Saturday, 17 August 2013

අරුමය විහිදා බලා සිටියි


ජීවිතේ...ජීවිතේ....
මිහිරි සුවය දෙන අසුරු සැනකට
ඊලඟ මොහොතේ කණපිට පෙරලෙන
දිගු කලක් ඒ සුවයම දුකදෙන
මීපැණි තැවරූ දැලිපිහියක් සේ..
ලොවන විටදි තොල් කැපී කැපී යන..
අරුමය විහිදා බලා සිටියි...

අරුත් සුන් දේ අරුතින් පුරවා
දුකින් වැසුනු දේ සැපයෙන් පුම්බා..
අනියත දේ නියතෙන් රස ගන්වා
අහිමි දේ හිමි ඇති ලෙස රවටා...
විඳින විටදි දුක සැපයෙන් සඟවා
මොහොතක සුවයෙන් මත්වී බමවා
අරුමය විහිදා බලා සිටියි..

දෙතොල පිපාසෙට කරදිය හුරු කොට
සදා නොනිමි දිය පවසක් සාදා...
අසන දකින ගත පහස විඳින ලෙස
මරුවා සාදන උක්දඬු ගින්නෙන්
නොතින් ආශා සීතල සුළඟට
තපිනා ගිනිමැල නිරතුරු සොයනා
ඒ ගිනිමැලයෙහි නිරතුරු දවනා
අරුමය විහිදා බලා සිටියි...


යම් මතු දිනයක


නිවාගන්න ඔය වෙහෙස ඔබේ
මා යන්නම් හති වැටෙන ඉසව්වට..
බර උසුලාගෙන
වන්දනා ගමනේ..
නටබුන් පුරයක
පාළු ඉසව්වක..

දෙවියන් නැති දෙවොලක් අභියස
කිසිවකු නිවා දැමූ
තෙල් පහණක් ඇති පූජාසනයේ
මල් පරවී ඇත..

මේ දෙවොලේ ඔබ දෙවියන් අයැදියි
වග වලසුන් ගෙන් 
මිදී සිටින්නට
හුදෙකලාවම..

යන්නට ඇති මග 
මගේ දෑස්  ඉදිරියේ..
තනිව යන්නට නොහැකි වූවත්
ඔබත් එහි නොඑනා නිසා..
ඔබේ දෙවියන් සමග ඉන්නට
ඔබට ඉඩදී..
මා යන්නම්...
අනතුරේ..

‍දෙවියන් නැති බව
යම් මතු දිනයක
සිහිපත් වී ඔබ නැවත හැරෙන විට
මා ආ මාවත
වනය විසින් අවුරා තියේවිද??

වෙනස් නෙවෙනා යමක් සොයමින්


නෙළුම් පතෙක වැටි දිය බිඳුවක් සේ
නොතැවරී හැලිලා...
නිම් නැති අහසේ පෑ දේදුනු සේ
නොනැවතී මැකිලා...
යන්ට නම් ඇයි හමුවූනේ...ඇයි
වෙන්ව යන්නට එක්වූයේ...

සනාතන දහමක ඉදන්
අනාථව දිවි සරණ තුරා
අසරන සරණය ඔබෙන් ලැබේවිද
ඔබත් මෙලොව අසරනව නිසා...

තිර දෙයක් මුණ ගැහෙයි කියා
නොතිර දේටම සිත ගියා
වෙනස් නෙවෙනා යමක් සොයමින්
වෙනස් කම තුලටම වෙලා...