සීහළවත්ථු 02- කෙස් වැටියෙන් දන් දුන් සුමනාව

 

                                                 ඡායාරූපය - https://www.pinterest.com/

දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන සසර ජීවිතය සැපවත් කරන උතුම් ක්‍රියාවකි. දානය ශීලය භාවනාව ආදී ත්‍රිවිධ පුන්‍යක්‍රියාවෙන් යුක්ත කෙනා ඒ තුලම නතර නොවී ශීල සමාධි ප්‍රඥා යන ධර්මතාවයන් වෙතට යොමිවුය යුත්තේය. එයින්ද නොනැවතී ලෝකොත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් සසර දුක් කෙළවර කරගත යුතුය. සමහරු දානයට ශීලයට පින්කම් වලට ගර්හා කලත්, නින්දා කලත්, එසේ කරන්නේ අවිද්‍යා සහගතවූ මානය සහ තමා පිලිබඳව වූ අධිතක්සේරුව නිසා බව පැහැදිලිය. 

කෙතරම් වස්තුව මිලමුදල් හරිහම්බ කලත් සමහර අයට කුසගිනි නිවාගන්නට ආහාර ගැනීමට පවා වෙලාවක් නැත. සමහර අය කෙතරම් උපයා සපයා ගෙනවිත් දුන්නත්, කෙතරම් රසමසවුලු සකස්වී තිබුනත්, කුමක් හෝ හේතුවකට ඔහුට ආහාරය වැලකී යයි. නිවසෙහි අගහිඟයක් නැතිව ආහාර පිලයෙල වී තිබුනත්, ඒවා ඔහුට රුචි නෙවෙයි, බලවත් සේ කුසගිනි වේදනා සිත්පීඩා මැද ඔහුට කුසගින්නේ සිටින්නට සිදුවේ. පෙර සංසාරයේ දානය ඔහු විසින් කෙසේ දී ඇතිදැයි එයින් සිතාගත හැකිය. සමහරු අන්ත දුගී දිළිඳු බවට පත්ව, එදා වේලවත් නොලැබ ඉන්නට හිටින්නට තැනක් හෝ නොමැතිව යාචකයින්ට වඩා අන්ත දුක්ඛිත ජීවිත ගත කරමින්, අනන්ත දුක් වේදනා විඳති. සමහරුන්ට පිපාසය නිවාගන්නට දිය බිඳක් සොයා මහා දුරකතරක් ගෙවමින් හිස් කළගෙඩි රැගෙන යන්නට සිදුවෙයි. මේවා සංසාරයේ රැස් කල කර්ම හේතු වල විපාක බව නුවනැත්තා දැනගෙන හිත හදාගෙන, නිවන් දැකීම අරමුනු කරගෙනම මතුසංසාරය සැපවත් කරගන්නටද උත්සුක වෙති. සංසාරයේ හැටි මෙහෙමය. සසර මෙබඳු භයානක දුක්සහගත තැනකි ආදී වශයෙන් මෙනෙහි කරන නුවනැත්තා ආමිස දානයට, පින්කම් වලට, ශීලයට ගර්හා නොකර,නින්දා නොකර, අවමන් නොකර, සතුටු සහගත සිතින් යුතුව අසංඛාරිකව(කිසිවකුගේ බලකිරීමකින් තොරව) කර්මය සහ කර්මඵලය අදහාගෙන ඒවාට යොමුවෙයි.

දානයෙහි අනිශංසයන් බොහෝ බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කොට වදාරා තිබෙනවා.
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, දානෙ ආනිසංසා. කතමෙ පඤ්ච? බහුනො ජනස්ස පියො හොති මනාපො; සන්තො සප්පුරිසා භජන්ති; කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති; ගිහිධම්මා අනපගතො , ගිහිධම්මමනුපගතො හොති; කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච දානෙ ආනිසංසා’’ති.
“මහණෙනි, මේ දානයෙහි ආනිශංස පහක් තිබෙනවා. දානය දෙන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය මනාප කෙනෙක් වෙනවා. ශාන්තවූ සත් පුරුෂයන් ඇසුරු කරන කෙනෙක් වෙනවා. ඔහුගේ ගුණ ගෝෂාවක් සේ පැන නගිනවා. සීලයෙන් ආරක්ෂා වූ කෙනෙක් වෙනවා. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදිනවා"
-අංගුත්තර නිකාය- සුමනා සූත්‍රය-

ඉහත සඳහන් කලේ එයින් එක උදාහරණයක් පමණයි. මේ ආමිස දානය දීම බුදුරජානන් වහන්සේ ලෞකික වශයෙන් සැපගෙන දෙන, ලෞකික වශයෙන් මෙලොව සහ පරලොව සුවපත් කරවන දෙයක් හැටියට දේශනා කරනු ලැබුවා. යමෙක්  සසර දුක් කෙලවර කොට නිවන් දැකීමට යන සසර ගමනේදී මේ දානය ආනිසංසයක් හැටියට සිවුපස ප්‍රත්‍ය ලාභය ඔහු පසුපසින් එනවා.
මේ එවන් දානය පිලිබඳව "සිහළවත්ථුවේ" සඳහන් කථාවකි. 

                                             ඡායාරූපය - https://www.pinterest.com/


එකල ලංකාවේ සෑගිරියට ආසන්නව පිහිටි ගමක් තිබුනා. ඒ ගමේ නම "විල්ගම"ය. පර්වත වලින් සමන්විත ඒ ප්‍රදේශයේ එක් පර්වත ලෙනක භික්ෂුන් වහන්සේලා කීපනමක් භාවනායෝගීව වැඩසිටියා.දිනක් ඒ භික්ෂූන් වහන්සේලා හත්නමක්, පවුල් පන්සියයක් පමණ ජීවත්වූ එම ගමෙහි පිණ්ඩපාතය සඳහා වැඩම කලත්, කිසිදු ගෙදරකින් කිසිම දෙයක් නොලැබ හිස් අතින් ආපසු වැඩම කලා. මේ සිදුවීම දෙස ඉන්නට හිටින්නට තැනක් නැති, හිඟාකෑමෙන් ජීවත් වෙමින් අම්බලමක වැනි පොදු ස්ථානයක ජීවත්වූ, එක්තරා දුගී දුප්පත් මවක් සහ දියණියක් සංවේගයෙන් යුතුව බලා සිටියා. ඒ දියණිය "සුමනා" නම් වූවාය. ඇය සංවේගය උපදවා ගෙන මෙහෙම හිතන්නට උනා.
" පෙර කරපු පින් නැති මම අනුන්ගේ අනුකම්පාව මත සිඟමන් යදිමින් ජීවත්වන කෙනෙක්. පෙර පින් නැති නිසාම මට මේ ලෝකයේ කිසිම දෙයක් ලැබී නැහැ.මේ දුගී දුප්පත් සිඟන ජීවිතය මට ලැබුනෙ පෙර ජීවිතවල පිනක් කුසලයක් නොකල නිසා. ඒ නිසා මගේ මේ දිගු කොන්ඩය කපා කඩයට විකුණා ඒ ලැබෙන දෙය පිනකට කුසලයට යෙදවීම මහා ලාභයක්" කියා කල්පනා කලා. එහෙම කල්පනා කල සුමනා නම් තරුණිය තමන්ගේ මවට දන්වා සිටියා පිණ්ඩපාතය නොලැබ හිස් අතින් ආපසු ගිය භික්ෂුන් වහන්සේලා හත්නමක් පර්වත ලෙනේ සිටින බවත්, ඒ නිසා පිනක් කරගන්නට අවසර දෙන්න කියා. එවිට ඒ මව දන්වා සිටින්නේ තමා නිසා හෝ පින් නොකර සිටින්නට එපා යනුවෙන්ය. පින් කිරීම වළකන අය නිරයට වැටී ඒ දුක් විපාක වලින් නිරයේ පැසෙන බව මව දන්වා සිටියා. මවගේ වචන වලින් සතුටට පත් සුමනා, වහාම කඩවීදියට දුවගිහින් තමන්ගේ කෙස් වැටිය කපා විකුණා කහවනු අටක් ලැබුවා. ඒ කහවනු අටද රැගෙන දිවගිය සුමනා තරුණිය භික්ෂූන් සොයා ගිහින් මව සමග තමන් ජීවත්ව සිටි පොදු ස්ථානයට වැඩම කරවනු ලැබුවා. පසුව තමන් ලත් මුදලින් සහල් සහ සෙසු ආහාර කළමනා රැගෙන, දානය සකස් කොට භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ලැබුවා. තමන්ගේ හිසකෙස් කපා විකුනා දුන් මේ දානයේ ආනිශංසයෙන් මතු කලකදී තමන්ට ධනසම්පත් ලැබීමට හේතුවේවා කියා ඇගේ සිත තුල ප්‍රාර්ථනාවක්ද විය.
සුමනාව විසින් පූජා කල දානය සහිත දන්පාත්‍ර අතැති භික්ෂූන් වහන්සේලා නැවත වඩින්නට පටන් ගත්තා. ඒ වඩින අතරමගදී වැඩිමල් භික්ෂුව මහපාර මැද නතරවී අනෙක් භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කලා.
"ඇවැත්නි..තමන්ගේම කෙස්වැටිය කපා විකුනා මේ අසරණ තරුණිය එයින් අපට මේ දානය දුන්නේ  අපි හැමදෙනා වහන්සේලාම කෙලෙස් සිඳින්නට වීරිය දරන පිරිසක් කියා කල්පනා කරලා. ඒ නිසා මගේ අදහස සියලු කෙලෙස් ප්‍රහාණය කොට අවසන් වූ පසුව මේ දානය වැළඳීමයි. එය ඔබ වහන්සේලාගේද යුතුකම බව සිහිපත් කරනවා" කියා. 
වැඩිමහළු භික්ෂුවගේ අවවාදය එකහෙලා පිලිගත් සියලු භික්ෂුන් වහන්සේලා, දාන පාත්‍ර පසෙක තබා රුක්මුල් වෙත වැඩම කොට වීරිය වඩා සියලු දුක් කෙළවර කොට, ඉන්පසුව දානය වළඳන්නට උනා.
උන්වහන්සේලා එසේ දානය වළඳා අවසන් වෙත්ම, දානය දුන් සුමනා නම් අන්ත දුගී තරුණියගේ රූපය වර්ණවත් විය. එය විස්තර කරන්නේ දේව වර්ණයට නොපැමිණ මනුශ්‍ය වර්ණය ඉක්මවා සිටි ශරීර වර්ණයක් බවයි. එමෙන්ම ඇගේ කපා දැමූ කෙස් වැටියද පෙර තිබුනාටත් වඩා සුන්දරව වැඩුනු අතර, මනා අඟපසඟ පිහිටා රූප ශෝභාවෙන් බබලන්නට විය. විශ්මයෙන් යුක්ත රූමත් පැහැපත් සුමනා තම මෑණියන් වෙත දිවගොස් මෙපුවත පවසා සිටියේ, ඒකාන්තයෙන්ම ඒ භික්ෂූන් වහන්සේලා මහරහත් බවට පැමිණි ඇති බවත්, තමන් දුන් දානය මේ ජීවිතයේම ආනිශංස දුන් බවත් සිහිපත් කරමින්ය.
මේ ආශ්චර්යයමත් පුවත ඉතාම වේගයෙන් අවට ගම්වලටද පැතිර ගියේය. සීහළවත්ථුව සඳහන් කරන්නේ එවකට අනුරාධපුරයේ රජකම් කල සද්ධාතිස්ස රජතුමාගේ අධිගෘහිත දේවතාවා සාධුකාර දුන් අතර, සෙසු දේවතාවෝ අනුරාධපුරයට ගොස් ප්‍රීතිඝෝෂා නැගූ බවයි. මේ අතර රජුගේ එක්තරා  යුධ සෙනෙවියෙක් ඇය රථයක නංවාගෙන රජතුමා අභිමුවට පමුණුවන ලද අතර,ඇයගේ කථාපුවත අසා පැහැදුනු සද්ධාතිස්ස රජතුමා ඇය තම දූ තනතුරෙහි තැබීය.ඉන් අනතුරුව රජු විසින් ඇයට සේවක දාසයන් සියයක්, දෙනුන් සියයක්, මීමුන් සියයක්, රථ සියයක්, ගම් සියයක් සහිත ජනපදයක් සහ රජෙකු විසින් දූ කුමරියකට දියයතු ස්වර්ණාභරණ ආදියද දායාද කොට, ඇය තමා වෙත රැගෙන ආ යුධ සෙනෙවියාටම පාවා දෙන ලද බැව් සඳහන් වේ. 

ලෝකෝත්තර මාර්ගය වඩන තැනැත්තා ඒ මාර්ගයේ ගමන් කල යුතු අතර, එයට යොමුවිය නොහැකි ප්‍රඥාව වීරිය සතිය සමාධිය වඩා ගන්නට තවමත් ප්‍රමාද කෙනා සසර දුගතියට නොවැටී අවම වශයෙන් මතු සසර සැපවත් කරගන්නට හෝ දාන ශීල ආදී ලෞකික ආනිශංස සහිත දසවස්තුක සම්මා දිට්ඨියටවත් පැමිණිය යුතු වෙනවා. මේ කථාපුවතින් දෙන පණිවිඩයද එයයි. භික්ෂූන් වහන්සේලා ලෝකෝත්තර මාර්ගය වඩා රහත් භාවයට පැමිණීමද, සුමනාව සියලු යස ඉසුරු ලබා සමෘද්ධිමත් වීමද එකම දානයේ ආනිශංස වීම ආශ්චර්යයක් නොවේද??
 
                             
ඡායාරූපය - http://www.dinamina.lk/

සීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි. මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ 
"අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" කල්‍යාවංශ නිකායේ මහානායක ස්වාමි පාදයන් වහන්සේ විසින් "ඉතා පැරණි සිංහල බණ කථා" නමින් සිංහල භාෂාවෙන් අනුවාදනය කර ඇත.මෙහි ඇතුලත් දහම් කථා තුල බහුල වශයෙන් මෙරට රජකල සද්ධාතිස්ස රජතුමා ගැනද, වළගම්බා රජ සමය ගැනද, බැමිණිතියාසාය පිලිබඳවද ලියැවී අතර, එවකට ලංකාවේ සිරිත්විරිත්, පුරාණ ගම්, සහ රටවැසියන්ගේ දහම කෙරෙහි තිබූ ශ්‍රද්ධාව සහ නැඹුරුව ගැනද සඳහන් වී ඇත. 

මූලාශ්‍ර-
1.-අංගුත්තර නිකාය- සුමනා සූත්‍රය-
2.සීහළවත්ථු (ඉතා පැරණි සිංහල බණ කථා) -  

Post a Comment

0 Comments