වර්තමානයේ කවියට තිබෙන තැන

කවිය යනු ලාංකික අපට සංස්කෘතියෙන් පවරා දුන් දායාදයක් බවයි මගේ පෞද්ගලික අදහස. රොබට් නොක්ස් කිව්වේ සෑම සිංහලයෙකුම කවියෙකු බවයි.  සීගිරි කැටපත් පවුරේ කව් ලියූ කවීන්ගේ කවිය මතුවුණේ කොතනින්ද? ඒක සංස්කෘතික ඇබ්බැහි කමක් අපේ හෙළවෙදකම , ශාන්තිකර්ම , තොවිල් පවිල් ද්වාර කර්ම ආදී ජන සම්ප්‍රදායම කවියත් සමග ගැටගැහිලා තිබුණා.
ඒ නිසාම අපේ කවියේ ගමන් මග වැටී තිබෙන්නේ ඒ ජන සම්ප්‍රදායන් සහ ජන විඥානගත සාධක මතයි. වර්තමාන කවිය යැයි අප හඳුනා ගන්නා කවිය බිහිවන්නේ විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍ය භාවිතාවත් සමගයි. එදා ශ්‍රැති මාධ්‍යයක්ව පැවති කවිය කියවීමෙන් රසවිඳින මාධ්‍යයක් බවට පත්වන්නේ මෙම මාධ්‍යයම බලපෑමත් සමගයි. 
සම්භාව්‍ය සාහිත්‍ය තුළ හමුවන සංදේශ කාව්‍ය, ගී කාව්‍ය, සිලෝ කාව්‍ය ආදී වශයෙන් වූ මහා සම්ප්‍රදායැයි සලකන රාජ්‍ය අනුග්‍රහයත් කවි සම්ප්‍රදායකුත් පෙරකී ජන සම්ප්‍රදාය සමග වර්ධනය වුණා. මේ ආකාර දෙකින්ම වර්ධනය වී ආ සිංහල කවිය. මාතර යුගය, කොළඹ යුගය ආදී යුග පසුකරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කොටගත් කවි අවදියක් දක්වා ගමන් කළා. වර්තමානයේ සිටින බොහෝ ප්‍රතිභාපූර්ණ තරුණ කවීන්ගේ පීතෘවරයා ලෙස හඳුන්වන්නට වෙන්නේ මහගමසේකරයි. රුසියානු  කෙටිකතාව ගොගොල්ගේ සිට කබායෙන් එළියට ආවක් මෙන් වර්තමාන සිංහල කවිය මහගමසේකරගේ “ප්‍රබුද්ධ” කාව්‍යයෙන් එළියට ආ බවයි මගේ පෞද්ගලික අදහස. 
සේකරගෙන් ආලෝකය ලබාගෙන සිංහල කවිය ඉදිරියට ගෙන යන විශාල කවීන් පිරිසක් අපට ඉන්නව. ඔවුන් අතරින් රත්න ශ්‍රී විජේසිංහ අද අප කතා කරන කවියෙහි ආකෘතිය අත් දැකීම මෙන්ම පරිධිය පුළුල් කළ කවියෙක්. ඒ නිසා මට පමණක් ‍නෙවෙයි වර්තමානයේ කවි ලියන බොහෝ තරුණ කවීන්ට රත්න ශ්‍රී ගේ බලපෑම තිබෙනවා. නන්දන වීරසිංහ ද ඔහුට ආවේනික ලෙස කවිය විග්‍රහකරගත් සහ භාවිත කරන කවියෙක්. සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයට ඔහුගෙන් සිදුවන දායකත්වය අනභිභවනීයයි. 'ගිංගඟේ විලාපය', කිරිසුවඳැති රාත්‍රිය , වැනි කෘති කොතරම් අපූරුද? මේ දෙදෙනාටම වඩා වෙනස් මගක් ගත් කවියෙක් කුමාර හෙට්ටිආරච්චි . ඔහුගේ කවිය සමාජය මත හෙළන යකුළු පහරවල් මෙනි. පාලිත අරවින්ද වීරක්කොඩි, කුමාර ලියනගේ, සුහර්ෂණී ධර්මරත්න මේ තරුණ කවීන් අතර ප්‍රබලව නව කවිය පිහිටුවා ගත් කවීන්. 
එසේ වුවත් සිංහල සාහිත්‍ය තුළ කවියට තිබෙන තැන පිළිබඳව නම් අපට සතුටු විය හැකි තත්ත්වයක් නෑ. ප්‍රකාශකයින් ප්‍රකාශන ව්‍යාපාර වලින් කවිය ඉවත් වෙලා ගොඩක් කල්. ඉතා හොඳ කවියෙකුගේ කවි ‍පොතක් වුණත් විකුණාගැනීම ප්‍රශ්නයක්. රාජ්‍ය අනුග්‍රහය තුළ කවියට තිබෙන තැන කුමක්ද? ඇතැම් සම්මාන උළෙලවලදී පවා කවියට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්. අවාසනාවන්තම සිදුවීම අද කවි ලියන කවීන් පවා කවි‍පොත් මිලදී ගැනීමේ දී දක්වන්නේ , මන්දෝත්සාහී බවක්. ඒකට හේතුව කුමක්දැයි  කියන්ට අමාරුයි. ඇතැම්විට ආර්ථික සාධක වන්නට පිළිවන්. 
පසුගියදා රාජ්‍ය සම්මානය හිමිවූ  සුහර්ෂනී ධර්මරත්නගේ ගිරිහිස තරණය කවි‍පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙසයි එළි දැක තිබෙන්නේ. වාසනාවකට ඇයට එම කෘතිය සඳහා නිසි ඇගයීමක් ලැබුණා. මේ නිසා ඇගේ කවි‍පොත් වලට කිසියම් ඇල්මක් ගොඩ නැගෙන්නට ඇති. මේකයි අද කවියෙහි දක්නට ලැබෙන තත්ත්වය.

වර්තමාන සමාජයේ දක්නට ලැබෙන තත්ත්වය නම් තමන්ගේ මවු බසට හරියට භාවිතා නොකරන තත්ත්වයක්. එවැනි වටපිටාවක් තුළ කවියෙහි අනාගතය කෙබඳු වෙයිද? 
ඉස්සර නිර්මාණකරණයට බට බොහෝ කවීන් ‍ලේඛකයින් ඉතා හොඳින් භාෂා ප්‍රාගුණ්‍යය ලබාගත් අය, භාෂාව මැනවින් දැනගත් කෙනා සැලකුවේ උගතෙකු බුද්ධිමතෙකු විදිහටයි. එහෙත් අද බොහෝ සුලභ නිර්මාණ කටයුතු වල යෙදෙන්නන් (මේවා නිර්මාණ කටයුතු කියන්ටත් බෑ හරිනම් වෙළෙඳ කටයුතු කියලයි කියන්ට ඕනේ) භාෂාව පිළිබඳ දක්වන සැලකිල්ල හොඳටම මදි. අද පටිවලට තැටිවලට පණදෙන බොහෝ ජනප්‍රිය ගීත බලන්ට  ඒවායින් භාෂා සාහිත්‍ය දකින්නට නෑ. එවැනි ගී ලියන්නේ සෙලියුලර් දුරකතනවලින් කෙටි පණිවිඩ හෙවත් ඉර්ඉ යවන පරපුරයි. ඔවුන් එකකෝ “ඔබ සෙමට බුදු සරණයි“ කියල ලියනවා. එසේ නැත්නම් “ඔබ සමට බුදු සරණයි“ කියල ලියනවා . ඒත් ඉස්සර පෙම්හසුන් ලියපු කා‍ලේ තරුණයින් භාෂා භාවිතය වර්ධනය වුණා. එදා ගොඩක් හොඳට පෙම්හසුන් ලියපු තරුණයෝ අද කෘත හස්ත ‍ලේඛකයෝ වෙලා ඉන්නේ ඒකයි. 
එහෙත් අද භාෂාව බල්ලට දාලා තිබෙන තත්ත්වයක් තමයි හාත්පසම දක්නට ලැබෙන්නේ. බොහෝ විද්‍යුත් නාලිකා වල සිටින ගිරා‍පෝතක නිවේදකයින්ගේ භාෂා ඥාණය බලන්න. අනාගත පරපුර සිංහල භාෂාව ලෙස හඳුනා ගන්නේ මේ කොත්තු රොටී  භාෂාව නේද? එබඳු බස් වසරකින් කවි ලිවිය හැකිද? එවැනි සමාජයක් තුළ කවිය පිහිටු වීම අතිශයින්ම දුෂ්කර කාරණාවක්. කවියක සංඥාර්ථ කියවා ගැනීමට නම් හොඳ භාෂා හුරුවක් තියෙන්ට අවශ්‍යයි. කවියා කියන දෙය සංජානනය කර ගන්නේ භාෂාව මගින්නේ. ඉතිං තම මව්බස දවෛනි කොට සලකන සමාජයකට කවිය ගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපට තිබෙනවා. 

අනෙක් පැත්තෙන් අද අප ගත කරන්නෙ තාක්ෂණික  වශයෙන් පුපුරාගිය, සන්නිවේදන මාධ්‍ය උපකරණ, භාවිතාවන් මෙන්ම අවකාශයන් විවෘත වූ සමාජයක එවැනි සමාජයකට කවිය ගෙන යන්නේ කෙසේද? 
අනෙක් පැත්තෙන් මිනිස්සු ජීවත් වීම සඳහා බලු‍පොරයක නියැලී සිටින සුඛෝපභෝගී භාණ්ඩ අත්පත් කරගැනීමට වෙහෙස වන පරමාණු බෝම්බ වගේ හිස් ගෙඩි ඇතු‍ලේ ආතතිය පුරවාගත් ඇවිදින මළ මිනී මිනිස්සු බහුලව සිටින සමාජයක් මේක. එවැනි සමාජයකට කවියෙන් ඇති ඵලය කුමක්දැයි වටහා ගත නොහැකි තරමට අපම අතර මං වී තිබෙන වටපිටාවක් තුළයි අපි කවි ලියන්නේ. 
අනෙක් පැත්තෙන් “සමාජ මාධ්‍ය” වශයෙන් තිබෙන ෆේස් බුක්, වබේ අඩවි හරහා විද්‍යුත් අවකාශය තුළ කවිය පිහිටු වන්න තරුණ කවීන් උත්සාහ කරන අවධියකයි අප ගත කරන්නේ මාධ්‍යයක් වශයෙන් එහි වරදක් නෑ. නූතන තාක්ෂණ පිටු දකින්ට අපට බැහැ. ඒ කවියෙහි ගුණාත්මක භාවය රැක ගැනීම පිළිබඳ අර්බුදයක් තිබෙන බව මේ විද්‍යුත් කවි පිටු කියවන විට පෙනී යනවා. කවිය අන්තර්ජාලයේ තිබුණට කමක් නැහැ. ඒත් කවියෙහි ආත්මය මේ ‍පොළොවෙන් මතුව එන්නට ඕනෑ. කවියෙහි රූපශ්‍රීය හෘදයාංගම වූ භාෂාවෙන් සරසරන්නට වැනි එය සමාජයට ආමන්ත්‍රණය කරන්නට හැකි වඩා මටසිළුටු වූ කාව්‍යමය භාෂාවක් වන්නට ඕනේ.

වර්තමානයේ කවියට තිබෙන තැන පිළිබඳ සෑහීමකට පත්වන්නට බැරි බව ඔබ පැවසුව. ඒ කියන්නේ කවීන් කවි ලියන්නේ තමාගේ ආත්ම තෘප්තිය වින්දනය සඳහා පමණක්ද? එසේ නැත්නම් ඊට වෙනස් සමාජයීය කාර්ය භාරයක් තිබෙනවාද? 
අද වන විට නම් බොහෝ කවීන් කවි ලියන්නේ තමන්ගේ ආත්මීය සංතෘප්තිය සඳහා පමණක්ද කියා සිතෙන තරමට ම සාහිත්‍ය තුළ කවියට තිබෙන තැන ඇහිරෙමින් පවතිනවා. කවියට පමණක්  නොවේ කෙටි කතාවටත් මේ ඉරණම අත්වෙලා තිබෙනවා. ඒත් නිර්මාණ කාර්යේදී ඉතාම සියුම්ව සහ වෙහෙසකාරී කටයුත්ත පද්‍ය හෙවත් කාව්‍ය නිර්මාණයන් කෙටිකතා නිර්මාණයන් බවයි මගේ පෞද්ගලික අදහස. “දයාසේන ගුණසිංහ කෙටිකථාව හැඳින්වූයේ සජීවී චිත්‍රයක් ලෙසයි. එයම ජීවිතයෙන් ගොන්නක්” අංශු මාත්‍රයක් ලෙස හැඳින්වූ අවස්ථාවත් තිබෙනවා.  කවියත් එහෙමයි. ඉතා සියුම් කලාවක්. අද කවි ‍පොතකින් පිටපත් 300-400 ක් විකුණාගැනීම ඉතාම අසීරු කාර්යයක්. හැබැයි රෙස්ලින් පට, බෙන් ටෙන්ගේ වීඩියෝ පට තොග ගණනින් අලෙවි වන සමාජයක් මේක.
ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් වගේම කවියටද සුවිසල් සමාජ කාර්යක් තිබෙනවා. ඒ සමාජයට ඥානය දායාද කරදෙන ඥාන දායාදයක් වශයෙන්. කවියාට සමාජය වෙනස් කර කරන්ට බෑ. එහෙත් සමාජයේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලට ආමන්ත්‍රණය කොට සමාජය වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්නට පිළිවන්. සෙසු සාහිත්‍යකරුවන් සම්බන්ධයෙනුත් තත්ත්වය මෙයමයි.
එහෙත් සමාජයේ තදබය හෙවත් කවිය අතහැරුණු සමාජයක කවි ලියන කවියාහෝ නිර්මාණ වලින් මේ සමාජ කාර්ය භාරය ඉටුවනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා. කවියා ලියන දෙය කියවන්නට හුරු පුරුදු වුණු සමාජයක මනුෂ්‍ය   ප්‍රාණීන්ගේ චින්තනය වෙනස් කිරීමටයි කවියට හැකිවන්නේ. 
කෙසේ වෙතත් ඕනෑම සාහිත්‍යාංගයක් වගේම  කවියටත් යම් කාර්යභාරයක් තිබෙන බවයි මගේ අදහස. 
ලියමින් සිටියදී මට දැනුණ දෙයක් තමයි කලාවට කිරත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, ආරියවංශ රණවීර වගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කවීන් කිහිප දෙනෙකුගේ හැරුණු කොට අද ‍පොත් ප්‍රකාශකයින් බොහෝ තරුණ කවීන්ගේ ‍පොඩි ප්‍රකාශයට ඉදිරිපත් වන්නේ නැහැ. ඒකට අප අර කලින් සඳහන් කළ කවි‍පොත් අලෙවිය සම්බන්ධයෙන් තිබෙන ගැටලුවත් බලපානවා ඇති. ඒ නිසාම අද වැඩිපුරම දක්නට තිබෙන්නේ පුවත් පත් කවි පිටු හරහා කවිය භාවිත කරන කවීන්ගේ පරපුරක් සහිත සමාජයක්. ඒ වගේ වබේ අඩවි ඔස්සේ කවිය භාවිත කරන කවීන්ගේ සමාජයක්. අද වනවිට පුවත්පත්වල කවිපිටුත් හිටිගමන්  කපා හැරෙනවා. කවියට  පිටු බාගයක් දෙනවාට වඩා පුවත්පත්වලට වෙළඳ දැන්වීමකට ඒ ඉඩ වෙන් කිරීම ආර්ථික වශයෙන් ලාබදායි වෙලා තිබෙනවා.
ඒත් මේ සියලු තත්ත්වයන් හමුවේ කවියට පෙම් බැඳගෙන කවි ලියන ධෛර්ය සම්පන්න කවීන් රැසක් අපට සිටිනවා. 
ගාමිණී නිශාන්ත කරුණාරත්න 

උපුටා ගැන්ම
Lakbima Online

Post a Comment

0 Comments