ ගී තුනක්‌ ගැන තොරතුරු අනාවරණය කළහ. සිංහල කවිය පිළිබඳව නව ආලෝක ධාරාවක්‌ විහිද යන්නට පටන් ගැනුණේ එම විධිමත් පර්යේෂණය පදනම් කොටගෙනය.

ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ ඉහත සඳහන් ලිපිය පළවන තුරු පැරැණිම සිංහල රචනා නිබන්ධ කරන ලද විරිත් පිළිබඳව නව යුගයේ පාඨකයන්ට කිසිම දැනීමක්‌ නොතිබිණ. මෙම පර්යේෂණවල ප්‍රතිඵල ඔස්‌සේ තව තවද ගලෙහි කෙටූ ගීවල විස්‌තර හෙළි පෙහෙළි වන්නට වූයේය. කුසලාන කන්ද, කරඳපොළ යන ස්‌ථානවලින් සහ තවත් තැන් කිහිපයකින් සොයා ගන්නා ලද ගලෙහි කෙටූ ගීවල විරිත් ලකුණු දක්‌නට ලැබෙන බව විචාරක ඇසට හමුවිය. පරණවිතාරණ සූරීන්ගේ ලිපියෙන් අනාවරණය වූ තවත් වැදගත් කරුණක්‌ නම් කොස්‌සගම කන්ද සෙල් ගීය අදත් සිංහලයන් අතර බෙහෙවින් ප්‍රචලිත වන යා ගී විරිත මත පිහිටා රචනා කොට ඇති බවය. යා ගී විරිත් ලකුණු එළු සÄස්‌ ලකුණෙහිද දක්‌නා ලැබේ. එකම සිංහල ඡන්දස්‌ ග්‍රන්ථය වන එළු සස්‌ ලකුණෙහි නොදැක්‌වුණු ගී විරිත් ලකුණු පිහිටුවා බඳනා ලද ගී සෙල් ලිපි අතර දක්‌නට ලැබේ. මෙම සාධකවලින් වියත් වන්නේ සිංහල කවියේ ආදිම අවස්‌ථාවේ පටන්ම හෙළ කවි පැබැඳුම් සඳහා විරිත් වෙසෙස්‌ රැසක්‌ම පරිභාවිතයෙහි පැවති බවය.

ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසේ පටන් සිංහල කවිය හැඩ ගැසෙන්නට ඇතැයි ඓතිහාසික සාධක මත පිහිටා තීරණය කරනු ලැබේ. සිංහල කවියේ සමාරම්භය පිළිබඳව තීරණයක්‌ ගැනීමේදී ගලෙහි කෙටූ ගී වල අක්‍ෂර භාෂාව සහ ආකෘතික ලක්‍ෂණ ප්‍රමාණවත් කරගනු ලැබේ. මිනිස්‌ චින්තනයේ ස්‌වාධීනතාව තුළින් පහළ වූ චිත්තාවේගයන් මෙම කවිවල පිළිබිඹු වී ඇති වග සිංහල කවියේ මුල්ම අවස්‌ථාවේ පටන්ම විද්‍යමාන වන්නකි. ඒ වූ කලී ලෝක සාහිත්‍යයෙහි තැන්පත්ව ඇති අනෙක්‌ බොහෝ කවි සිතුවිලිවලට වඩා වෙනස්‌ කාව්‍යමය චින්තා ධාරාවකි. එයින් පෙන්නුම් කරන්නේ උත්කෘෂ්ඨ ලෙස නැගී සිටි කවි සිතුවිලි වැලක්‌ මුල පටන්ම සිංහලයන් සතුව පැවති බවය. සැපවත් දේශගුණයකින්ද සමතුලිත කාලගුණයකින්ද පොහොසත් වී දැකුම් කටයුතු භූගෝලික ලක්‍ෂණවලින්ද සමන්විත වන ශ්‍රී ලංකාවේ ජනතාව ආදියේ පටන්ම ස්‌ව ශක්‌තිය ස්‌වයං රක්‍ෂණය හා ස්‌වයංජාත චින්තනය කෙරෙහි විශ්වාසය තැබූ පිරිසකි. එම ජනතාව අතරින් මතු වූ කවි හැඟීම්ද නිදහස්‌ නිවහල් දැහැමි ගතියෙන් උසස්‌ය.

ඔවුන් සිය කවි නිමැවුම්වලට වස්‌තු විෂය තෝරා ගැනීමේදී ද සන්දර්භය සකස්‌ කර ගැනීමේදී ද ස්‌වකීය අදීන චින්තන පරම්පරාවට ප්‍රමුඛත්වය දෙන්නට සිතා මතා ගත් සැටි මෙම රචනා තුළින් දැක ගන්නට පිළිවන. එහිදී බුදු සමයේ ආභාෂය ඔවුන්ගේ කවි සිතුම් පැතුම් මානව භක්‌තිය තුළ හදා වඩා ඔප මට්‌ටම් කොට අපූර්ව චමත්කාරයක්‌ ලබාදීමට බැහැව ගත්තේය. ඔවුන් පරමාශ්වාදය ලැබුවේ ස්‌වාභාවික කලාංගයකට බුදුගුණ මහිමය සහ බොදු දසුන් උරුමය ඇතුළු කිරීමෙනි.


මහාචාර්ය 
ප්‍රණීත් අභයසුන්දර 
 

Post a Comment

0 Comments