මොනවද අම්මේ අකුරු ජාතියක්

චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ අපූර්ව පදරචනාවක්









මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී

මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ

බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ

වීඩියෝව මෙතැනින් නරඹන්න



1 comment:

  1. අහලා තිබුනාට බුදු ගුණ ගීයක් කියලා දැන ගත්තේ අද තමයි.....
    වැඩේ නියමයි.

    ReplyDelete

Comments