Monday, 30 June 2014

නඳුන් උයන කොතැනකදෝ..


මේ...සිහින නගරයේ
නඳුන් උයන කොතැනකදෝ..

දෙපය තබන කඨොර පොළොව
වෙඬරු පිඬක් සේ දැනෙනා
සොවට  හෙලන කඳුලු බින්දු
මිණි මුතු මල් සේ පෙනෙනා
මේ...සිහින නගරයේ
නඳුන් උයන කොතැනකදෝ..

නිදි නැති නෙත් පිය සැලුනත්
ඉඟිබිඟි මිහිරෙන් වෙලෙනා
දාහෙන් ගත දැවෙන විටත්
උණුසුම සීතලක් වෙලා
මේ...සිහින නගරයේ
නඳුන් උයන කොතැනකදෝ..

වැට අද්දර මල් පිපුනත්
පරසතු මල් සුවඳ විදා
සිතු හැම දෙන කප්රුක මැඩ
කටු ඉඹුලෙහි සිත රඳනා
මේ...සිහින නගරයේ
නඳුන් උයන කොතැනකදෝ..

1 comment:

  1. *
    ඒ.... සොඳුරු ලෝකයේ
    නඳුන් උයන පාලුවෙලා....

    දෙදන නවා හඬා වැටුන
    පූජනීය දෙවොල කඩා
    තුන් සිත් සී සී කඩ කර
    දෙවිඳු කිමද බවුන් වඩා....

    ReplyDelete