Photo credit - https://www.pinterest.com/
අන්තර්ගතය - ජීවිතයේ කෙටි බව, නිත්‍ය මරණය, ජීවත්වන කෙටි
කාලය තුල අර්ථවත් ලෙස ජීවිතය ගත කිරීම, ජීවිතයේ නරක පැත්ත, අයහපත සහ අකුසලය
අතහැරීම, ජීවිතයේ අවිනිශ්චිත බව, මරණයෙන් කෙලවර වන ජීවිතය ගුණධර්ම වලින් පෝෂණය කරගැනීම,
සතුටින් ජීවත්වීම, සාමය අගය කිරීම, ලද දෙයින් සතුටු වීම.
Photo credit - https://www.pinterest.com/
හැඳින්වීම
යම්
කෙනෙකුට යම් හොරෙක් හතුරෙක් කිසියම්ම හෝ නරකක් නපුරක් කරයිද, ඊට වැඩිය විශාල
ගුනයකින් අයහපතක් කරනවා එයාගේ දස අකුසලයේ යෙදුන අකුසල ලාමක හිත. මේ මනුස්ස ලෝකයේ මිනිසෙකුගේ ජීවිතය ඉතාම කෙටියි.
මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කාලයක් විතරයි.
මේ ඉතාම කෙටි කාලයක් ජීවත්වෙන මනුස්සයාගේ මේ ජීවිතය බොහෝ දුක් වලින් පීඩාවට
පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු
මොහොතක් හරි ධර්මය තුල හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි. මේ සනාථන දහම නුවණින්
අවබෝධ කරගන්නටම වෙනවා. ඉපදුන කිසිම කෙනෙකුට නොමැරී ඉන්නට ලැබෙන්නෙ නැහැ. කවදා හෝ
මරණයට පත්වෙන්නට සිදු වෙනවා.
Photo credit - https://www.pinterest.com/
ජීවිතයේ නරක පැත්ත
හැම කෙනෙක්ම තමන් මැරෙන කෙනෙක් බව දැනගත යුතුයි. මරණයෙන්
කෙලවර වන ජීවිතය ඇත්ත නොදන්නා අය අයහපතට හරවාගෙන සදාකල් ජීවත්වෙන්නට උත්සාහ කරනවා.
ඒක මෝඩ උත්සාහයක්. ඒ මෝඩ උත්සාහය තුල තියෙන්නෙ දස අකුසල්. ප්‍රාණඝාතය, සොරකම,
වැරදි කාමසේවනය, බොරුකීම, කේලාම් කීම, නරක ද්වේශ සහගත වචන කීම, එලොවටත් නැති
මෙලොවටත් නැති හිස් වචන කීම, ලෝබය, ද්වේශය, ඊර්ශියාව, මානය, නපුරුකම, මේ හැම
දෙයක්ම කරන්නෙ ඒ මෝඩකම නිසා. ඒ මෝඩකම් නිසා ජීවත්වෙන කෙටි කාලය බලවත් සේ දුකෙන්
පිරෙනවා. අවසානයේ මරණයෙන් ජීවිතය කෙලවර කර ගන්නවා. සමහරු හිතනවා මරණයෙන් පසුව
සියල්ල අවසන් කියලා. බුදුදහම උගන්වන්නෙ අප විසින් මේ ජීවිතයේ කරන ලද යහපත් කර්ම
මරණයෙන් පසුව යහපත් උපතකටත්, අප විසින් මේ ජීවිතයේ කරන ලද අකුසල කර්ම මරණයෙන් පසුව
අනන්ත දුක් ඇති සතර අපායටත් දුක්ඛිත ආත්මභාවයකට පත්කරවන බවයි.
ජීවත්වන කෙටි කාලය තුල අර්ථවත් ලෙස ජීවිතය ගත කිරීම
ඔබ කුමන රටක ජීවත් වූවත්, කුමන භාෂාව කතාකලත්, කුමන
ආගමක් ඇදහූවත්, ඔබට සිල්වත් ධාර්මික ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගතකිරීමට ඒ කිසිවක්
බාධාවක් නොවෙයි. අසීමාන්තික විධියට ඇස කණ දිව ශරීරය සිත පිනවන්නට දස අකුසලයේ
යෙදෙමින් ජීවිතය අයහපතට යොමු කරනවාට වඩා ඔබට දස කුසලය වඩන්නට හැකි නම් කවදා හෝ
ශාන්ත මරණයකට හිමිකම් කියන්නටද පුලුවන්. ඉඩ ලැබෙන හැමවිටම මේ වගේ දාන ශීල භාවනා
කියන ත්‍රිවිධ පුන්‍යක්‍රියා වල යෙදෙන්නට ඕනෙ. අටසිල් දසසිල් සමාදන් වෙලා තමන්ගේ
නරක නපුරු හිත සංවර කරගන්නට ඕනෙ. මේ විදියට ධර්ම දානය දීමෙන් අනිත් අයගේ ද නුවනැස
පාදන්නට ඕනෙ. මේ කිසිවක් ආගමක් නෙවෙයි. දාර්ශණික මාර්ගයක් විතරයි.
Photo credit - https://www.pinterest.com/
ජීවිතයේ කෙටි බව
ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ අවිනිශ්චිත දෙයක්. අපගේ
මරණය කවදා කොතැන, කුමන
විදියට සිදුවෙයිද කියන්නට අප කාටවත් බෑ.
හොරෙක් හතුරෙක් ඇවිත් අපට මහා විනාශයක් කරනවාට වඩා නපුරක් විනාශයක් කරන්නේ
අපේ මේ දස අකුසලයට නැඹුරු වෙච්ච කෙලෙස් බර හිතයි. ඒ ලෝබ ද්වේශ මෝහ ඊර්ශියාව
නපුරුකම මානය වගේ කෙලෙස් වලට පුලුවන් මේ කෙටි මනුස්ස ජීවිතය වනසා දමන්නට. ඒ නිසා
ගතකරන සෑම තත්පරයක්ම කුසල් වඩන්නට ශීලය රැකගන්නට අප්‍රමාදීව කටයුතු කිරීම වටිනවා
සියලු වාද විවාද භේද බින්න පැත්තකට තියලා.
මේ ජීවිතයේ ස්වභාවය ගැන මනුස්ස ලෝකයේ ආයුශ සංයුතිය ගැන
ඉතාම වටිනා ලස්සන දේශනාවක් තමයි අරක සූත්‍රය කියන්නෙ. අංගුත්තර නිකායේ සත්තක
නිපාතයේ තමයි මේ දේශනාව ඇතුලත් වෙන්නෙ. මෙය ඉතාම වටිනා දේශණාවක්.
දවසක් බුදුරජාණන් වහන්සේ රැස්වෙලා හිටිය භික්ෂු සංඝයා හට
මෙහෙම දේශනා කරන්නට යෙදුනා.
මහනෙනි ...මෙය පෙර කාලයේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ කාලයේ
හිටියා එක්තරා තීර්ථක ශාස්තෲන් කෙනෙක් අරක කියලා. මේ අරක ශාස්තෲන්
වරයා වීතරාගී කෙනෙක්. කාමයන් ගෙන් මිදුන කෙනෙක්. එයා තමන් වටා ඒකරාශි වෙච්ච
සියදහස් ගනන් ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ බ්‍රාහ්මණවරුනි, මනුෂ්‍යයන්ගේ
ජීවිතය පවතින්නේ ඉතා සුළු කාලයක් විතරයි. මේ ඉතාම කෙටි කාලයක් ජීවත්වෙන මනුස්සයාගේ
මේ ජීවිතය බොහෝ පීඩා වලින් පීඩාවට පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම
දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු මොහොතක් හරි ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට
උවමනායි කියලා. එහෙම දේශනා කල අරක ශාස්තෲන් තුමා තවදුරටත් කියනවා
“බ්‍රාහ්මණයෙනි, තණකොළ පත් අතර
හිමිදිරියේ පතිත වෙලා රැඳිල තියෙන පිණිබිඳු ඉර පායගෙන එනකොට හිරු රශ්මියෙන් වේලිලා
නැතිවෙලා යයිද අන්න ඒ වගෙයි මේ මනුස්ස ජීවිතයත්. බොහෝ පීඩා
වලින් පීඩාවට පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ
නිසා සුළු මොහොතක් හරි සිල්වත්ව ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි කියලා.
ඉපදිච්ච කිසිකෙනෙක් අමරනීය නැහැ. මැරෙනවාමයි. එහෙම දේශනා කල අරක ශාස්තෲන් තුමා
තවදුරටත් කියනවා
“බ්‍රාහ්මණයෙනි, මේ වැස්ස වහින
වෙලාවට පොලොවේ පිරුනු දිය මත දියබුබුලු ඇතිවෙලා ඒ සැනින් නැති වෙලා යනවද අන්න ඒ
වගෙයි මේ මනුස්ස ජීවිතයත්. බොහෝ පීඩා වලින් පීඩාවට පත්වෙලා තියෙන්නෙ. දුක්
බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු මොහොතක් හරි සිල්වත්ව
ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි
කියලා. ඉපදිච්ච කිසිකෙනෙක් අමරනීය නැහැ. මැරෙනවාමයි.
ඒ වගේම “බ්‍රාහ්මණයෙනි, කවුරුහරි දියමත
ඉරක් ඇන්දොත්, ඒ රේඛාව ඒ ඇඳපු සැනින් මැකිල යනවාද, පවතින්නේ නැතිද, අන්න ඒ වගෙයි
මේ මනුස්ස ජීවිතයත්. බොහෝ පීඩා වලින් පීඩාවට පත්වෙලා තියෙන්නෙ. දුක්
බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු මොහොතක් හරි සිල්වත්ව
ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි කියලා. ඉපදිච්ච කිසිකෙනෙක් අමරනීය නැහැ.
මැරෙනවාමයි.
තවදුරටත් අරක ශාස්තෲන් කියනවා බ්‍රාහ්මණවරුනි.. මෙහෙම
දෙයකුත් තිබෙනවා. කඳුමුදුනින් පටන් ගන්නා වේගවත් සැඩපහරක් ඇති එයට වැටෙන
හැමදෙයක්ම ගසාගෙන යන කිසියම් ගංගාවක් තියෙයිද ඒක හරියට මේ මනුස්ස ජීවිතය වගේමයි.
ඒ ගංගාව එක මොහොතක්වත් එක තැන නතර වෙලා තියෙන්නෙ නැහැ. ගලාගෙන යනවා. නතරවීමක්
නැහැ. දවසින්ප දවස මරණය කරා ගලාගෙන යනවා. බොහෝ පීඩා වලින් පීඩාවට පත්වෙලා
තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු මොහොතක් හරි
සිල්වත්ව ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි කියලා. ඉපදිච්ච කිසිකෙනෙක්
අමරනීය නැහැ. මැරෙනවාමයි.
ඊලඟට “බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ
ජීවිතය කෙළ පිඩක් වගේයි. ඉතාම ස්වල්ප කාලයයි පවතින්නෙ. බොහෝ පීඩා වලින් පීඩාවට
පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු
මොහොතක් හරි සිල්වත්ව ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි කියලා. ඉපදිච්ච
කිසිකෙනෙක් අමරනීය නැහැ. මැරෙනවාමයි.
ඒ වගේමයි “බ්‍රාහ්මණයෙනි, ගිනියම් වෙච්ච
යකඩ තැටියක මස් කෑල්ලක් තිබ්බොත් මොකද වෙන්නෙ?? තිබ්බ හැටියෙ බැදිලා කරවෙලා
අඟුරුවෙලා යනවා නේද? අන්න ඒ වගෙයි මිනිසුන්ගේ ජිවිතය. බොහෝ පීඩා වලින් පීඩාවට
පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල තියෙන්නෙ. ඒ නිසා සුළු
මොහොතක් හරි සිල්වත්ව ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට උවමනායි කියලා. ඉපදිච්ච
කිසිකෙනෙක් අමරනීය නැහැ. මැරෙනවාමයි
ඒ වගේමයි “බ්‍රාහ්මණයෙනි, මරණයට නියම
වෙච්ච ගවයෙක් හරි ගවදෙනෙක් හරි මරණ ස්ථානයට අරගෙන යද්දි, ඒ සතා තබන තබන පියවරක්
පාසා ලංවෙන්නෙ මරණයට වගේ මනුස්ස ජීවිතයත් පියවරෙන් පියවර මරණයටයි ලංවෙන්නෙ. බොහෝ
පීඩා වලින් පීඩාවට පත්වෙලා තියෙන්නෙ. දුක් බොහෝමයි. වැඩිපුරම දුකෙන් පිරිල
තියෙන්නෙ. ඒ නිසා සුළු මොහොතක් හරි සිල්වත්ව ගුණවත්ව හැසිරිලා කුසල්ම වඩන්නට
උවමනායි කියලා. ඉපදිච්ච කිසිකෙනෙක් අමරනීය නැහැ. මැරෙනවාමයි.
අවුරුදු සීයක් ජීවත්වන කෙනෙකුගේ කාල චක්‍රය
v ශීත
ඍතු සීයයි ගිම්හාන ඍතු සීයයි වස්සාන ඍතු සීයයි මුළු එකතුව ඍතු තුන්සීයයි ජීවත්
වෙන්නෙ.
v ඍතු
තුන්සීයක් ජීවත් වෙන කෙනා මාස එක්දහස් දෙසීයයි උපරිමයෙන් ජීවත් වෙන්නෙ
v අර්ධ
මාස වලින් ගත්තොත් දෙදහස් හාරසීයයි
v අර්ධමාස
දෙදහස් හාරසීයක් ජීවත්වෙන කෙනා රාත්‍රී කාලවල් තිස්හය දහසක් ජීවත් වෙන්නෙ
v එතකොට රාත්‍රී තිස්හය දාහක් ජීවත්වෙන කෙනා
බත්වේල් හැත්තෑ දෙදහසයි අනුභව කරන්නෙ.
ඒ අනුව අපට අපගේ ජීවිත කාලය කෙතරම් කෙටිද, මරණයට අපි
කෙතරම් වේගයෙන් ලංවෙනවාද කියා අපට සිතාගන්නට හැකියි.
අවුරුදු සීයක් ජීවත් වෙන කෙනෙකුට මාස තියෙන්නෙ එක්දහස්
දෙසීයයි. එතකොට දවස් වලින් කිව්වොත් දවස් තිස්හයදාහයි. අවුරුදු සීයක් ජීවත්වෙන
කෙනා දවස්වලින් ගත්තොත් දවස් තිස්හයදාහක් විතරයි මෙලොව ජීවත් වෙන්නෙ. ඒ දවස්
තිස්හයදාහෙන් හරියටම බාගයක් රාත්‍රී කාලය. දවස් දහඅට දාහක් රෑ. දවස් දහඅට දාහක්
දවල්. වයස අවුරුදු පනහක් ජීවත්වෙන කෙනා මාස හයසීයයි ජීවත් වෙන්නෙ. දවස් වලින්
ගත්තොත් දහඅටදාහයි දවස්. ආහාර වේල් කීයද එයා මේ ලෝකයේ ආහාරයට ගන්නෙ. ආහාරවේල්
පනස්හතර දාහයි. අවුරුදු පනහටම ආහාරවේල් පනස්හතර දාහයි එයා ගන්නෙ. වයස අවුරුදු පනහ
ඉක්මවූ කෙනා තව ආහාරවේල් කීයක් භුක්ති විඳියිද කියල කවුද දන්නෙ.
ඇයි මේ ස්වල්ප ආහාර වේල් වෙනුවෙන් ප්‍රාණඝාතය
කරන්නෙ. ඇයි සොරකම් කරන්නෙ, ඇයි කාමයේ වරදවා හැසිරෙන්නෙ.. ඇයි මේ ස්වල්ප ආහාර වේල්
වෙනුවෙන් බොරු කියන්නෙ, කේලාම් පරුෂ වචන හිස්වචන කියන්නෙ. ඇයි විෂම ලෝභය
ඇතිකරගන්නෙ ඇයි ව්‍යාපාදය මිත්‍යාදෘශ්ඨියට ඇතුල් වෙන්නෙ. තව ආහාරවේල් කීයද මම
ගන්නෙ කියල හිතුවොත් අයහපතෙන් මිදෙන්න පුලුවන්.
Photo credit - https://www.pinterest.com/
අද අදම ලැබෙන අවස්ථාව අනුව පින්
කරගන්න ඕනෙ. අනුන්ගේ ඇදකුද හෙව්වට අනුන්ගේ වරද හෙව්වට අනුන්ගැන කේලාම් ඇහුවට අනුන්
එක්ක සදාකාලික තරහා ඇති කරගත්තට තව ආහාරවේල් කීයද ගන්න ජීවත් වෙන්නෙ. ඒ ඉතාම සුළු
ටික කාලය දස කුසල ධර්මය වඩන්නට, පින් රැස් කරගන්නට උත්සුක වීම දෙලොවටම යහපතක් විය
හැකියි.
මූලාශ්‍ර
අරක සූත්‍රය/ අංගුත්තර නිකාය/සත්තක නිපාතය
Photo credit - https://www.pinterest.com/
Tags
ජීවිතයේ කෙටි බව, නිත්‍ය මරණය, ජීවත්වන කෙටි කාලය තුල අර්ථවත් ලෙස ජීවිතය ගත කිරීම, ජීවිතයේ නරක පැත්ත, අයහපත සහ අකුසලය අතහැරීම, ජීවිතයේ අවිනිශ්චිත බව, මරණයෙන් කෙලවර වන ජීවිතය ගුණධර්ම වලින් පෝෂණය කරගැනීම, සතුටින් ජීවත්වීම, සාමය අගය කිරීම, ලද දෙයින් සතුටු වීම.
No comments:
Post a Comment