ධර්මය සහ ජීවිතය - 13 කොටස - අසේවනා ච බාලානං

 

                                            photo credit https://www.pinterest.com/

ධර්මයෙහි "බාල" යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් වයසින් ලාබාල බවක් නොවෙයි. මෝඩ පුද්ගලයාටද පමණක් නොවෙයි. කෙලෙහි ගුණ නොදන්නා කෙනා බාලයා ය. අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය.

උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ නූගත්කම උගත්කම හැටියටය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ නැහැදිච්චකම හැදියාව ලෙසටය. බාලයා නිතර හිතන්නේ අන් අයට වඩා තමන් දන්නා බවය.  පණ්ඩිතයන් අතරදීත්, බහුශ්‍රැත අය අතරදීත්, සභා මැදදිත්, නිතර හිතන්නේද හැසිරෙන්නේද තමන්ද සියල්ල උගත් පණ්ඩිතයක් ලෙසටය. බාලයා සම්මත සුචරිත සිරිත් විරිත් වලට ගරු නොකරයි. සමාජ සම්මත හැදියාව බාලයා නොදනියි. ශිෂ්ඨසම්පන්න හැසිරීම් බාලයාට නොමැත. බාලයාගේ දර්ශනය සම්මා දිට්ඨිය නොව මිත්‍යා දෘශ්ඨියයි.


අසාරෙ සාර මතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්චන්ති - මිච්ඡාසංකප්ප ගෝචරා

-ධම්මපදය- යමක වග්ගය - 11 වැනි ගාථාව
නිසරු හිස් දේවල් සාරවත් දේ හැටියටත්,  සාරවත් දේ නිසරු දේ හැටියටත් දකින වැරදි කල්පනාවෙන් යුක්ත කෙනා සරු දෙයක් කිසිදා නොලබයි. 


බාලයාගේ විෂම ගුණය නම් තමන් බාලයෙක්, නූගතෙක්, බහුශ්‍රැතයෙක් නොවන බව නොදැන සිටීමය. එසේ තමන් බාලයෙක් බව දන්නවා නම් ඒ කාරණයෙන්ද ඔහුට පන්ඩිතයකු විය හැකිය. එසේ නම් බාලයා කිසිවිටක තමන්ගේ වරද, අඩුපාඩුව නොදකියි. අනුන්ගේම වැරැද්ද දකියි. ඒ නිසා ඔහුට කවදාවත්ම තම බාල ගතිගුණ, වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීමට නොලැබෙන අතර ඒ හේතුව නිසාම ඔහු බෝහෝ අකුසල් සිදුකරගනිමින් සසර දුකටම ඇද වැටෙයි. 

                                                     photo credit https://www.pinterest.com/


යො බාලො මඤ්ඤති බාල්‍යං - පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානි - ස චෙ බාලොති වුච්චති

යම් අනුවණ පුද්ගලයෙකුට තමන්ගේ අනුවණබව වැටහේ නම්, ඒ කාරණයෙන්ම ඔහු පණ්ඩිතයකු වේ. තමා පණ්ඩිතයකු යැයි සිතාගෙන සිටින අනුවණයා, එසේ සිතන තාක් අනුවණයෙක්ම වේ. 
-ධම්මපදය-බාලවග්ගය- 4 වැනි ගාථාව


බාලචරිතාපදානය

1.බාලයා නිතර කිපෙන, ගැටෙනසුළු (අභිජ්ඣා සහගත) නපුරු සිතිවිලි වලින් යුක්තය.

2.කිසිදු හිරිකිතයක් ලජ්ජාවක් බයක් නොමැතිව බොරු කියයි. කේලාම් කියයි. හිස් වචන කියයි. පරුෂ වචන කියයි. ඔහු වචනයෙන් පිරිහුනු කෙනෙක් වෙයි.

3.ප්‍රණාඝතය, අනුන්ගේ දේ වංචාවෙන් සොර සිතින් ගැනීම්, අනුන්ට හිංසා පීඩා කිරීම නිරන්තරයෙන් ඔහු අතින් සිදුවෙයි. ඔහු කායික ක්‍රියාවලින්ද පිරිහෙයි. 

4.බාලයා කාමමිච්ඡාරයේ යෙදෙයි.

5.බාලයා සුරාවට ලොල් වූවෙක් වෙයි. එයින් ඔහු මදයටත් ප්‍රමාදයටත් ඇදවැටී පිරිහීමට ලක්වෙයි.

6.බාලයා එම චරිත ලක්ෂණ අනුව කටයුතු කිරීම නිසාම බොහෝවිට අපවාද මෙන්ම රජුගෙන්( වර්තමානයේ රටෙහි පවත්නා නීතියෙන්ද) දණ්ඩනයට ලක්වේ. 

7.බොහෝ සතුරන් හදාගෙන සතුරන් වෙතින්ද පීඩාවට විනාශයට පත්වේ.

                                              photo credit https://www.pinterest.com/


මෙම බාලචරිතාපදානය අනුව බාලයා යනු පවට නැඹුරු වූ දසඅකුසලයෙහි යෙදුනු පවට බය නැති පවට ලජ්ජාව නැති අයෙකු බව දැක්වේ. ඉහත සඳහන් චරිත ලක්ෂණ අනුව බාලයා මෙලොවදිත් දිට්ඨධම්ම වශයෙන් සමාජයෙන් නින්දා ගැරහුම් ලබන්නටද, පිලි නොගැනීමට ලක්වීමද, සම්පරායික වශයෙන්(පරලොව) සසර දුගතියටද නියත හේතු සකස් කර ගනියි. මෙලොව ලැබෙන දුක් විපාක යම් ප්‍රමාණයක්ද, ඔහු එය විඳදරා මරණයෙන් පසුව පරලොවට පිවිසුනු විට ඔහුට ලැබෙන දුක් විපාක මෙතෙකැයි කියා නිම කල නොහැකි බව ධර්මයෙහි සඳහන් වේ.

"සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. තෙ අල්ලානිපි තිණානි සුක්ඛානිපි තිණානි දන්තුල්ලෙහකං ඛාදන්ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා? හත්ථී අස්සා ගොණා ගද්‍රභා අජා මිගා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්‍යතං උපපජ්ජති යෙ තෙ සත්තා තිණභක්ඛා."

මහණෙනි..අශ්වයින්, ගවයින්, කොටළුවන්,එළුවන්,මුවන්ද, තවත් ම‍ෙවැනි තිරිසන් සත්ත්වදෙ තෙත්වූද, වියලි වූද, තණකොළ දත්වලින් උලා කති. මහණෙනි..ඒ බාලයා මේ ලෝකයේදී රස තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරන්නට, කයෙන් වචනයෙන් විවිධාකාර පව්කම් අකුසලයන් සිදුකොට මරණයෙන් පසුව යම් තණකොළ අනුභව කරන සත්ත්වයන් සිටියිද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.


ඒ වගේම, ඌරො, බල්ලො,නරියො, වගේ තවත් ඒ හා සමාන තිරිසන් සත්ත්වයින් අසූචි ගඳ දැනෙත්ම, ඒ වෙතට දුවගෙන ඇවිත් අසූචි ආහාරයට ගනිති. ඒ බාලයා මේ ලෝකයේදී රස තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරන්නට, කයෙන් වචනයෙන් විවිධාකාර පව්කම් අකුසලයන් සිදුකොට මරණයෙන් පසුව යම් අසූචි  අනුභව කරන සත්ත්වයන් සිටියිද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.


ඒ වගේම කීටයන්, පනුවන්,ගැඩවිලුන්, සහ තවත් එවැනි   අඳුරෙහි ඉපදී අඳුරෙහිම මියයන තිරිසන්ගත සත්ත්වයින් සිටිති. ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින්  මරණින් මතු අඳුරෙහි උපදිනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්ත්වයින් වෙත්ද,  ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.


එමෙන්ම මාළුන්, කැස්බෑවන්,කිඹුලන්, සහ තවත් එවැනි   ජලයේ ඉපදී ජලයෙහිම මියයන තිරිසන්ගත සත්ත්වයින් සිටිති. ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින්  මරණින් මතු ජලයේ උපදිනා ජලයේ දිරන ජලයේම මියයන යම් සත්ත්වයින් වෙත්ද,  ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.


තවද, අසූචියේ ඉපදිලා, අසූචියෙහිම දිරායන, අසූචියේම මියයන තිරිසන් ගත ප්‍රානීන් සිටිති. තවත් සමහර සත්ත්වයින් සමහරෙක් උපදින්නේ කුනුවී ගිය මස්වලය. කුනු මස් වල ඉපදී, එහිම දිරා යමින් කුනු මසේම මියයන මේ සත්ත්වයින් අතරට, ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින්  මරණින් මතු   ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

බාලපණ්ඩිත සූත්‍රය -මජ්‌ඣිම නිකාය- උපරි පන්නාසකය-. සුඤ්‌ඤත වර්ගය


අසේවනා ච බාලානං - බාලයන් හා ඇසුරු නොකල යුතුයි.

තිරිසන්ගත සත්ත්වයාට කල්ප ලක්ෂ ගනනක් යනතුරා ධර්මය නම් නෑසෙන්නේය. ඒ නිසාම නැවත නැවත දුක්ඛිත තිරිසන් ආත්මභාවයට ඇද වැටෙනු විනා නැවත මිනිස් ජීවිතයක් ලැබ ගැන්ම සිහිනයක් පමණි. තිරිසන් ගත ජීවිතය යනු සතර අපායෙන් එක් අපායක් පමණි. බාලයාගේ ඇසුර නිසා, බාලයාගේ අභාෂය නිසා, ඒ සෙසු අපායවල්ටද වැටීම අනිවාර්යයෙන්ම සිදුවන බැව් අවධාරණය කල යුතුය. මේ බිහිසුනු අණතුර දුටු නිසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා අසේවනා ච බාලානං - බාලයන් හා ඇසුරු නොකල යුතුයි කියා. මෙහි බරපතලකම ඒ තරමට විශාලයි. මක්නිසාද යත් බාලයාගේ මුලුමහත් ජීවිතයම තමාටම සතුරු වූ තමාටම දුක පිණිස වූ ජීවිතයක් නිසාය.


චරන්ති බාලො දුම්මෙධො - අමිත්තෙනෙව අත්තනා
කරොන්තො පාපකං කම්මං - යං හොති කටුකප්ඵලං

--ධම්මපදය-බාලවග්ගය- 7 වැනි ගාථාව-

වර්තමාන අනාගත කටුක දුක් විපාක ගෙනදෙන අකුසල පාපකම් කරමින්, නුවණ මඳ අඥානයා තමාටම සතුරු වූ ජීවිත ආත්මයක් සමග හැසිරෙයි. 

නුවණ මඳ කියන්නෙ ඔහු මෝඩයෙකු යන අදහසම නෙවෙයි. සමහර විට ඔහු ආචාර්යය, මහාචාර්යය වරයෙක් විය හැකියි. මහා ධනකුවේරයෙක් විය හැකියි. ඉහළම තනතුරක සිටින්නෙක් විය හැකියි. ප්‍රසිද්ධ කෙනෙක් විය හැකියි. සම්මුති ලෝකයේ විවිධ විෂයයන් වලට ප්‍රවීනයෙක් දක්ෂයෙක් විය හැකියි. එහෙත් අඩුම තරමින් හෝ ලෞකික දසවස්තුක සම්මා දිට්ඨියේ හෝ පිහිටා නැත්නම් ඔහු නුවණ මඳ අඥානයා යනුවෙන් හැඳින්විය හැකියි. ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ හතර දෙනාගෙන් දෙදෙනෙක්ම බාලයා යනු කවුදැයි හැඳින්වීමට කල දේශනා.

1.අඳුරෙන් අඳුරට යන පුද්ගලයා ( තමො තම පරායනො)

2.එළියෙන් අඳුරට  යන පුද්ගලයා ( ජොති තමො පරායනො)

අඳුරෙන් අඳුරට යන පුද්ගලයා යනු, සංසාරයේ බොහෝ දුක් ඇති තැන්වල ඉපදි ඉපදි, මැරි මැරි, බොහෝ කටුක දුක් අකුසල විපාක ගෙවා අවසන් කොට, කල්ප ගනනාවකට පසුව  ඉතාම අසීරුවෙන් නැවත මිනිස් ලෝකයට පැමිණ, ඉතාම දුක් සහිත තැනක ඉතාම කටුක ඉතාම දුගී දුක්ඛිත ජීවිතයක් ලැබගෙන ජීවත් වෙමින්, ජීවිත්වීම උදෙසාම නැවත නැවත දස අකුසලයේ යෙදෙමින්, පාපයේ යෙදෙමින් සිටින තැනැත්තා නැවත මරණයෙන් පසුවද තිරිසන් භාවයට, නිරයට, සංසාර දුගතියට පත් වන්නේය. ඒ තමයි මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතයද අඳුරට හෙලාගත් ( තමො තම පරායනො)  පුද්ගලයා. 

තවත් සමහර පුද්ගලයෙක් සසරේ කල මහත් පින්කම් වල ආනිශංසයෙන් මිනිස් ජීවිතයක් ලැබ ගෙන, බොහෝම සුවසේ, ධනවත්ව, බලවත්ව, ප්‍රසිද්ධව, කිසිදු අඩුවක් නැති සුපිරි ජීවිතයක් ගතකරමින් වුවද, සතුට ආශ්වාදය සහ දේපල මිලමුදල් වස්තුව සෙවීම සඳහා දස අකුසලයේ යෙදෙයිද, පාපයෙහි ගැලී තාවකාලික ආශ්වාදයම සොයයිද, ඒ තැනැත්තා නැවත මරණයෙන් පසුවද තිරිසන් භාවයට, නිරයට, සංසාර දුගතියට පත් වන්නේය

මානෙන් ඉඳිතත් මේ සැප      පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ         බොරුමය
දානෙන සීලෙන් නොකලොත්  දරුමය
පානෙන් අඳුරට ගෙනයයි         කරුමය

-ලෝවැඩ සඟරාව-59 වැනි කවිය-

මේ ලෞකික පස්කම් සැපත ඉතාමත් අගෙයි, ඉතාමත් ඉහළයි.පරම සැපත එයයි කියා මානය පෙරදැරිව ඒවාම වින්දනය කරමින් කාලය ගතකලත්, එය සිහිනයෙන් ගාන ලද සුවඳක් බඳුය. දානයෙන් ශීලයෙන් සුචරිතයෙන් මේ ධර්ම මාර්ගයද පූරණය නොකලේ නම්, නිරන්තරයෙන් සිදුකරගන්නා අකුසල පාප ධර්ම විසින් ඒ කෙනා සුගති ආලෝකයෙන් හතර අපාය නම්වූ අන්ධකාරයට රැගෙන යයි. ඒ තමයි මෙලොව ජීවිතය ආලෝකයෙන් ගතකොට  පරලොව ජීවිතය අඳුරට හෙලාගත්  ( ජොති තම පරායනො)  පුද්ගලයා. මේ දෙදෙනාම තමන්ට ලැබුනු මිලකල නොහැකි වටිනා මිනිස් ජීවිතය අපතේ යවන අය නිසා ඔවුන් නුවණ මඳ අඥාන තමාටම සතුරු වූ ජීවිතයක් ගතකරන අය වෙති.


බාලයාගේ දෘශ්ඨිය

පුත්තා මත්ථි ධනං මත්ථි - ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි - කුථො පුත්තා කුතො ධනං

අඥාණයා තමාට බොහෝ දරුවන්(පිරිස) ඇතැයිද, ධනය ඇතැයිද කියා සිතමින් කාලය ගත කරයි. තමාට තමාවත් නැති වන කල කුමන දරුවෝද කුමන ධනයද??
--ධම්මපදය-බාලවග්ගය- 3 වැනි ගාථාව-


මේ බාලයා හෙවත් නුවණ මඳ අඥානයා දකින්නේ, "මට දූදරුවන්,ඥාති හිතමිතුරන් ඇතුළු  බොහෝ පිරිස සිටිනවා..මට බොහෝ ධනය තිබෙනවා..ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් නැහැ කියා" යි. බොහෝ පිරිසක් සිටින්නේ එහෙම දෘශ්ඨියකයි. කිසියම් ක්‍රමයකින් ධනය උපයාගෙන, බොහෝ සැපසම්පත් මැද, දූදරු ඥාති හිතමිතුරු සමාගම් මැද, කමින් බොමින් සතුටු වෙමින් කාලය ගතකරද්දි, තමාට සියල්ල සපිරී ඇතැයි සිතිවිලි පහළ කරගන්නවා. 

ගඟ යන ඇත්කුණැ ඉඳැ මස්            රසටා
සිඳු මැදැ වැදැ වැනැසුනු මෙන්        කපුටා
ලද ඉසුරෙහි ලොබ කළහොත්    තොපටා
බව සයුරෙන් ගමනෙක් නැත       ගොඩටා

-ලෝවැඩ සඟරාව- 64 වැනි කවිය -


                                                           photo credit https://www.pinterest.com/


නිධාන කථාව- 

මහා ගංවතුර කාලයක ගඟ දිගේ ගසාගෙන යන ඇතෙකුගේ මළකුණක් දකින එක්තරා කපුටෙක්, ඒ මළකුණ මතට බැහැලා හොටෙන් මළකුණේ මස්වලට කොටා කෑවාම ඌට දැනුනේ අමෘත රසයක්. ඒ කපුටා කල්පනා කලේ ඇත්කුණ විශාලයි. ජීවිත කාලයම උනත් මේ රස ආහාරය සෑහේ. උවමනා ජලයත් ලඟම තියෙනවා. ඇත්කුණ මතම හිඳින්නටත් නිදාගන්නටත් හැකියි, මෙවන් සැපතක් අතහැරලා යන මෝඩයා කවුදැයි කියාය. ඒ නිසා කපුටා අවශ්‍ය විටකදි ඇත්කුණෙන් මස් කමින්, අවශ්‍ය විටකදි හිස පහත් කර ගඟේ වතුරද බොමින්, ඒ මතම වැතිරී නිදමින් මහත් සතුටින් කාලය ගත කලා. එහෙත් කපුටා නොදන්නා දෙයක්ද ඒ අතරෙ සිදුඋනා. ඒ තමයි කපුටාටද නොදැනී ඇත්කුණ හෙමින් හෙමින් මහමුහුදට පාව යාම. එය කෙතරම් දුරකට පාව ගියාද කිවහොත්, කෙනෙකු ගියොත් නැවත ආපසු එන්නට නොහැකි තරම් ඈතකට මහමුහුදේ ඇත්කුණ පාව ගියා. එවිට තමයි කපුටාට දෙවියන් සිහිවන්නේ. ඇත්කුණට මුහුදේ මාළුන් කෙටීමෙන් සහ මුහුදු වතුරට හසුවීමෙන් කෙමෙන් කෙමෙන් මස් දියවී ගොස් දැන් ඇත්තේ ඇත්කුණ වසාතිබුන හම විතරයි. කපුටා සෑම දිසාවකට පියඹා යමින් ගොඩබිමක් සෙව්වද, ගොඩබිමක සේයාවකුදු පෙනුනේ නැත. දැන් කපුටාට බිය දැනෙන්ට පටන් ගනියි. උමතුවෙන් මෙන් සෑම අතකම පියඹා ගිය නිසා දැඩි වෙහෙස දැනෙයි. කපුටාට ඉතිරිව ඇති එකම විකල්පය තමා කලින් සිටි ඇත්කුණ වෙත යාමය. ඒ නිසා කපුටා නැවත ඇත්කුණ තිබූ තැනට පියඹා ගියත් එතැන ඇත්කුණ වෙනුවට හම් කැබැල්ලක් පමණක් ඉතිරිව තිබුනා. වෙහෙස නිසාද, බිය නිසාද, අවසාන බලාපොරොත්තුවද කඩවීම නිසාද කපුටා අවසානයේ මුහුදටම ඇදවැටී මුහුදේ සිටින චන්ඩ රුදුරු මත්ත්සයන්ගේ ගොදුරක් බවට පත්වී විනාශ වී යයි. 


බාලයා සහ කපුටා-

මේ කතාවේ එන පරිදි කපුටා යනු බාලයාට තවත් නමකි. බාලයාගේ දෘශ්ඨිය කුමක්දැයි ඉහත සඳහන් කලා. මේ කතාවේ එන කපුටාද බාලයා විදියටමයි කටයුතු කලේ. කපුටා කල්පනා කලා මුලු ජීවිත කාලයටම මේ ඇත්කුණ මහා සම්පතක් කියා. ඒ ඇත්කුණ නිසා ලබන ආශ්වාදය සතුට සොම්නස නිත්‍යයි කියා. ඒ නිසා කපුටා ආදීනව කල්පනා කලේ නැහැ. මේ ඇත්කුණ ගඟ දිගේ ගසාගෙන යන බවත්, එසේ ගසාගෙන යනු ලබන්නේ මහා සාගරයට බවත්, මහා සාගරයේ ඈතට ගියොත් නැවත ආපසු ඒමක් නැති බවක් කපුටාට කල්පනා උනේ නැහැ. බාලයාද ඒ වගේමයි. කපුටාට මහා සාගරයේ ඈත දුර යම්සේද, බාලයාට මහළුවිය, ජරාවට පත්වීම කියන්නෙත් එකම දේකට. එනම් මහළු වියට ගියොත් නැවත ආපසු හැරී ඒමක් නැහැ. ජරාජීර්ණ වී දුබල උනොත් නැවත ආපසු හැරී ඒමක් නැහැ. ගේ දොර වතුපිටි මිලමුදල් හරකා බාන, අඹුදරුවන්, ඥාතී හිතමිතුරන්, සහ පඤ්චකාමයන් ගෙන් ලබන සතුට සොම්නස සදාකාලිකයි නිත්‍යයි සැපයි කියා මානයෙන් ඉදිමී සිටියත්, වයසට ගොස් ජරාජීර්ණ වූ පසු ඒ කිසිවක් තමා ලඟට නොපැමිනෙයි. හරියට මුහුදට ගසාගෙන ගිය ඇත්කුණ මුහුදේ මාළුන් කොටා අනුභව කරමින් හම් කැබැල්ල පමණක් ඉතිරිවූවා සේ, තමා සන්තක සියල්ල අඹුදරුවන්, ඥාතී හිතමිතුරන්ට හිමිවෙද්දී, හිස් අතින් ගිලන් සයනයක හෝ හැරමිටියකට වාරුවී ඇස් නොපෙනෙන කන් නොඇසෙන අතපය වාරු නොමැති තත්වයකට ඇද වැටෙයි. එතකොටයි බාලයාට සිහිවන්නේ පරලොව ගැන. එසේ සිහිවී  පරලොව සුගතිය පිණිස හතර අතේ දුවමින් දහම සෙව්වත්, ධර්මය ඇසෙන්නේ නැත, ඇස් පෙනෙන්නේ නැත. කාය චිත්ත විවේකය පිණිස සමථ භාවනාවක් කරගැන්මට අතපය සිරුර වලංගු නැත. කියන දහමක් තේරුම් යන්නේද නැත. අඹුදරුවන් ඥාති හිතමිතුරන් දේපල වස්තුව මිලමුදල් තිබුනොත් සියල්ල ලැබුනා සේ සිතූ ඔහුට හිස් අතින් මරණයට පත්වන්නට සිදුවෙයි. හරියට කපුටා මුහුදට ඇදවැටී රුදුරු මාළුන්ට ගොදුරු වූවා සේය. 

මේ කාරනා සියල්ල සැලකිල්ලට ගතහොත් අසේවනා ච බාලානං කියන කෙටි යෙදුමේ බරපතලකම වඩාත් ගැඹුරින් වටහාගත හැකිවනු ඇත. බාලයා හා ඇසුර ඒ තරමට බිහිසුනුය. ඒ නිසා බාලයන් හා ඇසුරෙන් වෙන්වී පණ්ඩිතයන් කල්‍යාණ මිත්‍රයන් හා ඇසුර වර්ධනය කරගැන්ම නුවනට හුරු බව නොරහසකි.





Post a Comment

2 Comments