Sunday, 2 August 2015

මේ අන්ධකාරේ



නැහැ තාරකාවේ
ලං වෙන්නෙ ආයේ
මේ අන්ධකාරේ
යලි එන්නෙ නෑනේ...


අඳ බවින් මිදුනු විට
ලැබු දෑස වටනේ
අඳුර විනිවිද සරන
මං පෙතක රැඳුනේ
සෝ සුසුම් පොදි බැඳුනු
ඔලොගු කර ලෙහුනේ
ඉතින් නිරුවත් පයෙන්
හුරු අඳුර මැඩුනේ.....

කිරි සයුර කළඹවා
නුඹව මා සෙව්වා
විශ්වයේ ඈත සිට
නුඹ සුරත වැනුවා
නුඹ ලඟට එන තුරා
විශ්වයෙම සැරිසරා
අන්ධ නෙත් පෙනුන විට
නුඹව මා දුටුවා.....

ඉතින් නුඹෙ එළිය මට ඇවැසි නැත අඳුරේ
මම ඉතින් සැරිසරා නොඑමි කිරි සයුරේ
බර පොදිද බිම හෙලා දකිමි හෙට නුදුරේ
නවතින තැන කොතැන නිවී සැනසෙන අතරේ...

No comments:

Post a Comment