බොරු කීම ඇබ්බැහියක්ද වේ. Ai රූප නිර්මාණයක්
හැඳින්වීම
මනුශ්‍ය වර්ගයා බොරු කියති. එය වාචික දුශ්චරිත වලින් එකක් බවද, දස අකුසලයේ එක් අකුසලයක් බවද බුදුදහමේ සඳහන්ය. එසේ හෙයින් එය නීච ක්‍රියාවක් බවත්, ලෝකය පිලිකුල් කරන දෙයක් බවත්, බොරු කියන පුද්ගලයාට කල නොහැකි පාපයක් නොමැති බවත්, එය එක් අතකින් අතිශය භයානක මානව දුශ්චරිතයක් බවත් පිලි ගැනේ. ඒ නිසා ඇත්ත සඟවා සත්‍ය නොවන දෙයක් කීම බොරුවේ ස්වභාවය බවද, එසේ කරන තැනැත්තා යම් විටෙක ඇත්ත කීවද, එය ඇත්තක් හැටියට සමාජය නොපිලිගන්නා බවත්, නිරන්තරයෙන් බොරු කියන තැනැත්තාට සමාජයෙන් ලැබෙන්නේ ඉතාම පහත් තැනක් බවද පැවසේ.
බොරු කියන්නේ ඇයි?
1 වැරදි වසා ගැනීම සඳහා
2 යමක් ආරක්ෂා කර ගැනීම සඳහා
3 අතපසුවීම් වසා ගැනීම සඳහා
4 සමාජ පිලිගැනීම සහ සමාජ/ආර්ථික වාසි තකා
5 තවත් කෙනෙකුට රිදවීම පිණිස
6 තමා සතුව නොපවතින ගුණධර්ම ප්‍රකාශ කිරීම සඳහා
7 පුද්ගලයාගේ යථා ස්වභාවය හෙළිදරව් වීම වැලකීම සඳහා.
8 කැපී පෙනීම සඳහා.
9 එයට ඇබ්බැහිවීම නිසා.
බොරුකීම පිලිබඳව මනෝ විද්‍යාත්මක හෙලිදරව්ව
මෙය ව්‍යාධිජනක බොරු කීම හෙවත් Pathological lying ලෙස හැඳින්වේ. එය මානසික රෝගී තත්වයක ප්‍රකාශනයකි. අන් අය පුලුල් ලෙස රැවටීම සහ රවටා ගැනීම මූලික කරගත්, එක්තරා ආකාරයක ෆැන්ටසිමය තත්වයක් තුල පවතින මනෝභාවයකි. මේ තුල එක්තරා ඛේදවාචයක්ද තිබෙන බව මෙම නිර්වචන වල අන්තර්ගතව තිබෙන අතර, බොරු කියන පුද්ගලයාට හේතුවක් ඇතිව හෝ හේතුවක් නැතිව වුවද, සත්‍යය පෙනි පෙනී තිබියදිත්, ඔහු බොරු කියන අතර, බොහෝ විට තමන් බොරු කියන බවවත් ඔවුන් නොදන්නා බවය. මිනිස් මොළයේ හැඟීම් සහ සිතිවිලි පිලිබඳ සංවේදිතාවය සමග ඇමිග්ඩලා (Amygdala) නම් මොළයේ කොටසක් සම්බන්ධ අතර බොරු කීම මගින් එම කොටසේ සංවේදිතාවය අඩුවන බව සඳහන් වේ. එසේ ඇමිග්ඩෙලා කොටසේ සංවේදීතාවය අඩු මට්ටමේ තිබෙන පුද්ගලයාට බොරුකීම ලජ්ජාවක් (හිරි) බයක් (ඔතප්ප) යන කාරනා නොදැනෙන බව සොයාගෙන තිබේ. ඒ නිසා ඔවුන් බොරු කියන විට කලබල නොවෙති, ව්‍යාකූල නොවෙති, බොරුකීම ඔවුන්ට සාමාන්‍ය ක්‍රියාවක් බවක් පෙනේ.
සමහරුන්ට ඇබ්බැහියක් හැටියටද බොරු කියවෙනවා
https://www.pinterest.com/
අනිවාර්ය බොරු කීම - compulsive lying
මනෝ විද්‍යාත්මකව විස්තර කෙරෙන ආකාරයට සමහර පුද්ගලයින් ස්වයං පාලනකින් තොරව පුරුද්දක් ලෙස බොරු කීමේ යෙදෙන බැව් නිරීක්ෂණය වෙයි.
එසේ වීමට පෞරුෂයේ බොහෝ හේතු බලපාන අතර එවන් බොහෝ පුද්ගලයින්ගේ ජීවිත නිරන්තර කනස්සල්ලෙන් පිරී ඇති ඇත. විවිධාකාර දුක් ගැහැට ප්‍රශ්න ගැටලු නිසා දීර්ඝ කාලයක් මානසිකව පීඩා විඳින මෙවන් පුද්ගලයින්, සමාජය ඉදිරියේ තම සැබෑ චිත්‍රය වසන් කරගැනීමට බොරු කියන බවත්, එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරුවක් කියන බවත් එය දාමයක් ලෙස ගෙති ගෙතී, ඔවුන් නොදැනුවත්වම compulsive lying හෙවත් අනිවාර්යය බොරු කීමේ ඇබ්බැහියට වැටෙන බවත් ප්‍රකාශ කෙරේ. මෙය කෙනෙකුගේ පෞරුෂය මෙන්ම ඒ පුද්ගලයා නිරන්තරයෙන් යමක් සඟවන බවද නිගමනය වේ.
බොරුකීම පිලිබඳ බුදුදහමේ හෙලිදරව්ව
ඇති දෙය නැත යන අදහසද, නැති දෙය ඇත යන අදහසද, සිදු නොවූ දෙය සිදුවූවා යන අදහසද, සිදු වූ දෙය සිදු නොවුනා යන අදහසද, මුල්කරගෙන අන් අය රැවටීමට මුලා කරවීමට යමක් කියයිද, වාචිකය ලියයිද එය මුසාවාදය හෙවත් බොරු කීම නම් වේ. දහමේ එය අංග 4ට දක්වා ඇත.
- කියනු ලබන වචනය බොරුවක් වීම
- රැවටීමේ චේතනාව ඇති වීම
- ඒ කීමේ උත්සාහය
- අනෙකා ඒ බොරුව විශ්වාස කර ගැනීම
“එකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනො
විතිණ්ණ පරලෝකස්ස නත්ථි පාපං අකාරියං”
සත්‍යය ධර්මය නම් එකම වචනය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ පුද්ලයාට නොකළ හැකි පවක් නැත.
බොරුව නිසා සියලු විනාශ සිදුවෙනවා
https://www.pinterest.com/
බොරුවේ ස්වභාවය
අදිට්ඨං
දිට්ඨං මෙ – ඇසින් නුදුටු දෙය දුටු බව කීම
අසුතං සුතං මෙ – නෑසුනු දෙය ඇසුනු බව
කීම
අමුතං මුතං මෙ – නාසයට දිවය කයට නොදැනුන
දෙය දැනුන බව කීම
අවිඤ්ඤාතං විඤ්ඤාතං මෙ- නොදන්නා දෙය දන්නා බව කීම
විනාශ කෙරෙන දෙය තෝරා බේරා ගැනීමක් නැතිව මහා සුනාමි රැල්ලකට සියල්ල
විනාශ කල හැකිය. මහා ගින්නකට, මහා මාරුතයකට එක් සැනකින් සියල්ල විනාශ කල හැකිය.
බොරුව හෙවත් මුසාවාදයද එසේමය. සිල්වතෙක්, උගතෙක්, ගුණවතෙක්, අවංක අයෙක්, මෙන්ම
වංචා කාරයෙක්, අපරාධකරුවෙක් වේවා, ඕනෑම කෙනෙකු බොරුවකින් විනාශ කල හැකිය. දැන දැන
බොරු කියන කෙනා එසේ අනුන්වද විනාශ කරගෙන තමාවද විනාශ කර ගනියි. බොරුවේ සීමා මායිම්
කිසිවක් නැත. බොරු යනු අධෝ
මාර්ගයක ආරම්භයයි. එය විනාශ කරන ලද්දේ සත්‍යයයි, විශ්වාසයයි, සහ පිරිසිදු සබඳතායි.
සත්‍යය නැති වූ සමාජයක විශ්වාසය නැති වීම නිසා මනුෂ්‍යත්වයම
පරිහානියට පත්වේ.
“බොරුවක සාරය ඇත්තේ වචනවලින් නොව රැවටීම තුළ ය; නිහඬතාවයෙන්, අපැහැදිලි වචනවලින්, අක්ෂර මාලාවක උච්චාරණයෙන්, ඇස්වල බැල්මකින්, වචනයකට සුවිශේෂී වැදගත්කමක් ලබා දීමෙන් සහ තවත් බොහෝ ආකාරවලින් බොරුවක් පැවසිය හැකිය."
- ශාන්ත ඔගස්ටින්-
බොරු කීමේ විපාක සහ බුදුදහම
1 බොරු කියන පුද්ගලයා මෙලොවදීම නින්දා අපහාසයට ලක් වේ.
2 සමාජය විසින් බොරු කියන පුද්ගලයා විශ්වාස නොකරයි.
3 මරණින් මතු සතර අපායෙහි උපදියි.
4 මිනිස් ලොව ඉපදුනොත් බොරුවේ හේතුවෙන් නොකල වරදට චෝදනා ලබයි.
5 නින්දා ලබයි. දඬුවම් ලබයි.
6 උපතින් ගොත බවට පත්වෙයි.
7 උපතින් ගොළුවෙක් බවට පත් වෙයි.
8 උපතින් ප්‍රඥාව නැති කෙනෙක් වෙයි.
9 උපතින් මුඛය දුර්ගන්ධ වෙයි.
10 උපතින් අශෝභන දත් පෙලක් හිමිවෙයි.
11 මුඛ රෝග වලින් පීඩා විඳියි.
12 විරූපී මුහුණක් ලැබෙයි.
13 දුට දුටු අය අවිශ්වාස කරයි.
බොරු නොකීමේ ආනිශංස
1 උපතින් ප්‍රසන්න වූ ඉන්ද්‍රියයන් ලැබීම
2 මිහිරි කටහඬක් ලැබීම
3 උඬඟු නොවන අයෙක් වීම
නිගමනය
බුදුදහමට අනුව බොරු කීම අකුසලයක් සහ පවක් වෙයි. මනො වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයක් ඇබ්බැහියක් වේ. පෞරුෂය අනුව ස්වකීය පෞරුෂයේ බිඳ වැටීමක් වේ. සමාජ සංස්කෘතික සාධකය අනුව දුශ්චරිතයක් වේ. කුමන දෘශ්ටි කෝණයෙන් ගත්තද බොරුකීම යනු කිසිදා ප්‍රගුණ නොකල යුතු, භාවිතා නොකලයුතු, අත්හැර දැමීමට වීරිය ගතයුතු දුර්ගුනයකි. ඒ නිසා බොරු නොකියා සිටීම බොරු කියනවාට වඩා ලක්ෂ වාරයකින් යහපත් ගුණයකි.
මූලාශ්‍ර
- BBC Sinhala
- Pitaka.lk
- Psychology Today
- Wikipedia – Pathological Lying
- “The Science of Lying” – National Geographic (2022
- Dhammapada Commentary – “Musāvāda Sutta”




No comments:
Post a Comment