Friday, 27 July 2012

උඩුයටිකුරු වූ ලෝකය

Image

ගොඩනැගුනු මායා පවුර
වසන් කල සත්‍ය ලෝකය
අන්ධ කල නුවන් අභියස
රාහු ගිලගත් සඳක් සේ විය...
නැගුනු සිතිවිලි වලින් මිසදුටු
මියගිය ශ්‍රද්ධාව පිණිබිඳු සේ හිරු දුටු
ඉතින් කිකලෙක
නැවත නැංවිය හැකිවෙද ඇසු දුටු
මුමුණක සිතක සිතිවිලි
නොවෙයි හැමවිට යථාලෝකය
බොර වතුර පොකුණක
නොපෙනෙයි කිසිවිටෙක එහි පතුල
විමසන්නේ ලෝකය
මායාවෙන් පිරුනු සිතකින්මය
එවිට පෙන්වයි තිරව
මල බැඳුනු සිත පුරා ඇති කැලි කසල..
අනෙකෙකු මනින්නට
අසුරු සැනක් ඇති කාලය
එහෙත් මේ ස්ව සිත
දැකිය නොහැකියි ගෙවුනත් කල්ප කාලය..
එකතු කල සිතිවිලි
ගොනු කරයි දැන හැඳිනගත් හැඩතල සංඥාව
රිසි සේ වැඩදමයි මානයේ රිදී හුයෙන්
උඩුයටිකුරු වූ ලෝකය

Saturday, 21 July 2012

මල් පරවෙලා -පුදසුන මෙදා...
















පුදසුන අරා -හද මල් තබා
අපමණ බැතින් -පුද දුන් එදා....
දෙවියන් පවා -අද වෙන්වෙලා
මල් පරවෙලා -පුදසුන මෙදා...

සකි සඳ වගේ පුන් පෝ දිනේ
එළියෙන් රැයේ කළුවර ඉරා..
ඒ පෝ දිනේ ඇයි ගිලිහුනේ
සඳ නැති අමාවක ඉපදුනේ

සිත ලග එදා තනිවට තියා
සැනසිලි සුසුම් පවනැල් රටා...
ගිය මාවතක ලකුණක් පවා
නැත ඉතිරිවී එය මියගියා...

Saturday, 14 July 2012

කෙසේවත් නෑනේ






















නිමාවන දෙය නිමාවන බව
නිමාවට පෙර නිනව් තිබුනා නම්..
ඇරඹුමට පෙර ඇරයුමට සිත
හැරෙන්නට ඉඩ නොදී සිටියානම්..
මේ තරම් හද පාරවන සේ
හැකි තරම් වෙර යොදා හෝ
ඇසට කඳුලක් සිතට තැවුලක්
කෙසේවත් නෑනේ....

ඉපදුනා නම් දෙපස මරණය
මියගියා නම් දෙපස ඉපදුම
මිදෙන්නට බැරි සසර භව බැම්මේ
හැපි හැපී කඳුලැල් හැලූවද
වියෝ දුකමයි සැපක් නම් නෑනේ...

හිනැහුනා නම් නෙතට කඳුලුය
ඉකිබිඳියි නම් මුවට සිනහව
ලෝ දහම් රිය චක්‍රයේ එල්ලී
හැපි හැපී කඳුලැල් සැලූවද
අනියතයි මෙහි නිමක් නම් නෑනේ