ධර්මය සහ ජීවිතය - 14 කොටස - බුද්ධ ශ්‍රාවකයා හෙවත් සත්‍යය ගවේශකයා-01

 

                                                      ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

බුදුකෙනෙක් මේ ලෝකයට පහල වෙන්නෙ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකය තුල පවතින එකම එක ඇත්ත අවබෝධ කරගෙන එය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි. බුදු කෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් මේ ලෝකය තුල පවතින ඇත්තක් යථා ස්වභාවයක් තියෙනවා. ලෝකය පවතින තාක් තිබෙන ඒ යථා ස්වභාවය සාමාන්‍ය ලෝක සත්ත්වයාට කවදාවත්ම  තනිවම ගවේශනය කර සොයාගන්න බැහැ

සාමාන්‍ය කෙනෙකු⁣ට මේ ලෝක සත්‍යය ගවේශනය කරල සොයන්න පුලුවන් නම් ඉතාමත් කලාතුරකින් බුදුකෙනෙක් ලෝකයට පහල වෙන්නෙ නෑ. ඒ නිසා තමයි ඒ සියලු බුදුවරුන්ට සම්මා සම්බුද්ධ කියා කියන්නෙ. ඒ අය තනිවමයි ගවේශනය කරල මේ දහම් සත්‍යය මතුකරගෙන ලෝකයාට කියා දෙන්නෙ.

සබ්බාභිභූ සබ්බවිදුහමස්මි - සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තො - සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

-ධම්මපදය-තෘෂ්ණා වග්ගය- 20 වැනි ගාථාව-

මම කාම රූප අරූප ආදී තුන්භවයටම අයත් සියලුම දේවල් මැඩගෙන අවසන්. තන්හාව අවසන් කොට කිසිවකට නොඇලී සියල්ලම දුරුකලෙමි. මෙසේ මා විසින්ම සියල්ල අවබෝධ කරගෙන සියල්ලෙන් මිදුනු කල්හි වෙන කවුරුන් මාගේ ආචාර්යය වරයා වශයෙන් දකිමිද???

මේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගෙ උදාන වාක්‍යය. සියල්ල තමන්වහන්සේගේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට වදාලාට පසුව ආචාර්යය වරයා වශයෙන් වෙන කාව දකින්නද?

අනෙක ජාති සංසාරං - සන්දාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
නැවත නැවත ඉපදෙමින්, නැවත නැවත මියයමින් ගමන් කරන මේ සසර ගමන ඇති කරවන ආත්මභාවය නම් නිවස සාදන වඩුවා සොයමින්  මම සසරේ නොයෙක් නොයෙක් ජාති වල මැරි මැරී ඉපදෙමින් ඇවිද්දෙමි.
අනමතග්ගොයං  භික්ඛවෙ සංසාරො
පුබ්බා කොටි න පඤ්ඤායති 
අවිජ්ජානීවරණානං සත්තානං 
තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
මහණෙනි, අවිද්‍යා නීවරණයෙන් වැසුනු තණ්හා සංයෝජනයෙන් බැඳී  සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය අන්තිම කෙළවර නොපෙනේ. පටන් ගත් තැනක් නොපෙනේ. එබඳු සංසාරයක මහනෙනි නුඹලාත් මමත් අතිදීර්ඝ ගමනක යෙදිල තිබුනෙ..

-සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තය-

                                                          ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

බුදුරජාණන් වහන්සේ ඒ අති දීර්ඝ අති බිහිසුනු සසර නිමාකොට සියලු දුකෙන් නිදහස් වීමේ උදාන වාක්‍යය මෙසේ වදාලා.
ගහකාරක දිට්ඨොසි - පුනගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාර ගතං චිත්තං - ගණ්හානං ඛය මජ්ඣගා
ඒ ආත්ම භාවය නම් නිවස සාදන වඩුවා අවසානයේ මම දුටුවෙමි. ඒ නිසා වඩුව ඔබට නැවත ඒ නිවස සෑදිය නොහැකි පරිදි මම නිවසේ කැණිමඩල සුනුවිසුනු කලෙමි. පියස්සෙහි සියලු පරාල සිඳබිඳ දැමුවෙමි.  ඔබට ඉතිං ඒ නිවස කිසිදාක සෑදිය නොකිය. සියලු කර්ම ක්ෂය කිරීම නිසා විසංඛාරගත වූ සිතක් දැන් තිබෙන්නේ. එහි සංඛාර හෙවත් කර්ම රැස් වෙන්නෙ නැහැ. ඒ නිසා තන්හාවද මුළුමනින්ම ක්ෂය වී ගියේය. 

-ධම්මපදය- ජරා වග්ගය- 8 සහ 9 වැනි ගාථා-

බුදුරජාණන් වහන්සේ හැරුනුකොට මේ යථාභූත සත්‍යය යමෙක් ගුරුවරයකු නැතිව තනිවම අවබෝධ කලා නම් ඒ පච්චේක බුද්ධ හෙවත් පසේබුදු වරුන් පමණමය.  කිසිම බුදුවරයෙක් නැති බුද්ධ ශාසනයක් නැති කාල වලදි, ඒ අයත් තනිවම ගවේශනය කරල මේ සත්‍යය සොයාගන්නවා. ඒ හැර වෙන කිසිම කෙනෙක් මේ ලෝක සත්‍යය තනිවම ගවේශනය කරලා, තනිවම අවබෝධ කරගන්නවා කියන කාරනය සත්‍යයක් නෙවෙයි. නමුත් රහතන් වහන්සේලා මේ ලෝක සත්‍යය අවබෝධ කරගන්නෙත් බුදුකෙනෙක් මේ ලෝකයට පහලවෙලා බුද්ධ ශාසනයක් පවතින කාලයේදී පමනයි.
මේ නිසා මේ ධර්ම ශාසනය කොටස් තුනකට බෙදනවා. 
1.පර්යාප්ති ශාසනය
2. ප්‍රතිපත්ති ශාසනය
3. ප්‍රතිවේද ශාසනය 
පර්යාප්තිය කියන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍ර, විනය අභිධර්ම කියන කොටස් තුන. ප්‍රතිපත්තිය කියන්නෙ නිරෝධගාමිනි මාර්ග සත්‍යයට. ප්‍රතිවේදය කියන්නෙ එහි ඵලය හැටිය⁣ට ලැබෙන අවබෝධය හෙවත් ප්‍රඥාවට. ⁣කිසිම කෙනෙකුට මේ තුන මගහැරල ප්‍රඥාව කරා යන්න බැහැ. බුදුවරයෙක් ඉතාම කලාතුරකින් ලොවට පහළ වන්නේ පළමුව ධම්මථිතිය පිලිබඳව ලෝකයාට හෙළිදරව් කරන්නටයි. ධම්මථිතිය කියන්නෙ බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත්, හැමදාමත් මේ ලෝකයේ පවතින යථා ස්වභාවය හෙවත් ඇත්ත ගැන කරුනා වටහා දෙන්නටයි. ඒ ඇත්ත තමයි "චතුරාර්යය සත්‍යය" නමින් හැදින්වෙන්නෙ. එතකොට කවුරු හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළවෙන්නෙ මාර්ගය කියල දෙන්න විතරයි කියල ඒක ඉතාම ප්‍රාථමික ප්‍රකාශනයක් පමණයි. ආර්යය සත්‍යය හතර කියන්නේ මොකක්ද කියල අංශුමාත්‍රයක් වත් නොදන්නා කෙනෙක් තමයි එහෙම කියන්නෙ.

                                                             ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/


චතුරාර්යය සත්‍යය යනු කුමක්ද
1.දුක්ඛ ආර්යය සත්‍යය
2.දුක්ඛ සමුදය ආර්යය සත්‍යය
3.දුක්ඛ නිරෝධය ආර්යය සත්‍යය
4.දුක්ඛ නිරොධ ගාමිනි පටිපදා ආර්යය සත්‍යය

එතකොට මේ  සූත්‍ර, විනය අභිධර්ම කියන කොටස් තුනට අයත් ධර්ම විග්‍රහය හෙවත් ලෝක යථාභූත ස්වභාවය කාටවත් තමන්ගෙ පෞද්ගලික හෝ අනුන්ගෙ අත්දැකීම් තුලින් වටහාගන්නට ලැබෙන්නෙ නැහැ. එසේ දැනගත හැකි වන්නේ පෞද්ගලික අත්දැකීම් මිසක යථාභූත ස්වභාවය නෙවෙයි. ඒකයි සමහරු කියන්නේ ගින්දරට පිච්චෙනවාද කියා දැනගන්නට නම් පිච්චිලාම බලන්නට උවමනායි කියා. එතකොට ගින්දරට පිලිස්සෙන වේදනාව ප්‍රත්‍යක්ෂයි කියා. එතකොට යමෙකුට මරණයේ වේදනාව ප්‍රත්‍යක්ෂ කරන්නට නම් මැරිලාම බලන්ට උවමනා නේද කියන තර්කය එනවා. ඒවා හුදු තර්ක පමණයි. බුදුරජානන් වහන්සේ ලෝක සත්ත්වයාට තවත් ගවේශනය කර කර සොයන්නට යමක් ඉතිරිකොට නැහැ. මෙන්න යථා ස්වභාවය, මෙන්න ආර්යය සත්‍යය මෙන්න දුක මෙන්න දුකට හේතුව, මෙන්න දුකෙන් මිදීම සහ මෙන්න දුකෙන් මිදීමේ මාර්ගය කියා අවශ්‍ය සියල්ල ඇතැඹුලක් සේ පැහැදිලිව දේශනා කොට වදාලා. තමාව ගවේශනය කිරීම යනු සතරසතිපට්ඨානය තුල සිත පිහිටුවා සතර තැනක සිහිය සහ නුවන යොදවමින් තන්හා දිට්ඨි මාන සහිත ප්‍රපංච ලෝකය කෙරෙහි ඇති ඇලීම ගැටීම දුරු කිරීමයි. එතකොට පෙළදහම කියන්නෙ බුදුරජාණන් වහන්සේ විසින් ගුරුවරයකු නැතිව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට, මෙයයි ලෝක සත්‍යය මෙයයි යථාභූත ස්වභාවය කියා විවිධ අවස්ථාවලදි දේශනාකොට වදාල ධර්මය. ඒ ධර්මය සම්මශ්‍රණය නොකර කෙනෙකුට මාර්ගය වඩන්නට හැකිද? මාර්ගයද කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පමණයි.

කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං?
කෙසේද අසා දැනගත් ධර්මයෙහි වූ ප්‍රඥාව සුතමය ඥාණය වන්නේ
"ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
"ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
"ඉමෙ ධම්මා පහාතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
"ඉමෙ ධම්මා භාවෙතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
"ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

සෝත යනු කණයි. සුත යනු අසන, ඇසෙන, අසාගත් යන අර්ථයයි. සෝතද්වාරය හෙවත් කනෙන් අසන ලද ධර්මය ප්‍රඥාවක් සහ ඥාණයක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කෙරෙනවා.
1."ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා" - මේ ධර්මයන් විශේෂයෙන් දැනගත යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.
2."ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා" - මේ ධර්මයන් පිරිසිඳ දැනගත යුතුය  කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.
3."ඉමෙ ධම්මා පහාතබ්බා" - මේ ධර්මයන් ප්‍රහාණය කල යුතුය, පහකළ යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.
4."ඉමෙ ධම්මා භාවෙතබ්බා" මේ ධර්මයන් වැඩිය යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව
 "සුතමයෙ ඥාණං" වේ.
5."ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා" මේ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කල යුතුයි කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.
-අභිධර්ම පිටකය- පටිසම්භිදාමග්ගය-සුතමයඥාණ නිද්දේසො-
ලෝකය කියන්නෙ දැනුමට. දැනුම පද්ධතිය තුලින් පමනයි අවබෝධයට යන්⁣නෙ.නමුත් අවබෝධය කියන්නෙ දැනුමට නෙවෙයි. ⁣එය හේතුඵලයක්. දැනුම බීජයක් නම් එය වැයවෙලා තමයි ප්‍රඥාව කියන ඵලය හටගන්නෙ. දැනුම නම් බීජය නොතිබුනා නම් කිසිදාක ප්‍රඥාව නම් ඵලය හට නොගනියි. එය හේතු ඵලයකි. එතකොට බුද්ධ දේශනාව පිලිබඳ දැනුම ඇත්තේ ත්‍රිපිටකය තුලය. ඒ දැනුම භාවිතා කොට, බුදුන් විසින් උගන්වා ඇති මාර්ගය ප්‍රගුණ කිරීමෙන් අදාල ප්‍රතිඵලය හෙවත් නිවන ශාක්ශාත් කරගත හැකිය. 

සිද්ධාර්ථ මුලින්ම කලේ දැනුම සොයා යාමයි.සතර පෙර නිමිති කියන්නෙ දැනුමට. ආළාරකාලාම,උද්දකාරාමපුත්‍ර ලඟට ගිහින් රූප අරූප ධ්‍යාන වැඩීමෙන් ලැබුවෙ දැනුමක්. ඒ දැනුම තුලින් තමයි ගවේශනයේ යෙදිල ප්‍රඥාව කරා ගමන් කලේ. ඒ නිසා දැනුම පද්ධතියක් සම්මුති ලෝකයේ තියෙනවා. ඒ සම්මුති ලෝකයේ සීමාවන් දැනගන්නෙ දැනුම පද්ධතියෙන්මයි.ඒ සම්මුති ලෝකය කඩාබිඳගෙන යන්න උපකාර වෙන්නෙත් ඒ ලෝකයට අයිති දැනුම පද්ධතියමයි. ආලාරකාලාම සහ උද්දකාරාමපුත්‍ර ආදීන් වෙතින් ලබාගත් දැනුම තුලින් සිද්ධාර්ථ අවබෝධ කලේ ඒ භාවනා ක්‍රම තුලින් කිසිදා නිවන ශාක්ෂාත් කරගන්නට බැරි බවයි. එතැනදි සිදුඋනේත්, දැනුම තුලින්ම සම්මුතිය බිඳ දමා ප්‍රඥාව ගමන් කිරීමයි. එනිසා කිසිවකුට සම්මුති දැනුම ප්‍රතික්ෂේප කල නොහැක. නමුත් කිසිවකු සම්මුති දැනුම තුල සිරවිය යුතු නැත. දැනුම තුලින් ප්‍රඥාවට යා යුතුය. ඒ නිසා ත්‍රිපිටකගත ධර්මය සමග තමයි කවුරු මොන ධර්ම න්‍යායය කිව්වත් සන්සන්දනය කරන්න වෙන්නෙ.මක්නිසාද යත්, සියලු ආර්යයන් වහන්සේලා බිහිකලේ මේ පෙලදහමින් මිසක වෙනත් දෙයකින් නෙවෙයි.පෙලදහම කටපාඩම් කල උගතුන් ගැන නෙවෙයි.පෙල දහම ගුරු තනතුරේ තබාගත් උතුමන් ගැනයි ඒ කිව්වෙ. මේ දහම ගවේශනය කරන්නට හෝ දේශනාකල දහම සංස්කරනය කරන්නට කිසිදු අඩුපාඩුවක් බුදුරජානන් වහන්සේ ඉඩතබා නෑ. අපට උන්වහන්සේ කිව්වෙ ඒ පර්යාප්ති ශාසනයෙන් ලබන දැනුම තුලින් තමාව ගවේශනය කරන්න කියා.තමාව ගවේශනය කරන විට ලෝකය ගවේශනය කලා වෙනවා කියල.

                                              ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

සම්මුති ලෝකය කියන්නෙ නිමිති සමූහයකට. ප්‍රතිපත්ති ශාසනයට ඇතුලත් නොවූ ලෞකික සියලු දෙනාම ලෝකය යැයි සිතාගෙන ගනුදෙනු කරන්නේ මනස තුල හටගත් නිමිති රාශියක් තමන්ගේ කරගෙනය. තමන්ගේම නිමිති වලට ඇලෙමින්, තමන්ගේම නිමිති වලට ගැටෙමින්, තමන්ගේම නිමිති වලට සතුටු වෙමින්, තමන්ගේම නිමිති වලට දුක්වෙමින් අශුන්‍ය වූද, බලාපොරොත්තු සහගතවූද ජීවිතයක් ගත කරති. ඒ නිසා සාමාන්‍ය මිනිසාගේ මනස අශුන්‍යයි. නිමිති වලින් සහ බලාපොරොත්තු වලින් ගහනයි. ඒ නිසා නිවනින් ඈතයි. ශුන්‍ය අනිමිත්ත අප්පනිහිත වූ නිවනට ඔහු බොහෝ දුරය.
                            -මතු සම්බන්ධයි-
ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/
මූලාශ්‍ර
1.-අභිධර්ම පිටකය- පටිසම්භිදාමග්ගය-සුතමයඥාණ නිද්දේසො-
2.-ධම්මපදය- ජරා වග්ගය- 8 සහ 9 වැනි ගාථා-
3.-සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තය-
4.-ධම්මපදය-තෘෂ්ණා වග්ගය- 20 වැනි ගාථාව-



Post a Comment

0 Comments