Saturday, 28 June 2014

හදවත ගැහෙන හඩමයි නුඹ නැති අරුමේ


රෑ තිස් පැයම නිදි නැති කල ගෙවීයන්
නිදිමත ඇවිත් පය පාමුල     ගෙවීයන්
පෑරෙන සිතට සිතිවිලි නොම වැදීයන්
පිනි වැටෙනා හඬ පමණක්    ඇසීයන්


පාලොස්වක ගෙවී අඩහඳ යයි   වියැකී
පාලුව දරනු බැරි කිරළෙක් යයි    ඉගිලී
සීතල සුළඟ සළුවක් සේ ගත      පෙරවී
උනුසුම කිමද අද සීතල බවට         හැරී

වෙනදා නගන හඬ අද නැහැ        ගංගාවේ
අරුන්දතී තරුවත් නැහැ තුරු          මුදුනේ
ඉඳහිට හඬන පළඟැටියකු මෙන්   දැනුනේ
හදවත ගැහෙන හඩමයි නුඹ නැති   අරුමේ

2 comments:

  1. *
    පා ළුව රිදුම් දෙයි නිති හුදකලාවේ
    කා ලය ගෙවෙයි සුපුරුදු ලෙස ලතාවේ
    රා ගය මුලාවක් දිවි මං තලාවේ
    පා රන මතක සදහට දිය වුනාවේ......

    ශෝ කය පමණි ජීවිත තුල පවතින්නේ
    මෝහය සිත් වසා බැමි තව තරවෙන්නේ
    රෝදය වගෙයි අග මුල නැහැ වැටහෙන්නේ
    ලෝකය නැසෙන තුරු සසරෙහි විඳවන්නේ.....

    ReplyDelete
  2. *
    සියපත් පිපෙන්නේ හිරු නැගුනොත් පමනී
    කුමුදත් එබෙන්නේ සඳ කැළුමට රිසිනී
    සෙනෙහත් සිතක රැඳුනේ ඇල්මක් තුලිනී
    දැම්මොත් කොන්දේසි සැම වියැකෙයි සැනෙනී.......

    තුරකින් ගිලිහි පත් මද පවනට මුසුව
    නොගොසින් රිසි ලෙසට යයි පවනට හසුව
    සිතකින් නොබැඳි නම් , වුව රස බස් දෙසුව
    නොපතන් මිතුදමක් පිවිතුරු ඉන් පසුව.....

    ReplyDelete