සරු නිසරු ප්‍රකෘති විකෘති

 

අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

මේ ධර්මය විකෘති කෙරෙන කාලයක්. විවිධ පුද්ගලයන් විවිධ වේශයෙන් ඇවිත් විවිධ අයගෙ විවිධ උවමනා එපා කම් නිසා විවිධ තැන්වල කැමති කැමති විධියට ධර්මය කියන, ධර්මය ඇහෙන කාලයක්. ඒ කියන්නෙ මේ ගෙවි ගෙවී යන්නේ මහා විපරීත කාලයක්. හැමදේම කණපිට හැරනු කාලයක්. මෙවැනි කාලවකවානු වලදි සම්මත සමාජ රටාව පවා හෙල්ලුම් කවන, සාරධර්ම ගුණයහපත්කම් කණපිට හැරෙන සංස්කෘතික හෝදාපාලුව සීග්‍රයෙන් සිදුවන, මිනිස්සු විකෘති මනසින් යුක්තව කාමයන් පසුපස හඹා යන කාලයක්. ඒ නිසාම ස්වභාව ධර්මයා පවා වියරු වැටිල ඉන්නෙ. ස්වභාව ධර්මයා පවා මින් පෙර නෑසූ විපත් ගෙන දෙනවා. 

ධම්මපදයේ යමක වග්ගයේ 11 වැනි ගාථාවේ සඳහන් වෙනවා

අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා


අසාරේ සාරමතිනො - නිසරු දේ තමයි මිනිස්සු සාරවත් දේ හැටියට ගන්නෙ. නිසරු දේ පසුපසම තමයි මිනිස්සු හති වැටෙන තුරු දුවන්නෙ. හිස් දේවල් වලින් මනස පුරවගෙන, හිස් බලාපොරොත්තු සහසක් තියාගෙන හිස් ගමනක් මේ දිව යන්නෙ. අන්න ඒ හිස් ගමන තුල විවිධ දුරාචාර, මිනීමැරුම් මංකොල්ලකෑම්, කලකෝලාහල වාදවිවාද යුධ ගැටුම්, මහා මිනිස් සංහාර අහස පොලොව නුහුලන අපරාධ නින්දා අපහාස සිදුවෙන්නෙ. ඇයි ඒ??   නිසරු දේ තමයි මිනිස්සු සාරවත් දේ හැටියට ගන්නෙ. නිසරු දේ පසුපසම තමයි මිනිස්සු හති වැටෙන තුරු දුවන්නෙ. හිස් දේවල් වලින් මනස පුරවගෙන, හිස් බලාපොරොත්තු සහසක් තියාගෙන හිස් ගමනක් මේ දිව යන්නෙ.රැස් කරනවා රැස් කරනවා පමණයි. ජනසමාජයටවත්, අඩුම තරමෙ තමන්ගේ අධ්‍යාත්මික ගුනවගාවට හෝ සිදුවන හානිය දකින්නෙ නැහැ. ඇඳුමෙන්, ගෙවල් දොරවල් වලින්, තාන්නමාන්න වලින්, යාන වාහන වලින් මිනිස්සු මනින කාලයක් මේක. නිසරු දේ සරු දේවල් හැටියට ගැනීමයි වරද. ඒ විතරක් නෙවෙයි.


සාරෙ චාසාර දස්සිනො - සරු දේ නිසරු කොට දකිනවා. අන්න එතැනයි ඛේදවාචකය. නිසරු දේ සරු දේවල් කියල හිතල දුවන මිනිස්සු පැත්තකින් තියමු. මේ සාරවත් දේ...සරු දේවල් නිසරුයි කියල දකින විපල්ලාස මනස මොන තරම් විකෘතියිද. මොනවද සරු දේවල්. බුද්ධත්වය. අරහත්භාවය. ආර්යය භාවය. මේව නේද පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං වෙන්නෙ. අද බල්ලන්ටත් සිවුරු පොරවන තරමට ජනසමාජය සරු දේ නිසරු කොට දකිමින් ඒ සාරධර්ම වලට, ඒ සංස්කෘතින්ට, ඒ සමාජ ආර්ථික පරිසරයට කරන හානිය මොනතරම් සාපරාධීද?...

තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

වැරදි කල්පනාවල යුක්ත කෙනා, මිත්‍යං සංකල්ප වල යෙදෙුන කෙනා තෙ සාර නාධි ගච්චන්ති සරු දහමක් සාරවත් දර්ශනයක් ලබන්නෙ නැහැ. 

නිර්වාණය පසෙකින් තැබේවා. සතර අපායේ බිහිසුනු බවින් මිදෙන්නටවත් කෙනෙකුට හැකි වෙයිද මේ යන ගමන දිහා බැලුවාම. සතර විපල්ලාසයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා.


දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

දුක දේ සැපයි කියල වැරදියට හඳුනා ගන්නවා, වැරදියට හිතනවා සහ වැරදි විදියට දකිනවා. සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ කියල කිව්වෙ ඒකට.

අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

අස්ථිර අනිත්‍ය දේ ස්ථිරයි නිත්‍යයි කියල වැරදියට ගන්නවා

අනත්තනි අත්තානි සඤ්ඤා විපරියේසෝ චිත්තවිපරියේසෝ දිට්ඨි විපරියේසෝ

අනාත්ම දේ මම මගේ කියල වැරදියට ගන්නවා

අසුභෙ සුභන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

අසුභ දේ පිලිකුල් දේ ශුභයි මිහිරියි කියල වැරදියට ගන්නවා


මේක ගැඹුරුයි ලෝකෝත්තර දහමත් එක්ක බලද්දි. එච්චර ගැඹුරට නොගියත් කෙනෙකුට තමන්ගෙ ජීවිතේ දිහා බලල මේ සතර විපල්ලාසයෙන් ගැලවිලා ජීවිතය හරිමගට ගන්න පුලුවන්. අවිද්‍යාවට ආසන්න කාරණයත් මේ සරත විපල්ලාසය බව පෙන්වා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ත්‍රිලක්ෂනය වැසී තිබෙන්නේ මේ සතර විපල්ලාසයෙන්.  බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් සත්‍යය වචනය සරලව කියල දෙන්න පුලුවන් නම් මිනිස්සු විකෘති දහම පිටිපස්සෙ දුවන්නෙ නැහැ. 


මිනිස්සුන්ට හැඟීමක් ඇති වෙන්න ඕනෙ ආශ්වාදය සහ ආශාවන් පිටුපස හඹාගෙන යාම දුකක් කියල. ආශ්වාදය සහ ආශාවන් කියන්නෙ සැපක් කියල වැරදියට අරගෙන ඒවා ලඟා කරගන්න දුවන මේ දිවිල්ලම දුකක් කියල හරියට වටහා ගත්තොත් මිනිස්සු අපරාධ කරන්නෙ නැහැ. ඇයි කිසිම දෙයක් සදාකාලික නැහැ අස්ථිරයි වෙනස්වෙනවා කියල දකිනකොට කිසිදෙයක් නිත්‍ය හැටියට ගන්නෙ නැහැ. නිත්‍ය නොවන දේවල් සම්බන්ධයෙන් එතකොට අපරාධ වංචා දූෂණ කරල තමන් අකුසල් කරගන්නෙත් නැහැ. නිත්‍ය නැති කිසිදෙයක් අඩුමගානෙ පරිහරණය කරන මේි ශරීරයවත් තමන්ගෙ ආත්මය කියල නොගෙන උපේක්ෂාවෙන් පරිහරනය කරන්න ඉගෙන ගනීවි. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ යමක් විඳින්න එපා කියල. ආශ්වාදයක් ලබන්න එපා කියල. පසුපස හඹායාම තුල සදාකාලිකව ලබාගන්නා විපල්ලාසයයි දුක. බුදුන් වදාලේ නිවැරදි දැක්ම තුලයි සතුට සැනසුම ඇත්තෙ කියලා. 


සංයුත්ත නිකාය  කස්සප සංයුත්තයේ  සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව දහම යම් කලෙක වනසන ආකාරය ශාසනය අතුරුදහන්වන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේට ප්‍රශ්නයක් පැන නැගුනා. උන්වහන්සේ එය භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස..පෙර ශික්ෂාපද ඉතා අඩු ප්‍රමාණයක් පණවා තිබුණු කාලයේදී බොහෝ දෙනා රහත් වූනා. දැන් ඉතා වැඩි ප්‍රමාණයක් ශික්ෂාපද ඇතත් රහත් වන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මෙයට හේතුව කුමක්ද කියලා.


බුදුරජාණන් වහන්සේ පිලිතුරු දී වදාරනවා..කාශ්‍යපය...සත්ත්වයන් පිරිහෙන කාලය වනවිට, සද්ධර්මය අතුරුදන් වන කාලයෙත් ලෝකයේ නීති රීති, ශික්ෂාපද රාශියක් ඇතිවෙනවා.. එතකොට ඉතා ස්වල්ප දෙනෙක් භික්ෂූන්  රහත් භාවයට පත්වෙනවා.  ලෝකයේ සද්ධර්ම ප්‍රතිරූපකයන් හෙවත් පෙනුමෙන් සද්ධර්මය වගේම දහමක් පහළ නොවෙයිද ඒතාක් පිරිසිදු සද්ධර්මය විනාශ වෙන්නෙ නැහැ. නිදසුනක් කිවහොත් පෙනුමෙන් රත්රන් වැනි වෙනත් බාල දෙයක් ලෝකයේ නූපදීද, ඒතාක් ලෝකයේ පිරිසිදු රත්රන් අතුරුදන් වෙන්නෙ නැහැ. එසේම පෙනුමෙන් රත්රන් වැනි වෙනත් බාල වර්ගයේ දේ ලෝකයේ පහළ වේ ද, එකලට පිරිසිදු රත්රන් අතුරුදන් වේ. සද්ධර්මයට සිදුවන්නේ ද ඊට සමාන දෙයකි. එනම් බැලූ බැල්මට හැමඅතින්ම සද්ධර්මයට සමාන දහමක් ලෝකයේ බිහිවෙයිද යමෙක් දේශනා කරයිද අනුගාමිකයින් එය වැළඳගනියිද අන්න එදාට පිරිසිදු සද්ධර්මය අතුරුදහන් වෙනවා.  


ඉතිං මෙන්න මේ අවදානම සම්බුද්ධ ශාසනයටත් තියෙනවා. සම්බුද්ධ ධර්මයේ තියෙන විද්‍යාත්මක පසුබිම නිසා මුළු ලෝකයම සම්බුද්ධ දේශනා ගැන වැඩි වැඩියෙන් හදාරන්නට පටන් ගන්න කොට වැඩි වැඩියෙන් ඒ ධර්මයෙහි හැසිරෙන්නට පටන් ගන්නකොට එකම සත්‍යය දහම සහ දර්ශනය මේකයි කියල දැනෙන කොට විවිධ බලවේග වලට ඒක දරාගන්න බැරි වෙනවා. එතකොට යහමින් මුදල් වියදම් කරලා සද්ධර්ම ප්‍රතිරූපක හදන්න උත්සාහ ගන්නවා. අන්න ඒ බව ලෝකය දකින අනාගත නුවණින් දැකල බුදුරජාණන් වහන්සේ වදාරනව

න ඛො, කස්සප, පථවීධාතු සද්ධම්මං අන්තරධාපෙති, න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති; අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති. සෙය්‍යථාපි, කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති; න ඛො, කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති.


කාශ්‍යපය... පඨවීධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙ නැහැ. අපොධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙත් නැහැ. තේජෝධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙත් නැහැ. වායෝ ධාතුව ඒක කරන්නෙත් නැහැ. ඒ උනත්   ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදින්නෙත් බිහිවෙන්නෙත් මේ ශාසනය ඇතුලෙන්මයි. පිටත කෙනෙක් නෙවෙයි.


එතකොට බුදුරජාණන් වහන්සේ ගේ අනාගතය දැකීමේ මහා ප්‍රඥාව නුවන අනුව මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ පිට අය නෙවෙයි. මේ අරහත් ධජයේ සංකේතය චීවරය ඇඳගත් මේ ශාසනය තුලම පැවිදි වෙච්ච අයගෙන්මයි ශාසනය අතුරුදහන්වීම සිදුවන්නෙ. කොහොමද ඒක වෙන්නෙ කියලත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම පතිරූපක දේශනාවේදී මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට පහදල දෙනවා. 

කාශ්‍යපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කරනවා නම්, ශාස්තෲන් වහන්සේ පිලිබඳව ශ්‍රද්ධාව ගෞරවය නැත්නම්, ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කරනවා නම්, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව නැතිව ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම්,  ශික්ෂාව හෙවත් ශීලය කෙරෙහි හික්මීම කෙරෙහි  කෙරෙහි ගෞරවය නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම් , සමාධිය හෙවත් චිත්ත ඒකාග්‍රතාවය සිහිය සහ නුවණ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම්, කාශ්‍යපය මේ කරුණු පහ සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවතින කාරනා වෙනවා.


දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාරනය සම්බන්ධ හේතුව සහ ඵලය විස්තර කරලා තියෙනවා. එහෙනම් මේ දේ අනාගතයේදී සිදුවීමට නියමිත දෙයක්. එහෙම වෙන්නෙ නැත්නම් බුදුකෙනෙක් ඒ බව ප්‍රකාශ කරන්නෙ නැහැනෙ.

එසේ නම් අපි කරන්නට ඕනෙ මොකක්ද. ශාසනය අතුරුදහන් වෙලා පිරිහෙන්නට පෙරාතුව අපේ සංසාර ගමන කෙටි කරගන්නා තැනට මනස ගෙනියන්න ඕනෙ. අප්‍රමාදීව තමතමන්ගේ දෙලොවට වැඩ පිණිස ඇති කුසලයේ යෙදෙන්නට ඕනෙ. දාන ශීල භාවනා ආදී දේවල් නියැලෙන්නට ඕනෙ. ශීල සමාධි ප්‍රඥා කියන දේ වඩන්නට ඕනෙ. ලෝකය යන අතක ගියාට ඒ පිලිබඳව නෙවෙයි තමන් යන අත පිලිබඳව සැලකිලිමත් වෙන්නට ඕනෙ. ඒ සඳහා මොකක්ද කරන්න ඕනෙ


චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, පුඤ‍්ඤාභිසන්‍දා කුසලාභිසන්‍දා සුඛස‍්සාහාරා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, මහණෙනි, සැපයට හේතු වූ මේ පුණ්‍යනාදී කුශලාදී කාරණා හතරක් තියෙනවා. කවර සහතරක්ද යත්: මහණෙනි, ආර්යය ශ්‍රාවකයා 

 1. බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති

බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධාව දෙවිදියක් තියෙනවා නෙ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවති ශ්‍රද්ධාව කියල. අමූලිකා ශ්‍රද්ධාවෙදි බුදුන් ගැන විශ්වාසය තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. දෙගිඩියාව. ආකාරවති ශ්‍රද්ධාව කියන්නෙ මේ මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං...ඒකාන්තයෙන්ම සම්මාසම්බුද්ධයි ආදී වශයෙන් බුදුන් නුවනින් දැක සරන යාම.


2. ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති

සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

මේ ධර්මය ස්වාක්ඛාත ධර්මයක්. ඒහි පස්සික ධර්මයක්. ඕපනයික ධර්මයක් ආදී වශයෙන් අවබෝධයෙන් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පත්ව ධර්මයේ පමණක් සරණ ගිය කෙනෙක් වීම.


3.  සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො හොති

 ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

 බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඍජුවම නිර්වාණ්‍ය ඉලක්ක කල පිරිසක්. ඒ අය සුපටිපන්නයි ආදී වශයෙන් ගුණ වලින් යුක්තයි කියා නුවණින් දැනගෙන අවබෝධයෙන්ම ශ්‍රද්ධාව උපදවා ගෙන සරණ ගිය කෙනෙක් වීම. 


4. අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති

   ආර්යය කාන්ත ශීලය කෙරෙහි පැහැදිලා, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ප්‍රත්‍යවේක්ෂා ශීලය. ඉන්ද්‍රිය සංවර ශීලය ආදී ශීලයන් වෙතින් හික්මීම ලබාගෙන ඒකාන්තයෙන්ම මේ ශීලය ආර්යය මාර්ගයට උපකාරයි කියා දැනගෙන වෙනත් කිසිදු මාර්ගයක් නැති බව අවබෝධයෙන් දැනගෙන සිටින කෙනෙක් වීම. 


යමෙක් සම්බුද්ධ ශාසනයෙන් පිහිටක් ආරක්ෂාවක් ලබාගන්නට බලාපොරොත්තු වෙයි නම්, අති බිහිසුනු සසර චාරිකාව නිමා කරන්නට කැමති නම් ඉහත සඳහන් කාරණා හතර තුලට පැමිනිය යුතු වෙනවා. 


කොසොල් රජතුමා දුටු සිහින දහසයෙන්ද පිලිබිඹු වන්නේ සෑම අතින්ම පිරිහී ගිය ජනසමාජයක දැකිව හැකි දුර්දාන්ත ප්‍රතිපලයන්ය. 


බුදුරජානන්  වහන්සේ මෙම සිහින විස්තර මින්  කරමින්  වදාලේ එම සිහින වල ප්‍රතිඵලය තමන් වහන්සේ ජීවමානව සිටින කාලයේත් කොසොල් රජතුමා ජීවත්ව සිටින කාලයේත් සිදුවන දේවල් නොවන බවත් මතු අනාගතයේදී ඒකාන්තයෙන්ම පරිහානියට පත්වන ලෝකය තුල සිදුවන බවත්ය.  ‘ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ඨ වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ඨ  වන බවත්ය. 


එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට ස්වභාවය නිසා සද්ධර්මය පිරිහී යන බවත්, පොලොවහි හටගන්නා විවිධ පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇතිවන බවත්,  අධර්මිශ්ඨ කාලය උදාවීම සමගම මිනිසාගේ ආයු පිරිහී යන බවත්,   ජීවත් වන  එම කෙටි කාලයේදී  මිනිසුන් බොහෝ රාගාධික වී කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරමින්  ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බවත් උන්වහන්සේ විස්තර කොට වදාරා ඇත. මේ සිහින දහසයෙන්ම උන්වහන්සේ විස්තර කරන්නේ ධර්මය වෙනුවට අධර්මය ඉස්මතු වී ධර්මය සැඟව යන විපරීත කාලයක .මානව සමාජය තුල පැවත ආ සාරධර්ම ගුණධර්ම සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් පැවති සංයමය හික්මීම වෙනුවට දැවැන්ත සෝදාපාලුවකට ලක්වන බවත්ය. ශීලාදී ගුණයන් වඩන මිනිසුන් වෙනුවට අධික කාම තන්හාව නිසා විකෘති වූ මනසින් යුක්තව හැසිරෙන තිරිසනුන් වැනි මානව කොට්ඨාශයක් ලෝකයේ මතු අනාගතයේදී බිහිවන බවත්, ඒ කාලයට බුද්ධ ධම්ම සංඝ යන උත්තරීතර ත්‍රිවිධ රත්නය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපක පහළ වී විකෘති ධර්මය ලෝ පුරා පැතිරෙන් බවත් එයින් වන බව ධර්ම විනයෙහි සඳහන් වේ. 


එම නිසා යම් බුද්ධ ශ්‍රාවකයෙක් කල යුතුව ඇත්තේ වහ වහා ඉන්ද්‍රිය ධර්මයන් දියුනු කරගනිමින් මේ දැනටත් පවතින පිරිසිදු දහම් මාවත දිගේ ගමන් කරමින් සසර දුක් නිමා කරගන්නට උත්සාහ කිරීමය. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් නොපමාව අප්‍රමාදිව වර්ධනය කරගනිමින් මේ සද්ධම්ම දේශනාවන් තමන්ගේ ජීවිතයට ගලපා ගතහොත් මේ විපරීත ලෝකයේ පරිහානියෙන් තමාට ගැලවී තමන්ගේ මාවත සකස් කරගන්නට හැකි වෙන බව මතක් කල යුතුයි. 


කිසියම් හෝ හේතුවක් ඉදිරියට ඇවිත් සම්බුද්ධ ශාසනය පිරිහිලා අතුරුදහන් වන කාලයක් නියත වශයෙන්ම එනවා. ඒක කාටවත්ම වලකන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක ලෝක ධර්මතාවයක්. එතකොට එන්නේ අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලයට ලෝකයම අන්ධකාරයෙන් වැහෙනවා. ඇස් තිබුනත් මිනිස්සුන්ට අන්ධවෙලා වගේ තමයි ජීවත් වෙන්න සිදු වෙන්නෙ. එතකොට බුද්ධෝත්පාද කාලයට වඩා වැඩියි දීර්ඝයි අන්ධකාරයි අබුද්ධොත්පාද කාලය. ඒ නිසා වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ලෝවැඩ සඟරාවේ 16 වැනි කවියේ සඳහන් වෙනවා මෙහෙම.

බුදු  කෙනෙකුන්  මේ ලොව නූපන්       වර
අඳු රෙක් මය සදහම් නැති මෙ            සසර
ඉඳු රා නොදැනෙයි පව් පින්         තොරතුර
සිදු නොකලැකි ඉන් සඟමොක්      සිරිසර


සද්ධර්මය ඇහෙන්නෙවත් නැති, බුදුකෙනෙක් ගැන අහන්නවත් නැති අබුද්ධෝත්පාද කාලය එහෙම නැත්නම් බුද්ධ ශුන්‍ය කාලය මහා අන්ධකාරයක් වගේ. පව් පින් කිසිදෙයක් කාටවත් පෙනෙන්නෙ නැහැ. එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ. මිනිස්සු මහා තිරිසන් ජීවිත ගත කරන්නටත් තිරිසන් විදියට හිතන්නටත් පටන් ගන්නවා. තිරිසන්නු වගේ මැරිල යනවා. ඒ හින්ද මේ බුද්ධ ශාසනය තියෙන මේ වටිනා කාලයේදී සගමොක් සිරිසර හෙවත් ස්වර්ග මොක්ෂ නිර්වාණ කියන මේ දහමේ සාරය උරාගන්නට ප්‍රමාද වෙන්නට එපා. අප්‍රමාදීව ඒ කටයුතු කරගන්න. ඒක තමයි දියහැකි වටිනාම දහම් අවවාදය. කොහොමද ඒක කරගන්නට ඕනෙ...ලෝවැඩ සඟරාවෙම 22 වැනි කවියෙන් ඒක විස්තර කරනවා මෙහෙම.

ඉස ගිනි ගත්තකු එ ගිනි නිවන      ලෙස
කුස ලට මඳකුත් පමා නුවොත්        මිස
මෙ සසර අත්හැර නොයන මෙදුක් රැස
වෙස සින් නැත අත් හරිනා       උපදෙස

හිස ගිනි ගත්ත කෙනෙක් ඒ හිසේ ඇවිලෙන ගින්දර නිවාදමන්නට බලවත් වෙහෙසක් උත්සාහයක් ගන්නව වගේ එක ඇසිපිය හෙලන මොහොතක් වත් කුසලයට පමා උනේ නැත්නම් මිසක, කුසලයට අප්‍රමාදී උනොත් මිසක, මේ සංසාරය අත හැරල යන්නට මේ දුක් රැස නැති කරන්නට දෙන්න වෙන කිසිම උපදේශයක් ඇත්තේම නැත. ඒ නිසා අප්‍රමාදීව කුසලයෙහි හැසිරෙන්න. ඒක තමයි බුද්ධ අනුශාසනාව. 

සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං ස ඒතං බුද්ධාන සාසනං

ප්‍රමාදීව සිදු කෙරෙන සියලු අකුසලයන් දුරු කරමින් අප්‍රමාදීව කුසල් වඩන්න. තමන්ගේ සිත එයින් දමනය කරගන්න. ඒක තමයි බුද්ධ ශාසනය. ඒක තමයි සියලු බුදුවරයන්ගේ  උපදේශය. 

-සටහන - හේම ජයන්ත කොළඹගේ-



 


Post a Comment

0 Comments