Photo Credit - https://www.bing.com/images/create
අන්තර්ගතය -
අසුර ප්‍රජාව, පහාරාද අසුරෙන්ද්‍රයා, මහමුහුදේ අද්භූත ආශ්චර්යය කාරනා, බුද්ධ ශාසනයේ අද්භූත ආශ්චර්යය කාරනා, පහාරාද සූත්‍රය තුලින් අපට ගත හැකි පාඩම්.
හැඳින්වීම
පහාරාද සූත්‍රය හරහා ගැඹුරු බුද්ධ ධර්මය සහ බුද්ධ ශාසනයේ සංවිධානාත්මක සුන්දරත්වය අවබෝධ කර ගැනීමේ අවස්ථාව පහාරාද සූත්‍රයේ අද්භූත ආශ්චර්යය කාරනා විමසීමෙන් දැනගන්නට හැකි වෙයි. අංගුත්තර නිකායේ මහාවග්ගයේ අඩංගු මෙම සූත්‍රය, බුදුරජාණන් වහන්සේ සහ අසුර ජනනායක පහාරාද අසුරෙන්ද්‍රයා අතර ඇති වූ සංවාදයක් හරහා ගොඩ නැගී ඇති අතර එය මහා සාගරයේ ඇති අසිරිමත් ගුණාංග අට, බුද්ධ ශාසනයේ ඇති අසිරිමත් ගුණාංග අට සමඟ සංසන්දනය කරමින්, ධර්මයේ සම්පූර්ණත්වය සහ ක්‍රමානුකූල ස්වභාවය ලොවට හෙළි කරයි.
Photo Credit - https://www.bing.com/images/create
ආරම්භය – නෙඹු ගස යට සිදු වූ අරුම පුදුම සංවාදය
වෙරඤ්ජා නගරය අසළ නෙඹු ගසක් යට බුදුරජාණන් වහන්සේ වැඩ වසමින් සිටියදී, අසුර ප්‍රජාවට නායක පහරාද අසුරෙන්ද්‍රයා බුදුරජාණන් වහන්සේව දැක බලා වන්දනා කරගැනීමට එම ස්ථානයට දිනක් පැමිණ ඇත. සුහද කතාබහෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පහාරාද ගෙන් අතිශය විනිවිද හැඟෙන ප්‍රශ්නයක් විමසීය.
“පහාරාද, ඔබගේ අසුරයන් මහා සාගරය ගැන ප්‍රසන්න සිතින් සිටිනවාද?”
පහාරාද රජු පිළිතුරු දුන්නේ, “එහෙමයි
භාග්‍යවතුන් වහන්ස, අසුර ජනයා මහා සාගරයෙන් සතුටු වෙති”
යයි. එයට කුමක්දැයි බුදුරජාණන් වහන්සේ පහාරාදයන් ගෙන් විමසා
සිටීමෙන් අනතුරුව පහාරාදගේ පිලිතුර වූවේ මහා සාගරයේ තිබෙන්නාවූ අද්භූත ආශ්චර්යය
කාරනා අටක් නිසා අසුර ප්‍රජාව මහා සාගරයට දැඩි සේ ඇලුම් කරන බවයි. එම සංවාදයේදී
බුදුරජාණන් වහන්සේද බුද්ධ ශාසනයක තිබෙන්නාවූ අද්භූත ආශ්චර්යය කාරනා අටක් නිසා භික්ෂු
සංඝයාද බුද්ධ ශාසනය ඇලුම් කරන බව පවසමින් පහාරාදගේ අද්භූත ආශ්චර්යය කාරනා අටම ගෙන
එය බුද්ධ ශාසනය හා මැනවින් සංසන්දනය කරමින් මේ සූත්‍රය දේශනා කරන ලදී.
Photo Credit -https://www.pinterest.com/
මහා සාගරයේ අද්භූත ගුණාංග අට
පහරාද අසුරේන්ද්‍රයාගේ ප්‍රකාශයට අනුව, අසුරයන් මහා සාගරයෙන් ආනන්ද වන්නේ එහි ඇති අද්භූත ගුණාංග අට නිසාවෙනි:
1. 1 සාගරය ක්‍රමයෙන් බෑවුම් වීම: (මහාසමුද්දො, භන්තෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො , න ආයතකෙනෙව පපාතො.)සාගරය එකවරම ක්ෂණිකව ගැඹුරු නොවේ. එය ක්‍රමයෙන්, ආරක්ෂිතව ගැඹුරු වේ.
2. 2 සාගරය ස්ථාවර සීමාව: (මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති.) මහා සාගරය ඒකාකාරව පවතින අතර, එහි සීමාවන් කිසිදා ඉක්මවා නොයයි.
3. 3 මළ සිරුරු ඉවතලයි: (මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති) සාගරය මළ සිරුරු සමඟ නොසිටී. ඒවා වෙරළට ඉවතලයි.
4. 4 නදීන්ගේ නම් හා ගෝත්‍ර අත්හරිමින් එක්වීම: (මහාසමුද්දො’ ත්වෙව සඞ්ඛං ගච්ඡන්ති) ගංගා, යමුනා වැනි මහා නදීහු සාගරයට ඇතුළු වන විට තමන්ගේ වෙනම අනන්‍යතාවය (නම හා ගෝත්‍රය) අත්හරිමින් එක් මහා සාගරයක් වෙයි.
5. 5 ජලය ප්‍රමාණයෙන් අඩු නොවී වැඩි නොවී පවතීම: (ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති.) ලෝකයේ සියලුම නදීන්ගේ ජලය හා වර්ෂාව සාගරයට එකතු වුවද, එහි ජල ප්‍රමාණය අඩු හෝ වැඩි නොවේ.
6. 6 එක් රසයක් ඇතිකිරීම: (පුන චපරං, භන්තෙ, මහාසමුද්දො එකරසො ලොණරසො.) සාගරයට ඇතුළු වන විවිධ ජලයන්ගේ රස ඉවත් වී එකම ලුණු රසයක් පවතී.
7 බහුවිධ රත්නයන්ගේ ආගාරය: (මහාසමුද්දො බහුරතනො) සාගරය තුළ මුතු, මැණික්, පබළු වැනි අනේකප්‍රකාර රත්නයන් අඩංගු වේ.
8 මහත් සත්වයන්ගේ වාසස්ථානය: (මහාසමුද්දො මහතං භූතානං ආවාසො) සාගරය යොදුන් සියගණනාවක් දිගැති මහා මත්ස්‍ය, නාග, අසුර යනාදී විශාල සත්වයන්ගේ නිවහනයි.
Photo Credit -https://www.pinterest.com/
බුද්ධ ශාසනයේ අද්භූත ගුණාංග අට
මේ අනුප්‍රක්‍රමයෙන්ම, භාග්‍යවතුන් වහන්සේ පහරාද අසුරේන්ද්‍රයාට ධර්ම සාගරයේ ඇති අද්භූත ගුණාංග අට පහදා දෙයි.
1. ක්‍රමානුගත ප්‍රඥාව: බුද්ධ ශාසනයේ ක්‍රමික බෑවුම
සාගරය වෙරලේ සිට ක්‍රමයෙන් ගැඹුරු වන ආකාරයටම, බුද්ධ ශාසනයද ක්‍රමයෙන් උගන්වන, ක්‍රමයෙන් පිළිපදින, ක්‍රමයෙන් අවබෝධ වන මාර්ගයකි. මෙය ධර්මයේ මහා කාරුණිකත්වයයි. ශ්‍රද්ධාව, සීලය, චාගය, ප්‍රඥාව වැනි ගුණ ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගත යුතු අංග වේ. ධර්මය කිසිදු තැනැත්තකුට ක්ෂණික පිමි වලට ඉඩ නොදෙයි. එය සෑම අයකුම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව ගමන් කළ යුතු ක්‍රමාණුකූලවූ මාර්ගයකි.
2. සීමාවන්ට ඇති ගරුත්වය: ශාසන විනය සහ ශීලයේ ස්ථිරත්වය
සාගරය තම සීමාවන් ඉක්මවා නොයන ආකාරයටම, භික්ෂූන් වහන්සේලා ද ශාසන විනය සහ සීලයේ සීමාවන් ඉක්මවා නොයන බව ධර්ම සාගරයේ දෙවන අද්භූත ගුණයයි. මෙය ශාසනයේ සංවිධානාත්මක ශක්තිය හා අඛණ්ඩතාවයට හේතු වේ.
3. පිරිසිදු කිරීමේ ස්වභාවය: සංඝයාගේ පවිත්‍රතාව
සාගරය මළ සිරුරු ඉවතලන ආකාරයටම, ශාසනය ද දුශ්ශීල, දුශ්චරිත, අභ්‍යන්තරයෙන් දූෂිත අය සමඟ නොසිටී. ඔවුන් පවිත්‍ර සංඝයාගෙන් ඉවත් කරනු ලබයි. මෙම "සංවිධානාත්මක ප්‍රතිරෝධය" ශාසනයේ පවිත්‍රතාවය සහ බලපෑම සුරක්ෂිත කරයි. ධර්මය යනු සිතින් ම ආරක්ෂා කළ යුතු රත්නයක් බැවින්, එහි පරිපාලනය ද ආචාර ධර්ම මත පදනම් විය යුතුය. දුස්සීල භිශාසන විරෝධී භික්ෂූන් යනු මළ සිරුරු වලට සමානය.
4. විවිධත්වය සහ ඒකීය අනන්‍ය ස්වභාවය: ධර්මයේ විශ්වීයත්වය
ගංගා, යමුනා වැනි නදීහු සාගරයට ඇතුළු වන විට තම නම් අහිමි වන ආකාරයටම, ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සියලු ජාති, ගෝත්‍ර වලින් පැමිණි අය බුද්ධ ශාසනයට පැමිණෙන විට ඔවුන්ගේ පැරණි සමාජ අනන්‍යතාවය අහිමි වී ගෞතම බුද්ධ පුත්‍ර ලෙස එක් පවුලක් වෙයි. මෙය ධර්මයේ විශ්වීයත්වය හා සමානාත්මතාවය පෙන්වයි. ධර්මය කිසිදු ජාති, වර්ණ, සමාජ තත්ත්වයකට බැඳී නොසිටී.
5. නිර්වාණයේ අපරිමිත බව
ලෝකයේ සියලු ජලය සාගරයට එකතු වුවද එය පුරවා ගත නොහැකි ආකාරයටම, බොහෝ දෙනකු නිර්වාණයට පැමිණෙතත්, නිර්වාණය අඩු වූවක් හෝ වැඩි වූවක් නොවේ. එය අනන්ත, අපරිච්ඡේදනීය ස්වභාවයක් ගනී. මෙය නිර්වාණයේ අතිමහත් ස්වභාවය පැහැදිලි කරයි.
6. විමුක්තියේ එක් රසය
සාගරයට ඇතුළු වන විවිධ ජලයන්ට එක් ලුණු රසයක් ලැබෙන ආකාරයටම, බුද්ධ ශාසනයට ඇතුළු වන ඕනෑම කෙනෙකුට, ඔවුන්ගේ පසුබිම හෝ පෞරුෂත්වය තුළින් වුවද, එකම විමුක්ති රසය ලැබේ. ධර්මයේ සාරය වන්නේ දුක්ඛ නිරෝධයයි. මාර්ගය විවිධ විය හැකි නමුත්, අවසාන ඉලක්කය වන නිර්වාණයේ සැනසුල්ල සියල්ලන්ටම එක හා සමානය.
7. ධර්ම රත්නයන්ගේ භාණ්ඩාගාරය
සාගරය විවිධ රත්නයන්ගේ භාන්ඩාගාරයක් ලෙස පවතින ආකාරයටම, බුද්ධ ශාසනයද ධර්ම රත්නයන්ගේ භාන්ඩාගාරයකි. ඒවා නම්:
· සතර සතිපට්ඨාන
· සතර සම්මප්පධාන වීරිය
· සතර ඍද්ධිපාද
· ඉන්ද්‍රිය 5 (ආත්ම බලයන්)
· බල 5 (ධර්ම බලයන්)
· බෝජ්ඣංග 7 (අවබෝධයට යන මාර්ගයේ අංග)
· ආර්ය අෂ්ටාංගික මාර්ගය (මහා මාර්ගය)
මෙම ධර්ම රත්නය සියල්ලන්ටම ලබා ගත හැකි අතර, ඒවා භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ අපගේම උත්සාහය සහ වීරිය කැපවීම පමණි.
8. මහා පුද්ගලයන්ගේ නිවහන
සාගරය මහා සත්වයන්ගේ නිවහන වන්නා සේම, ධර්ම සාගරය මහා පුද්ගලයන්ගේ නිවහනයි. එනම්:
· සෝතාපන්න තැනැත්තා
· සකෘදාගාමී තැනැත්තා
· අනාගාමී තැනැත්තා
· අරහත් තැනැත්තා
මෙම ආර්ය පුද්ගලයන් ධර්ම සාගරයේ ජීවමාන වටිනාකමයි. ඔවුන් ධර්මය හැදෑරූ, පිළිපැද්ද, අවබෝධ කර ගත් අය වන අතර, ලෝකයට ධර්මයේ ජීවමාන නිදර්ශන වේ.
Photo Credit -https://www.pinterest.com/නිගමනය: ධර්ම දානය ලෝක සෙතින්
පහරාද සූත්‍රය තුළින් අපට පෙනී යන්නේ බුද්ධ ශාසනය යනු ගැඹුරු, සම්පූර්ණ, සංවිධානාත්මක, පරිපාලනය කළ හැකි, විශ්වීය, සහ සියලු සත්වයන්ට ප්‍රයෝජනවත් වන සාගරයක් බවයි. මෙම ධර්ම සාගරයේ ජලය ලෝක සත්වයාගේ දුක්ඛය නම් තණ්හා දාහය නිවා දමන අමෘතයයි.
මෙම ධර්මය ලෝකයට දානය කිරීම, එනම් ධර්ම දානය වඩාත්ම අග්‍ර දානයයි. එය ලබන්නාට, දන්නාට, හා සමස්ත ලෝක සත්වයාටම සැනසීම, සාමය හා නිවීම ගෙනදෙයි.
මූලාශ්‍රය: අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, මහා වග්ගය, පහරාද සූත්‍රය.
------------------------------------------------------------------------
ඉංග්‍රීසි බසින් දහම් ලිපි කියවීම සඳහා අපගේ
https://dhammapathsl.blogspot.com/ අඩවියට පිවිසෙන්න.
පුනරාගමනය දහම් ලිපි කියවන ඔබගේ අදහස් යෝජනා පහත comment section වල පල කරන්න.
No comments:
Post a Comment