විඤ්ඤාණය හෙවත් සිත සහ මනස -ධර්මය සහ ජීවිතය - 09 කොටස

 


ආයතන හයක් තියෙනවා. ඇස,කණ,නාසය,දිව,කය,මනස යනුවෙන්. ආයතන කියන වචනයේ දළ අදහස කිසිවක් හෝ කිසියම් සේවාවක් ඉටු කරන තැනයි කියන අර්ථයයි. ඒ නිසා ඇස හෙවත් චක්ඛායතනය කරන්නෙ රූපායතනය හෙවත් බාහිර රූප ගොඩ නගන එකයි. ඒ වගේමයි කණ නාසය දිව කය කියන ආයතන වලින්  ශබ්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය ගොඩ නංවනවා. ඒ වගේම ඊට අමතරව ඇසට නොපෙනෙන ආයතනයකුත් තිබෙනවා. ඒ තමයි මනස හෙවත් මනායතනය. 

මනෝ ද්වාරය කියලත් තියනවා. මනස කියන ආයතනය චේතනා සිතිවිලි වලින් යුක්ත අරමුනු ගොඩනංවනවා. මනසෙහි හටගන්නා අරමුනු වලට ධර්මයේ හඳුන්වන්නේ "ධම්ම" කියල. හැබැයි තනිවම නෙවෙයි. මනායතනය ගැන පසුව කථාකල හැකියි. ඒ නිසා මේ ඕළාරික ආයතන වන ඇස කණ නාසය දිව කය කියන ආයතන පහ සහ විඤ්ඤානයේ ක්‍රියාකාරිත්වය මුලින්ම කථා කල යුතුව තිබෙනවා. 


 ඇස හෝ රූපය තිබූ පමණින් රූපායතනය ගොඩනැගෙන්නේ නැහැ. එතැනට විඤ්ඤාණය හෙවත් සිත පැමිණිය යුතුයි. සිත පැමිනියේ නැත්නම්  (රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ආදී ) රූපයක් හටගන්නේ නැත. එසේනම් විඤ්ඤාණයාගේ පළමු කාර්යය මෙතැනදි දක්නට ලැබෙනවා. ඒ තමයි රූප ශබ්ද ආදී අරමුණු විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් සිත විඤ්ඤාණය නම් වෙනවා. ඊලඟට ඇස හෝ කණ හෝ මේ පඤ්චද්වාරය (ඇස,කණ,නාසය,දිව,කය) සහ රූප අරමුනු තිබූ පමණින් රූප හටගන්නේ නැහැ. පඤ්චද්වාරයට රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු ගැටුනාම ඇස හෝ කණ හෝ අදාල ආයතනය සවිඤ්ඤාණික(Activate)විය යුතුයි. එතකොට ඒ සවිඤ්ඤානික වීම සිදු කරන්නේද විඤ්ඤාණයේ පැමිණීමෙන්ය. 



සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන්නේ අපට තියෙන්නේ එක සිතයි ඒ සිත නම් වෙනස් වන්නේ නැහැ කියායි. එහෙත් එය ඇත්තක් නෙවෙයි. මුළුමනින්ම වැරදි වැටහීමක්. ආයතන හයක් තියෙන ඕනෑම සත්ත්වයෙකුට එක සිතක් නොව මූලික වශයෙන් සිත් හයක් තිබෙනවා. ඒවා මෙසේ සඳහන් වෙනවා.

1.චක්ඛු විඤ්ඤාණය -ඇසේ පහළවන සිත - රූප දැනගැනීම
2.සෝත විඤ්ඤාණය -කණේ  පහළවන සිත - ශබ්ද දැනගැනීම.
3.ඝාණ විඤ්ඤාණය - නාසයේ පහළවන සිත -ගන්ධය දැනගැනීම
4.ජිව්හා විඤ්ඤාණය -දිවේ පහළවන සිත - රස දැනගැනීම
5.කාය විඤ්ඤාණය - කයේ පහළවන සිත - කයට දැනෙන පහස                                                 දැනගැනීම
6.මනෝ විඤ්ඤාණය - මනසෙහි පහළවන සිත- අරමුණු දැනගැනීම


එතකොට මෙන්න මේ ආකාරයෙන් බාහිර අරමුනු දැනගන්නා සිත් පහක් ඇසේ කණේ නාසයේ දිවේ කයේ හටගන්නා අතර ඒවා පඤ්ච ද්වාරා සිත් යනුවෙන් අභිධර්මයේදී හඳුන්වනවා. පඤ්චද්වාරයේදී හඳුනා ගන්නේ බාහිර රූපයි. ඒවා නිකම්ම රූපරූප,ශබ්දරූප,ගන්ධරූප,රසරූප,පොට්ඨබ්බරූප විතරයි. ඒවා රූපමාත්‍ර විතරයි. ඊට අමතරව මනස ඇසුරු කරගෙන තිබෙන ධර්මතා ටිකක් තිබෙනවා. සිත් නොවන එහෙත්  සිත ඇසුරු කරගෙනයි ඒවා පවතින්නේ. ඒවාට අභිධර්මයේදී කියනවා "චෛතසික ධර්ම" කියා. ඒ චෛතසික ධර්ම තවත් කෙටි කර වේදනා,සංඥා,සංඛාර, කියා කියනවා. ඒ වේදනා සංඥා සංඛාර දැනගන්නටත් විඤ්ඤාණය අවශ්‍ය වෙනවා. විඤ්ඤාණය මනෝ ද්වාරයේ පිහිටියේ නැත්නම් වේදනා සංඥා සංඛාර දැනගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මනෝද්වාරයේ හටගන්නා සිතට කියනවා මනෝ විඤ්ඤාණය කියා. 

මෙන්න මේ විඤ්ඤාණ හය මගින් නිරන්තරයෙන්ම ඇස තුල, කණ තුල, නාසය තුල, දිව තුල, කය තුල, මනස තුල පඤ්චස්කන්ධය උපදවනවා. පඤ්චස්කන්ධය කියන්නෙ

1.පඤ්චද්වාරයෙන් එකක් - ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය ඇසුරින් රූප ශබ්ද ගන්ධ ආදිය.

2.වේදනා  -  ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය ඇසුරින් රූප ශබ්ද ගන්ධ ආදිය තුල හටගන්නා සැපදුක් වේදනා

3.සංඥා-ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය ඇසුරින් රූප ශබ්ද ගන්ධ වේදනා ආදිය හඳුනා ගැනීම

4.සංඛාර -ඇස හෝ කණ හෝ නාසය හෝ දිව හෝ කය ඇසුරින් රූප ශබ්ද ගන්ධ වේදනා සංඥා නිසා ඇතිවන ඇලීම් හෝ ගැටීම් චේතනා

5.විඤ්ඤාණ - පඤ්චද්වාරය සමග හටගන්නා වේදනා සංඥා සංඛාර විශේෂයෙන් දැනගන්නා සිත

එතකොට ඒ ඒ අරමුණට අදාල සියලු දත්ත විස්තර(Data)තිබෙන්නේ ඒ අරමුණ නිසා උපන් විඤ්ඤාණය තුල බව පැහැදිලි වෙනවා. 

එතකොට පඤ්චස්කන්ධය ඇස තුලද,කණ තුලද,නාසය තුලද,දිව තුලද,කය තුලද,මනස තුලද හටගන්නවා. ඒ හටගන්නා සෑම තැනම විඤ්ඤාණය ඒ තුල බැහැගෙන තිබෙනවා. දැන් නාම රූප කියන වචනය ඉතාම කෙටියෙන් මෙතැනට එනවා.

ඇස - බාහිර රූපය (රූප)

වේදනා-සංඥා-සංඛාර තුලින් - අම්මා කියන රූපය හැදෙනවා. (නාම)

ඇසේ විඤ්ඤාණයෙන් අම්මා දැනගන්නවා. එතකොට "නාමරූප පච්චයා විඤ්ඤාණ" කියන්නෙ මේකට. ඒ වගේමයි මේ ටික විඤ්ඤාණය තුල තදින් අල්ලා ගැනීම් වශයෙන් තිබෙන නිසා අනිත් පැත්තටත් ගතහැකියි. 

"විඤ්ඤාණ පච්චයා නාමරූප" මනෝද්වාරයේ තිබෙන සියලු දත්ත විස්තර(Data)ඇසට පෙනෙන බාහිර රූපයට එකතු කර "අම්මා" කියන සංකල්පය සෑදිය හැකි වෙනවා. එතකොට බාහිර තිබෙන ඇසට පෙනෙන රූපය "අම්මා" වෙනවා. මේ විදියට නාමරූප වලින් විඤ්ඤාණයද, විඤ්ඤානයෙන් නාමරූපද හටගන්නා න්‍යායයට "අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය" කියා කියනවා.එකක් අනිකට උපකාර කරනවා. ඒක නිසා මේක පවතිනවා මේක නිසා ඒක පවතිනවා.


මේ සිත හෙවත් විඤ්ඤානයේ ස්වරූපය සංකීර්ණයි. සිත හෙවත් විඤ්ඥාණයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව මෙසේ විස්තරකොට වදාලා.

දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං;
යෙ චිත්තං සංයමෙස්සන්ති, මොක්ඛන්ති මාරබන්ධනා.

-ධම්මපදය-චිත්ත වග්ගය-

මේ සිත "දුරං ගමං" එක තැනක නැහැ. හැමතැනම දිවයන එකක්. වචනයෙන් කියන්නට බැරි තරම් දුරගමන් වල යන දෙයක්. කොතැනින් පටන් අරන් කොහෙන් මතුවෙයිද කියන්න කාටවත් බැහැ. ඒ තරමට විවිධ පැති වලට දිව යනවා. හැබැයි තනිවමයි යන්නෙ. සිත හෙවත් විඤ්ඤාණය ඇසින් දැකගන්න පුලුවන් විදියෙ හැඩයක් වර්ණයක් රූපයක් ශරීරයක් තියෙන දෙයකුත් නෙවෙයි. ඒ නිසා අන්ධකාර ගුහාවක සිටින යමෙක් නොපෙනී සිටින්නේ යම් සේද මේ සිතද අල්ලා ගැනීම පහසු නැහැ. නමුත් බැරි කමකුත් නැහැ. එසේ කිසියම් උපක්‍රමයක් ප්‍රගුණ කොට සිත අල්ලා ගත් කෙනෙකුට මාරයාගේ බැම්මෙන් මිදීම අපහසුද නැහැ. 


එහෙනම් මේ විඤ්ඤාණයේ ස්වභාවය කුමක්ද? අනිත්‍යය බවයි. විඤ්ඤානය අනිත්‍යයි. ඒ කියන්නෙ විඤ්ඤාණයට තනිවම උපදින්නට බැහැ. විඤ්ඤාණයට තනිවම නිරුද්ධ වන්නත් බැහැ. විඤ්ඤාණය උපදින්නේ රූප වේදනා සංඥා සංඛාර සමගමයි. විඤ්ඤාණය නිරුද්ධ වන්නේද රූප වේදනා සංඥා සංඛාර සමගමයි. 

(එහෙමනම් මේ න්‍යායය භාවිතා කරල රූපය කියන්නෙ මොකක්ද කියාත් විශ්ලේශණය කරගත හැකියි. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ නැතිව රූපයකට පවතින්නටත් බැහැ. එය ගැඹුරින් කතාකල යුතු තැනක්)


ද්වයං, භික්ඛවෙ, පටිච්ච විඤ්ඤාණං සම්භොති. කථඤ්ච, භික්ඛවෙ, ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භොති? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. චක්ඛු අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. රූපා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. ඉත්ථෙතං ද්වයං චලඤ්චෙව බ්‍යථඤ්ච අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. චක්ඛුවිඤ්ඤාණං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි.

කාරණා දෙකක් නිසා විඤ්ඤාණය හට ගන්නවා. ඇසත් බාහිර රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හටගන්නවා. නමුත් ඇස අනිත්‍යයි.(ඇස කණ නාසය දිව ආදිය අනිත්‍ය වන්නේ කෙසේද කියා වෙනම විමසා බැලිය යුතුය) වෙනස්වන සුළුයි. වෙනස් වෙනස් ස්වභාවයන්ට පත්වන සුළුයි. බාහිර රූප ද වෙනස්වන සුළුයි. වෙනස් වෙනස් ස්වභාවයන්ට පත්වන සුළුයි. එසේ නම් ඇසෙහි පහළ වන (චක්ඛු) විඤ්ඤාණයද අනිත්‍යයි. වෙනස්වන සුළුයි. වෙනස් වෙනස් ස්වභාවයන්ට පත්වන සුළුයි.

-අංගුත්තර නිකාය-සළායතන වග්ගය- දුතිය ද්වය සූත්‍රය-


පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං. තං අස‍්සුතවා පුථුජ‍්ජනො යථාභූතං නප‍්පජානාති. තස‍්මා අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස චිත‍්තභාවනා නත්‍ථීති වදාමීති.

මහණෙනි, මේ  සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වර යි. ඒ කිව්වෙ පිරිසිදුයි.පැහැපත්. නමුත් මේ සිත ක්‍රමයෙන් කිලිටි කරන්නේ අපැහැදිලි කරන්නේ රාග/ලෝභ ද්වේශ මෝහ කියන ආගන්තුක උපක්ලේශ වලින්. 

-අංගුත්තර නිකාය-ඒකක නිපාත-පභස්සර වග්ගය-

එනමුත් මෙන්න මෙබඳු සිතක පැවැත්ම ඉතාම ක්ෂණිකයි. උපතේ සිට මරණය දක්වා පවතින ස්ථිරසාර සිතක් හෝ මරණයෙන් පසුවට සසරට යන එකම සිතක් කොහෙත්ම නැහැ. 

නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහුපරිවත්තං යථයිදං චිත්තං. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්තන්ති.

මහණෙනි මේ සිත ක්ෂණයෙන් ඉපදෙනවා. එහෙම ඉපදුනු සිතක් ක්ෂණයෙන් නැසෙනවා. වැනසෙනවා. 

-ලහුපරිවත්ත සූත්‍රය-අංගුත්තර නිකාය-ඒකක නිපාත-


මෙන්න මෙබඳු දෙයකට තමයි සිත කියන්නෙ. සිත හැමවිටම අරමුණ දිහාවටමයි නැවී තියෙන්නෙ. අරමුණු කිව්වාම ජීවිතයේ ඒ ඒ මොහොතට දැනෙන සියල්ල අරමුණු. මොනවද ඒ?

රූපඅරමුණු, ශබ්දඅරමුණු, ගන්ධඅරමුණු, රසඅරමුණු, පොට්ඨබ්බ්අරමුණු, කුසගින්න,පිපාසය, රාගය,ආශාව, කේන්තිය, වෛරය, ක්‍රෝධය, නිදිමත, පින් සිතිවිලි,පව් සිතිවිලි, භාවනාමය ධ්‍යාන සිතිවිලි, අකුසල සිතිවිලි, ආදරය, සෙනෙහස, වෙහෙස, තනිකම, පාලුව දුක සතුට මේ ආදී සියල්ලක්ම අරමුණු. එතකොට මේ සියල්ල තුලම ඒ ඒ අවස්ථාවට සිත ඇති වෙලා නැති වෙලා යනවා. සිත හැමවිටම අරමුනේ ස්වභාවය ගන්නවා. ඒකයි මේ සිත චංචලයි කියන්නෙ. ඒකයි මේ සිත චපලයි කියන්නෙ. අරමුනෙන් අරමුණට සිත වෙනස් වෙනවා. අරමුණ වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතිං අපට කොයින්ද එකම සිතක්? 

මේ සියල්ලේම සම්පණ්ඩනය ගත් විට මෙසේ සඳහන් කල හැකිය.

1.කාමාවචර සිත්

2.රූපාවචර සිත්

3.අරූපාවචර සිත්

4.ලෝකොත්තර සිත්


කාමාවචර සිත් යනු සතර අපායේත්, දිව්‍ය ලෝක හයේත්, මනුස්ස ලෝකයේත් පහළවන්නට මුල්වන්නාවූ සිත්ය. මුලින් සඳහන් කල පරිදි විඤ්ඤාණය හෙවත් සිත තනිවම හටගන්නේ නැත. සිතක් හට ගැනීමට අරමුණක් උවමනාය. එතකොට කාම භූමියේ කොතැනක හෝ ( සතර අපායේ හෝ,දිව්‍ය ලෝක හයේ හෝ, මිනිස් ලෝකයේ) ඉපදෙන්නට උවමනා කරන කාම අරමුණු හෙවත් කර්ම හෙවත් සංඛාර නිසා කාමාවචර සිත් හටගනියි. කාමලෝකයේ ඉපදෙන්නට හේතු වන සංඛාර වර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

1.පින් - පුඤ්ඤාභි සංඛාර - දානය, ශීලය, දසවස්තුක ලෞකික සම්මා දිට්ඨිය ආදිය

2.පව්- අපුඤ්ඤාභි සංඛාර - පස්පව්,දසඅකුසල්, මිත්‍යා දෘශ්ඨිය ආදිය


රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්මලෝක වල ඉපදීමට හේතු වශයෙන් පෙරට එන ධ්‍යාන භාවනා සහ ධ්‍යාන නිසා ආනෙන්ජාභි සංඛාර හෙවත් කර්ම හටගනියි. ඒ කර්ම වල හේතුවෙන් බ්‍රහ්මතල වල පහළවෙයි. එතකොට මේ සිත් තුනම ලෞකික හෙවත් ලෝකයට අයත් ධර්මතාවයන්ය. කොතැනක හෝ ලෝකයකට අයත් භූමියක ඉපදීමක් ලබා දෙයි. කොතැනක හෝ ඉපදීමක් ලබා දෙනවා නම් එතැන පඤ්චඋපාදානස්කන්ධයක් හට ගනියි. එසේ නම් කාමාවචර වේවා, රූපාවචර වේවා, අරූපාවචර වේවා සියලු කර්ම තුල තන්හා දිට්ඨි මාන පවතියි. සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් සහිත වූ මඤ්ඤමානය පවතියි. සසරට හේතුයි. දුකට හේතුයි. නැවත නැවත ඉපදීමද මරණයද ගෙන දෙන්නට හේතුයි. මක්නිසාද යත් පිනද ධ්‍යාන කුසලයද ක්ෂය වෙයි. ගෙවී යයි. පවද පිණද ධ්‍යානයද ගෙවි ගෙවි ගොස් නැවත නැවත කාමලෝකයේද බ්‍රහ්මතල වලද උපදියි. නිමක් නැත. අවසානයක් නැත. අද දෙවියා හෙට ප්‍රේතයෙක් තිරිසනෙක් විය හැකියි. සසර ඒ තරමට භයානකය. ඒ නිසා ලෝකයෙන් ලෝකයට මාරුවන,විවිධ ලෝකතල වල ඉපදීමට හේතු සකස් කරන  මෙය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය නෙවෙයි.පින් කිරීම භාවනා කිරීම බුදුරජානන් වහන්සේ ප්‍රතික්ෂේප නොකලත්  පින් කරමින් භාවනා කරමින් නැවත සසරට වැටී දුක් විඳීම උන්වහන්සේ අනුමත කලේ නැත. අද බුදුදහම හෝ නිවන් මග කියා භාවිතා කරන්නේ දන්දීම සිල්රැකීම භාවනා කිරීම පමණය. එතකොට එය සසරින් මිදීම නොව සසරට යලි යලිත් එකතු වීම බව ඕනෑම අයෙකුට පැහැදිලි වනවා ඇත.


ලෝකොත්තර සිත් යනු ලෝකොත්තර භූමියක ඉපදීමට කරන කර්මයක් හෙවත් සංඛාරයක් නොවෙයි. ලෝකොත්තර සිතක් හැමවිටම කර්මක්ෂය කරන බොජ්ජංග සහ සතර සතිපට්ඨානය හෙවත් බලවත් සිහිය මත පිහිටා කටයුතු කරයි. කර්ම ක්ෂය කිරීමෙන් රාගක්ඛය දොසක්ඛය මෝහක්ඛය සිදුවීමෙන් කාමාවචර ලෝකයද,රූපාවචර ලෝකයද, අරූපාවචර ලෝකයද තන්හා දිට්ඨි මාන හෙවත් මඤ්ඤමානයෙන් මම කොට, මගේ කොට, ආත්මය කොට ගැනීම ක්ෂය කරයි. එවිට මේ සිත කිසිම තැනක පිහිටන්නට බැරි විදියට පිරිසිදු ශුන්‍යතාවයට පත් වෙයි. එහි ඇලීම් හා ගැටීම් වශයෙන් දුක්සැප දැඩිව ගැනීමක් නොමැතිව පිරිසිදු උපේක්ෂාවෙන් ධර්මතාවයන් තුල කර්ම සිදු කිරීමෙන් වැලකී සම්මුති මරනයෙන් අනතුරුව සසර පැවැත්ම නතර කල හැකිය. 

                -තවත් කොටසක් ඊලග ලිපියෙන්-


සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com


Post a Comment

0 Comments