Saturday, 25 May 2013

පියවිලි වසාගෙන


පියවිලි වසාගෙන
ලෝකය අතපත ගාන
පියවිලි වසාගෙන
සිතිවිලි ප්‍රසූත කරවන
අන්ධකාරයේ.....
එළියට බියපත් නිසාද
දැල්වෙන පහන්සිළු කටින් පිඹ
නිවා දමනු යේ....
කවුළු පියන්පත් වසාගෙන
යතුරු සිදුරෙන් .....
ඇසක් වසාගෙන එක් ඇසකින්
ඇයිද ලොව දක්නට
වෙහෙසෙන්නේ....
යතුරු සිදුරට වඩා
ලෝකය පුළුල් බව
ඇයි කිසිවිටෙක
නොසිතූවේ.......

නිවෙන්නට මේ රුදුරු ගිනිකඳ


නිවෙන්නට මේ රුදුරු ගිනිකඳ
වසින්නට මහ සිසිල් වැස්සක්
නිලංකාරවු අහස් කුසටම
හැර කොහෙන් පිලිසරණක් සොයන්නෙම්...

කල්ප ගනනක් වියලි කතරක
වැතිර උන්නා සේ දැනේ..
කල්ප ගනනක් නිසරු කතරක
දෙපා ගෑටුවා සේ දැනේ....

කල්ප ගනනක් අන්ධ දෑසින්
ලොව අඳුර දුටු සේ දැනේ
කල්ප ගනනක් බිහිරි දෙකනින්
කිසිත් නෑසුව සේ දැනේ....



නිවී පහන් වී සිත්


නිවී පහන් වී සිත් 
සුවපත් වේවී.....
නිවී දිලෙන තරු රෑනෙන්
පාලොස්වක සඳ ඒවි..
වෙසක් සඳේ මුදු කිරනින්
මෙත් මුදිතා ගලා හැලෙයි
නිරන්තරේ වන වදුලේ
වනමල් මුනිඳුටම පිපේ...

හදකුටියේ සන්තාපය
මුනි බණ පද වලින් නිවේ...
නෙතින් ගැලුව කඳුලු දහර
සිල් සිසිලෙන් නිවේ නිවේ..
නවතන්නට බැරි අහසේ
වලාපෙලක් පාවෙනවා..
දුක් දොම්නස් පහවී ගිය
සිත සැනසී නැලැවෙනවා...

වෙසක් අසිරියෙන් ලෝකය
දෙ‍නෝදහක් සැනසෙනවා

Sunday, 12 May 2013

දම්සිළු ගියා නිවී


                                       
                                                 
කුසිනාරාවේ සල් අතු දුකින් නැමී
අතුඉති අද්දර සල්මල් දුකින් වෙලී
පුහුදුන් දන මන සෝසුසුමන් දැවටී
දරාගත නොහී
පොලොවද කම්පා වී...
ලොවම එළිය කල
දම්සිළු ගියා නිවී....

චංචල ඉඳුවර




චංචල ඉඳුවර 
අසලම නතරව
සැලෙන පියවිලි
නගන මැසිවිලි
නොබා නුඹ නෙත
බවුන් වඩනට
බැඳ තබයි නෙත
ඉසිවර දැහැනට

නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල


නැගෙන ඉපදෙන බිඳෙන රළපෙල
වෙරළ සිප සිප ඉකිබිඳින විට
සීත මඳනල සුසුම් නග නග
මියෙන හිරු වෙත පිය නගන්නිය..