සතර ආහාරයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 17 කොටස

 

ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමේ තවත් ක්‍රමයක් තමයි මේ සතර ආහාරය අවබෝධ කර ගැනීම. මෙහිදී ආහාරය යන වචනය තුල ඇත්තේ ප්‍රත්‍යය හෙවත් හේතුව කියන ගැඹුරු අර්ථයයි. සතර ආහාරය පිරිසිඳ දකින නුවණක් ඇති කරගත්තාම මේ සතර ආහාරය පිළිබඳව හොඳ සිහියක් ඇතිවෙනවා.

එය අප කලින් ලිපියෙහි සඳහන් කල ඉන්ද්‍රිය භාවනාවටත් එකසේ ප්‍රයෝජනයක් ලබන්නට හැකි වෙනවා. එම ලිපිය මෙතැනින් කියවන්න.

‘‘චත්තාරො මෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො කවළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’’.

මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද ආහාර හතරක් වෙයි.මොනවාද ඒ සතර ආහාර? 

01.ලොකු හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාරාහරය (පිඬුකොට වළඳන ආහාරය)  

02.එස්සාහාරය

03.මනොසංචෙතනාහාරය

04.විඤ්ඤාණාහාරය 

මේවා උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද පවතින මේ සතර ආහාරය වෙයි. 

සතර ආහාර හැඳින්වීම 

"යථො ඛො ආවුසො, අරියසාවකො ආහාරඤ්ච පජානාති, ආහාර සමුදයඤ්ච පජානාති, ආහාර නිරොධඤ්ච පජානාති,ආහාර නිරෝධගාමිණි පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො, සම්මාදිට්ඨි හොති.උජුගතස්ස දිට්ඨි ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මං"

ආයුශ්මතුනි..යම් ඒ ආර්යය ශ්‍රාවකයෙක් ආහාරය දැනගනියිද, ආහාරයට හේතුව හෙවත් ආහාර සමුදය දැනගනියිද, ආහාරයේ නිරෝධය දැනගනියිද, මේ සතර ආහාරය නිරුද්ධ කරන මාර්ගය දැනගනියිද, එපමණකින්ම ඒ ආර්යය ශ්‍රාවකයා සම්මා දිට්ඨියට පත්වෙනවා. ඔහුගේ දැක්ම ඍජු වෙනවා. ධර්මය පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවට පත්ව සද්ධර්මයට පැමිනි කෙනෙක් වෙනවා.

-සම්මා දිට්ඨි  සූත්‍රය- මජ්ජිම නිකාය-

ඉහත ප්‍රකාශය සිදුකරන්නට යෙදුනේ දම් සෙනෙවි වූ අග්‍රශ්‍රාවක ශාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින්. සැරියුත් රහතන් වහන්සේ මේ දේශනාවෙන් භික්ෂූන්ට උගන්වන්නේ සත්ත්වයා සසරේ හෙවත් භවයේ සැරිසරන්නේත්, නැවත නැවත භවයට පමුණුවන්නේත් මේ සතර ආහාරයෙන්  නිසා බවයි. එතකොට මේ සතර ආහාර සම්බන්ධයෙන්,ආහාරය , ආහාරයට හේතුව , ආහාරයේ නිරෝධය ,සතර ආහාරය නිරුද්ධ කරන මාර්ගය , පිළිබඳව යම් ආර්යය ශ්‍රාවකයෙක් දැනගනියිද ඒ පමණකින්ම ඒ කෙනා සම්මා දිට්ඨියට පත්වෙනවා කියාය. මෙය කෙතරම් ලාභයක්ද? මේ සතර කාරණාවන් දැනගැනීමෙන් සම්මාදිට්ඨියට පත්වීම කෙතරම් ආශ්චර්යයක්ද? එසේ නම් එය අපට හැකි අයුරින් විමසා බලමින් ඒ උතුම් සම්මා දිට්ඨියට පත්වීමට ලහිලහියේ උත්සාහ කිරීම නෙවෙයිද කල යුත්තේ. 

1.කබලිංකාරාහරය

මෙහි සරළ තේරුම නම් රළු ගොරෝසු ඕළාරික හෝ සියුම් ආහාරය යන්නයි. පිඬු පිඬු කොට ආහාරය වශයෙන් ගන්නා දේ කබලිංකාරාහරය ලෙස මතුපිටින් තේරුම් ගත හැකියි. මොනවද ඒ කියා උදාහරණයක් ලෙස කීවොත් බත්, පාන්, එළවළු, ධාන්‍ය, මස්, මාළු,කරවල,කිරි,චීස්,බටර් ආදී දේවල්. එතකොට ඒක හැමෝම දන්නා මතුපිට සරළ උත්තරයක් විතරයි. ඒ දන්නා ටිකෙන් සම්මාදිට්ඨියට පත්වෙන්න බැහැ. මාංශ භක්ෂක හෝ නිර්මාංශ භක්ෂක මිනිස් සහ තිරිසන් සමස්ත සත්ත්ව ප්‍රජාවම කබලිංකාරාහරය ලෙස දැකගන්නට හැකි නම් අර සරළ උත්තරයෙන් ඔබ්බට අපට යන්න හැකි වේවි.එතකොට කබලිංකාරාහරය ආත්ම වශයෙන් නොගෙන කබලිංකාරාහරය ලෙසම දකින්නට හුරු උනොත් ආත්ම දෘශ්ඨියෙන් මිදෙන්නටත් හැකි වේවි. කොහොමද ඒක කරන්නෙ. 


කබලිංකාරාහරයේ අනාත්ම බව

මිනිසාද තිරිසන් සත්ත්වයාද ජීවත්වෙන්නෙ කබලිංකාරාහරයෙන්. එතකොට මනුස්ස වේවා, තිරිසන්ගත සතුන් වේවා ජීවත්වෙන්නෙ කබලිංකාරාහරය නිසා. දැන් ඒක පොදු ලක්ෂනයක් හැටියට දකින්නට උවමනායි. ඊලඟට දැනගත යුතුයි කබලිංකාරාහරය නිසා මොනවද මේ සත්ත්වයින්ගේ පවතින්නෙ කියා. එතකොට උත්තරයක් එනවා ඇස කණ නාසය දිව කය පවතින්නෙ කබලිංකාරාහරය නිසා බවට. එහෙම නැත්නම් දෙතිස් කුනූපය වන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර, වකුගඩු, මොළය, හදවත, ආදී ශරීර අභ්‍යන්තර කොටස් පවතින්නෙ මේ කබලිංකාරාහරය නිසාවෙනි. මේ කාරණා දෙක පැහැදිලි කරගත්තාම තේරෙනවා ඇස කණ නාසය ආදී ස්පර්ශ ආයතන පවතින්නේ කබලිංකාරාහරය නිසා බව. එතකොට ඒ ස්පර්ශ ආයතන කිසිවක් මම හෝ මගේ හෝ ආත්මය වශයෙන් පවතින දෙයක් නොවන බවට දැකගත හැකියි. ඊලඟට කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්,ආදී දෙතිස් කුණූපයම පවතින්නේ කබලිංකාරාහරය නිසා බව. එතකොට ඒ දෙතිස් කුණූප කොටස් කිසිවක් මම හෝ මගේ හෝ ආත්මය වශයෙන් පවතින දෙයක් නොවන බවට දැකගත හැකියි. ‍මෙය පැහැදිලි කරගත්තාම සියලු සත්ත්වයින්ටම පොදු ලක්ෂණය වූ කබලිංකාරාහරයේ යථා ස්වභාවය දැකගන්නට හැකි වෙනවා. 



කබලිංකාරාහරයේ පොදු ලක්ෂණය

මිනිසා කුකුළු මස් ආහාරයට ගන්නා අවස්ථාව උදාහරණයකට ගනිමු. කුකුළාට කරමළක්, පිහාටු, දිගු හොටක් තිබෙනවා. මිනිසා හෝ වෙනත් සතෙක් කුකුළු මස් අනුභව කලා කියා ඒ කාටවත් පිහාටු හෝ කරමළ හෝ දිගු හොටවල් ඇති වෙන්නෙ නැහැ. ඒ කුකුළු මස් අනුභව කිරීමෙන් ඒ ඒ සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා. මාළු ආහාරයට ගැනීමෙන් මාලුවාගේ මෙන් වරල්, කොරපොතු ආදිය ආහාරයට ගන්නා සත්ත්වයාට හටගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ ඒ සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා. එතකොට ඔය කාරණාවෙ අනෙක් පැත්ත ගත්තාම කිසියම් තිරිසන් සතෙක් විසින් මනුස්සයෙක් මරාගෙන ආහාරයට ගත්තාම, ඒ සත්ත්වයාට මනුස්සයාගේ මෙන් රූප සොබාව පිහිටන්නෙත් නැහැ. ඒ තිරිසන්ගත සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා.දැන් මේක තමයි පොදු ලක්ෂණය කබලිංකාරාහරයේ. එතකොට මේ පොදු ලක්ෂණය උපකාරයෙන් අපට උත්තරයක් එනවා කබලිංකාරාහරය කියන්නෙ ස්පර්ශ ආයතන වලට හෝ දෙතිස් කුණූපයටමයි කියලා. දැන් ලැබෙන උත්තරය ගැඹුරුයි දාර්ශණිකයි. එතකොට කබලිංකාරාහරය කියන්නෙ මේ ඇස, කණ, නාසය, දිව, කය කියන ස්පර්ශ ආයතන කියල ගත්තාම ඉතිරි ආහාර වර්ග සත්ත්වයා තුල සකස් වන ආකාරය විමසන්නට රුකුළක් වෙනවා.

2. ඵස්ස ආහාරය

ඵස්ස කියන්නෙ ස්පර්ශය කියන අදහසට. ඵස්ස ආහාරයේදී මේ ස්පර්ශය කියා හඳුන්වන්නෙ භෞතික වූද,ඇසට පෙනෙන දෙයක් නොව මනස තුල සිදුවන ධර්මතාවයකටයි. කාටවත් මේ ස්පර්ශයෙන් ගැලවී ජීවත්වෙන්නට බැහැ. ඇස තියෙනවා නම්,රූප පෙනෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය හටගන්නවා නම්, ස්පර්ශය ඇතිවෙනවාමයි. ස්පර්ශ උනොත් වේදනා සංඥා දෙක හටගන්නවාමයි. එහෙනම් ඵස්සය ආහාරයක් වෙන්නෙ, හේතුවක් වෙන්නෙ වේදනා සංඥා දෙක උපදවන්නයි. මේ සියල්ලම අනාත්මව සිදුවන දෙයක් මිසක කවුරුවත් උපදවන දෙයක් නෙවෙයි.

චක්ඛුං ච රූපෙ ච පටිච්චති - චක්ඛු විඤ්ඤාණං උප්පජ්ජති

ඇසයි රූපයයි ගැටුනාම චක්ඛු විඤ්ඤාණය උපදිනවා

තින්නං සංඝති ඵස්සො - ඵස්ස පච්චයා වේදනා

මේ තුන එකතුවීමෙන් ඵස්සය හෙවත් ස්පර්ශය හටගන්නවා

ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා

යං වේදයිති තං සංජානාති

යමක් විඳියිද එය ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා.

-මධුපිණ්ඩික සූත්‍රය-මජ්ජිම නිකාය-

එතකොට මේ බුද්ධ සමීකරණය ඇස හා රූපය මෙන්ම, කණ සහ ශබ්දයද, නාසය හා ගන්ධයද, දිව සහ රසයද, කය සහ කයට දැනෙන පහසටද, එකසේ යොදා බලන්නට පුලුවන්. දැන් මෙතන සතර ආහාරයෙන් ආහාර වර්ග දෙකක් හමුවෙනවා. ඒ කබලිංකාරාහරය සහ ඵස්ස ආහාරය. ඇස කණ නාසය ආදිය කබලිංකාරාහරය කියන ගනයට වැටෙන අතර වේදනා සංඥා දෙක ඵස්ස ආහාරය නිසා හටගන්නවා කියන කාරණයට යටත් වෙනවා. 


3.මනොසංචේතනා ආහාරය

මෙන්න මෙතන තමයි ඉතාම වැදගත් සිදුවීම ඇතිවෙන්නෙ. එතකොට කනබොන ආහාරය නිසා අනාත්මව පවතින ඇස කණ නාසය ආදී ආයතන වලට රූප ශබ්ද ගන්ධ ආදී අරමුනු එනකොට ඵස්ස ආහාරය නිසා වේදනා සංඥා දෙක ඇතිවෙනවා අනාත්මව. ඒ අනාත්මව හටගන්නා වේදනා සංඥා දෙක අනාත්මව ගිලිහෙන්නට නොදී ආත්ම දෘශ්ඨිය සහිත භවය සකස් වෙන්නෙ මෙන්න මෙතැනදි. ආත්ම දෘශ්ඨිය සහිත භවය සකස් කරන්නේ කර්මයෙන්. කර්මය කියන්නෙ චේතනාවට සහ චේතනා මූලික කායික වාචසික මනෝමය ක්‍රියාවට. චේතනාවට අනුව සිතන, කියන, කරන, බව එයින් අදහස් වෙනවා. එතකොට අන්න ඒ චේතනාවට හෙවත් කර්මයට තමයි මනොසංචේතනා ආහාරය කියන්නෙ.

1.මේ මනොසංචේතනා තුල ඇස සහ රූපය සම්බන්ධව - රූපසංචේතනා

2.මනොසංචේතනා තුල කණ සහ ශබ්දය සම්බන්ධව -ශබ්දසංචේතනා

3.මනොසංචේතනා නාසය හා ගන්ධය සම්බන්ධව -  ගන්ධසංචේතනා

4.මනොසංචේතනා දිව හා රසය සම්බන්ධව - රසසංචේතනා

5.මනොසංචේතනා කය සහ පොට්ඨබ්බය සම්බන්ධව - පොට්ඨබ්බසංචේතනා

6.මනොසංචේතනා මනස හා අරමුණු සම්බන්ධව - ධම්මසංචේතනා

මෙන්න මේ සංචේතනා ආහාරය නිසා තන්හාවද උපාදානයද භවයද අනාත්මකව සකස් කරනවා. මෙන්න මේ තන්හා උපාදාන භවය තුල මමය, මගේය, මගේ ආත්මයය යන සංකල්පය ඇතිවෙනවා. එම සංකල්පය තන්හාවෙන් දෘශ්ඨියෙන් මානයෙන් කිඳාබසිනවා. විඳින කෙනා මමය කියා තන්හාවෙන් එයට ඇලෙනවා කාමතන්හා,භවතන්හා, විභවතන්හා වශයෙන්. විඳින කෙනා මමය කියා දෘශ්ඨියෙන් සහ මානයෙන් බැඳෙනවා. එය භවය බවට පත්වෙනවා. 

එතකොට මේ භවයට බැඳිලා භවයේ ගමන් කරන්නට, කුසල හෝ අකුසල විපාක පිණිස හටගන්නට, පහළවන්නට, ඉපදෙන්නට අතරමැදි ධර්මතාවක් අවශ්‍ය වෙනවා. ඒ තමයි...හතරවැනි ආහාරය


4.විඤ්ඤාණ ආහාරය

විඤ්ඤාණය කියන්නෙ විශේෂයෙන් දැනගන්නවා කියන විජාණන ලක්ෂණයෙන් යුක්ත නිසා විඤ්ඤාණ යැයි කියනවා. මොනවාද දැනගන්නෙ.කබලිංකාරාහාරය හෙවත් ඇස කණ නාසය සහ රූප ශබ්ද ගන්ධ ආදිය දැනගන්නවා. ස්පර්ශ ආහාරයෙන් සකස් කරන වේදනා සංඥා දෙක දැනගන්නවා. මනොසංචේතනා ආහාරයෙන් සකස් කරන කර්මය දැනගන්නවා. එතකොට යම් කර්මයක් කුසල හෝ අකුසල වේවා මනෝසංචේතනාවෙන් හටගත්තාද, ඒ කර්මය තුල යම් භවයක් සකස් කලාද, තන්හාව නිසා නැවත නැවත ඒ භවයන් තුල ඉපදෙන්නට ප්‍රතිසන්ධිය ලබාදෙන්නේද, ඒ කර්මය තුල පිහිටා සිටින්නට කර්මය සකස් කරන්නේද මේ විඤ්ඤාණ ආහාරයයි.විඤ්ඤාණ ආහාරය නිසා නාමරූප සකස් වෙනවා. නාමරූප නිසා විඤ්ඤාණ ආහාරය සකස්වෙනවා. එතකොට නාමරූප තුල තමයි කබලිංකාරාහාරය හටගන්නෙ.



දැන් මෙය චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වන බව හොඳින් වැටහුනොත්, මෙම චක්‍රයෙන් මිදීම භවයෙන් බවත්, භවයෙන් මිදීම ජාති ජරා මරණයෙන් මිදීම බවත් වැටහෙනවා. මෙතන සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් විසින් කරනු ලබන කිසිම දෙයක් නැහැ කියා හොඳින් අවබෝධ කරගත්තොත් අනාත්ම ලක්ෂනයද වටහා ගන්නට හැකි වෙනවා. ඒ වගේම හොඳින් සැලකිල්ලෙන් මේ ආහාර චක්‍රය දෙස බැලුවොත් ආහාර චක්‍රය කියන්නෙම නාමරූප වලට නේද කියලත් වැටහෙනවා. 

සතර ආහාරයට හේතු සහ ආහාර චක්‍රයේ සැකැස්ම

එය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරා තිබෙනවා.

ඉමෙ, භික්ඛවෙ, චත්තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? මේ සතර ආහාර කුමක් මුල්කොට තිබේද? කුමක් හේතුකොට තිබෙයිද? කුමක් උප්පත්තිකොට පවතියිද? කුමක් ප්‍රභවකොට තිබෙයිද? 

ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා. 

මේ සතර ආහාරයම තණ්හාව මුල්කොට තිබෙයි. තණ්හාව හේතුකොට ගෙන ඇත. තණ්හාව උප්පත්තිකොට ඇත. තණ්හාව ප්‍රභවකොට පවතියි.

තණ්හා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා. 

මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? 

තණ්හාව වේදනාව මුල්කොට ඇත්තේය. වේදනාව හේතුකොට ඇත්තේය. වේදනාව උප්පත්තිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය

වෙදනා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා. ඵස්සො චායං, 

මේ වේදනාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය. ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.

භික්ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො? ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනපභවො. 

මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය. සළායතන හේතුකොට ඇත්තේය. සළායතන උප්පත්තිකොට ඇත්තේය. සළායතන ප්‍රභවකොට ඇත්තේය.

සළායතනඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං. 

මේ සළායතන වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සළායතනයන් නාමරූපය මුල්කොට ඇත්තේය. නාමරූපය හේතුකොට ඇත්තේය. නාමරූපය උප්පත්තිකොට ඇත්තේය. නාමරූපය ප්‍රභවකොට ඇත්තේය.

නාමරූපඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං. 

මේ නාමරූපය වනාහි කුමක් හේතු කොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? නාමරූපය විඤ්ඤාණය මුල්කොට ඇත්තේය. විඤ්ඤාණය හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.

විඤ්ඤාණඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං. 

මේ විඤ්ඤාණය වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය. සංස්කාර හේතුකොට ඇත්තේය. සංස්කාර උප්පත්තිකොට ඇත්තේය. සංස්කාර ප්‍රභවකොට ඇත්තේය

සඞ්ඛාරා චිමෙ, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.

මේ සංස්කාර වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය. අවිද්‍යාව හේතුකොට ඇත්තේය. අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය. අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.

මේ අයුරින් අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඤ්ඤාණයද,විඤ්ඤාණය නිසා නාමරූපද හටගනියි. නාමරූප නිසා සළායතනයන්ද,සළායතන නිසා ඵස්සයද,ඵස්සය නිසා වේදනාවද පහළවෙයි.වේදනාව නිසා තන්හාවද, තන්හාව නිසා උපාදානයද,උපාදානය නිසා භවයද වේ. භවය නිසා ජාතියද, ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවී සියලු දුක් සමූහයාගේ පහළවීම සිදුවෙයි.

-සංයුත්ත නිකාය- ආහාර සූත්‍රය-

සතර ආහාරය පිළිබඳව විමසා බැලීමේදී මේ අයුරින් ඇස කණ නාසය දිව කය මනස ආදී සළායතනයන් පරිහරණය කරද්දී පටිච්චසමුප්පාදය හටගන්නා අයුරුත්, ඒ නිසා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් තත්පරයක් තත්පරයක් පාසා මේ සසර ගමන මරණය තෙක් ගමන්කර, එතැනින් නොනැවතී සකස්කල හේතු මත ඒ ඒ සත්ත්ව නිකායන් වල උප්පත්තිය ලැබ නිමක් නැති සසර කතරට වැටෙන ආකාරය පැහැදිලි වේ. 


මූලාශ්‍ර

1.මධුපිණ්ඩික සූත්‍රය- මජ්ජිම නිකාය

2.ආහාර සූත්‍රය- සංයුත්ත නිකාය

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද  අමතක කරන්න එපා.




Post a Comment

2 Comments

  1. Chathurarya sthya waha waha awaboda wewa theruwan saranai

    ReplyDelete
    Replies
    1. ඔබට යහපතක්ම වේවා. මේ උතුම් ධර්මය නුවනින් දැකගන්නට ලැබේවා. තෙරුවන් සරණයි.

      Delete